තමාරා යළිත් අපූර්වාගේ නිවසට යාමට තීරණය කළේ හදිසියේමය. ඔහු ඒ බැව් යුගාෂ්ට පැවසූයේ දුරකථනයෙන්ය.
“ඇයි අම්මා හදිසියේ…”
“සමහර දේවල් තියෙනවා පුතා ඒවා කරන්න ඕනවට වඩා කල් ගන්න හොඳ නෑ. මම තීරණය කළා පුතා ඒ මිනිස්සුන්ගේ ගේ හදල දෙන්න. ධම්මිකා ආන්ටි ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ව හොඳට අඳුනනවා. අද මමත් එක්ක ධම්මිකා ආන්ටිත් යනවා. අපි ලොකු හාමුදුරුවන් එක්කත් කතා කරලා බලලා හොඳ විදිහකට බේ දේ පටන් ගමු පුතේ. මොකද එතන අර අසනීප මනුස්සයාට වගේම ඒ ගෑණු දරුවටත් ලොකු ආරක්ෂාවක් නෑ.
යුගාෂ් කිසිවක් නොකියා නිහඬ වූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. ඔහු මුලින් සිතුවේ අම්මා ලවා අසනීපව සිටින අපූර්වාගේ මවට නිසි ප්‍රතිකාර කරන්නට හෝ අපූර්වා වෙනුවෙන් යමක් කරන්නටය. අම්මා මේ හදිසියේම ඊට වඩා දුර සිතා තිබුනත් ඇයව වළකාලන්නට සිතක් යුගාෂ්ට වූයේ නැත.
“මං වාහනයක් එවන්නද අම්මා.”
“එපා පුතා මට ඩ්‍රයිව් කරන්න පුළුවන්.”
එපමණක් පවසා තමාරා දුරකථනය විසන්ධි කළාය. ඇය වෙනුවෙන් වෙන් වූ ඇල්ටෝ වර්ගයේ වාහනයක් නිවසේ වුවත් අම්මා රිය පදවනවාට යුගාශ්ගේ සිතෙහි එතරම් කැමැත්තක් වූයේ නැත. එහෙත් මෙවේලෙහි ඔහු කිසිත් නොකියා නිහඬ විය. අපූර්වලාගේ ජීවිත වලට අම්මාගේ මේ මැදිහත්වීම ඇය කෙසේ බාර ගනීදැයි ඔහුට සිතා ගත නොහැකි විය. අවසන ඔහු සියල්ල යහපත්ව සිදුවේවායි පැතුවේය.
“මචං අංකල් වෙඩි කාපු ඌර වගේ ඉන්නේ. මට ඇත්ත කියහං උඹ මේ නඩුව බාරගත්තේ අංකල් එක ෆයිට් කරන්න ඕන හින්දද..”
උසාවි භූමියේ සිට කාර්යාල කාමරයට ආ තීක්ෂණ ඇසුවේ අත වූ ෆයිල් කවර කිහිපය යුගාශ්ගේ මේසය මතින් තැබුවාට පසුවය.
“ඇයි උඹට එයා මොනවා හරි කිව්වද..”
“මට මොකුත් කිව්වෙ නෑ. මට පංචාලිව හම්බ වුණා බං. පංචාලි තමයි කිව්වේ අංකල්ට තද වෙලා හොඳටම කෑ ගැහුවා කියලා.”
“එයාට තද වෙන පාරට මං ඒවා බුරුල් කරන්න බැඳිලා නෑ බං.”
“උඹ මං අහපු ප්‍රශ්නෙ මඟ අරිනවා. ඇත්ත කියහං…”
“ නෑ බං. මේ නඩුව බාර ගනිද්දි මේක මට හොඳ වැඩක් කියලා හිතුණා විතරයි. කොහොමටත් බං ඔය දේශපාලනේ කියන දේ මට ඇලජික් නේ. උන් හිතන් ඉන්නේ මන්ත්‍රීකම, ඇමතිකම කියන්නේ උන්ට වැරදි වැඩ කරන්න ලැබෙන පර්මිෂන් එකක් කියලා. සේනක මට කතා කරලා තර්ජනය නොකර තර්ජනය කලාට පස්සේ මං හිතුවා මං මේ නඩුවට අනිවාර්යෙන් කතා කරනවා කියලා. හැබැයි මං ඒ වෙද්දිත් දැනගෙන හිටියේ නෑ මේ නඩුවේ අනිත් පැත්තේ ඉන්නේ අප්පච්චි කියල. ඒක දැනගත්තට පස්සේ මමත් ටිකක් අවුල් වුනා තමයි. හැබැයි බං අප්පච්චි වුනත් වැරැද්ද නං ඒ වැරැද්දම තමයි. මට කාත් එක්කවත් හැප්පෙන්න වුවමනාවක් නෑ. හැබැයි මං උත්සහ කරනවා මේ අසරණ මිනිස්සුන්ට පුංචිම හරි සාධාරණයක් කරන්න. අප්පච්චි නිසා මට බෑ දීපු පොරොන්දුවක් ආපහු ගන්න”
“ඒ උනාට මචන් අන්කල් ගැන උඹ දන්නවනේ..”
“උඹ කියන්නේ මං පරදින එක ගැන නම් මං පරදින්න බය නෑ බං. සමහර තැන් තියෙනවා අපිට හිතට එකඟව ඒවා මග හැරලා දාන්න බැරි. මේත් එහෙම තැනක්. පුද්ගලික ජීවිතේදි අප්පච්චි ගැන මට කිසි හැඟීමක් නෑ බං. එයා උප්පැන්නෙකට මගේ අප්පච්චි වුණා විතරයි. එහෙම නැතුව පුංචිම හැඟීමක්වත් මට එයා ගැන නෑ. මිනිස්සු තමන්ට නොගැලපෙන තැන්වල රැඳෙන්න ඕනෙ නෑ ඒක ඇත්ත. හැබැයි බං මං හොඳටම දන්නවා මගේ අම්මා කියන්නේ, එයාට නොගැලපෙන තැන නෙමෙයි කියලා. මං මොන දේ කළත් අප්පච්චි වෙනුවෙන් අම්මගේ ඇස් වල ඉපදුනු ඒ කඳුළ මකල දාන්න මට බෑ. හැබැයි එහෙම කියල එයා මට කවදාවත් අප්පච්චිට වෛර කරන්න උගන්වලත් නෑ. මං කැමතියි බං අප්පච්චි හැප්පෙන තැන් වලින් මගහැරලා යන්න. එහෙම කියලා හැමදාම අසාධාරණයට දිනන්න ඉඩ දීලා ඇස්කන් පියන් ඉන්නත් බෑ. අර අහිංසක ගෑනු මනුස්සයා ගේ දොර ඉඩකඩම් විකුණලා දැන් මේ නඩු කියන්නේ තමන්ගේ දරුවට සාධාරණයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. එහෙම කරනවනම් එයා කරන්න ඕනේ මේ වෙලාවේ ඇත්ත හංගලා එයාගේ දරුවාව කාට හරි කසාද බන්ඳලා දෙන එක..මිනිස්සු බයට අසරණකමට කරන්නෙත් ඒක. ජීවිතය ගැන ඒ වගේ රිස්ක් එකක් අරගෙන ඒ මනුස්සයන් නඩු කියන්නේ තවත් කිසිම ගෑණු ළමයෙකුට මේ වගේ දෙයක් වෙන්න ඕනෙ නෑ කියල හිතලා. ඒක අම්මා කෙනෙක්ගෙ හැඟීම බං..මං ආස නෑ හැඟීමත් එක්ක සෙල්ලම් කරන්න.”
“උඹේ පැත්තෙන් උඹ හරි වෙන්න පුළුවන්….”
“හැම පැත්තකින්ම මම හරි. මචං මං හරි කැමතියි හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න. උඹේ නංගිට එහෙම දෙයක් වුණොත් උඹ නිකං ඉන්නවද..”
“පිස්සුද….”
“අපි අන්න එතන ඉඳලා හිතමු. මචං මේ ස්වභාව ධර්මය ඇත්තනම් අප්පච්චි මැරෙන දවසක එයා විඳවාවි. එයා කරපු පවු ගොඩයි. මොකද හෘද සාක්ෂියෙන් මිදෙන්න කිසිම මනුස්සයෙකුට බෑ. ඒ විඳවීම පුෂ්පානන්දගේ පුතා විදිහට මමත් එකතු කරගන්න ඕනෙ නෑ බං… මිනිස්සු හිතන ඒවා මට නවත්තන්න බෑ. මං දන්නෙ මෙච්චරයි මං අප්පච්චිත් එක්ක හැප්පෙන්නෙ නෑ හැබැයි මම හිතට එකඟව වැඩ කරනවා.”
තීක්ෂණ හිස වැනුවේ මිතුරා එසේ පැවසුවාට පසුවය. එහෙත් ඔහුගේ සිතෙහි යුගාශ් ගැන වූයේ සාධාරණ බියකි.
“යුගාෂ්ට තියෙන්නෙත් අන්කල්ගේම ගතිගුණ තමයි. කවුරුත් කියන දෙයක් අහන්න කැමති නෑ. ඒ උනාට යුගාෂ් අන්කල් එක්ක මේ විදිහට හැප්පෙන්න ට්‍රයි කරන එක ඒ තරම් හොඳ දෙයක් කියලා මම හිතන්නේ නෑ. සේනකල කියන්නෙත් හොඳ මිනිස්සු නෙමෙයි නේ. අංකල් උනත් තමන් මෙච්චර කාලයක් රැකගෙන ආපු තමන්ගේ නම පුතා ඉස්සරහ උනත් පැරදෙනවා දකින්න කැමති වෙන එකක් නෑ. අනේ මං දන් නෑ යුගාශ් ඇයි මේ වගේ දෙයක් කලේ කියලා. ඔයාට විතරයි තීක්ෂණ යුගාශ්ව නවත්තන්න පුළුවන්. මං හිතන්නේ නෑ තමාරා ආන්ටිත් ඒ දේ කරයි කියලා. ආන්ටි උනත් අන්කල්ට වෛර කරනවා ඇතිනේ. යුගාශ්ට ඕනෙ අංකල්ගෙන් පලිගන්න නම් ඒකට වෙන ක්‍රමයක් හොයා ගන්න කියන්න. නැතුව තමන්ගේ ජීවිතේ, තමන්ගේ ජොබ් එක, තමන්ගේ නම මේ ඔක්කොම අනතුරේ දාගෙන මේ වගේ දේවල් කරන්න එපා කියන්න”
පංචාලි දහවල පැවසුවේ මහත් වූ ආවේගයකින්ය.
“අනිත් එක දෙතුන් වතාවක්ම අන්කල් එයාව හම්බ වෙන්න ගියාට එයා අන්කල්ව ගණන් අරගෙන නෑ.”
ඇය අවසන එසේ පැවසුවාය.
“කවුද කිව්වේ”
“මට අන්කල්ගේ ඩ්‍රයිවර් කිව්වේ..මේක සෙල්ලමක් නෙමෙයි තීක්ෂණ”
තම මිතුරා තද හිතක් ඇත්තෙකු නොවන බව තීක්ෂණ දනී. සමහර නඩු වලදී අසාධාරණයට ලක්වූ පාර්ශවයන් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ කිසිඳු මුදලක් අය නොකරය. පුෂ්පානන්ද ගැන සිතෙහි පැහැදීමක් නොවූවත් ඔහු තම අප්පච්චීය යන හැඟීම මිතුරා තුළ පවතින වග විශ්වාසය. තවදුරටත් මේ ගැන ඔහු හා කතා කිරීම ඵලක් නොවේ යයි අවසන තීක්ෂණ සිතුවේය.
*********
අත්තම්මාගෙන් දුරකතන ඇමතුමක් පැමිණෙන විට අපූර්වා සිටියේ ත්‍රී රෝද රථ ගාලේය. පෙරදා පැමිණි කාන්තාවත් තවත් කාන්තාවකුත් පැමිණ සිටින බව පැවසූ නිසා ඇය ඉක්මන් වූයේ තමාට පැමිණි හයර් එකත් චින්තනට කතා කරමින් ඔහු ඒ ස්ථානයට යැව්වාට පසුවය..
ත්‍රී රෝද රථය කඩුල්ල අසල නවතා ඉන් බැස එන යුවතිය දෙස තමාරා බලා සිටියේ මහත් වූ සංවේගයක් සිය දෑස් වල තබා ගෙනය. දියණියක නැති අඩුව කාලයක් තිස්සේ තමන් ඕනෑවටත් වඩා විඳි බව තමාරාට සිහි වූයේත් ඒ හදිසියේමය. තවත් දරුවෙකු හදන්නට පුෂ්පානන්දට උවමනාවක් වූයේම නැත. ඔහුගේ සිතෙහි දියණියකට කිසිඳු ආශාවක් නොවූ බව තමාරා දනී. එනිසාම උපන්ගෙයි මරා දමන්නට සිදුවූ ඒ කැමැත්ත කාලයක් යනතුරුම සිතට වේදනාවක් පමණක් ඉතිරි කළ බව විශ්වාසය.
“මේ තමයි අපේ දරුවා….”
පියසීලී පැවසූයේ තමා අසලට පැමිණ නතර වූ දියණියව කාන්තාවන් දෙදෙනාට හඳුන්වා දෙමින්ය.
“දුව ගැන අපිට ගොඩක් දේවල් ආච්චි කිව්වා. ඇත්තටම මම ඔයාලගේ ගෙදරට ආවේ අහම්බෙන්. අපි මේ දවස්වල ස්වයං රැකියා කරන්න කැමති ගෑනු අයට මහන මැෂින් බෙදා දෙනවා. ඒ ආපු ගමනකදි තමයි අපි මෙහෙට ආවේ.”
“පුතේ…..මේ නෝනලා කියනවා අපිට ගේ හදලා දෙන්නම් කියලා..”
පියසීලි එසේ පැවසූයේ අපූර්වාගේ දෑස් මහත් කරමින්ය. ඒ දෑස් ඉන්පසුව කාන්තාවන් දෙදෙනාගේම කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ඇවිද ගියාය.ඒ තත්පරයකටත් අඩු කාල සීමාවකින්ය.
“මේක මගේ පෞද්ගලික මුදලින් කරන දෙයක්. කිසිම කෙනෙක් කිසිම ආයතනයක් මේකට සම්බන්ධ නැහැ. ඇත්තටම එදා ආච්චි කියපු විස්තර ඇහුවහම මට හිතුනා මුලින්ම ඕන කරන්නේ ඔයාලට ජීවත් වෙන්න හොඳ පරිසරයක් කියලා. මොකද අම්මට උනත් ඒක හරි වැදගත් වෙයි..ආරක්ෂාවක් වෙයි. ඇත්තටම අද අපි ආවේ ඒ දේවල් ගැන කතා කරගන්න. අපි යන ගමන් පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
“මැඩම්ලා කොහෙද……”
අපූර්වා තම හඬ අවදි කළේ තවත් විනාඩි දෙක තුනක් ගතව ගියාට පසුවය. දෛනාම මැදි වයසේ පසු වූ අයවලුන් විය. පෙනුමෙන්නම් ඔවුන් කිසිවෙකුට කරදරයක් කරන්නට ආ ගමනක් නොවන බව විශ්වාසය. එහෙත් පෙනුමෙන් මිනිසුන් මැනිය නොහැකි බව ඊළඟ තත්පරයේදී අපූරුවා තම සිතට වටහා දුන්නේ තරවටුවක්ද සමඟින්ය.”
“අපි කළුතර…”
වැඩිපුර කතා කළ කාන්තාවගේ පිළිතුරු සෘජු ඒවා විය. කුමක්දෝ හුරු පුරුදු බවක් ඒ මුහුණෙන් දැනුනත් අපූර්වා ඒ පිළිබඳව සිතුවේ නැත.
“අපිට මෙහෙම කරලා දීලා මිස්ලා මොනවද බලාපොරොත්තු වෙන්නේ..මං කිව්වේ..අපෙන්..”
අවසන ඕ ආයාසයකින් ගලපා ගත් වදන් ඒ මුවින් පිට කළේ මද හඬකින්ය. ඒ හා සමගම අපූර්වා ආච්චී දෙස බැලුවාය. ඒ දෑස් දැල්වී තිබුණේ බලාපොරොත්තුවකින්ය.
“කිසිම දෙයක් නෑ දුව. අඩුම තරමේ ඔයාලගේ ගේ හදල දීලා ඒකෙ ෆොටෝ එකක් ගන්නවත් මට උවමනාවක් නෑ. දුව.. මං මේ දේ කරන්නෙ සද්භාවයෙන්ම විතරයි. ඔයාලා වගේම මමත් මේ ජීවිතේ එක තැනකදි හරිම අසරණ වෙච්ච කෙනෙක්. මං දන්නවා..ඔයාලගේ ජීවිතේ වෙච්ච දේවල් එක්ක සමහර තීරණ ගන්න ලේසි නෑ.හැම තැනකදිම ඔයාලා දෙපාරක් හිතන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මම මේ වැඩේට ලොකු හාමුදුරුවන්වත් සම්බන්ධ කරගන්න හිතුවේ. සැකයක් බයක් හිතේ තියාගන්න එපා දුව. අපි හැමෝම මිනිස්සු. අපි එකිනෙකාට උදව් කර ගන්න ඕනේ..”
පියසීලි අසල උන් යුවතියට ලං වූ තමාරා එවේලේ පැවසූයේ ඇගේ හිසට අතක් තබාගෙනය. තවමත් ඒ මුහුණෙහි වූයේ සැකයක බියක සේයාවකි.
(යළිත් හමු වෙමු ආදරයෙන්)
ReplyForwardAdd reaction |