පිණි මුතු පලසක් – 24

0
1346

ගුණවතීගේත් සත්සරාගේත් පුංචි පොල් අතු පැලට ගිනි තිබ්බේ විදුර වීරබද්ධන බව තේරුම්ගන්න එක ගමේ කිසිම කෙනෙක්ට අපහසු උනේ නැත. මිනිස්සු පුදුම උනේ ලක්ෂිතව සිර භාරයට ගත්තයින් පසුව මෙහෙම දෙයක් කරන්නට විදුර වීරබද්ධන මෙච්චර ප්‍රමාද වීම ගැනය. කොහේවත් නොතිබ්බ ගින්නක් එකපාර පත්තු වී මුලු පැලම මහා ගින්නකින් වෙලා ගනිද්දි විදුර වීරබද්ධනට විරුද්ධව දෙයක් කියන්නට බය මිනිස්සු කිව්වේ “මේ පෑවිල්ල එක්ක නිකන් උනත් මේ වේලිච්ච පොල් අතු ගිනි ගන්නවා” කියාය. එහෙත් ඒ සියලු කතා පිටිපස්සේ ඒ පොල් අතු ගිනි ගන්නට පලවෙනි ගිනි කූර පත්තු කරේ විදුර වීරබද්ධන බව තේරුම් නොගත් අයෙකුට එහි උන්නේ කිසිවක් නොතේරෙන අත දරුවන් පමණකි.

තමන් සතුව තිබුණ පොත් පත් ද, ඇඳුම් පැලඳුම් ද පිච්චෙන අයුරු බල බල උන්නු සත්සරාගේ දෙනෙත් තිබුනේ කඳුලු පොකුණක් බවට පත්වෙමිනි. එහෙත් ගුණවතී උන්නේ ඒ කිසිවකින් නොසැලී එක එල්ලේ තමන් අවුරුදු ගණනාවක මහන්සියෙන් ගොඩ නගන්නට යෙදුන පැල ගින්නක වෙලී ඉන්නවා බලන ගමන් ය. 

“මිනිස්සු දැනගන්න ඕන තමන් හැප්පෙන්න හිතන්නෙ කාත් එක්කද?” කියා කියූ ග්‍රාම සේවක මහත්තයා උන්නේ ගමේ තවත් අයෙකු සමග මේ සියල්ලටම හේතුව ගුණවතීත් ඇගෙ කෙල්ලත් පොලිසියට ගොස් කරන්නට යෙදුන මහ ලොකු හරිකාරකම බව කියන්නට වචන වැය කරමිනි. සියල්ලන්ගෙන්ම මේ සියල්ලම සඟවා කටයුතු කරන්න දිලානිත්, සමුධ්‍යත්, දෙව්නිත් වැඩ කරාට විදුරට හිතවත් කම් පෙන්නාගෙන උන් පොලිස් නිළධාරින් විසින් සිදු වුන සියලුම දේවල් ග්‍රාම සේවක මහතාගේ කනේ තියන්න කටයුතු කර තිබීමම මේ කතන්දර එළියට එන්නට හේතු වී තිබුණි.

“ගුණවතීලට තිබ්බෙ ඔය කෙල්ලගෙ ප්‍රශ්නෙ කා එක්කවත් දොඩවන්න යන්නෙ නැතුව සද්දයක් බද්දයක් නැතුව ඉන්න. අන්තිමේ කෙල්ලට ලැජ්ජාව විතරක් නෙවෙයි උන් හිටි තැනුත් නැතිවෙච්ච එකනෙ උනේ” කියා ගම්මුන් තැන තැන කියද්දි ගුණවතිගේ දෙනෙත් ගොස් නතර වුනේ ඒ සියලු ගම්වාසීන් පසුපසින් දිවගෙන මෙන් අවුත් නතර වී උන් දෙනෙතක් මත ය.

“බුදු නෝනේ, දෙයියනේ අනෝමා නෝනේ” කියාගෙන එන්නෙ කවුරුන්ද කියා බලන්න අනෝමා මෙතෙක් වෙල හිඳගෙන ඉන් තැනින් නැගිට්ටේ කලබල වීය. ඒ කලබල වීමත් එක්කම දුරකතනය එහා පැත්තේ අරුණ රැඳී ඉන්න බවත් අනෝමාට අමතක විය. අනෝමා දුවගෙන ගියේ එළියේ කාට හෝ කරදරයක් කියා සිතමිනි. 

බෙරිහන් දීගෙන දුවගෙන ඇවිත් තිබුනේ ගුණවතීලාගේ ගෙවල් කිට්ටුව සිට මන්ත්‍රී ගෙදර ගෙවතු වැඩවලට එන තිස්සය. තිස්ස දුවගෙන ඇවිත් තිබුනේ බොහෝ දුරක සිට විත්තිය අනෝමාට තේරුණේ තිස්සගේ හති දැමිල්ලත්, ඇඟ පුරා විසිරී තිබුණ දහඩිය බිංදුත් හන්දාය. 

“ඇයි ඇයි තිස්ස?” කියාගෙන අනෝමා දුවගෙන එද්දිත් තිස්ස උන්නේ වචන එක්‍ රැස් කරගන්න උත්සහ දරන ගමන් ය. 

“නෝනා….ගුණ….ගුණවතී…..ගේ….ගේ”

“මොකද්ද මනුස්සයො කියන දෙයක් හරියට කියන්නකො” කියා අනෝමා කිව්වේ ඇත්තටම වෙලා තියෙන්නෙ කුමක්ද කියා හිතාගන්න බැරි වෙච්ච තැනය.

“ගුණවතීලාගෙ ගෙදරට ගිනි තියලා” කියා තිස්ස කියද්දී ඒ ගින්න පස්සේ ඉන්නේ කවුද කියා හිතාගන්න එක අපහසු නොවුනත් අනෝමාගේ කටෙන් “කවුද?” කියා පිටවුණේ ඉබේටය. එහෙත් එයට පිළිතුරු දෙන්නට ඉස්සර උනේ තිස්සගේ වචන නොවේ ඇස්ය. අනෝමා තිස්ස පිටිපස්සෙ දුවගෙන යද්දිත් අතේ රැඳුණ දුරකතනය එහා පැත්තේ අරුණ නිහඬවම උන්නේ මේ වෙන සියල්ල පිටිපස්සේ තාත්තාගේ සෙවණැල්ල රැඳි තිබෙන බව තේරුම්ගනිමිනි.

සම්ප්‍රදායික ගැමි ගැහැනියක වූ ගුණවතී හඬා වැළපෙතැයි සියල්ලෝම බලාපොරොත්තු වූ නමුදු ඇගෙ දෙනෙත් අස්සේ රැඳී තිබුණ හැඟීම දුටු කිසිවෙකුට ගුණවතීගේ සිත අස්සේ පොරකන සිතුවිලි කුමනාකාරයේ ඒවා වේදැයි හිතාගන්නට පුලුවන් උනේ නැත.අනෝමා එතන රැඳී උන්නේ ඇත්තටම කර කියා ගන්නට බැරි ලැජ්ජාවකිනි. මොන දේ උනත්, මේ සියල් ව්‍යසන පිටුපස ඉන්නේ තමන්ගේ පුතත් සැමියාත් බව සියල්ලන්ම දන්නවා ය යන කතාව අනෝමාව වචනයෙන් විස්තර කරන්නට නොහැකි ලැජ්ජාවක පොඟවා දමා තිබුණාය. අනෝමා එක එල්ලේ ගුණවතී දෙස බලා උන්නාය. ගුණවතී අනෝමා දෙස එක එල්ලේ බලා උන්නාය. අහන්නට විසඳගන්නට ප්‍රශ්න දාහක් තිබුණද දෙදෙනාම උන්නේ ඒ ප්‍රශ්නය අහගන්න විදියක් නොමැතිවය. 

සවස් වරුවේ සද්ධානන්ද ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වී ඉන්න අතරෙම සමුධ්‍යා උන්නේ සත්සරාගේ කෙස් කළඹ පීරන ගමන් ය. හිටි හැටියේ උන් හිටි තැන් අහිමි වුන ගුණවතීටත් සත්සරාටත් ආයෙම වතාවක් ඔවුන්ගේ පොල් අතු පැළ හදාගන්න තුරු ඉස්කෝලේ ගෙදර කාමරේක ඉන්න පුලුවන් බව සද්ධානන්ද ජෝඩුව කියද්දී සමුධ්‍යා ඇත්තටම ඒ පිළිබඳව සන්තෝස වුණාය. හවස් වරුවේ වෙච්ච දේවල් සිතන අතරවාරයේ ඉස්තෝප්පුවේ වාඩි වී හිඳින ගමන් සමුධ්‍යා වචන අස්සේ දිය කර හරින්නට තීරණය කරේ තමන්ගේ හිත දවමින් තිබුණ කාරණාවකි.

“ගුණවතී අම්මටයි සත්සරාටයි උන් හිටි තැන් අහිමි වුනේ මං හන්දා කියන එක මගෙ හිතට ඇත්තටම දරාගන්න අමාරුයි” කියා සමුධ්‍යා වේදනාබර කටහඬකින් කියද්දි මෙතෙක් වෙලා වෙන වෙන තැන්වල රැඳී තිබුණ ඇස් යුගල හතරක් සමුධ්‍යා වෙතට එල්ල වුණි. එහෙත් සමුධ්‍යා උන්නේ තමන්ගේ දෙනෙත් සත්සරාගේ කෙස් කළඹ මතම රඳවා ගෙනය. සමුධ්‍යා ටීචගේ දෙනෙත් අග්ගිස්සේ කඳුලු බෝල දෙකක් දඟ කරමින් උන්නා දුටු සත්සරා හිමින් සැරේ තම අත සමුධ්‍යා ටීචගේ මුහුණ අසලට කිට්ටු කරේ ඒ කඳුලු බිඳු අත්ලට ගෙන පරිස්සම් කරනු පිණිසය. 

සද්ධානන්ද නෝනාත් මහත්තයාත් මූණට මූණ බලාගත්තේ ඇත්තටම මේ කතාවට දෙන්න ඕන පිළිතුර කුමක් ද කියා එකිනෙකාගෙන් අහනු පිණිසය. සද්ධානන්ද මහත්තයාත් එම මහත්මියත් ඇත්තටම තම සිතුවිලි වලින් හිතමින් උන්නේ “සමුධ්‍යා මෙහෙම දෙයක් කරන්නෙ නැතුව හිටියනම් මෙච්චර ප්‍රශ්න වෙන එකක් නෑ නේද?” කියා ය. එහෙත් ඒ සිතුවිලි වචන වලට හරවන්න හයියක් ඔවුන් දෙදෙනාටම තිබ්බේ නැත. 

ඒ අතරවාරයේ ගුණවතී උන්නේ ඇත්තටම කියන්න ඕන දේ කල්පනා කරන ගමන්‍ ය. 

“නෝනා එහෙම හිතන එක වරදක් නෑ. මොක උනත් තමන් ගත්ත තීරණයක් තීන්දුවක් හන්දා තමන් දන්න මනුස්සයෙක්ට උන් හිටි තැන් නැතිවෙනවා කියන එක ඕනම මනුස්සයෙක්ට හිතට මහ බරක්. ඒ උනාට නෝනා මං ඇත්තටම එහෙම හිතන්නෙ නෑ. හරිනම් නෝන ගැන වරදක් හිතන්න ඕන මනුස්ස මං වෙච්ච කොට මං එහෙම හිතන්නෙ නෑ කියන්නෙ නෝනා එක ගැන හිත රිද්දගන්න කිසිසේත්ම උවමනාවක් නෑ. 

අපිට උන් හිටි තැන් නැතිවෙච්ච එක හැබෑව. ඔය පොල් අතු ටිකක් හොයාගෙන ආය පැලක් අටෝගන්න එක මට කරන්න බැරි දෙයක් නෙවෙයි. නාකි ගෑණි උනාට හිතේ හයිය මට තියෙනවා නෝනෙ ජීවිතේ ඉතිරි දවස් ටික මේ කෙල්ලගෙ අතෙන් අල්ලගෙන ඉස්සරහට යන්න. ඒ උනාට මේ වෙච්ච ඒව මෙහෙම වෙච්ච එක හොඳයි. තව ටික කාලයක් විතරක් ජීවත්වෙන මං වගේ එකියකගෙ පැළක් බේරගන්න කියල තව අවුරුදු ගාණක් මේ ගමේ, මේ පොළොවෙ පය ගහලා ජීවත්වෙන්න ඕන අපේ කෙල්ලයි, ඒ වගේ තව කෙල්ලන්ගෙයි ජීවිත විනාස කරන්න බලාගෙන ඉන්න අමනුස්සයින්ට බේරිලා යන්න අරිනවට වඩා මෙහෙම වෙච්ච එක හොඳයි.

සමහර දේවල් පරිස්සම් කරගන්න නෝනෙ අපිට අපි ළඟ තියෙන තව වටින දේවල් දන් දෙන්න වෙනවා ඇති. හැබැයි දරුවො දන් දුන්න වෙස්සන්තර කෙනෙක් වෙනවට වඩා උන් හිටි තැන් නැති වෙන හිඟන්නෙක් වෙන එක මට නම්බුයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here