දෙවනි වරම

අනුත්තරාට තමන්ව පාලනය කරගන්න අපහසු තරමේ යම් යම් මානසික විපරීතකම් ඇති වෙනවා කියලා සති කිහිපයක පටන්ම දැනුනා. ඒත් අනුත්තරා ඒ ගැන නොහිතා ඉන්නයි උත්සාහ කලේ. ගෙදර වැඩයි, රාජකාරියේ වැඩයි, කුඩා ව්‍යපාඅරයේ වැඩයි එක්ක කාර්‍යබහුල වෙන්න උත්සාහ කරමින් මේ මානසික අපහසුතාවය යටපත් කරගන්න උත්සාහ කලත් විටින් විට අනුත්තරාට තමන්ව පාලනය කරගන්න බැරි තරමේ හිස් කම් දැනෙන එක ඉවරයක් වුනේ නැහැ.

සමහර වෙලාවට හිත ඇතුලෙන් හැදෙන දුකක් මුලු ගත පුරාම පැතිරිලා යන බව අනුත්තරාට දැනෙනවා. එහෙම වුනාම ඇයට කිසිම දෙයක් කරගන්න බැරුව යනවා. බස් එකෙන් බැහැගන්න පවා බැරුව ගල් ගැහිලා වගේ උන්න දවස් පවා තිබුණා.

අනුත්තරා මේ ගැන කාර්‍යාලයේ උන්න සමීප මිතුරියක් එක්ක කතා කරා.

” උඹට මොකක් හරි හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවාද ?…”

” එහෙම නෑ ඉතින්….”

” මයුර එක්ක උඹේ සම්බන්ධේ කොහොමද ?..”

” අපි තාම මැරි කරලා මාස තුනයි නේ… “

” ඒක තමයි ඉතින් මේ අහන්නේ …”

” අනේ මන්දා .. එයා මට හම්බුනේ ප්‍රපෝසල් එකකින් නේ ..  එයා දැක්ක ගමන්ම මට එයාට කැමති හිතුනා.. ඒත් ඒ පැත්තෙන් කැමැත්ත කිව්වේ සති දෙක තුනකින්… ඒ කියලත් එයා මාව මුණැගැහෙන්න එහෙම ආවේ හරි හදිසියෙන්.. වැඩ ගොඩක් සැලසුම් කරගෙන … කතා බහ කලෙත් නෑ ලොකුවට..  ඒත් මං එයාට ආදරේ කලා.. මට එයා වෙනුවෙන් බලාගෙන ඉන්න පුලුවන්කමක් තිබුණා.. දෙපැත්තේ අම්මලා අපිට බඳින්න කියල හදිසි කලා… පස්සේ එයාම කතා කරලා දින දාගෙන අපි බැන්දා … ඒත් ඒ බඳිනකොටත් එයා මට ආදරෙයි කියලාවත් තිබුනේ නෑ.. හනිමූන් එක දවසේ එයා සෑහෙන්නම ආදරණීයව හිටියා … ඒත් පහුවෙනිදා ඉඳන් කලින් උන්න ආගන්තුක කම එක්කමයි …. ඇත්තටම මට බයයි, එයාට මාව දාලා යන්න ඕනි වෙයි කියලා… සමහර වෙලාවට මට හිතෙනවා එයාගේ අම්මලාගේ වදේට මාව බැන්දාට එයාට වෙන සම්බන්ධයක් ඇති කියලා.. එයා ඇත්තටම සතුටින් ඉන්නේ ඒ ගෑණු ළමයා එක්ක වෙන්නැති කියලා… ඇත්තටම වරුණි මම මේ ගැන කා එක්කවත්ම කතා කරලා නෑ.. මම ඩයරි එකේ ලියනවා… ඒ ලියලා ඉවර වුනාම මට සැහැල්ලුවක් දැනෙනවා….”

” හ්ම්ම් …. හිත ඇතුලේ ඔය බය කැකෑරිලා කැකෑරිලා උඹේ මනස වෙහෙසිලා ඇත්තේ අනුත්තරා … නිතරම දැනෙන්නේ එකම බයනේ,… අහිමි වීම ගැන සැකෙන් නේ හැම වෙලේම ඉන්නෙ..”

මිතුරිය එහෙම කියනකොට අනුත්තරාට පිලිගන්න සිද්ද වුනා තමන් ඉන්නේ යම් මානසික පටලැවීමක බව. ඒ වෙනුවෙන්න් ත්මන් යම් බාහිර උපකාරයක් ලබා ගත යුතු බව ඇය පිලිගත්තා.

” ඔක්කොටම කලින් මයුර එක්ක මේ ගැන කතා කරලා බලන්න .. සමහරවිට එතනින් පස්සේ සෑහෙන්නම දේවල් වෙනස් කරගන්න උඹට පුලුවන් වෙයි.. සම්බන්ධතාවයක් දිග්ගැස්සෙන්න වැඩියෙන්ම වටින්නේ සන්නිවේදනය.. පලදායී සන්නිවේදනය…”

මිතුරිය හඬ බර කරලා කිව්වා. ගෙදර ගියාට පස්සේත් අ අනුත්තරාට කල්පනා කලේ ඇත්තටම තමන් දෙන්නා අලුත බැඳපු ජෝඩුවකගේ උණුහුමෙන් ජීවත් වෙලාම නැහැ නේද කියන එක. ඇත්තටම මයුරට තමන් එක්ක ජිවත් වෙන්න උවමනාවක්  නැතිදෝ කියන සැකයෙන් මිදෙන්න එවෙලෙත් ඇයට හැකි වුනේ නැහැ. දවසට වචන සීයක්වත් හුවමාරු නොවෙන තරමට දුරස් මිනිසෙක් එක්ක එකම වහලක් යට ජීවත් වෙන්න සිදුවීමේ පීඩනය තමා මානසික අසමතුලිත භාවයකට ඇදලා දාලා තියෙන බව ඇය අවසානයට තේරුම් ගත්තා.

අනුත්තරා එදා මයුර එනකල් බලාගෙන හිටියේ කොහොමම හරි කතා බහකට ප්‍රවේශයක් ගන්න බලාපොරොත්තුවෙන්.

” ඔයා කාලාද ?..”

බත් පිඟාන අතට ගන්න ගමන් මයුර පුරුදු විදියට ඇහුවා.

” කන්නම් ..”

අනුත්තරා පුරුදු උත්තරය දුන්නා. මයුර රූපවාහිනිය දිහා බලාගෙන බත් කන්න ගත්තා. අනුත්තරත් බත් පිඟාන අරගෙන ඇවිල්ලා වාඩි වුනා. හොරෙන් මයුර දිහාව බැලුවා. හිතට හයිය අරගෙන කතා කරන්න බත් පිඟානේ අඩක්ම ඉවර කරන්න වුනා.

” මට ටිකක් කතා කරන්න ඕනි…”

මයුර තිගැස්සිලා වගේ තමන් දිහාව බලනවා කියලා වැටහෙද්දී අනුත්තරත් තිගැස්සුණා.

” කියන්න …”

” කාලා ඉවර වෙලා…”

අනුත්තරා එහෙම කිව්වාම මයුර ඔලුව වැනුවා. දෙන්නාගෙන කෑම එතනින් නිම වුනා. මයුර එලියේ පුටුවක වාඩි වුනා. අනුත්තරා ඇය පේන මානෙන් වාඩි වුනා.

” කියන්න .. මොකක්ද ප්‍රශ්නේ ?… ගෙදර මතක් වෙනවාද ?….”

කිලෝමීටර් බර ගානක් ඈත අලුත් ගෙදරකට ඇවිල්ලා ඉන්න අනුත්තරාගෙන් මයුර එහෙම ඇහුවා. අනුත්තරා හිස සැලුවා.

මයුර අනුත්තරාට කතා කරන්න දීලා බලාගෙන හිටියා.

” ඔයා මාව මැරි කලේ අම්මලාගේ කැමැත්තටද ?..”

” නෑ .. “

මයුර නොපැකිලී එහෙම කියනකොට අනුත්තරාගේ මියයන්න සූදානමින් තිබුණ නහර වැල් කිහිපයක් පණ ගහපු බව ඇයට දැනුනා.

” ඇයි එහෙම ඇහුවේ?..”

මයුර පෙරලා ඇගෙන් ප්‍රශ්න කරාම ඇය පිළිතුරක් ගලපගන්න වෙලා ගත්තා.

” නෑ.. නිකන් … ඔයා මට කැමති බව කියලා එවන්නත් සෑහෙන්න කල් ගත්තාන්ඒ.. ඒ කියලා එවලත් මාසයක් විතර ගිහින් ඔයා මාව බලන්න ආවේ… ඒ ආවට පස්සෙත් හිටියේ යන කලබලෙන් … මා එක්ක කතා බහ කරන උනන්දුවක් එහෙම ලොකුවට තිබුනෙත් නැහැ කියලා මට හිතුණේ … අපි බැන්දට පස්සේ වුනත් අපි හරි දුරයි නේ … නිකන් අපි දෙන්නගේ මැද්දේ කවුරු හරි ඉන්නවා වගේ…”

එහෙම කිව්වාම මයුරගේ ඇස් ලොවි ගෙඩි දෙකක් වෙලා මූණ විරූපී වෙනවා අනුත්තරා දැක්කා. ඇය අඩියට මයුර ලඟට ගිහින් වාඩි වෙලා ඔහුගේ අතින් අල්ලගත්තා. ඇයට හිතාගන්න බැරි වුනා ඔහුගේ මේ ස්වරූපය කෝපය නිසාද නැත්නම් වෙනත් හැඟීමක් නිසාද කියලා.

” ඇයි මේ .. අනේ මම ඔයාව අපහසුතාවයකට පත් කරන්න කිව්වා නෙවෙයි …”

අනුත්තරා තමන්ව නිවැරදි කරන්න උත්සාහ කලා. මයුර ජීවිතේ පලවෙනි වතාවට අනුත්තරාව හිතින් වගේම ගතිනුත් ඉතා තදින් බඳාගත්ත.

” මට සමාවෙන්න …”

ඇගේ හිස් මුදුනට තෙරපුණු දෙතොල් වලින් එහෙම කියවුනා.

” මම කසාද බඳින එක අතෑරලා උන්නේ… ඒකට හේතුව අවුරුදු හයක සම්බන්ධයක් ඇතුලේ අවුරුදු පහක්ම මම රැවටිලා අවසන් වීම .. මගේ ජීවිතේට වඩා මම ඒ ජීවිතේ ගැන හොයලා බැලුවේ.. දේවල් කලේ…. අන්තිමේදි එයාට මාව ඒ ටී එම් එකක් වෙලා විතරයි …. ඇලුණු සම්බන්ධතාවයක් කියන්නේ වේදනාවක්… ඕනෑවට වඩා තදින් අල්ලන් ඉන්නකොට මිනිස්සු හිර ගතියෙන් මිදෙන්න වෙන වෙන පාරවල් හොයාගන්නවා කියලා මට හිතුණේ …. මම .. මම ඒ නිසයි ඔයාට නිදහසේ ඉන්න දුන්නේ…”

ඒ පොඩි දෙබස අනුත්තරාට සෑහෙන්නම දේවල් වටහල දුන්නා.

” මම ආසයි මාව අල්ලන් ඉන්නවාට…. අපිට හිත් වල ඉදිරිය කියන්න බැහැ තමයි .. ඒත් මට පොරොන්දු වෙන්න පුලුවන්… මට යන්න අවශ්‍ය වුන පලවෙනි වෙලාවෙම ඒක ඔයාට කියනවා කියලා.. රවටන්නේ නැහැ…”

අනුත්තරාට දරාගන්න බැරි තරමේ සැනසීමක් දැනෙමින් තිබුණා. කතා බහ කිරීම් ඇතුලේ ජීවිතේ කොයි තරම් සුවපත් වෙනවාද කියලා ඇය වටහා ගත්තා. දෙන්නාගේම ජීවිත වල තිබුන වැහුණු පැති වලට ආදරේ කරන්න සූදානමින් දෙන්න එදා නින්දට ගියා. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles