කොළඹ නගරයේ සාමාන්‍ය ජීවිතයක් ගත කළ සේන ජයලත්, ජනප්‍රිය සමාගමක අලෙවි විධායකවරයෙකු ලෙස සේවය කළේය. සුවපහසු මහල් නිවාසයක් හිමි ඔහුට, සති අන්තයේ කැෆේ වටා එක්රැස් වීමට ප්‍රිය කළ මිතුරු කැලක්ද විය. එහෙත්, මේ සියල්ල පිටුපස, ඔහුගේ සිතේ නිරන්තර නොසන්සුන් බවක් තිබුනා යැයි කීම හුදෙක් කෙටි කතාවකට පමණක් උරුම වූ බොරුකාර වදන් පෙළක් නොවේ. සේන උන්නේ ගෙවෙන්නා වූ සෑම දිනකම පාහේ “මොකක් හරි අඩුවක් තියෙනවා” යැයි සිතන ගමන් ය. ඒ සිතුවිල්ල දිනෙන් දින තව තවත් වැඩිවුණා මිස අඩු වුණේ නැත. සෑම උදෑසනකම ඔහු අවදි වූයේ එකම චර්යාවට, එකම නාද රටාවට සහ කිසිදු උසස්වීමකින් හෝ සුඛෝපභෝගීත්වයකින් පිරවිය නොහැකි හිස්බවකටය.
ඔහුගේ ජීවිතයට යම් කිසි සාමයක් ගෙන ආවේ බුදුදහම කෙරෙහි වූ ඔහුගේ විශේෂ ඇල්ම පමණි. එහෙත් එය විහාර චාරිත්‍රවලින් හෝ දැහැමි උත්සව වලින් සොයාගත් සාමයක් නොවීය. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වඩා උසස් බව සේන නිරත්තර සිතුවේය. පිළිගත්තේය. ඇදහුවේය. සේනව ඇදගත්තේ බුදුන් වහන්සේගේ මුල් ඉගැන්වීම් හි අන්තරර්ගතව තිබුණු දුක්ඛය, තෘෂ්ණාව, අනිත්‍යය සහ විමුක්තිය කරා යන මාර්ගය පිළිබඳවයි. ඔහු රාත්‍රී කාලයේ පරිවර්තිත සූත්‍ර කියැවූ අතර, දුරස්ථ ආරාමවල භික්ෂූන් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කළේය. ගැඹුරු යමක් වටහා ගැනීමේ බලාපොරොත්තුවෙන් හැකි සෑම විටම භාවනා කළේය.
එක් දිනක්, නවීන ජීවිතයේ මේ හිස් රංගනයෙන් තෙහෙට්ටුවට ලක් වූ සේන, තම රැකියාවෙන් ඉල්ලා අස්විය. ඔහු තම තාක්ෂණික උපකරණ සහ සමාජ මාධ්‍යයේ නිරන්තර ඝෝෂාව අතහැර, ඒ වෙනුවට මිහින්තලය අසල පිහිටි නිස්කලංක වන සෙනසුනකට පසුබැසීමට තීරණය කළේය. එහිදී ඔහු සරල ජීවිතයක් ගත කළේය; අරුණෝදයට පෙර අවදි වී, විහාර භූමිය පිරිසිදු කර, ගස් සෙවණේ පැය ගණන් භාවනාවේ යෙදුණේය.
මුලදී ඔහුගේ සිත කලබලකාරී විය. ඒ කලබලකාරී සිත සැකයන්ගෙන්, පසුතැවීම්වලින් සහ ආශාවන්ගෙන් පිරී තිබුණි. එහෙත් ක්‍රමයෙන් නිශ්ශබ්දතාවය සිතට වැදෙන්නට වීමත් සමගම, මෙතෙක් දිනක පියවි ඇසින් නොදුටුව අන්දමේ පැහැදිලි මොහොතවල් සිතෙන් දකින්නට අවස්තා සේනට උදාවිය. සේන කුඩාම දේ පවා නිරීක්ෂණය කළේය. කුහුඹුවෙකුගේ මන්දගාමී ගමන, මඳ සුළඟට පත්‍ර සෙලවීම යනාදී කුඩා දේවල් පවාක්ෂණික, තාවකාලික වූවත්, ඒ මොහොතට පරිපූර්ණ බවක් ගෙන දුන් බව සේන තේරුම්ගත්තේය. ඔහුට බුදුන් වහන්සේගේ අනිත්‍යය පිළිබඳ දේශනාව අවබෝධ වීමට පටන් ගත්තේ පරිසරය විසින් කරනු ලබන ඒ නිහඬ නාද රටාවන් අස්සෙන් ය.
එක් සවස් යාමයක, ගසක් යට භාවනා කරමින් සිටියදී, සේනට හදිසි වෙනස්වීමක් දැනුනි. ඔහු වටා ඇති වාතය වෙනස් වූවාක් මෙන් පෙනුණ අතර පරිසරයේ වර්ණ දීප්තිමත් විය, ශබ්ද තියුණු විය, කාලයම මන්දගාමී වූවාක් මෙන් විය. ඔහු ඇස් ඇර බලන විට, ඔහු සිටියේ මෙතෙක් දිනක් ඔහු භාවනා කරන්නට යෙදුන කාලයේ ඒ වන සීමාවේ නොවේ. අවට තිබුණේ පරිසරය පවා වැළඳගත් පුරාණ බවකි. දූවිලි සහිත මාර්ග, කහ සිවුරු හැඳි භික්ෂූන්ගේ සරල කුටි, ඈතින් පාලි බසින් ඇසෙන සජ්ඣායනා හඬක් ඒ පරිසරයේ තිබුන පුරාණ බව තව තවත් ඉස්මතු කරවන්නට හේතු විය.
තමා කෙසේ හෝ අතීතයට පැමිණ ඇති වග තේරුණද ඒ වනාහී භාවනාවෙන් තමන් උදාකරගත් මාර්ග ඵලයක් නැතහොත් ඔහුගේ සිත අතීතය හා වර්තමානය අතර සීමාවන් ඉක්මවා ගොස් ඇති බවක්ද කියා තේරුම් ගැනීමේ හැකියාවක් සේනට තිබුණේ නැත. මේ ස්ථානයේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ජීවමාන විය. ඒ නොදන්නා දේශයේ මිනිසුන් සේනව තමන් හොඳින් දන්නා, උගත් ගුරුවරයෙකු ලෙස පිළිගත් අතර, ඔහු තම අධ්‍යයනයන්ගෙන්, සූත්‍රවලින්, පුරුදු කළ භාවනාවලින් තමා දැන සිටි සියල්ල ඒ මිනිසුන් සමග බෙදා ගැනීමට පටන් ගත්තේය.
දින ගණන්, සති ගණන් ඔහු දැඩි ආශාවෙන් ඉගැන්වීය. ගම්වැසියන් සහ භික්ෂූන් වහන්සේලා ඔහු ලබා දුන් ප්‍රඥාව අවබෝධ කර ගැනීමට උනන්දුවෙන් සවන් දුන්හ. සේනට තමා සැබවින්ම තමා විසින් මේ ජීවිත කාලය පුරාවට කල යුතුව තිබූ දේ සිදු කරනවාක් මෙන් දැනුන අතර ජීවිතයේ පළමු වතාවට ධර්මය ඉගැන්වීමේ කාර්‍යබහුලත්වය අස්සේ සේන සැනසීමක්, නිවීමක් සොයාගන්නට ඇරඹුවේය.
එහෙත් දිනක් දහවල්, ඔහුට ඉදිකරමින් පවතින ස්තූපයක් අසල තනිවම හිඳගෙන, නිහඬව කඳුළු හෙලන තරුණ භික්ෂුවක් හමු විය. සේන ළං වී ඔහු අඬන්නේ මන්දැයි විමසීය. ඒ භික්ෂුන් වහන්සේ හිස ඔසවා මෙසේ පැවසූහ: “සියල්ලෝම පවසන්නේ ඔබ සත්‍යය දේශනා කරන බවයි, එහෙත් මට එය නොපෙනේ. මට එය නොඇසේ. මට කිසිදා එය නොතේරෙන්නේ නම් කුමක් සිදුවේද?”
සේන මෘදු සිනහවක් පෑවේය. “කාලයත් සමඟ සත්‍යය පැහැදිලි වනු ඇත.”
ඒ භික්ෂුව මෘදුව හිස සලමින් පැවසීය: “ඔබ මෙහි පැමිණියේ අන් අයට ඉගැන්වීමට වුවද, සැබවින්ම ඔබ මෙහි පැමිණියේ ඔබටම ඉගැන්වීමට නොවේද?” කියා අසත්ම ස්තූපය ඉරිතලා ගියේය, අහස ගර්ජනා කළේය, තරුණ භික්ෂුව මිහිදුමක් මෙන් අතුරුදහන් විය.
සේන සැබවින්ම අවදි වූයේ ඒ මොහොතේය.
රාත්‍රිය තිබුණේ හුරුපුරුදු කෘමි නාදයෙන් පිරී ගොසිනි. ඔහු නැවතත් සිටියේ හුරුපුරුදු වන සේනාසනේය.
ඔහු අසල තමන් මෙහි ආ මොහොතේ නොතිබුණ තල් අතු සන්නසක් තිබෙන බව සේන දුටුවේ ඒ මොහොතේය. එහි පැරණි සිංහල අකුරුවලින් මෙසේ ලියා තිබුණි: “මේ සත්‍යය කිසිවෙකු විසින් උගන්වනු නොලබයි. එය සිහිපත් කරගැනීම පමණක් කල යුතු අතර සත්‍යය තේරුම් ගත්තේ ඔබමයි.”
වසර ගණනාවක් ගෙවෙන තුරුත්, සේන එම සෙනසුනේම රැඳී සිටියේය. ඔහු තවදුරටත් මහා ධර්ම දේශනා නොකළ අතර, අනුගාමිකයන්ද සොයා නොගත්තේය. වන්දනාකරුවන් පැමිණියහ; දිනක් මහා ගුරුවරයෙකු ලෙස කතා කළ මිනිසා දැන් නිහඬව සිටින අයුරු ගැන ඔවුන් එකිනෙකා හා කෙඳිරූහ.
“මෙපමන කළක් බණ භාවනා කොට ඔබ කුමක් සොයාගත්තේද?” කියා ඔවුන් සේන විමසූහ.
සේන සන්සුන් දෑසින් ඔවුන් දෙස බලා මෙසේ පැවසීය: “වෙනස් කිරීමට අතීතයක් නොතිබුණි. ඉටු කිරීමට මහා මෙහෙවරක්ද නොතිබුණි. මගේ මුළු ජීවිත කාලය පුරාම මා නොසලකා හැර සිටි එකම පුද්ගලයා මා පමණක් බව මම තේරුම් ගත් අතර ඒ ගමන අවසානයේදි මට මම හමු විය.”
ඒ පිළිතුර සමග සේනගෙන් අසන්නට ඒ මිනිසුන්ට තවත් පැනයක් තිබුණි. “එහෙනම් ගුරුවරයා කවුද?”
සේන සිනාසුණේය, නිහඬ සිනහවකින් අනතුරුව ඔහු මෙසේ කීවේය:
“කිසිදා ගුරුවරයෙක් නොසිටියේය. ඇත්තේ මාර්ගය පමණි.”
මිනිසුන් පිටව යාමට හැරී ආපසු බලද්දී සේන හුන් තැන බිත්තියට හේත්තු කර තිබූ කුඩා කණ්ණාඩියකින් ඔවුන්ට ඔවුන්වම පෙණුනි. දූවිලි වැකී තිබුන ඒ කණ්ණාඩියේ ලියවී තිබුණේ එකම එක වැකියකි.
“ඔබේ ජීවිතයේ සත්‍යය සොයා යා යුත්තේ ඔබ වන අතර ඔබේ බුදුවරයා වන්නේද ඔබමය”
ReplyForwardAdd reaction |