පිණි මුතු පලසක් – 33

0
1305

ගුණවතී එතන එලෙසින්ම තක්බීර් වී රැඳි ඉඳ්දී මල්කාන්ති කෙලින්ම සත්සරා සිටි කාමරයට ගියාය. ඇය සත්සරා අසල දණින් වැටී, ඇගේ හිස අතගෑවාය. සත්සරා අවදි වූයේ ඒ ස්පර්ශයටය. 

“අම්මා…?” සත්සරා මිමිණුවේ බියෙනි. ඒ වචනවල තැවරී තිබුණේ ප්‍රශ්නාර්ථයක් පමණක් නොවේ, දැඩි සැකයකි.

“ඔව් දුවේ, මම ආවා. මට සමාවෙන්න මම මෙච්චර කල් ඔයා ළඟ නොහිටියට,” මල්කාන්ති පැවසුවාය. ඇගේ කටහඬේ තිබුණේ ව්‍යාජ කරුණාවක් බව ගුණවතීට නොතේරුනා නොවේ. එහෙත් ගුණවතීගේ හදවතත් මොලයත් ඒ මොහොතේ අවධානය දුන්නේ මල්කාන්තිගේ හඬේ තිබුන ව්‍යාජත්වයට වඩා මල්කාන්ති විසින් කියන්නට යෙදුන සත්සරාගේ තාත්තා ගැන කතාවටය.

 “මං ඔයා ලඟ උන්නෙ නැති ටිකට ඔයා මොනවද දරුවො මේ දාගෙන තියෙන කරදර? ඔයා හරි ලොකු බොරුවක්නෙ පුතේ පොලිසියට ගිහින් කියලා තියෙන්නෙ. මන්ත්‍රී මහත්තයගෙ පුතා මොකටද ඔයාට කරදර කරන්නේ? කවුරුහරි ඔයාගේ ඔළුවට වැරදි දේවල් දාලා.” කියා මල්කාන්ති කියූ වදන් සත්සරාගේ හදවත විනිවිද ගියේ හී පහරක් විලසින් ය..

මෙතෙක් වේලා සත්සරාගේ දෑස්වල තිබූ බිය දැන් කම්පනයක් බවට පත් වී තිබෙන බවත් සත්සරා උන්නේ ඇත්ත නැත්ත කුමක්ද කියා හිතාගන්න බැරුව බවත් මල්කාන්ති මෙන්මා ගුණවතීද තේරුම් ගත්තාය. සත්සරා තමන්ට අම්මාත් තාත්තත් වුන අත්තම්මා දෙස  දෙස බැලුවේ අසරණ බැල්මකිනි. සත්සරාගේ කුඩා ලෝකය තිබුනේ නැවත වතාවක් කැඩී බිඳී ‍යමිනි. 

“නවත්තනවා ඕක, මල්කාන්ති හැබෑවටම උඹට පිස්සුද මේ දරුවට මේ වගේ බොරු කියන්න? මේ දරුවා මොනතරම් දුක් විඳලද කියල උඹ දන්නවද? ඒව දැනගන්නවත් අඩුම ගානෙ උඹ එක වතාවක්වත් ගමට ආවද? ආ වෙලාවක මේ දරුවා තමන්ගෙ බඩෙන් මේ ලෝකෙට ආව දරුවානෙ කියලා හිතලවත් උඹ ඒකිට ආදරෙන් කතා කරද?” කියා ගුණවතී අහද්දී ඇයගේ කටහඬ කාමරය පුරා දෝංකාර දුන්නේය. මෙතුවක් කාලයක් පුරාවට හිත අස්සේ ගුණවතී හිරකරගෙන උන්  කෝපය අද තිබුනේ ඇගේ මුළු ශරීරයෙන්ම පිට වෙමිනි.

“මං නෙවෙයි බොරු කියන්නේ? මං මොකටද මගෙ දරුවට බොරු කියන්නෙ? අනික ඇත්තක් උනත් බොරුවක් උනත් නිකන් ඇඟේ ප්‍රශ්න දාගන්නෙ මොකටද? ළමයි උනත් දැනගන්න ඕන කරදර අඟේ පටලගන්නෙ නැතුව ඉන්න. අනික මම මගේ දරුවට ඇත්ත කියන්නේ! මේ මිනිස්සු මේ දරුවව රවට්ටගෙන ඉන්නෙ. උන්ට මොකෝ අන්තිමේ කෙලවෙන්නෙ මේ කෙල්ලට මිසක්කා උන්ට නෙවෙයිනෙ”

“උඹට හැබෑවටම ලැජ්ජාව කියලා දෙයක් නැද්ද මල්කාන්ති? කාගෙ වචනෙ උඩද උඹ එකපාර මෙහෙම ගමනක් ආවේ? අනේ අපිට උඹෙන් කිසීඊඊම දෙයක් ඕන නෑ. කිසිම උදව්වක්වත් උවමනා නැ. මෙච්චර කාලයක් කරා වගේ උඹ උන්නු දිහාවකට වෙලා ඉඳපන්. ඒකතමයි උඹට අපිට කරන්න පුලුවන් ලොකුම උදව්ව. තව මෙතන මේ උඹ හින්දා අනන්ත මිනිස්සුන්ගෙ නොහොබිනා කතා අහගන්න වෙච්ච කෙල්ලට තව කරදර කරන්නෙ නැතුව ”කියමින්  ගුණවතී මල්කාන්තිගෙන්  සත්සරාව ආරක්ෂා කරගන්නට මෙන් සත්සරා ඉදිරියෙන් සිටගත්තාය.

“අවුරුදු ගාණක් මේ දරුවා උන්නද මලාද කියලා බලන්නෙ නැතුව දැන් ඇවිත් බොරු කියලා මේ දරුවව ආයෙත් රිදවන්න හදන්න එපා බොරුවට නිකන් බේගල් ඇද බබා මල්කාන්තියො. උඹ එදා කෙල්ලව දාලා ආපහු ගිය දවසෙ ඉඳලා මං නොවිඳිනා දුක් වින්දා මේ කෙල්ලව උස් මහත් කරන්න. මං කරාපු මොකක් හරි පවක් හන්දා ඒකිට මෙහෙම කරදර වෙච්ච එක හැබෑව. හැබැයි ඒව උඹ විහින් උඹේ ඇඟේ පටලවගත්ත කරදර වගෙ නෙවෙයි හැබැවටම ඒ දරුවට වෙච්ච කරදරයක්. අනේ මට පව් සිද්ද උනත් කමක් නෑ මං මගේ අත් දෙක එක්කහු කරල උඹට වැඳලා කියන්නේ ආ දිහාවකට තොලොංචි වෙලා පලයන්. අපේ ප්‍රශ්න අපි විසඳගන්නම් මෙච්චර කාලයක් කරගත්ත විදිහටම”

මල්කාන්තිගේ මුහුණේ කෝපයත්, යම්කිසි පසුතැවීමකුත් මිශ්‍ර වුන හැඟීම් තිබුණ බව ඇත්තකි. එහෙත් ඇය උන්නේ එය සැඟවීමට උත්සාහ කරමිනි. “මම ආවේ එයාට උදව් කරන්න, අම්මේ!” මල්කාන්ති ඒ වදන්වලට මුදු බවකුත්, අනුකම්පාව ඉල්ලන හැඟීමකුත් තවරුවේ හිතාමතාමය. කටහඬ ක්ෂණයකින් ඉකිබිඳුමකට වෙනස් කරගත් ඇය දෑස්වල කඳුළු පුරවාගෙන, සත්සරා දෙසට හැරුණේ මහත් වේදනාවකින් මෙනි. ඇගේ දෙතොල් වෙව්ලන්නට වූයේ ඒ දෙතොල් අස්සෙන් වචනවලට පනින්නට අසීරු කරමිනි..

“අනේ දුවේ… මට සමාවෙන්න පුතේ!” ඇය හඬා වැටෙන්නට පටන් ගත්තාය. ඒ කඳුළු සැබෑද, ව්‍යාජද යන්න වෙන්කර හඳුනා ගැනීමට අපහසු තරම් ය. මල්කාන්ති උන්නේ ඒ කඳුලු බිඳු වැටෙන තාලයට ගත වෙව්ලුවාලමිනි. නමුත් ඒ කඳුළු පිටුපස, ඇයව මෙහෙයවූ බලවේගයේ අරමුණු සැඟවී තිබුණ බව දැන උන්නේ මල්කාන්තිම පමණකි.

 “මට මොකුත් එපා.මිනිස්සු මොනවා කිව්වත් මොන අම්මද පුතේ තමන්ගෙ බඩෙන් වදාපු දරුවට කරදරයක් වෙනවා දකින්න කැමති? මන්ත්‍රීලා එක්ක හැප්පෙන්න අපි කවුද පුතේ? කරදරයක් උනත් නැතත් ඒ වගේ දේවල් අපි ලෝකෙට ඇහෙන්න කෑගහල කියන එකෙන් කරදර වෙන්නෙ අපිටමයි දරුවො. ඔහොම දේවල් දැනගත්තම පිට මිනිස්සු බලන් ඉන්නෙ උඹලට තව කරදර කරන්න? මේ ගමෙන් එහාට ගිය ලෝකයක් දැක්ක හන්දයි මං මේ කියන්නේ?. මම ආවේ මගෙ දරුවව මේ කරදරවලින් බේරගන්න. මට මේ කිසිම සැපක් එපා. මට ඕනේ මගේ දරුවා බේරගන්න විතරයි.” ඇය සත්සරාගේ නිදි පැදුර අසල දණින් වැටී, සත්සරාගේ අත අල්ලාගෙන හඬා වැලපුණාය.  

එහෙත් සත්සරා උන්නේ මේ වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුවය. ඇය ඇගේ අත ඇද ගත්තේ ඒ හැඟීම නිසාවෙන්මය.. ඇගේ කුඩා දෑස්වල තිබුණේ බිය සහ ව්‍යාකූලත්වය මිශ්‍ර වූ බැල්මකි. මේ හඬන මව, ඇය වසර ගණනාවක් නොදැක සිටි මවයි. ඇයව හැර දමා ගිය මවයි. අනුකම්පාව සහ සැකය අතර සත්සරාගේ හදවත තිබුනේ දෝලනය වෙමිනි.

“අම්මේ…” යැයි කියමින් සත්සරා ආච්චි දෙස බැලුවාය.

එහෙත් මල්කාන්ති උන්නේ තව තවත් හයියෙන් හඬමින් තමන්ගේ රංගනය තවත් හොඳින් රඟ දක්වන්නට කටයුතු කරමිනි.

 “ඔයා දන්නවද පුතේ, මම කොච්චර දුක් වින්දද කියලා ඔයාව දාලා ගියාට පස්සේ? මට පුළුවන් වුණේ නෑ ඔය අනික් මිනිස්සු කියනවා වගේ ඔයාව අමතක කරලා විනෝදෙන් ඉන්න. මං ඔයාව මෙහෙ දාලා කොළඹ ගිය බව ඇත්ත. ඇත්ත මම ඒ කිසිම දෙයක් නෑ කියන්නෙ නෑ. ඒත් ඇයි මං වැරදියි කියන්නෙ? ඔව් මං වරදක් කරගත්තා තමයි. මං ඒ දවස්වලත් තරුණ ගෑණියෙක්. කසාදයක් බැඳගෙන, මිනිහෙක් නැතුව ළමේක් බඩට ගත්තට මටත් ඕන උනා ගමේදි මට නොලැබිච්ච, කොළඹ කෙල්ලන්ට තිබ්බ වගේ ලස්සන ජිවීතයක් ගෙවන්න. ඇයි මං එහෙම හිතුව එක වරදක් කියන්නෙ?

දෙයියනේ මාත් ගෑනියෙක්. මාත් මනුස්සයෙක්.  මගෙන් වරදක් ඒ කාලේ උනා. මං ඒකට සමාව ඉල්ලනවා. මට වැරදිච්ච හන්දයි මම ආපහු ආවේ ඔයාව බේරගන්න. අම්මා ඇයි මට ඒකට ඉඩ නොදෙන්නෙ?” කියා ඇය ගුණවතී දෙස බැලුවේ දෝෂාරෝපණ බැල්මකිනි. තමන්ගේ වරද අනුන් පිට පටවන්නට වෙර දරමිනි..

ගුණවතීගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවීය. මල්කාන්ති කරන්නේ මේ සම්පූර්ණ රඟපෑමක් බව තේරුම්ගන්න අපහසුවක් අවුරුදු ගණනක අත්දැකීම් වලින් පෝෂණය වුණ ගැමි ගැහැනියක වුන ගුණවතීට අපහසු උනේ නැත.

 “උඹ මොනවා කිව්වත් උඹේ හිතු මනාපෙට මේ කෙල්ලව ගෙයින් එලියට අරන් යන්න මම ඉඩ තියන්නේ නැ. උඹ හිතුමනාපෙ දඩාවතේ ගිහිල්ලා බඩක් උස්සන් ආවම මං මේ දරුවව භාරගත්තා. උඹ අම්මා වෙන්නැති. හැබැයි උඹ ඒකිගෙ අම්මා විදිහට කරේ ඒකිව උඹෙ බඩෙන් උදුරලා අරන් මේ ලෝකෙට විසික් කර එක විතරයි. ඒකිව උස් මහත් කරේ, හැදුවෙ වැඩුවෙ, අම්මෙක්ගෙ කිරි නැති වෙලේ ඒකිට කොත්තමල්ලි වතුර පොවලා හැදුවෙ මම. මොන කොලේ මොන අයිතියක් ගැන තිබ්බත් මේ හිතේ ඒකි ගැන තියෙන්නෙ මිනිපිරියෙක්ගෙ අයිතියක් නෙවෙයි දරුවෙක්ගෙ අයිතිය. 

මං නාකි ගෑණි කියල උඹ හිතන්න එපා මල්කාන්ති මගෙ ඇස්වහලා උඹේ ඔය මගඩි වලට මේ අහිංසක දරුවව අහුකරගන්න. උඹ උඹේ ජීවිතේ විනාස කරගත්තට ඒවට මේ දරුවා වන්දි ගෙවන්න ඕන නැති බව අමතක කරන්න එපා. දැන් ඇවිත් බොරු නාට්ටි පෙන්නන්න එපා. මේ දරුවා විකුණගෙන කන්න උඹට මම ජීවත්වෙලා ඉන්නකම් ඉඩ දෙන්නෙ නැහැ!” ගුණවතීගේ කටහඬේ තිබුණේ ගලක් වැනි දැඩි බවකි. 

මල්කාන්ති සත්සරා දෙසට හැරී ඇගේ අත් තදින් අල්ලා ගත්තාය. “අනේ දුවේ, මාව විශ්වාස කරන්න. මම ඔයාට නරකක් කරන්නේ නැහැ. මම ඔයාගේ අම්මා. මම දන්නවා තාත්තා ගැන ඇත්ත. ඔයාගේ තාත්තා කවුද කියලා මම දන්නවා.” 

මෙතෙක් වේලා අත්තම්මා වෙතට නැඹුරු වී තිබුන සත්සරාගේ දෑස් ක්ෂණයකින් මල්කාන්ති වෙත හරවන්නට ඒ වචනවලට තිබුණේ පුදුමාකාර බලයකි.

තාත්තා? 

ඇයට තාත්තෙක් සිටියේ නැතැයි කිව්වේ මුලු ගමක්මය. ආච්චි අම්මා පවා ඒ ගැන කතා කළේ කලාතුරකිනි. ජීවිතයේ නොලැබුණු ආදරයක් ගැන තමන් සිහින මැව් වාර අනන්ත බව සත්සරාට අමතකව තිබුනේ නැත.

එහෙම මොහොතක “ඔයාගේ තාත්තා කවුද කියලා මම දන්නවා.” කියා අම්මා කියූ වදන් සත්සරාගේ හිත අම්මා දෙසට නැඹුරු කරන්නට හේතු වූවායැයි කීම වැරදිද?

දරුවන් කොහොමත් ආදරය ඇති පැත්තට බර වැඩිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here