ඒ දුරකතන ඇමතුම පැමිණෙන විට අන්තරා සිටියේ අළුයම් නින්දේ ය. එය දීර්ඝ දුරකතන අංකයක් වූයෙන් ද, ඔස්ට්‍රේලියාවේ අංකයක් වූයෙන් ද ඕ නින්දෙන් මුළුමනින් පිබිදියේ තිගැස්සීගෙනයි. නූපුර ඇයට ඇමතුම් දෙන්නේ දෙරටෙහි කාල වේලා අන්තරය ගැන අවබෝධයෙනි. ඊටත් වැඩිය මේ ඔහු ගේ වට්සැප් අංකය නොවේ.
“හෙලොව්”
ඇය සැකසහිත ලෙස ප්‍රතිචාර දැක්වූයේ මේ වැරදි ඇමතුමක් විය හැකි බවට අනුමාන කරමිනි.
“නූපුරගෙ අම්ම නේද…”
හොඳ සිංහලයෙන් නූපුර ගේ නම කියා ම තරුණ පිරිමි ළමයෙකු කතා කරත්දී අන්තරා ඇතුළාන්තයෙන් කැබලි වී ගිය තරම ය.
“ඔව්… නූපුරගෙ අම්ම තමයි”
“ආන්ටි කලබල වෙන්නෙපා. නූපුර නතර වෙලා ඉන්න තැන ඉන්න අපේ යුනි එකේ ඉන්දියන් ස්ටුඩන්ට් කෙනෙක් දැන් මට කතා කරල නූපුරගෙ ගෙදරට පණිවිඩයක් දෙන්න කිව්ව”
“අනේ ඇයි පුතා… නූපුරට මොකද…”
“නූපුර ෆේන්ට් වෙලා වැටිල තියනව. එතන ඉන්න ළමයි හොස්පිටලයිස් කරල. නූපුරව ඉමීඩියට් සර්ජරි එකකට ගන්න වෙනවලු. ඒ ස්ටුඩන්ට් මට කිව්ව නූපුරගෙ පේරන්ට්ස්ලට ඉන්ෆෝම් කරන්න කියල”
“හ්… හරි පුතා. තෑන්ක් යූ පුතා”
කොයි තරම් කලබල වූයේ ද යත් කුමක් කරන්න ද කියා අන්තරා ට එකවර සිහි කරගත හැකි වූයේ නැත. ඇය හිස අත් බදාගත්තා ය. හිස පුපුරන්නට එනවා වන් රිදුමක් දැනුණා මිස සිතිවිලි නිරවුල් වූයේ නැත. ඕ දෑතින් මූණ වසාගෙන තත්පර කිහිපයක් සිටියා ය. ඇස් වලට කඳුළක් ඉනුවේ නැත. හිතේ ගින්නෙන් කඳුළු වාෂ්ප වී ගියා විය යුතු ය. මුළු සිරුර ම අප්‍රාණික වී ඇති ගතියක් ඇයට දැනිණ. සිහි එළවාගත හැකි වූ ප්‍රථම නිමේශයෙහි ඕ දක්ෂිණ ට දුරකතන ඇමතුමක් ගත්තා ය. තවම අළුයම් පාන්දර යයි සිතන්නට ඇයට ඕනෑ වූයේ නැත. මේ වෙලාවේ දක්ෂිණ නිදි ඇතය යන්න ඇයට වගක් වූයේ ම නැත.
දුරකතන තිරය මත මේ අවේලාවෙහි අන්තරා ගේ නම දුටු දක්ෂිණ යහන මත හිඳගත්තේ බෝම්බ ප්‍රහාරයකට හසු වූවා වන් කලබලයකිනි. ඔහ ට සිතුණේ ම අන්තරා තනිව නිදන ඔවුන්ගේ ගෙදරට හොරු පැන ඇතිය කියා යි.
“අන්තරා. ඇයි මොකද වුණේ…”
එහඬ ඇසුණ ගමන් සම්පතී හීගසක් සේ නැගී සිටියා ය. ඇය මුළුමනින් ම අවදි වී සිටියා ය. ඇගේ හිතට එකවර ම පිවිසියේ මේ අවේලාවේ අන්තරා සිය හිටපු සැමියාට කතා කරන එක මොන නැහැදුණ කමක් ද යන ප්‍රකෝපී සිතිවිල්ලයි. ඈ දක්ෂිණ දෙස බලා සිටියේ ගිනි පිටවෙන දෑසකිනි.
“පුතා අසනීප වෙලා. හදිස්සි සර්ජරි එකක් කරන්න වෙනවලු “
අන්තරා එතෙක් හයිය කරගෙන උන් හිත, ගල් කරගෙන උන් කඳුළු දිය වෙන්නට පටන් ගත්තේ එවිටයි. දක්ෂිණ ට දැනුණේ හිසට දරුණු පොලු පහරක් වැදුණා මෙනි. තත්පර කිහිපයක් ගත වෙන තෙක් ඔහු සිටියේ භ්‍රමණය වීමකයි. ඔහු ගේ හිතේ මැවුණේ හදිසි අනතුරකි. නූපුර කියන්නේ කිසිදු රෝගයක් නොමැතිව, නිරෝගී ව සිටි දරුවෙකි. මේ අන්තරා සේ ම දක්ෂිණ ද අසන්නට අපේක්ෂා නොකළ ආරංචියකි.
“පුතාද ඔයාට කතා කළේ…”
“නෑ. යුනි එකේ වෙන පුතෙක්. හොස්ටල් එකේ ඉන්දියන් බෝයි කෙනෙක් මේ පුතාට කතාකරල කියල එයා ලංකාවෙ නිසා. අපේ පුතා ෆේන්ට් වෙලා වැටිලලු දක්ෂිණ. ඒත් සර්ජරි එකකට ගන්න තරං එයාට මොකද්ද වුණේ…”
“හරි. ඔයා කිසි දේකට බය වෙන්නෙපා අන්තරා. මං දැන්ම අදාල තැන්වලින් විස්තර හොයල බලන්නං. ඒ වගේම ඉස්සෙල්ලම තියන ෆ්ලයිට් එකෙන් මං පුතා ළඟට යන්නං. ඔයා බය වෙන්නැතුව ඉන්න. කරන්න ඕන හැම දේම මං කරනව. හරිද…”
දක්ෂිණ ඒ මොහොතේ ම ක්‍රියාත්මක වී දුරකතන ඇමතුම් කිහිපයක් ඒ මේ අතට ගත්තේ ය. නූපුර ගේ හිසෙහි තිබී ඇති ගෙඩියක් සැත්කමකින් ඉවත් කරන්නට තීරණය කොට තිබෙන්නේ ඔහු ගේ ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බව දැනගන්නට ලැබිණ.
අන්තරා බිඳී යමින් සිටියා ය. පෙරදාත් නූපුර ඇයට කතා කළේ ය. කිසිදු අසනීපයක් ගැන ඔහු වාර්තා කළේ නැත. ඉතින් මෙහෙම වූයේ කෙසේ ද? මෙවන් හදිසි තත්වයක් නූපුර තබා කිසිවෙක් බලාපොරොත්තු නො වූහ. මේ වෙලාවේ තමන්ගේ කියා කිසිවෙකු නොමැති දේශයක ගිලන් යහනකට වැටී සිටින ඔහු ට මොනවා සිතෙනු ඇත්ද කියා සිතෙත්දී අන්තරා ට වාවන්නේ නැත. පොඩි කාලේ පටන් ඔහු ලෙඩ රෝග වලදී ඔතෑනි ය. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණත් එය මහා රෝගයක් සේ සලකයි. කෙඳිරි ගායි. එතකොට අන්තරා ඔහු ගේ හිස පිරිමැදිය යුතු ය. ඒ සුවයට මැදිව නිදන්නට නූපුර කැමති බව දන්නා නිසා, ඔහු ට නින්ද ගිය පසුව ද අන්තරා හිස පිරිමදී. ඇතැම් විට ඔහු යළි අවදි වන තුරු ම ළඟට වී හිස පිරිමදී.
“අනේ… අම්මට යන්නනෙ තිබුණෙ මට නින්ද ගියාට පස්සෙ”
කියා, අවදි වීමෙන් පසු නූපුර කියයි. අන්තරා මඳහස පානු විනා කිසිත් පවසන්නේ නැත. අවදියෙන් සිහියෙන් සිටියදී පමණකුදු නොව හැම විට ම අම්මා ඔහු ළඟ බව වචන වලින් කියන්නට අන්තරා ට ඕන නැත. වචන වලින් නො කීව ද අම්මා ගේ අපරිමිත ආදරය නූපුර හඳුනයි. අම්මා ගේ මුළු ජීවිතය ම, මුළු ලෝකය ම තමන් බව ඔහු දනී.
පුංචි කාලේ ඔහු ට නිතර හතිය, පපුවේ මහන්සිය වැනි සෙම් රෝග වැළඳිණ. නිතර නිතර වෛද්‍යවරුන් වෙත ගෙන යන්නට ද පෙනහලු වෙතට වාෂ්ප ලෙස ඍජුව ඖෂධ ලබා දෙන්නට ද සිදු විය.
‘නෙබියුලයිස් කරන්න එපා’ කියමින් එතකොට පුංචි නූපුර කෑගසා හඬයි. අන්තරා ඔහු ව උකුලේ තබාගෙන තදින් අල්වාගෙන සිටින්නේ පපුව පැලෙන්නට එත්දී ය. ඒ දුක ඈ ගෙන පුතු නිදහස් කළ හැකි වී නම් ඈ එහෙම කරනු ඇත.
නූපුර නිදාගත්ත ද ඔහු අසනීපයෙන් සිටින දින වල ඇය තත්පරයකටවත් ඇහැ නො පියවයි. ඈ නිදි අතරේ දී නූපුර ට හුස්ම ගැනීමේ ගැටළුවක් මතු වෙතැයි බියෙන් ඔහු ළඟට වී නො නිදා සිටී.
“බොරුවට නිදිමරල ලෙඩ වෙන්නැතුව ඔයා නිදියන්න”
කියා දක්ෂිණ අවදි වී කිහිප වර පවසයි. නමුත් අන්තරා නිදන්නේ නැත. ඇය හරි නින්දක් ලබනුයේ නූපුර මුළුමනින් සුව වූ ඉක්බිතියි.
“ඔයා ඔය කොල්ලව කොල්ලෙක් වගේ හදන්න. කෙල්ලෙක්ව වගේ ඕනවට වඩා මලක් කරන්නැතුව”
කියා දක්ෂිණ ඇයට චෝදනා කර ඇති වාර ගණන නිමක් නැත. එපමණට අන්තරා ඔහු ඇති දැඩි කළේ හුස්මේ තබාගෙනයි. නූපුර හැදුණේත් ඒ හුරතලය ආත්මයෙන් ම අවශෝෂණය කරගෙනයි.
එහෙම ඔහු මෙහෙව් හදිසි මොහොතකට කාත් කවුරුත් නැතිව මුහුණ දෙන්නේ කෙසේ ද?
“මාත් පුතා ළඟට යනව අප්පච්චි. මං කොහොමද මෙහෙට වෙලා ඉන්නෙ කොලු පැටියට සර්ජරි එකක් කරනව කියල දැන දැන. ඊට පස්සෙ වුණත් එයාව බලාගන්න කවුද එහෙ ඉන්නෙ…එයා ළඟට නොයා හිටියොත් මාව පැලිල මැරෙයි”
නිහඬ හෝරා ගණනකට පස්සේ අන්තරා සිය අවශ්‍යතාවය ප්‍රකාශ කළා ය. ඇගේ දෑස් කඳුළු පොකුණු බවට පත් වී තිබිණ. දෙකොපුල් කඳුළු නිම්න වූයේ ය. යුගාත්ම කර කියාගත හැකි යමක් සිතාගත නො හැකිව බරාඳයත් ආලින්දයත් අතරේ ඒ වෙත්දීත් සැතපුම් ගණනක දුරක් සක්මන් කොට තිබිණ.
“හැබැයි මං කැමති නෑ සුදු නෝනව ඔය දක්ෂිණය එක්ක යවන්න”
“මට යන්න පුළුවන් ධාරා එක්ක. ඒත් එතකොට ඔයා තනියමනෙ ජිතේ”
“මටනං ඇති තනියක් නෑ…”
“අංකල් අංකල්ලගෙ අකමැත්තක් නැත්තං අන්තරාව මං පරිස්සමට එක්කං ගිහිං එක්කගෙන එන්නං. චුට්ටක්වත් බය වෙන්නනං ඕන නෑ ආන්ටි. මට පුළුවං හැම දේම මැනේජ් කරගන්න”
ඒ වෙලාවේ යුගාත්මට කළ හැකි වූ උපරිම මැදිහත්වීම එයයි.
“දක්ෂිණත් ඉන්න නිසා අපිට එකතුවෙලා අවශ්‍ය දේවල් කරන්න පුළුවන්නෙ. මං හිතන්නෙ මේ වෙලාවෙ අන්තරා පුතා ළඟට යනවනං දක්ෂිණටත් ඒක ලොකු හයියක් වෙයි. ඇත්තම කියනවනං ළමයින්ගෙ දේවලදි අම්මලගෙ හයිය නැත්තං තාත්තල හරි දුර්වලයි අංකල්”
ඉක්මන් තීරණයක අවශ්‍යතාවය වූයෙන්, අන්තරා ගේ තනියට යුගාත්ම යන එක ගැන ජිතේන්ද්‍ර එකඟතාවය පල කළේ ය. අන්තරා ගේ නවාතැන් හා අන් සියලු සුරක්ෂිතතා ගැන යුගාත්ම වගකීමෙන් බැඳෙන්නට පොරොන්දු වූයේ ය.
ඒ අනුව පසු දාට යෙදී තිබූ ගුවන් ගමනක් ඔස්සේ දක්ෂිණ අන්තරා හා යුගාත්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගුවන්ගත වෙන්නට සියල්ල සූදානම් විය.
එහෙම ගමනක් යන්නට සිදු වෙතැයි ඔවුන් කිසිවෙකු සිතා තිබුණේ නැත. ජීවිතය කියන්නේ එයයි. ඒ මත්තෙහි ඕනෑ තරම් නො සිතූ දේවල් සිදු විය හැකි ය. ඕනෑ ම මොහොතක එසේ විය හැකිය.
අන්තරා සේ ම දක්ෂිණ ද සිටියේ බර වූ ආත්මයන්ගෙන් යුතුවයි. අන්තරා ට මෙය පහසු පරීක්ෂණයක් නොවෙන බව දක්ෂිණ ඉතා මැනවින් දනී. පොඩි කාලේ පුතා බයිසිකල් පදින්නට ගොස් වැටී සීරීමක් සිදු වුණත් ඇයට ඒ මහමෙරකි. නූපුරව බයිසිකල් පැදවීම ගැන ඇය දක්ෂිණ සමගින් බහින්බස් වූ අවස්ථා ද තිබේ.
“වැටුණට කමක් නෑ. කොල්ලො වැටිල නැගිටල ඕන දේකට පදම් වෙලා තමයි ලොකු වෙන්න ඕනෙ”
එහෙම වෙලාවක ඔහු ඇයට කෑගැසුවා මේ දැනුත් දක්ෂිණ ට සිහි කරගත හැක. ඇය තරම් හොඳ අම්මා කෙනෙකු ඔහු මෙලොව තවත් දැක නැත. ඕනෑ තරම් අම්මලා ඔහු දැක තිබේ. ඔහු ගේ අම්මා ද සම්පතී ද නැටුම් පන්තියට වසර ගණනාවක් තිස්සේ සිය දූපුතුන් රැගෙන එන දහස් ගණනක් අම්මලා ද දැක තිබේ. නමුත් ඒ කිසිවෙකු අන්තරා වාගේ නොවේ. නොහොත් අන්තරා ඒ කිසි ම මවක වාගේ නොවේ. ඒ අතින් බලත්දී ලෝකයේ සිටිනා වාසනාවන්ත ම පුතු වන්නේ නූපුරයි. මේ ගමන ඔහු නො ගියත් අන්තරා තනිව හෝ යන බව ඉර හඳ සේ දක්ෂිණ ට විශ්වාස ය.
“ඉතිං ඔය ගමන ඔයා යන්නම ඕනෙද… ළමයගෙ වැඩ වලට අන්තරාට සල්ලි ටිකක් දුන්නනං හරිනෙ”
කියමින් අන්තිම මොහොතේත් සම්පතී දක්ෂිණ ව නතර කරගන්නට බැලුවා ය.
“තමුසෙ අම්ම කෙනෙක්ද ඕයි”
කියමින් ඔහු ඇගේ ඇඟට කඩන් පැන්නේ ය.
“ඒ මගෙ පුතා. තමුං හිතන්නෙ අපේ බැඳීම් සල්ලි ටිකකින් තක්සේරු කරන්න පුළුවන් කියලද… අපේ පවුල කැඩුණ තමයි. හැබැයි අපේ දරුවගෙ දේකදි අන්තරා ළඟින් හෙවනැල්ලක් වගේ මං ඉන්නව. ඒක නතර කරන්න තමුන්ට බෑ”
ගුවන් තොටුපොළේ, ගුවන් යානයට ගොඩවීමට ආශ්‍රිත ප්‍රදේශයෙහි අසුන් ගත වී සිටියදී දක්ෂිණ ට සිහි නොවුණු දෙයක් නැති තරමි. බිම බලාගෙන කල්පනා කරමින් සිටි ඔහු ගේ දෑසින් කඳුළක් කඩාවැටෙන හැටි යුගාත්ම දුටුවේ ය. අසුනෙන් නැගිටගත් හෙතෙම දක්ෂිණ වෙතට ගොස් ඔහු ගේ උරහිසට තට්ටු කළේ ය. දක්ෂිණ යුගාත්ම දෙස බැලුවේ ඔහු තනි වී නැති බවට හැඟීමකිනි. අන්තරා දෑස් තද කොට පියා කඳුළු දෙපෙළකට ගලා යන්නට අවසර දුන්නා ය.