සඳ කත් මිණි ඇස් – 36

ගජධීර මහතා බරාඳයේ හාන්සි පුටුවෙහි වැතිර සිටියේ ය. මැතිණිය සක්මනෙහි යෙදුණා ය. දෙදෙන ම සිය වෘත්තියන් හි ඉහළ තනතුරු වලින් විශ්‍රාම ගෙන සිටිය ද තරුණ පෙනුම ඒ තරම් වියැකී ගොස් නැත. කෙටි වන්නට කැපූ, කළු වර්ණ ගැන්වූ  කොණ්ඩය නිසා මැතිණිය ගේ පෙනුම හුරුබුහුටි ය. සුදු වූ කොණ්ඩයත්, මතු වෙන සුදු රැවුල් කොට සහිත නිකටත් නොවිණි නම් ගජධීර මහතා ගේ වයස ද හංගා තබන්නට පුළුවන. නමුත් ඔහු ට ඒ ගාම්භීර පෙනුම අත්පත් වී තිබෙන්නේ සුදු කේ නිසාම ය කියා ද  සිතිය හැක.

“කිසි කතාවක් බහක් නැතුව සූර්යාව වෙහිකල් එකට දාගෙන ගියා. මටනං තේරෙන්නෑ මේ මොනවත්..සූර්යා හදිස්සියෙම ආයෙ ෆ්‍රාන්ස් යන්න ලෑස්ති වුණේ ආලෝක නොදැන ද…ඒ දෙන්න අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් ද…”

“අපි මෙතන ඉඳල පේන කියන්නෙ කොහොමද සන්ධ්‍යා…”

ගජධීර මහතා හාන්සි පුටුවේ කෙළින් වෙන ගමන් සුසුමක් මුදා හළේ ය.

“එයාල පොඩි ළමයි නෙවෙයිනෙ. එ්ගොල්ලන්ගෙ ජීවිත ගැන තීරණ ගන්න අයිතිය ඒගොල්ලන්ට තියෙනවනෙ”

අතීතයෙන් අකුණක් ඇවිත් අත පොවන මානයක ම පුපුරා ගියා සේ සන්ධ්‍යා ට දැනිණ. යළි පිරියම් කළ නොහැකි වරදක් අතීතයේ සිදු ව තිබේ. පිරියම් කළත් ඒ කැළැල් මුළුමනින් මකා ලිය නො හැකි ය. තරුණ වියට පත් දරුවන් ගේ ජීවිත ගැන තීරණ ගැනීමේ අයිතියේ වගකීම ඔවුන් වෙත පවරා දිය යුතු බව දැන් දැන් ඇයට වැඩි වැඩියෙන් දැනේ.

දෙමව්පියන්ට ඉරණම ලියා දිය හැකි දරුවෝ සිටිති. නමුත් සමහර දරුවන් එසේ නැත. ඔවුන් කැමති ඉර හඳ තාරකා කුඩු පට්ටම් කර ගෙන හෝ සිය ඉරණම තමන් ගේ අතින් ම ලියා ගන්නට ය. එවන් දරුවන් ගෙන් කෙනෙකි සූර්යා. එදා ඇය ට එසේ කළ නො හැකි වූයේ ආලෝක පලා ගිය නිසාවෙනි.

නමුත් ගජධීර යුවළ ලියන්නට ගිය ඉරණම සැබෑ එකක් වූයේ නැත. එය ඒ ආකාරයෙන් අතර මගක දී ලිහී ගිය බැඳුමක් වූයේ එනිසාවෙනි. සූර්යා විය ආලෝකය සොයා ගෙන සත් සමුදුරු තරණය කොට යළි පැමිණියා ය. ඒ සියල්ල අවසානයේ ඇය ම යළි සයුරෙන් එතෙරට පැන යන්නට සැලසුම් කරන්නට  තරම් දැඩි තීරණයක් ගන්නට හේතු මේ මවු පිය යුවළ නො දනිති.

“සූර්යා ආයෙ ෆ්‍රාන්ස් යනවද නැද්ද කියන එක ගැන එයා ඩිසිෂන් එකක් ගනී. එක්කො ඒ දෙන්නා ගනී.අපි තවත් ඒ ගැන පසුතැවිලි වෙන්න හේතු හදා ගන්න ඕන නෑ”

ගජධීර මහතා කීවේ ස්ථිරසාර හඬකිනි. සන්ධ්‍යා යමක් කියන්නට මුව විවර කළේ නැත. සැමියා ගේ ඒ කතාව තුළ වන්නේ ඇනුම් පදයක් සේ ඇය ට දැනේ. අතීතයේ දී සිතු පැතු ඇතැම් ආකාර දැන් කාලය ඉකුත් වීමකට ලක් ව ඇති බව ඇත්ත ය. නමුත් නමන්ගේ පැලැන්තිය ගැන වන අභිමානය සැම කල් හි කෙනෙකු තුළ ක්ෂීණ නොවී පවතින්නට පුළුවන. එදා ගජධීර මහතා තුළ ආලෝක කෙරේ යම් පැහැදීමක් තිබිණි ද සූර්යා ගේ හින හැබෑ කර ගන්නට ඉඩ නො ලැබුණේ සන්ධ්‍යා ගේ ඇතැම් ප්‍රතිපත්ති නිසාවෙනි.

“ඔන්න එනව”

පිවිසුම් දොරටුව ඉදිරියේ ආලෝක ගේ රිය නතර වූයේ ය. සූර්යා ඉන් බැස ගේට්ටුව ඇරියා ය. ආලෝක විසින් ඇදගෙන යනු ලබද්දිත්, ඊට පෙර කිහ්ප දිනක් තිස්සේත් සූර්යා ගේ මුහුණේ වූ හිස් බව දැන් දැකිය නොහැකි බව සන්ධ්‍යා ට නිරීක්ෂණය කළ හැකි විය.

ගජධීර අසුනෙන් නැගිට ගත්තේ රියෙන් බට කාන්තාව දුටු විට ය. චාන්දනී!

චාන්දනී ද මඳක් තිගැස්සී ගියා ය. නමුත් අතීතයේ දී සේ ම ඕ වහා සන්සුන් වූවා ය. අජන්ත ගජධීර වූ කලී සූර්යා ගේ පියා යයි ඕ තොමෝ සිහිනයෙන් හෝ දැන සිටියේ නැත.

“අම්මි මේ ආලෝක ගෙ අම්ම”

සූර්යා හඳුන්වා දුන්නා ය.

“මේ මගෙ අම්මියි තාත්තියි”

චාන්දනී සාරි පොරින් උරහිස හොඳින් වසා සකසා ගත්තා ය. මේ විදිහට හිස කෙළින් තබා ගෙන වැරදිකාර හැඟීමකින් තොර ව මේ ගෙදරට ගොඩ වෙන්නට ලැබීම ම මොන තරම් භාග්‍යයක් දැයි ඇය සිතුවා ය.

“ඉඳගන්න ආලෝක ගෙ අම්ම”

සන්ධ්‍යා ඇරයුම් කළා ය. මේ හදිසි ආගමනය ට හේතුවක් හිතා ගන්නට ඇය ට නුපුළුවන. නමුත් තිදෙනා ගේ ම මුහුණු වල නොසතුටක් හෝ වෙනත් කලබල විය යුතු හේතුවක් පේන්නට නැතියෙන් සන්ධ්‍යා සන්සුන් වූවා ය.

“මිස්ට ගජධීර…”

මීට වසර විසි පහකට කලින් ඔහු අමතන්නට පුරුදු ව හිටි ආකාරයෙන් ම ආලෝක සූර්යා ගේ පියා ඇමතුවේ ය. නමුත් එදා නොතිබුණ බරක් අද අජන්ත ගජධීර ගේ හිතට දැනේ.

“මිසිස් ගජධීර…අපි…මැරි කරන්න තීරණේ කළා”

එදා එසේ කියන්නට නො තිබුණ ආත්ම ශක්තියක් අද ආලෝක ට තිබේ. කාලය තරමක් ගත වී තිබිණි ද ප්‍රේමය වියපත් ව ගොස් නැත්තේ ය. කවදා හෝ දවසක තමන් ට උවමනා දේ කෙසේ හෝ අත්පත් කර ගන්නා මිනිසෙකු ට දැනෙනා අභිමානය ඒ තරුණ හදෙහි දෝරෙ ගැලුවේ ය.

“ආලෝකගෙ අම්ම…මේ ගැන අකමැත්තක් නැද්ද…”

එදා අකමැති වූයේ සන්ධ්‍යා ය. නමුත් දැන් ඊට චාන්දනී ට හේතු වන බව ඇය දනී.

“අපේ කැමැත්ත අකමැත්තට වඩා…දැන් වැදගත් ඒ දෙන්නගෙ අදහසනෙ නංගි”

“ඒක ඇත්ත”

අජන්ත ගජධීර ගේ හඬ අතීතයෙන් ඇසුණා සේ ය චාන්දනී ට දැනුණේ. ඇය ඔහු දෙස බලන්නට ගියේ නැත.

“ඔය දෙන්නම වැඩිහිටියොනෙ. අපේ තීරණ වැරදි බව ඔප්පු වෙලා තියෙද්දි…අපි තවත් මේ දේවල් වලට ඉන්ටෆියර් වෙන්න ඕන නෑ කියලයි මං හිතන්නෙ. ඔය දෙන්නා කැමති විදිහකට අපිත් කැමතියි”

“මං හිතන්නෙ…මේ කටයුතු ඉක්මනට එකලාසයක් කරල දැම්මොත් හොඳයි නංගි”

චාන්දනී ගේ ඒ කතාව තුළ අල්ලා ගන්නට යමක් සන්ධ්‍යා ට දැනිණ.

“මං තේ ටිකක් ලෑස්ති කරන්නං”

කියා ගෙන ඇය නැගී සිටියේ,

“යමු අක්කෙ කිචන් එකට”

කියා සන්ධ්‍යා ට ද ඇරයුම් කරමිනි.

“දැන් ඉතින් අපි පිට මිනිස්සු නෙවෙයිනෙ”

චාන්දනී හෙමිහිට නැගිට ගත්තා ය. අජන්ත ගජධීර දෑස් දල්වා ඇදෙස බැලුවේ ය. ඒ අහංකාර බව තවමත් ඇය තුළ එහෙම ම ය.

චාන්දනී මුළුතැන්ගෙට ගියා ය. සන්ධ්‍යා ඇය ට මේස පුටුවක් ඇද දුන්නා ය.

“ඇත්තටම අපි දන්නෑ අක්කෙ මේ දෙන්නා අතරෙ ආයෙත් සම්බන්ධයක් ඇති වෙලා කියල…සූර්යාට ඇසිඩ් ගහන සිද්දිය වෙනකල්ම. ඊට පස්සෙ මෙයා ආයෙ ෆ්‍රාන්ස් යන්න රෙඩි වුණා. මං ඒත් ඕවා හාරා ඇවිස්සුවෙ නෑ. ඇත්තටම මං හිතුවා මේ ප්‍රශ්න වලට මූණ දෙන්න කැමති නැති නිසා වෙන්න ඇති සූර්යා යන්න හදන්නෙ කියල. අනිත් අතට එයා ආයෙ දරුවො ළඟට යනවට මං කැමති වුණා. මොකද…මෙහෙම හිටියට දැන් අපිටත් වයසනෙ. අපිට ඒ තරං ලොකු ප්‍රශ්න වලට ඔරොත්තු දෙන්න බෑ මේ නිවී සැනසිල්ලෙ ඉන්න ඕන කාලෙ”

“ඒක ඇත්ත”

චාන්දනී ලොකු සුසුමකින් නිදහස් වූවා ය. මේ විවාහය ගැන ඇගේ ඒ තරම් ලොකු කැමැත්තක් නොවන බව ඒ අනුව සන්ධ්‍යා ගේ ගැහැනු ඉවට දැනිණ.

“දුවට දරුවෙක් ලැබෙන්නලු”

“ආහ්…”

චාන්දනී ගේ ආරංචියෙන් සන්ධ්‍යා තිගැස්සී ගියා ය. මේස පුටුවක් ඇද ගෙන ඇය ඉක්මනට ඒ මතට වැටුණා ය. ආලෝක ගේ ඉඟියකට අනුව සූර්යා මුළුතැන්ගෙට පැමිණියේ ඒ වෙලාවේ ම ය.

“සූර්යා මට කියල තිබුණෙ නෑ මෙහෙම දෙයක්”

“මං කාටවත් කිව්වෙ නෑ අම්ම. මේක දැන ගත්ත ගමන් ආයෙ ෆ්‍රාන්ස් යන්න ඩිසයිඩ් කළේ මං නිසා ආලෝකට ඉවරයක් නැතුව ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි කියල හිතුණ නිසා. එදා නටාෂා ආපු වෙලේ…මං හිතන්නෙ මං වොමිට් කරපු නිසා එයාට සැක හිතෙන්න ඇති. මං කිව්වෙ ස්ටොමැක් ඒක් එකක් කියල. ඒත් නටාෂා ආලෝකට කියල”

“දැන් ඉතින් දෙමව්පියෝ හැටියට අපි කරන්න ඕන ආශිර්වාද කරන එක විතරයි කියල මාත් හිතා ගත්තා. මොනා වුණත් ඉපදෙන්න ඉන්නෙ අපේ මුණුපුරෙක්නෙ…එයාව සතුටෙන් පිළිගන්න ඕනෙ”

චාන්දනී ගේ උගුරේ හිර වීම යළිත් ඇති විය. අම්මා කෙනෙකු වීමට වඩා ආච්ච් අම්මා කෙනෙකු වීම වෙනස් හැඟීමකි. එය වූ කලී තනිකර ම ආදරයක් විතරක් අරගෙන එන හැඟීමකි. වගකීම් කන්දක් හිස මත දරා ගෙන සිය දරුවන් ඇති දැඩි කරනා දෙමවියන්, ඒ වගකීම් වලින් තොර ව ආදරය කරන්නේත් ආදරය විඳින්නේත් මුණුපුරු මිණිපිරියන් වෙතිනි.

“මං හැදුවෙ ෆ්‍රාන්ස් ගිහින් ආයෙත් ටීචින් කරන ගමන් බබාව හදා ගන්න.මට ඒක තනියම කරන්න හිතේ හයිය තියනව”

ගැහැනියකට ඒ හයිය එන්නේ නිසඟයෙන් බව චාන්දනී දනී. සූර්යා වන් රටේ ලෝකේ කරක් ගැසූ උගත් ගැහැනියක නොවූ, මීටියාගොඩ ගමක් ඇතුළේ හැංගුණ ජීවිතයක් ගත කළ ඇයට ද ඒ චිත්ත ශක්තිය වූ බව චාන්දනී මෙනෙහි කළා ය.

“ඒත්..ආලෝක ඒකට ඉඩ දෙන්නෑ. අන්තිමට මට එයා කියන දේට එකඟ වෙන්න වෙනව අම්ම”

තත්පර කිහිපයක් දිගු නිහැඬියාවක් ඇති විය. අම්මලා දෙන්නා ගේ ම හදවත් වල බොහෝ සිතිවිලි බර වී තිබිණි. නමුත් ඔවුන් දෙදෙනා ගෙන් එක් අයෙකු හෝ ඒවා කියන්න ට ගියේ නැත.

“මං එහෙනං කට්ටියටම කෑම ලෑස්ති කරන්නං”

ඒ නිහැඬියාව බින්දේ සන්ධ්‍යා ය. සූර්යා වහා ඊට හරස් වූවා ය.

“අම්මි ආලෝකගෙ අම්ම රෑට උයන්න ලෑස්ති වෙලයි මේ ආවෙ. අද මට එහෙං කෑම කන්න ආස හිතුණා”

“නැන්දම්මගෙ අතින් උයපුව කන්නයි එහෙනං ලේලිට දොළදුක හැදිල තියෙන්නෙ”

සන්ධ්‍යා මඳ සිනහවකින් කීවා ය. එක අතකට ඒ සිනහව තුළ සැනසීමක සේයා විය. දුවෙකු දීග දෙන හැම අම්මා කෙනෙකු තුළ ම උපදින බියකි, නැන්දම්මා ගේ ගෙදරදී සිය දියණිය ට කෙබඳු සැලකිල්ලක් ලැබේද කියනා එක!

“අම්ම උයපුව ඉතිං අදත් මං කෑවනෙ. ආලෝක මට රස කර කර කියල තියනව එයාගෙ අම්ම උයන කෑම වල රස ගැන. අද මට ඒ රස බලන්න ඕන”

“ඒක තමයි වෙන්න ඕන. ඒ අම්මට දුවෙක් නැති එකේ ඔයා දුවෙක් වෙන්නයි ඕනෙ. හැමදාම ආදරෙන් ඉන්නයි ඕනෙ. ආලෝකට කවදාවත් ඔයයි අම්මයි අතරෙ තැලෙන්න සිද්ද කරන්න එපා. එයාට ඔය දෙන්නටම ආදරේ කරන නිදහස දෙන්න. ඔයා නැන්දම්මටත් අම්මට වගේ ආදරේ කරන්න ගත්තහම තමයි ඒක සිද්ද වෙන්නෙ. මේ කියන තරං ඒක කරන්නනං ලේසි දෙයක් නෙවෙයි”

චාන්දනී ගේ හිත ගැස්සී අතීතයට විසි විය. තරුණ ජවයෙන් අනූන ව සිටි අජන්ත ගජධීර ගේ ඇස් වල තිබුණ ශෝචනීය බව ඇය ට සිහි විය.

අම්මාටත් දුවටත් කතා කරන්න දේවල් ඇති ය කියා සිතුණෙන් චාන්දනී ආලින්දය දෙසට ගියා ය. නමුක් ආලෝක එහි නොවන බවත්,මිදුලේ සිට ඔහු දුරකතන ඇමතුමක නිරත ව හිඳිනා බවත් ඈ දුටුවේ එහි ගිය ඉක්බිති ය. හුදෙකලා ව බරාඳයේ උන් අජන්ත ගේ ඇස් ඇය ට එහිදී හමු විය.

“චාන්දනී…”

ඔහු උගුර යටින් සුසුමකින් ඇගේ නම කීවේ ය. මීට වසර තිස් ගණනකට මත්තෙන් ඇඟළුම් ආයතනයේ දීත් ඔහු ඈ ඇමතූවේ ඒ ස්වරයෙන් ම බව චාන්දනී ට මතක ය. සමහර මතක උවමනාවෙන් හදවතේ දරා නො ගත්ත ද ඒවා හදවත අතැර නොයයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles