වඩාත් යහපත් මවක් වීමට නම් මේ කරුණු අනුගමනය කරන්න

ඕනෑම මවක් කියන්නේ තමන්ගේ දරුවන්ට ඉතාම හොඳ මවක්. නමුත් මේ ලෝකයේ කිසිම මවක් සර්ව සම්පූර්ණ නැහැ. මව්වරුන් අතින් පවා වැරදි සිදුවන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. දෛනික ජීවන රටාව නිසි සැලසුමක් ඇතිව ගත කිරීමෙන් වගේම කායිකව හා මානසිකව හොඳ තත්ත්වයක සිටීම මගින් ඔබ අතින් සිදුවිය හැකි බොහෝ වැරදි මගහැරවා ගැනීමට ඔබට හැකිවනවා. වඩා හොඳ මවක් වීමට ඔබට අනුගමනය කළ හැකි සරල පියවරවල් කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.

ඔබ ගැන සැලකිලිමත් වන්න

 

ඔබේ දරුවාට නිසි ආරක්‍ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා දීම සඳහා මුලින්ම ඔබ ඔබ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මවක් තමන්ගේ ස්වයං රැකවරණය පිළිබඳව උනන්දු වීම ආත්මාර්ථකාමී කමක් නොවන අතර එය දරුවන් ඉතා හොඳින් රැක බලා ගැනීම කෙරෙහි සෘජුවම බලපානවා. ස්වයං රැකවරණය පිළිබඳව ඔබ සැලකිලිමත් වීම මගින් ඔබෙන් ගිලිහන ජවය සහ ශක්තිමත් බව නැවත ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඔබ ගැන සැලකිලිමත් වීම සඳහා දවසේ ඕනෑම වේලාවක ඔබ වෙනුවෙන් යම් කාලයක් ගත කිරීමට ඔබට පුළුවන්. 

ධනාත්මක අත්දැකීම් වලට ප්‍රමුඛත්වය දෙන්න 

දරුවෙකුගේ කුඩා අවධියේදී මවකගේ ප්‍රධාන කාර්යයන් වන්නේ දරුවන් රැක බලා ගැනීම , ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව සැලකිලිමත් වීම, ඔවුන්ව පිරිසිදු කිරීම ,ඔවුන්ට නිසි පෝෂණයක් සහ නිසි අධ්‍යාපනයක් ලබා දීමයි. ඔබ දරුවෙකු බිහි කිරීමට සැලසුම් කරන කාලයේ සිටම මේ වගකීම් ඔබ අතින් ඉටුවිය යුතු බව ඔබ දන්නවා. නමුත් මේ වගකීම් සමග ඔබ කාර්යබහුල වන විට ඔබ වෙහෙසට පත්වීම ඉතාම සාමාන්‍ය දෙයක්.නමුත් මේ වගකීම් ඉටු කිරීමේදී ඔබ ඉතා සතුටින් සහ ඒවා පිළිබඳව ධනාත්මකව සිතමින් ඒවායේ නියැළීමෙන් ඔබට දැනෙන වෙහෙසකාරී බව බොහෝ දුරට අඩු කර ගන්නට ඔබට හැකියාව තියෙනවා.

ව්‍යායාම කරන්න 

බොහෝ වෙලාවට දරුවන් සමග කාලය ගත කිරීම ඔබට යම් තරමක හෝ ආතතියක් ගෙන දෙන්නට පුළුවන්. ඒ ආතතිය සමනය කර ගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් අතරින් වඩාත් ප්‍රතිඵලදායී දෙයක් වන්නේ ව්‍යායාම කිරීමයි. දරුවන් සමග කාලය ගත කරන විට ඔබේ ශරීරය ඉතාම ක්‍රියාශීලී වන නමුත් දවසේ යම් වේලාවක් ව්‍යායාම කිරීම සඳහාම විශේෂයෙන් වෙන් කර ගන්න. ව්‍යායාම කිරීමෙන් ඔබේ යහ පැවැත්ම පිළිබඳව හැඟීම් වැඩි දියුණු කරන එන්ඩොර්ෆින් මුදා හැරීම මගින් ඔබ තුළ ඇති ආතතිය බොහෝ දුරට සමනය කරනවා. මෙමගින් ඔබට ඔබේ දරුවන් සමග ආතතියකින් තොරව වඩාත් හොඳ කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා.

” නැහැ ” කියන්න 

ඔබ දරුවන්ගේ මව වූ පමණින් ඔවුන්ගේ සියළුම වගකීම් සහ යුතුකම් ඔබ විසින්ම කළ යුතු යැයි නියමයක් නැහැ. දරුවන් සම්බන්ධව බොහෝ වගකීම් තිබෙන අතර ඔවුන්ට නියමිත වේලාවට ආහාර ලබාදීම, ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු වලට සහාය වීම, ඔවුන්ව පාසලට ගෙන යාම , ඔවුන්ව නිසි වේලාවට නින්දට යැවීම සහ ඔවුන්ගේ සනීප ආරක්ෂාව පිළිබඳ වග බලා ගැනීම යන සියලු කාරණා මව විසින්ම කළ යුතු නැහැ. ඔබ මොනතරම් ශක්තිමත් කාන්තාවක් වුවත් ඔබ අධික වෙහෙසට පත්වීම ඕනෑම මොහොතක සිදුවන්නට පුළුවන්. එම නිසා ඔබ වෙහෙසට පත්ව සිටිනවා නම් හෝ යම් මඟ කීමක් ඔබට තනිව ඉටු කිරීමට නොහැකි නම් එයට ඔබගේ පවුලේ අයගේ සහයෝගය ලබා ගන්න.

ඉදිරිය සැලසුම් කරන්න

ඔබේ දරුවා ඉපදුණු දා පටන්ම ඔවුන් විවිධ අවදියෙන් පසු කරනවා.මේ සෑම අවධියකදීම ඔබ ඔවුන්ව නිසි ආකාරයෙන් හැසිරවීම සහ මග පෙන්වීම සිදු කළ යුතුයි. දරුවෙකු ඉපදීමේ සිට මුල් අවුරුදු කිහිපය නිවසේ ගත කරන නමුත් ඉන් අනතුරුව ඔවුන් පෙර පාසල් යාම, පාසල් යාම සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වීම සිදු කරනවා. මේ කටයුතු සඳහා ඔවුන්ට මග පෙන්වීමට නම් ඔබට ඒවා පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එම නිසා සෑම විටම දරුවාගේ ඉදිරි කාලයේ සිදුවන දේවල් පිළිබඳව ඉතා හොඳ සැලසුමක් තබා ගන්න.

දරුවා සමග ගුණාත්මක කාලයක් ගත කරන්න 

ඔබ ඔබේ දරුවන් සමග ගත කරන කාලය ඉතා අව්‍යාජව ගත කළ යුතු වනවා. ඔබ දරුවන් සමග සිටින විට ඔබේ අවධානය තිබෙන්නේ වෙනතක නම් එය දරුවන්ට ඉතා හොඳින් දැනෙනවා. නමුත් ඔබ නොබිඳුනු ඉතා හොඳ අවධානයක් දරුවාට ලබා දෙනවා නම් එයින් ඔබ සහ දරුවා අතර ඇති බැඳීම ඉතා විශ්වාසනීය සහ ගුණාත්මක එකක් බවට පත්වනවා. එවිට ජීවිතයේ ඕනෑම දෙයකදී ඔබගේ සහාය සහ උපදේශයන් ලබා ගැනීමට දරුවා පැකිලීමක් දක්වන්නේ නැහැ. ඔබ ඔබේ දරුවන් සමග ඉතා ගුණාත්මක කාලයක් ගත කිරීම මගින් ඔබට ඔබේ දරුවන්ට ඉතා හොඳ මවක් වීමේ හැකියාව ලැබෙනවා.

පරිපූර්ණ මවක් නොව යහපත් මවක්

සාමාන්‍යයෙන් මවකට කිසිසේත්ම පරිපූර්ණ මවක් වීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මවක් යනු සාමාන්‍ය මනුෂ්‍යයෙක් ඔවුන් අතින් ඕනෑම මොහොතක අතපසුවීම් සහ මග හැරීම් සිදු වන්නට පුළුවන්.නමුත් ඔබ උත්සාහ කළ යුත්තේ පරිපූර්ණ මවක් වනවාට වඩා යහපත් මවක් වීමටයි. ඔබ , ඔබ අතින් සිදුවන අතපසුවීම් සහ මගහැරීම් මගින් ඉගෙන ගනිමින් ඉදිරියට යා යුතුයි. ඔබ කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කරන මවක් බව සිතමින් පරිපූර්ණ මවක් වීමට උත්සාහ නොකර යහපත් මවක් වීමට පමණක් උත්සාහ දරන්න.

යහපත් වූ සම්බන්ධතා ගොඩනගා ගන්න 

ඔබ මවක් වූ පමණින් දරුවන්ගේ වගකීම් පමණක් ඉටු කරමින් ජීවත් විය යුතු නැහැ. ඔබ සෑම විටම ඔබ කෙරෙහිද ප්‍රමුඛත්වය දිය යුතු අතර එදිනෙදා කාර්යබහුලත්වය නිසා ආතතියට පත්වීම හැකිතාවක් මගහැරවා ගතයුතුයි. මේ සඳහා ඔබ ඔබේ ජීවිතයේ යහපත් වූ සම්බන්ධතා ගොඩනඟා ගත යුතු අතර ඔබේ හැඟීම් සහ අපහසුතා අන් අය සමග බෙදා ගැනීම කළ යුතුයි. මෙහිදී ඔබේ වැරදි අඩුපාඩු පමණක් දකින , ඍණාත්මක දේවල් ඔබ සමග කතාබහ කරන අය නොව ඔබේ ජීවිතයට ධනාත්මක ලෙස යමක් ලබා ගත හැකි, ජීවිතය පිළිබඳව හොඳ සැලසුම් තිබෙන මිතුරන් සහ හිතවතුන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්න.

මවක් වීම ඒ තරම් පහසු කාර්යයක් නොවේ. නමුත් දරුවන් සමග ගනුදෙනු කිරීමේදී ඉතා සැලකිලිමත්ව සහ වගකීම් සහගතව ගනුදෙනු කළ යුතුයි.ඒ සඳහා මවක් කායික සහ මානසික වශයෙන් ඉතා යහපත් වීමද අතිශයින්ම වැදගත්.වඩාත් හොඳ මවක් වීම සඳහා ඔබට අනුගමනය කළ හැකි සරල උපදෙස් කිහිපයකුයි මේ ලිපියෙන් අපි ඔබ සමග සාකච්ඡා කළේ.

Related Articles

Don't Miss


Latest Articles