හිමගිරි අරණ -69

“ඒ මේ රටේ ජනාපතිගේ දුව වුණත් කමක් නෑ.”

රවිඳුගේ අම්මා සුරම්‍යා ඉතා සාම්ප්‍රදායික අම්මා කෙනෙකුගේ වෙස් ගන්නට ගත වූයේ මිනිත්තු කිහිපයකි.අනතුරුව ඇය උස් හඬින් වැළපෙන්නට ද වූවා ය.රවිඳු අකම්පිතව බලා හිඳින්නට තීරණය කර තිබිණ.සියළු ආශිර්වාදය පිරිනමමින් අම්මා සන්තෝසයෙන් ඇලලෙනසුළු පුවතක් ඇයට දීමට නොහැකි වීම ගැන ඔහු තුළ කම්පාවක් නොවී ය.මේ තීරණය තමන්ගේ ය.තමන්ගේ තීරණ ගැන කම්පා නොවන්නට ඔහු සිතා ගත්තේ ය.

“දරුවෙකුත් ඉන්න කෙනෙක් කෙල්ලක් නෙවෙයි ළමයො. ඒ පොඩි දරුවා අවුරුදු හතරටත් කිට්ටු දරුවෙක්.අපි පාරේ බැහැල යන්නෙ කොහොමද?”

කලනි අක්කා ගර්භනී වීම ප්‍රමාද වෙද්දී සෑම කෙනෙකුම ඇයට දරුවෙකු ලැබීම ප්‍රමාද වීම ගැන විමසන බවත් එය පාරේ බැස යන්නට අසීරු සිදුවීමක් බවත් කියමින් අම්මා විස්සෝප වී වැඩි කලක් නොමැත.දැන් ඇය කම්පා වන්නේ මව් පදවිය දරන ගැහැනියක තමන්ගේ බිරිඳ කර ගන්නට රවිඳු ගත් තීරණයට ය.

“අම්මා ඒ ළමය දැක්කම එවෙලෙම ගෙදර ගේන ආසාවෙන් හිටියෙ එහෙනං?”

කලනි ඇසුවේ අයියා මලෝට අම්මා මෙල්ල කර ගන්නට නොහැකි වුව ද ඒ මන්තරය හොඳින් දන්නා හපනිය වීමේ ගර්වය ද සහිතව ය.මේ කොහොමටත් සාම්ප්‍රදායික නැන්දම්මාට ඇඳගත් මොහොතක් නිසා සුරම්‍යා ඇය වෙත දරුණු රැවුමක් පා කළා ය.

“හරි ඉතිං,ඕනම ප්‍රශ්නෙකට විසඳුමක් තියනව.”

දුමිඳුට අම්මාගේ සිත ද මල්ලීගේ සිත ද නොබිඳී තබා ගන්නට අවශ්‍ය වූයේ ය.පවුලේ සාධාරණ කොටා වූ ඔහුට දෙපාර්ශවයේම සිත් නොරිදවීමට හේතු නිර්මාණය කරන්නට සිතිණ.

“අපිට ඒ චූටි දූ අත්තම්මා එක්ක තියන්න බැරිද? මම කියන්නේ හිමාෂාගේ අම්මා එක්ක.එතකොට අපේ නෑයෝ කවුරුත් දැනගන්නේ නෑනෙ ඒ ගැන.නැත්නම් හිමාෂාට බැරිද බබාගේ තාත්තාට බබාව දෙන්න.”

ඒ යෝජනාව සුරම්‍යා මඳක්  සන්සුන් කරන්නට සමත් විය.වඩාත් නරක යමක් සිදු වනවාට වඩා මේ යෝජනාව සුවදායි එකකි.නමුත් ඇගේ සැනසීමට තත්පර දෙක තුනකට වඩා ආයුෂ දෙන්නට රවිඳු නොකැමති විය 

“මං ආස නෑ අම්මා ඒකට.”

ඔහු කියන්නේ අකමැත්තෙනි.ඉනික්බිතිව ඔහු හිමාෂා දරුණු රැවටීමකට හසු වී විවාහය අවසන් කළ අන්දම පැහැදිලි කළේ ය. ඇය සහන්ගෙන් නික්මී පැමිණ ඇත්තේ දියණිය මාස කිහිපයක් වයසැතිව හිඳියදී ය.එනිසාම ඇය දියණිය ඇතිදැඩි කරන්නට අනේක දුක් විඳින්නට ඇත.හිමාෂා දිනා ගැනීම වෙනුවෙන් ඒ මව් දියණි බැඳීම කඩා දමන්නට තමන්ට නුවුමනා බව කියද්දී තමන්ගේ කටහඬ එතරම් තද ස්වරයක් ගැනීම ගැන රවිඳුට සුළු හෝ පසුතැවීමක් ඇති නොවිණ.මේ මොහොතේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට තදබල උවමනාවක් ඇති විය.

“අනිත් කාරණේ තමා එකපාරක් මිනිහෙක්ට එපා වෙච්ච ගෑනියෙක් ඔයාටත් එපා නොවෙයි කියලා ඔයා කියන්නේ කොහොමද?

සෑම මිනිසෙකුටමත් ගැහැනියකටත් ජීවිතය තුළ නැවත නැවත අවස්ථා හිමි විය යුතු බවට සමහර තැන්වල කියැවෙන අන්දම රවිඳු අසා තිබේ.නමුත් සිදු නොවන්නේ ද එයම ය.අමිහිරි විවාහ ජීවිතයක වින්දිතයකු බවට පත් වී ඒ විවාහයෙන් වෙන් වූ හිමාෂාට ජීවිතය නැවත ඇරඹීමේදී වරදකාරිය වන්නට සිදුව තිබේ.ජීවිතයේ 

නව පරිච්ඡේදයක් ඇරඹීමට ඇගේ ජීවිතයේ වටිනාම වස්තුව ඇගෙන් වෙන් විය යුතු යැයි මත ඉදිරිපත් වේ.

ජීවිතය මොනතරමට අසාධාරණදැයි රවිඳුට සිතෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles