පිණි මුතු පලසක් – 23

0
991

සමුධ්‍යාව නිවසට ඇරලවා ගෙදර එද්දිත් අරුණ උන්නේ හිත අස්සේ මහා සිතුවිලි වැස්සක හිරවීගෙනය. එක පැත්තකින් සමුධ්‍යාත් අනෙක් පැත්තෙන් සහෝදරයත් ය. තමන් මෙයාකාරයට සමුධ්‍යාට සමීප වීම පවා මල්ලීට කරන ලද වරදක් බව සිහිවෙන වාරයක් පාසා අරුණ අත මිට මොළවා වාහනයේ ස්ටියරින් වීල් එකට පහර දුන්නේය. 

“මං කොච්චර මල්ලිගෙ පැත්ත ගන්න හැදුවත් සමුධ්‍යා කලේ හරි දෙයක්. සමහරවිට මං ගමේ ඉඳියා නම් මල්ලි ඔහොම දෙයක් කරද්දි කට වහගෙන ඉන්න තිබුනා. මොක උනත් මල්ලි කොච්චර ලොකු වරදක්ද කරේ? එහෙම කෙනෙක්ව බේරන්න අරින එකෙන් වෙන්නෙ තව කී දෙනෙක්ගෙ ජීවිත අමාරුවෙ වැටෙන එක නේද?” කියා හිත අස්සේ හිඳින යහපත්, නීතියට ගරුකරන ප්‍රභාත් අරුණලු කියද්දී, හිතේ එක පැත්ත හිඳින සහෝදරකම ගැන හිතන ප්‍රභාත් අරුණලු ගත්තේ මල්ලීගේ පැත්තය. හිත සමබර නොවීම හන්දාම ගෙදර ආ පසුවවත් හිත එකලස් කරගෙන වැඩක් කරන්න අරුණට පුලුවන් උනේ නැත. අම්මාගේ දුරකතන ඇමතුම ආවේ ඒ වෙලාවේය.

“ඔයා වැඩද පුතේ?” කියා දුරකතනය ඔස්සේ වැටුණ අම්මාගේ කටහඬ බිඳී ඉරිතලමින් තිබුණ හදවත මත්තට වැටුණ මල් වරුසාවක් වගේ දැනුනද සමුධ්‍යා කිව්ව කතන්දර එයට ඉහළින් විත් හිත හීනියට රිද්දවන්නට හේතුවුණේය.

“නෑ අම්මෙ, අද මෙහෙට හොඳටම වැස්ස. මම ඉක්මනට වැඩ ටික ඉවර කරලා ගෙදර ආවා” 

“අම්මෝ ඔව් මං දැක්කා මේ නිව්ස් වලට එහෙමත් දාලා තියෙනව කොළඹට හොඳටම වැස්ස කියල. මෙහෙට නම් පොඩි පොදයක් යනව විතරයි. අනෙ පුතේ වැස්සෙ එහෙම ඔය වාහනේ එලවන් වැඩිය පාරෙ යන්න එපා. ගස් වැල් උනත් කියන්න බෑනෙ” කියා අම්මා ආදරයෙන් කියද්දි මේ කෝල් එක සමුධ්‍යාට ඇහෙන්න සලස්සා “අපේ අම්මා හරි හොඳයි සමුධ්‍යා” කියා කියන්න තිබුණා නම් හොඳ බව අරුණට නොසිතුනා නොවේ. ඒත් ඒ වනාහී කරන්නට ඇහැක් දෙයක් නොවේ. 

“ඔයා කෑවද පුතේ?”

“මං උදේ බත් තියලා ගියේ අම්මේ. දැන් මොනා හරි හදාගන්න ඕන”

“ගෙවල් වලදි තමා ඔයාලට තේකක් වත් හදාගන්න බැරුව මට වද දිදී ඉන්නෙ නේද?” කියා අම්මා කිව්වට ඇය මේ කිසිවක් කියන්නේ කරකියාගන්න දෙයක් නැතුව බව අරුණ නොදන්නවා නොවේ. මල්ලී පොලිසියට රැගෙන යාම වනාහී අම්මා කෙනෙකුට දරා ගන්න පුලුවන් දුකක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

“අම්මා ඉව්වද?” කියා ඇහුවට අම්මා දවස් ගාණක් තිස්සේ හරියාකාරව දෙයක් කන්නට බොන්නට නැති බව අරුණ නොදන්නවා නොවේ. 

“මොකටද පුතේ උයන්නේ මං? කාට කන්නද?” කියා අහද්දි මෙච්චරවෙලා හිත අස්සේ හිරකරගෙන උන් අනෝමාගේ වේදනාව කඳුලු ලෙස දෙනෙතිනුත්, ඉකියක් ලෙස උගුරෙනුත් පිටවුණාය.

“ම්ම්ම්” කියා කියනවා ඇරෙන්න අරුණට කියන්න දෙයක් එවෙලේ ඇත්තටම තිබුනේ නැත.

“මේ ආච්චි අම්මා එක්ක අපේ ගෙදර ආව කෙල්ලට මේ ළමයා මෙහෙම වරදක් කරාවි කියල කවුද පුතේ හිතන්නේ? අනික කොච්චර පොඩි දරුවෙක්ද? දෙයියනේ තමන්ගෙ සහෝදරියෙක් වගේ නේද කියලවත් හිතන්න තිවුණා නේ” කියා අම්මා හඬද්දී අරුණට තව දුරටත් නිහඬව ඉන්නට හැකියාවක් තිබුනේ නැත. 

“තාත්තා මොකද කියන්නෙ අම්මේ?” කියා අහද්දිත් අනෝමාට මතක් වුනේ විදුර මේ විත්තිය දැනගත්තයින් පස්සෙ ඇවිත් තමන්ට ගෝරනාඩු කර අන්දමය.

“අම්මා කෙනෙක් උනාම දැනගන්න ඕන ළමයි මොනවද කරන්නෙ නැත්තෙ කියල බලාගන්න? මොකෝ තමුසෙට මේ ගෙදර වෙන වැඩක් කියල තියෙනවද කරන්න? අතට පයට හැම රෙද්දටම වැඩ කරන උන්ව දාලා තියෙද්දිත් තමුසෙ මොනවද කරේ?

බලනවා ඕයි මං කොහොමද පාරක බැහැලා යන්නෙ? සෑර්ගෙ ළමයා පොලිසියෙන් ගෙනිච්චා නේද කියල අහන්න බලාගෙන තමයි හැම බල්ලයි කොල්ලමයි එන්නෙ. ජන්දෙ අත ලඟ තියාගෙන තමුසෙලා මොනවද ඕයි මේ කරන රෙද්දක් ඇඳගෙන යන්න බැරි වැඩ. වහාම වහාම අදම ඔය ගුණවතී කියන ගෑනිව මේ ගෙදරින් පන්නන්න ඕන. අපෙන් කාලා අපිටම කෙලවන්න බලාගෙන ඉන්න බැල්ලියො” කියා විදුර වීරබද්ධන මොර දෙද්දිත් අනෝමාට කල හැකි වුන එකම දෙය නම් අඬන එක පමණකි.

“ඔයා මට බනින්නෙ හරියට මම ගිහින් මේ ළමයින්ව වැරදි පාරේ යැව්ව වගේනෙ විදුර. මං මොනව කරන්නද? දෙයියනේ මොන අම්මද හිතන්නෙ තමන්ගෙ දරුවො මේ වගේ නොහොබිනා වැඩ කරනවා ඇති කියලා” අනෝමා කියද්දි විදුර උන්නේ ඒ කතාවේ කිසිම දෙයක් අහන තැනක නොවේ. විදුරට තිබුණ ලොකුම ගැටලුව ලක්ෂිත විසින් තමන්ගේ රෙද්දේ මෙච්චර ජරාවක් ගෑවෙන අන්දමේ නොහොබිනා ක්‍රියාවක් කිරීම ගැන ය. 

“ඉතින් නෑ කියලද කියන්නේ? තමුසෙ ගෙදර ඉඳගෙන මේ ගෙදරම වෙච්ච දේවල් දන්නෙ නෑ කියන්නෙ ඇස් දෙක කටේ දාගෙනද ඉඳියෙ? තමුසෙට තේරෙනවද ඕයි මම තමයි තමුසෙල කරන්න ගොං වැඩ හන්දා මිනිස්සු කියන ඔක්කොම කතා අහගන්න වෙන්නෙයි උන් හිනාවෙන ඒව බලාගෙන ඉන්නෙයි මම නෙ. තමුසෙලට තේරෙනවද ඕයි මට වෙලා තියෙන ලැජ්ජාව?” කියා විදුර කියද්දිත් අනෝමා කරේ ඒ කිසිම දේකට උත්තර දෙන එක තේරුමක් නැති බව සිතා නිහඬව ඉන්න එකය.

“තාත්තා ඉතින් කියන ඒව ඉතින් ඔයා දන්නවා ඇතිනෙ පුතේ. මට මේ හැමදේම එපාවෙලා තියෙන්නෙ. මං කියන දෙයක් අහන ළමයෙක් උනා නම් මල්ලිට අද ඔහොම වෙනවද? තාත්තත් මල්ලිගෙ වැරදි දාහක් හංගගන්න උදව් කරලා අන්තිමේ මල්ලි හොඳටම වරද්ද ගත්තට පස්සෙ මගේ ඇඟට කඩන් පැන්නට මොනා කරන්නද? මට තේරෙන්නෙ නෑ පුතේ ඇත්තටම මොකද කරන්න ඕන කියලා?

දැන් ඔය කියන සත්සරා ඇත්තටම ගිහින් ඔහොම දෙයක් කියලා තියෙන්නෙ මල්ලි ඔහොම දෙයක් කර හන්දද කියල මම ඇහුවට කවුරුවත් මට හරියට දෙයක්වත් කියන්නෙ නෑ පුතේ. මම දන්නෙ නෑ පුතේ මං මොකද්ද කරන්න ඕන කියලා. මම ගෙයින් එලියට බැස්සෙ නෑ මේ දවස් ටිකේ මට මිනිස්සුන්ට මූණ දීගන්න බැරි හන්දා.

මට අනිත් තියෙන ලොකුම දුක පුතේ අපි මෙච්චර කල් ගුණවතීලට කොයිතරම් නම් උදව් පදව් කරාද? සල්ලි දෙනවට අමතරව මම ඔය මිනිස්සුන්ට ඕන තරම් කෑම බීම දීලා තියෙනවා. ඔය ගෑණූ ළමයට ඉස්කෝලේ යන්න ඇඳුම් පැලඳුම් කොච්චර නම් දේවල් මම දීලා තියෙනවද? එහෙම එකේ ගුණවතීට නිකමට මට ඔය කතාවක් කියන්න තිවුනා නේද? එහෙම උනා නම් මේ ප්‍රශ්න මෙච්චර දුර දිග යන්නෙ නැතුව අපිට විසඳගන්න තිබුනනෙ වෙන විදියකට”

“වෙන විදියකට විසඳගන්නෙ අම්මා හිතනවද ඒ මිනිස්සු ඔය ගත්තට වඩා වෙන උත්තරයක් ඔය ප්‍රශ්නෙට තියෙනවා කියලා?” අරුණ අහද්දි අනෝමාට තිබුන එකම ප්‍රශ්නෙ අරුණ එවන් දෙයක් ඇහුවේ ඇයිද කියන එකය.

“ඒ මිනිස්සු කරේ තමන්ට කරන්න පුලුවන් එකම දේ අම්මේ. ලැජ්ජාවයි ඔක්කොම දේවල් පැත්තක තියලා ඒ මිනිස්සු එහෙම දෙයක් කරේ මල්ලි ඇත්තටම එහෙම දෙයක් කරපු හන්දා. ඒ හින්දා තමයි අම්මේ ඒ ගෑණු ළමයා ඒ වගේ දෙයක් පොලිසියට කියලා තියෙන්නෙ. අම්මා හිතන්නකො අපිට කවුරුහරි නංගි කෙනෙක් අක්කා කෙනෙක් ඉඳලා කවුරුහරි වෙන කොල්ලෙක් අපෙ අක්කට හරි නංගිට හරි කරදරයක් කරා නම් අපි කරන්නෙත් ගුණවතී අම්මලා කරපු දේම නෙවෙයිද?

අම්මා හිත රිද්දගෙන ඉන්නේ අපේ පවුලෙ කෙනෙක් වැරදිකාරයා වෙච්ච හන්දා අම්මේ” කියා අරුණ කියද්දිත් අනෝමාට කියන්න තිබුනේ එකම එක කතාවකි.

“තාත්තා මොනව කරාවිද කියල මට හිතාගන්න බෑ පුතේ”

“ඇයි ඒ?”

“හොඳටම තරහෙන් ඉන්නෙ ගුණවතීලා එක්ක. දන්නවනෙ ඔයා තාත්තගෙ හැටි” කියා අනෝමා කතාව ඉවර කරන්නට කලියෙන් දුරකතනයෙන් එහා පැත්තේ උන් අරුණටත් අම්මාගේ නම කියමින් කවුරුන්දෝ කෑගසමින් එන හඬ ඇසුණේය.

“බුදු නෝනේ, දෙයියනේ අනෝමා නෝනේ” කියාගෙන එන්නෙ කවුරුන්ද කියා බලන්න අනෝමා මෙතෙක් වෙල හිඳගෙන ඉන් තැනින් නැගිට්ටේ කලබල වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here