අනෝමාත් සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේත් ඉස්කෝලේ මහතාත්, ගුණවතීත් සත්සරාත් උන්නේ සද්ධානන්ද ඉස්කෝලේ මහතාගෙ ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගෙනය. සමුධ්‍යාගෙනුත් අරුණගෙනුත් අහන්නට ලැබුණ මෙතෙක් කිසිවෙකු විසින් නොදැන උන්නා වුන් ඒ කතාව සද්ධානන්ද ජෝඩුව වගේම අනෝමාව සහ ගුණවතීවත් තිගස්සන්නට හේතු වුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. සියල්ලන්ම ගිල දමන්නට හේතු වුන නිහැඬියාව උපන්නේ ඒ තිගැස්මත් එයට පිළිතුරු ලෙස කුමක් කිව යුතුද කියන පැනයත් සමගින්මය.
“තමන්ගෙ සහෝදරයව හිර කූඩුවට දාන්න අයියා කෙනෙක් උදව් කරා කියල දැනගත්තම මිනිස්සු මොනවා කියාවිද?” කියා අනෝමා බිඳ දැම්මේ ඒ නිහඬතාවයයි. අනෝමාගේ හඬේ කිසිත් තරහක්, වෛරයක් ගැල්වී නොතිබුන බව ඒ කතාව අහන් උන් සියලු දෙනාටම තේරුනද ඒ කටහඬ අස්සේ තැවරී තිබුණ වේදනාව සමුධ්‍යාගේත් අරුණගේත් හදවත් වේදනා ගංගාවක ගිල්වන්නට හේතු වුණි.
“මං හිතුවෙ නෑ ඉස්කෝලෙ මහත්තය කවදාවත් මගෙ දරුවො හන්දා මට මේ සා වේදනාවකට වැටෙන්න වෙයි කියලා. ප්‍රභාත් පුංචි කාලෙ ඉඳලා හොඳට ඉගෙන ගනිද්දි, හැමෝම ප්‍රභාත් හොඳ දරුවෙක් කියලා කියද්දි මං හරියට ආඩම්බර උනා. මං…මං… පුංචි කාලෙ ඉඳන් හිතුව ලක්ෂිත කොච්චර මුරණ්ඩු කියන දේ නාහන දරුවෙක් උනත් ප්‍රභාත් දිහා බලලා ඒ විදියට හැදේවි. ඒ අඩිපාරෙ යාවි කියලා.
විදුර කවදාවත් දරුවො ගැන තියා ගෙදර දොර ගැනවත් ඇහැක් ඇරලා බැලුවෙ නැති එකේ මම කවදාවත් හිතුවෙ නෑ ලක්ෂිත විදුරගෙ අඩිපාරෙ යන දරුවෙක් වේය කියලා. ඊටත් එහා ලක්ෂිත බීලා කරලා ගෙදර එද්දි, ඉස්කෝලේ ලමයි එක්ක එහෙම ගහ මරා ගද්දි උනත් මං හිතුවෙ කොල්ලොනෙ කියලා. ඒ මිසක් මම කවදාවත් හිතුවෙ නෑ ලක්ෂිත අතින්, මගෙ කුසෙන්, මං ප්‍රභාත් වගේ දරුවෙක්ව බිහිකරපු කුසෙන්ම බිහිකරපු ලක්ෂිත අතින් මේ සා අහස පොළොව නුහුලන අපරාදයක් වේවි කියන එක.
අනෙක් අතට මං කවදාවත් හිතුවෙ නෑ ඉස්කෝලේ මහත්තයා මගෙ එක දරුවෙක්ගෙ විනාසෙ අනෙක් දරුවගෙ අත් දෙක උඩ රැඳිලා තියේවි කියලා. මං මොකද්ද කරන්න ඕන කියල මටවත් හිතාගන්න බෑ මහත්තයො” කියා කියද්දි උනත් අනෝමා උන්නේ එක කඳුලු බිංදුවක්වත් ඇහෙන් වට්ටවන්නේ නැතුවය. අනෙක් අතට ඇහෙන් වට්ටවන්න කඳුලක් අනෝමා සතුව එවෙලේ තිබුනේ නැත. අනෝමාගේ දෙනෙත් තිබුනේ හිඳෙන්න පුලුවන් පතුලටම හිඳී ගොසින් ය.
සද්ධානන්ද නිවස එයාකාර දුක්බර නිහඬතාවයක ගිලෙද්දි ලක්ෂිත උන්නේ උන්මත්තක ස්වභාවයකට පත්වෙමිනි. තාත්තාගෙ මුදල් බලයත්, දේශපාලන බලයත් තමන්ව බේරාගනු ඇතැයි ලක්ෂිත බලාපොරොත්තු උනද ඒ නොවූ කල්හි ලක්ෂිත උන්නේ කෝපයෙනි. ලැජ්ජාවෙනි. වේදනාවෙනි. උන්මත්තක ස්වභාවයකට දිනෙන් දින වැටෙමිනි.
පොලිස් ස්ථානය තිබුනේ නිහැඬියාවක ගිලී යමිනි. වායුගෝලය එක්තරා අන්දමක ආතතියක් දරාගෙන් උන් අතර ඒ දරාගැනීම විසල් දෙයක් සිදුවන්නට යන බවට සියලු දෙනාටම අනාවැකි කියන්නට කටයුතු කර තිබුණි.
රැඳවුම් කාමරය තුළ, ලක්ෂිත උන්නේ දෑත් හරස් කරගෙන වාඩි වීය. ලක්ෂිතගේ මුහුණේ කිසිත් බියට පත් පෙනුමක් තිබුනේ නැත. ඔහු උන්නේ “මේක මල කරදරයක්නෙ” කියන අන්දමේ හැඟීමක් මුහුනේ අලවාගෙනය. නිලධාරීන් වචනයක්වත් නොකියා කාමරයට ඇතුලු වුණ අතර එක් නිලධාරියෙක් මේසය මත තිබුණ පටිගත කිරීමේ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරේය.
“මේක ළමා හා කාන්තා කාර්‍යංශය යටතේ කරන විධිමත් ප්‍රශ්න කිරීමක්,” ඔහුපැවසුවාය. “අපි මෙතන ඉන්නෙ බාල වයස්කරුවෙකු විසින් කරපු ලක්ෂිත වීරබද්ධන කියන මේ මහත්මයාට විරුද්ධව ලිංගික අපයෝජන පැමිණිල්ලක් ගැන විභාග කරන්න. මෙතනදි අපි කතා කරන සියලුම දේවල් නිත්‍යානුකූලව රෙකෝඩ් වෙන බව දැනුම් දෙන්න කැමතියි”
ලක්ෂිත ඒ වදන්වලින් වත් බියට පත් උනේ නැත. දවස් කීපයක් ගත වුණද තවමත් ලංකාව වැනි රටක් ඇතුලේ තාත්තා වැනි දේශපාලඥයින්ගේ බලය නීතියට ඉහලින් ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් හිත අස්සෙ තිබුන නිසාවෙන්ම ලක්ෂිත උන්නේ තමන් ඉදිරියෙන් වාඩි වී උන් නිළධාරින් වෙත සමච්චල් සහගත සිනාවන් පාමිනි.
“තමුසෙලා ඔය පොඩි කෙල්ලෙක් ඇවිල්ල කිව්ව බොරු ඔච්චර ලොකුවට පිළිගන්නවද?” කියා ලක්ෂිත අහද්දී නිලධාරින් කරේ එකිනෙකාගේ මුහුන දෙස බලා නිහඬ අදහස් හුවමාරු කරගන්නා එකය.
“පොඩි ගෑණු ළමයෙක් කරපු කම්ප්ලේන් එකක් බව ඇත්ත සර්. හැබැයි ඒ කම්ප්ලෙන් එක ඔස්සේ අපිට දැනගන්න ලැබුන විස්තර, සවිස්තරාත්මක කරුණු විතරක් නෙවෙයි ඒ දරුවගෙ වෙනස් කම් නිරික්ෂණය කරපු ඉස්කෝලේ ටීචර්ස්ලා, ඩොක්ටර්ස්ලා ගෙ ස්ටේට්මන්ට්ස් පවා සැලකිල්ලට අරගෙන තමයි අපි මෙතනට ඇවිත් තියෙන්නෙ. එහෙම නැතුව පොඩි ගෑණු ළමයෙක් නිකන්ම ඇවිල්ලා කිව්ව කතාවක් අල්ලගෙන ආව ගමනක් නෙවෙයි මේක”
“ඔය පොඩි කෙල්ලො ඇටෙන්ශන් එක ගන්න ඕන තරම් බොරු කියනවා. අනික මට එහෙම පොඩි කෙල්ලෙක් එක්ක ඉන්න උවමනාවක් තිබ්බ නම් මේ ගමේ අපේ ගෙවල්වල වැඩට එන කෙල්ලො එක්ක ලගින්න උවමනාවක් මට නෑ. ඕන තරම් කොළඹ ක්ලබ් වල මට කියල කරගන්න ආස වෙච්ච පොඩි කෙල්ලො ඕන තරම් හිටියා” කියා ලක්ෂිත හිනාවෙමින් කියද්දිත් එලියේ හිඳගෙන මේ සියලුම කතන්දර අහගෙන උන් දිලානි කල්පනා කලේ “තමන් නොදන්නා මොකක් හෝ මානසික උන්මත්තක ස්වභාවයක් ලක්ෂිත තියෙන්න බැරිද?” කියාය.
“ඔය වගේ වැඩ කොහොමත් කරන මිනිස්සු එක එක විදියෙ මෙන්ටල් ඩිසෝඩර්ස් තියෙන මිනිස්සු තමයි දිලානි. හරි සිහියකින් ඉන්න මනුස්සයෙක් අතෙන් වෙන්න පුලුවන් විදියෙ වරදක්ද ඔය මනුස්සයා ඔය කරලා තියෙන්නෙ?” කියා දෙව්නි කිව්වේ දිලානි හිතූ දෙය තේරුම්ගත්තාක් මෙනි.
දෙවන නිළධාරියා උන්නේ එක එල්ලේම ලක්ෂිත දෙස බලාගෙන දෙවනුව කිව යුතු වචන පේළිය කුමක්දැයි කල්පනා කරමිනි. “සත්සරාව අපි කවුන්සලින් වලටත් යැව්වා. ඒ වගේම එයා ස්ටේට්මන්ට්ස් දීපු කිසිම වෙලාවක ඒ කිසිම දේක හොරයක් බොරුවක්, හිතෙන් හදලා කියපු දෙයක් නෙවෙයි කියන්න සාක්කි ඕන තරම් අපි ළඟ තියෙනවා. මං හිතන්නෙ නෑ අපි සත්සරාගෙ පැත්තෙන් එයා කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියන එක ලක්ෂිතට ඔප්පු කරන්න ඕන කියලා. හැබැයි ලක්ෂිත හිතන්න එපා තාත්තගෙ පවර් එක පාවිච්චි කරලා මේ වතාවෙ නම් ලේසියෙන් ගැලවිලා යන්න පුලුවන් වෙයි කියලා”
ලක්ෂිතගේ මුහුණේ සිනහව ටිකෙන් ටික මැකී යන්නට පටන් ගත්තේය.
ලක්ෂිත ඒ වචන වලට ප්‍රතිචාර දැක්වූයේ නැත. ඔහු උන්නෙ එක දිගටම තමන්ගේ දෙපා සොලවමින් හිත අභ්‍යන්තරයේ තිබෙන කැළඹීම දරාගන්නට කටයුතු කරමිනි. ලක්ෂිත වරෙක අහක බලාගත්තේය. තවත් වතාවක නිළධාරින් දෙස එක එල්ලේ බැලුවේය. අනතුරුව වචන ගැලපුවේය.
“කිසිම සාක්කියක් නෑනෙ. ඒ කෙල්ල කියන දේ විතරයි” කියා ආයෙම වරක් සිනාවෙන්න උත්සහ කරද ඒ සිනාව මෙ වෙලේ දෙතොලින් එලියට මතු උනේ නැත.
“සර්ගෙ ලොකු පුතාම තමයි නේද පොඩි පුතාව හිරේ දාන්න ප්ලෑන් එක ගහලා තියෙන්නෙ” කියා පොලිසිය ඇතුලෙන් ආ ඔත්තුව විදුර විරබද්ධනව තුවාල ලැබූ කුලු හරකෙකුගේ තරහක් සහිත මිනිසෙකු බවට පත් කර තිබුණි. ඒ වෙලාවේත් විදුරට තිබුණ එකම ගැටලුව නම් මේ දෙයාකාරයකින් එකම ගැටලුවට සම්බන්ධ වී හිඳින්නේ තමන්ගෙ පුතුන් දෙදෙනා කියන කාරණාව නොවේ.
“මුං මාව කෑවා” කියා බනිද්දිත් විදුරට තිබුන එකම ගැටලුව මෙයාකාර ගැටලු තමන්ගේ දේශපාලන ජීවිතයේ ඉදිරි පියවර කෙලෙසක තීරණය කරාවිද යන්නය. ප්‍රභාත් නිවෙස බලා ඇවිත් හිඳින බව දැනගත් විදුර වීරබද්ධන නිවස බලා ආවේද ඒ වෙඩි කෑ ඌරෙකුගෙ කෝපයෙනි. ප්‍රභාත්ගෙන් පළි ගැනීමේ චේතනාවෙනි.