පෙමාතුර -20

විසල් මල්වැන්න ව නො තකා හිඳින බව හඟවනු වස් කාමරයට ආවාට නිදි මතක් කියා දෙයක් මට දැනුණේ ම නැත. හිතේ තිබුණේ සීරුම් තුවාලයක රිදුමකි. කුස ගින්නක් නො වුණත් කුසත් උදරයක් අතරේ දැවිල්ලක් එහෙ මෙහෙ වූයේ ය. මම ඇස් දෙක තද කර ගෙන ඇඳට වැටී සිටියෙමි. එතකොට සහනයක් සැනසීමක් දැනෙනු වෙනුවට ඇස් කෙවෙනි ද කෙවුණේ ය. මම යහනේ ඒ මේ අත පෙරළුණෙමි. උඩුකුරුව ද යටිකුරුව ද ඇලයට ද සිටියෙමි. ඒ කිසිදු ඉරියව්වක් පහසුවක් දැනවූයේ නැත. 

පහළ මහලෙන් ඉඳ හිට උස් සිනා කතා හඬවල් නැගිණි. මට හිතුණේ ම ඒ විසල් හෝ ඉෂිනි කියා ය. එතකොට හිතේ නො සන්සුන් කම තවත් තීව්‍ර වෙයි. මම දෑතින් දෙසවන් වසා ගනිමි. නමුත් හිතේ ඔවුන් ගේ රූ මැවි මැවී පෙනේ.

 මා මෙහි සිටිනා එක කාටවත් ගණනක් නැත. මා නො කෑවාට මගේ කුස ගින්න කිසිවෙකු ට වගක් නැත. මා හොඳට ම නිදා ගත්ත ද මා එහි නැති වග කිසිවෙකුට මතක් නොවනු ද ඇත. මතක් වුණ ‘කිසාට ඉතින් නින්දට වඩා සැපතක් තියෙනවයැ’ කියා එය අමතක කොට දමනු ඇත. ඔවුන් ගේ විනෝදයට සතුටට කතා බහට මා කිසි සේත් අදාල වන්නේ නැත. මා නැති වීම බාධාවක් වන්නේ ත් නැත.

ලෝකයේ හැටි එහෙම ය. මිනිසුන් ගේ හැටි එහෙම ය. හැම දාමත් දැන ගෙන සිටි ඒ පරම සත්‍යය මේ මොහොතේ මට වඩාත් ප්‍රත්‍යක්ෂ විය. කෙනෙකු හට අප ඕනෑ වන්නේ අප ඔවුන් ළඟ සිටියදී ය. මතක් වන්නේ ද බොහෝ විට අප ඔවුන් ළඟ සිටියදී ය. දුරින් ඉන්නා විට අපේ අවශ්‍යතාවය මඳින් මඳ අඩු වී යයි. අමතක නොවුණ ද මතකයෙන් දුරස් වී යයි. 

මිතුරුකම් හා හිතවත් කම් ගැන මගේ අවබෝධය එසේ ය. දුරින් සිටියත් හදවතින් සමීප බව දැනෙනා මිනිසුන්, අප ඕනෑ ම කෙනෙකු ට සිටිනුයේ අල්පයකි. 

ඉසිහින් කළකිරීමක් හිත දිය කරමින් යනවා දැනිණ. මම කොට්ටයේ තදින් මුහුණ ඔබා ගතිමි. මෙවන් කලකිරීම් සමගින් ජීවත් වීම අසීරු ය. වඩාත් පහසු මට පුරුදු ක්‍රමයයි. ඇලීම් ගැලීම් හා බැඳීම් වලින් ලිහිල් ව ගෙවනා හුදෙකලා ජීවිතයයි. 

ලොකු හුස්මකින් මම යහනෙන් නැගී සිටියෙමි. උගුරෙහි වියළි බවක් විය. පිපාසයක් දැනුණේ ය. කාමරයේ මේසය මත වන මැටි බෝතලයෙහි වතුර නිම වී තිබුණෙන් පිපාසය සන්සිඳුවා ගන්නට නම් කුස්සියට ම යා යුතු ව තිබිණ. වතුර තිබහා අමතක කළ මම අගුළු නොලා තිබි වීදුරු දොර තල්ලු කර ගෙන සඳැල්ලට ගියෙමි.

කණාමැදිරි යුවලක් ඉක්මන් ගමනින් රවුමක් යමින් සිටිති. හඳ එළිය නොතිබී ද අහසේ තරු ලකුණක් සොයා ගත නො හැකි තරම් විණි. වලා වියනකින් අහස් තලය වැසී පවතිනවා විය හැක.

එක් වන ම පඩි පෙළ නැග ආ විසල්, මා දුටුවෙන්  සඳැල්ලෙහි නතර විය. මම වෙනතක් බලා ගතිමි. ඔහු ගරාදි වැටට බර වෙනවා අඩැසට පෙනුණේ ය. 

“බඩගින්නෙ ඉඳලද පළි ගන්න හදන්නෙ..”

මම මගේ මුහුණ තව දුරටත් පැත්තකට හැරවීමි. 

“තියන නපුරු කමක්”

ඔහු කීවේ ය. එවර මම මුහුණ කෙලින් කොට ඔහු දෙස බැලුවෙමි. මගේ මුහුණේ රැවුමක් තිබෙන්නට ඇත. විසල් ට සිනහ ගියේ ය.

“එන්න එන්න. කන්න”

කියමින් යළි ඔහු පිය ගැට පෙළ බැස්සේ ය. ඒ අපේ ගෙදරට එන්න විය යුතු ය. ඒ කියන්නේ ඔහු මේ ගමන ආවේ ම මා මෙහි වෙතැයි බලාපොරොත්තුවෙන් ද? මම තවත් මඳ වෙලාවක් එතැනට ම වී සිටියෙමි. සීතල පවන මගේ සිතිවිලි යම් පමණකට මොළොක් කරන්නට ඇත. 

විසල් ට එකඟ නොවී තව දුරටත් කාමරයට ම වී ඉන්නට හිතේ එක පැත්තකට හිතුවක්කාර උවමනාවක් වූයේ ය. නමුත් හිතේ අනිත් පැත්තට උවමනා වූයේ පහල මහළට යන්නට ය. කෙසේ වෙතත් විනාඩි ගණනකින් තරඟයකින් පසු ජයග්‍රහණය ලැබුවේ පහළට යන්නට ඕනෑ කී පැත්තයි. 

“ආ…මෙන්න මෙයා ඇහැරිලා”

මා දුටු වන පුංචී කීවා ය. ඔවුන් හිටියේ කුස්සියේ පළතුරු හා කැවිලි වට්ටි අසුරමිනි.

“කාල හිටපං කෙල්ලෙ. බඩගින්නෙනෙ තාම”

නදීරා ට මා නොකෑ බව සිහිපත් විය.

“කන්න කම්මැළියි අනේ”

මම ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් ම පුරවා ගෙන බීවෙමි.

කෙළවර මේස පුටුවෙහි හිඳ ගෙන විසල් පිරිකර අසුරමින් ම දෑස් මවෙත යොමු කර ගෙන හිඳිනු දැනිණ. ඔහු ගේ ඇස් දිළිසෙමින් ඇති බවක් ද මට දැනුණේ ය. නමුත් මම ඔහු දෙස නො බලා සිටියෙමි.

“කන්න කස්මැළියි කියන්නෙ. හිස් බඩ ඉඳල ඊළඟට ගෑස් ඇවිස්සිලා කියල නටයි”

කෑම ගැන උනන්දුවක් නැති කම නිසා ම මම නිතර ගෑස්ට්‍රයිටිස් වලින් පීඩා විඳිමි. මේ වගේ අවස්ථාවක එවැන්නකට මුහුණ දෙන්නට වුවහොත් එය අනවශ්‍ය කරදරයක් බව දන්නවා වුණත් මට කෑම ක අවශ්‍යතාවයක් වූයේ නැත. විශේෂයෙන් ම විසල් ට පේන්නට කෑම වර්ජනය කිරීමෙන් මම විකෘති සතුටක් විඳින්නට ගියෙමි.

“බෙදාගෙන එන්න මං කවන්න”

අම්මා කීව නෑසුණ සෙයින් මම ඈ අසලින්, මේසයේ විසල් හිඳ උන් කෙළවර ට ප්‍රතිවිරුද්ධ කෙළවර අසුණේ හිඳ ගතිමි. මේසය දිග දිගු කළ අතක් මත මගේ නිකට තියා ගෙන නිසල වීමි. හිතා මතා දුක් විඳීමෙන් ද මිනිසුන් සතුටක් ලබනවා නම් මා කරමින් සිටියේ ද එය ය. විසල් ට මා පෙම් කරන බවත්, ඔහු මට හිමි නැති බවත්, ඔහු ගේ සහකාරිය අත පොවන මානයේ හිඳිනා බවත් සිහි කරමින් මා විඳි දුක, හෙළවෙන දතක් දිවෙන් පෙරළමින් විඳිනා මිහිරි රිදුමට සමාන වූවකි. 

මා බත් බෙදා ගෙන එන්නට නො නැගිටි නිසා දෝ පුංචා බත් පිඟානක් ගෙනැවිත් අම්මා ඉදිරියේ මේසය මතින් තැබුවා ය. 

“ගියාම ඔච්චර දුකයිනං විරංගව තියා ගන්නනෙ තිබුණෙ…නේ…”

ඒ පණ්ඩිත කතාව ඉෂිනි ගේ ය. ඒ කතාවට මා නො රිසි වී ද මේ වෙලාවේ ඈ එහෙම කී එක ගිලෙන්නට යන මිනිසාට හසු වූ පිදුරු ගසක් සරි වූයේ ය. අපේ කිසිවෙකු ඒ කතාවට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. මා පෙම් කරන්නේ පෙම්වතියක සිටිනා කොල්ලෙකුට බව නදීරා දැන සිටියා ය. ඇතැම් විට ඇය ඒ බවක් පුංචිට ද පවසා තිබෙන්නට ඇත. විරංග වනාහි ඒ තැනැත්තා නොවන බව වටහා ගන්නට ඔවුන් ට බැරි කමක් නැත. අපි අපිව මැනවින් හඳුනන්නෙමු. 

අම්මා මට බත් කැව්වා ය. මා කෑවේ ඉතාමත් හෙමිනි. ඒ සඳහා අවශ්‍ය ඉවසීම අම්මා ට තිබේ. පුංචා විනි නම් “ගිලපංකො බං. ඔය තරං හපන්නෙ මොනාටද” කියා සිය වරක් වත් කියනු ඇත.

මම අම්මා දෙස බලා සිටියෙමි. ඇය නම් දේවතා රූපයකි. සුදු හීන්දෑරි උස් සිරුරක් ඇති ඕ තොමෝ, සිය අභ්‍යන්තරික සන්සුන් කම මුහුණෙන් කැඩපතක් සේ ප්‍රකාශ වන්නට හැරි තැනැත්තියකි. ඒ අම්මා ගේ දුවට තියෙන්නේ කෙතරම් සංකීර්ණ සිතිවිලි ද? කෙතරම් වියවුල් සහගත, කැළඹුණ සිතිවිලි ද?

විසල් හිටියේ කතා නැති ව ය. ඔහු පිරිකර වර්ග වෙන වෙන ම පාර්සල් කළේ ය. ඉන්පසු ඒවා පෙට්ටි වල අසුරා ඒ පෙට්ටි ඇසුරුම් කඩදාසි වලින් ඔතන්නට යෝජනා කර තිබුණේ මා ය. 

“ඔන්න විසල් පිරිකර ටික වෙන වෙනම පාර්සල් කරනව. කිසා ඔයා ට ඕන විදිහට එකට දාල හදා ගන්න”

අම්මා බත් කැවූ පසු මම පෙට්ටි ටික ආලින්දයට ගෙනැවිත් දමා නැවත පිරිකර එහි ගෙන ගියෙමි. විසල් මගේ ආරාධනයකින් තොර ව ම ඒවා ගෙනැවිත් වෙන් වෙන් ව ගොඩ ගැසුවේ ය. ඊළඟට පෙට්ටි වල අසුරා දවටනයෙන් ඔතන්නට මට බලයෙන් වාගේ උදව් වුණේ ය. මේ වෙලාවේ ඉෂිනි ව නදීරා වෙනත් වැඩකට හවුල් කරගෙන තිබිණි. නො එසේ විණි නම් ඇය ද අප වෙත එන එක වළකා ලිය නො හැකි වනු ඇත.

“තාමත් ඉවර නැද්ද ඔය තරහ…”

මා ඔහු සමගින් වදනකුදු නො දොඩා සිටියදී විසල් ම කතා කළේ ය. මම ඇස් කුඩා කොට නළල රැලි නංවා ගතිමි.

“අනේ…මං මොනාට තරහ වෙන්නද…”

“පේනව ඒක”

ඔහු සිනහ වූයේ ය. මම ඔහු දෙස බලා තවත් ඇස් කුඩා කළෙමි. විසල් ගේ ඇස් මගේ ඇස් සිප ගත් බවක් දැනිණ. එතෙක් ගල් කර ගෙන උන් යම් සිතිවිල්ලක්, හිරු දුටු හිම කැටියක් සේ දිය වී යන්නට විය. මම පුදුම සැහැල්ලුවක් අත්විඳිමින් සිටියෙමි.

මා පෙට්ටියට පිරිකර අසුරා දවටනයෙන් ඔතත්දී විසල් සෙලෝටේප් අලවමින් ඊට හවුල් වූයේ ය. ඔහු ගේ සුසුම් සුවඳ මට ළඟින් ම දැනිණ. ඔහු ගේ අතැඟිලි ඉඳ හිට මගේ ඇඟිලි වල හැපෙමින් මා උණුහුම් කළේ ය. 

“එක්කෙනෙක් දැන් හොඳට නිදි ඇති නේ…හීන එහෙම බල බල..”

අතර මගක දී ඔහු විහිළුවක් කළේ ය. මම දෙතොල් තෙරපාන ඔහු දෙස බැලුවෙමි. මගේ ඇස් බර වී තිබිණි. ඒ කඳුළු වලින් නොවේ. ආදරයෙනි! 

ඉෂිනි කෝපි තනා ගෙන අප ට ද ගෙන ආවා ය. 

“මේ දෙන්නට මා…ර අමාරු වැඩක් තමයි දීල කියෙන්නෙ…අපි තමයි කුස්සියෙ වැඩට අහු වෙලා තියෙන්නෙ”

ඈ කළේ නොක්කාඩු කීමක් ද? නමුත් ඇගේ දෙතොල් වල සිනහවක් විය. ගැහැනුන් හිතේ එකක් තියා ගෙන ඊට සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක් කියන්නට සමත් අරුම පුදුම ජීව කොට්ටාසයක් බව මම දනිමි. මේ මොහොතේ ඉෂිනි හැසිරෙන්නට ඇත්තේ ත් එසේ ය. නමුත් මම ඒ බව නො තේරුණා සේ කතා කළෙමි.

“ඉතිං ඔයාටත් එන්න තිබුණනෙ මේව රැප් කරන්න…කුස්සියට වෙලා ගෑනු කතා අහ අහ ඉන්නෙ නැතුව”

විසල් කට ඇද කොට මඳ සිනහවක් හෙළුවේ ය. ඒ සිනහවෙහි අවඥාවක් නොවේ කියා හිතන්නට මට ඕනා විය.මන්ද, තමන් ට පෙම් කරනා ගැහැනිය ට පෙරළා ප්‍රේම නොකළ ද ඇව සමච්චලයට බඳුන් කිරීමේ අයිතියක් කිසිදු පිරිමියෙකු ට නැත ය කියා සිතන්නට මා කවදත් කැමති වූ බැවිනි.

ඒ රාත්‍රිය මගේ ජීවිතයේ මතක සටහන් අතරින් එකකි. අප කාගේත් ජීවිත වල එහෙව් මතක සටහන් තිබෙනවා ඇත. ඒවා මහා ලොකු දේවල් නො වන්නට පුළුවන. නමුත් මොකක්දෝ වටිනා කමකින් අපි හද නිධානයෙහි ඒවා සඟවා ගෙන හිඳිමු. විසල් ගේ දීප්තිමත් පිරිමි ඇස් වල ග්‍රහණයට ලක් වෙමින් ද ඒ ඇස් සමග අනවසර සෙල්ලමක් කරමින් ද රාත්‍රියක් ම ගත ව ගියේ ය. ඔහු විරංග ගැන ඇසුවේ නැත. මා ඉෂිනි ගැන කිසිත් කීවේ ද නැත. 

ඒ වාගේ අවස්ථාවන් යනු ජීවිතයකට සුවිශේෂ වූ සිදුවීම් ය. ආදරයක ඇති වීමත් වර්ධනය හා පැවැත්මත් නැති වී යාමත් කියන සියල්ල සැලසුම් කළ නො හැකි ඒවා ය. ඒවා සිදු වන්නේ අනිච්චානුග ව යයි මා කීවොත් ඔබ කොතෙක් දුරට එකඟ වේවිද කියා මා දන්නේ නැත. 

සමහර විට අපි හිතා මතා ම දුක කියනා ගැඹුරු ළිඳට පනින්නෙමු. ඒ ළිඳ කෙතරම් ගැඹුරු වී ද, ඒ ගැඹුරු බව ගැන අදහසක් වී ද නොවුණා සේ අපි එහි පනින්නෙමු. ශෝක රසයෙහි ගැලීම තුළ ද මිනිස්සු යම් වින්දනයක් ලබති.

“මට දෙයක් කියන්න ඕන”

මගේ කාමරයේ අල්මාරියෙහි තැන්පත් කොට ඇති සුදු රෙදි වගයක් ගෙන එන්නට අප දෙදෙන උඩු මහලට ගිය වෙලාවක මම විසල් ගේ මූණ දෙස කෙලින් බලා ගෙන කීවෙමි. ඔහු ගේ හිතේ තැතිගැන්මක් විණි ද කියා මා දන්නේ නැත. 

“මන් දන්නව මේක සෙල්ලමක් නෙවෙයි කියල. ඒත් තව දුරටත් මේක හිතේ තියං ඉන්න මට කිසි ඕන කමක් නෑ. මේක කිව්වයි කියල ඔයාගෙන් අබ මල් රේණුවක දෙයක් බලාපොරොත්තු වෙනව කියලත් හිතන්න එපා. මං දන්නෑ වරදක්ද කියල..වරදක් වුණත් දැන් මං ඒක කරල ඉවරයි. ඒක නිසා මං මේක ඔයාට කියනව. මේ කනෙං අහල අනිත් කනෙන් පිට කරල දැම්මත් මට කමක් නෑ. හැබැයි මං මේක දැං කියන්න ඕන. සමහර විට ආයෙ කිසි දවසක මට ඒක කියා ගන්න අවස්ථාවක් නොඑන්නත් පුළුවන්. ඒක නිසා මට මේක කියන්න දෙන්න”

විසල් ගේ දෑස් තාරකා එළි සේ මගේ ඇස් මත්තෙන් පායා තිබිණි. මම ඒ ඇස් පහන් වල පැටලී ගතිමි.

“මං ඔයාට ආදරෙයි. මීට කලින් මං මෙහෙම ආදරේ කරල නෑ. මීට පස්සෙ එහෙම කරන එකකුත් නෑ. ඔයා කාව මැරි කළත් මං ඔයාට ආදරෙයි”

කියා ගෙන කියා ගෙන ගොස් මම හති ඇරියෙමි. විසල් ගේ හිසෙහි සෙවනැල්ල වඩාත් ළඟින් මගේ මුහුණ මත පතිත වෙමින් තිබිණි. වෙන දෙයක් වෙන්නට හැර මම ඇස් දෙක පියා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...