අරුමැති ආදරයක් – 22

0
2755

චින්තක අයියාගේ ත්‍රී රෝද රථයෙන්ම ලොකු හාමුදුරුවන් වඩිද්දී අපූර්වා උන්නේ නිවසින් පිටවීමට සූදානම්වය. වෙනදා සේ බතක් උයා කරවල බැදුමක් සාදා තැබූ යුවතිය මැල්ලුමකට අවැසි දේත් සාදා පසෙක තැබුවාය. නිවස පිටුපස වූ  වැලෙන් කඩා ගත් කැකිරි ගෙඩියෙන් පියසීලී කැකිරි ඇඹුලක් සෑදූයේ පෙරදා රාත්‍රියේදීය. අද දවසක් ඉන් පිරිමසා ගත හැකිය. 

“මම හවසට එද්ද් ඉඳිආප්ප අරන් එන්නම් ආච්චි. මුකුත් හදන්න එපා. ආවට පස්සේ හොදි ටිකක් හදාගමු.”

අපූර්වා එසේ පැවසූයේ වීදුරු බෝතලයකට වතුර පුරවා ගන්නා අතරේය. කාමරයක්, කුස්සියක් සහිතව එදා හදිසියේ ඉදිකළ නිවස අඩු පහසුකම් වලින් යුක්ත එකකි. කුඩා වැසිකිලියක් නිවස පසුපස වුවත් ළිඳක් හාරා ගැනීමට හෝ ජල නළ පහසුකම් ලබා ගැනීමට තවම හැකියාවක් වූයේ නැත. ස්නානය, භාජන සේදීම, රෙදි සේදීම වැනි කටයුතු වලට භාවිතා වූයේ සොල්දර ගෙදර ඉඩම පසුකරගෙන ගලා එන දොළ පහරයි. අම්මා නෑවීම, ඇඟ සේදීම  වැනි දේ සඳහා බාල්දිවලට වතුර ගෙන එමින් බැරල් එක පුරවා තබන්නේ අපූර්වාය.  අදටත් බීමට වතුර ගෙන එන්නේ ගුණවතී නැන්දාගේ ඉඩමෙහි වූ ළිදෙන්ය. අපූර්වා ත්‍රී රෝද රථ නැවතුම්පලට යාමට ප්‍රථමව  මඳක් විසල් වූ බූලි දෙකකට වතුර රැගෙන ඒ. වෙනදා ඒ කටයුත්ත කළේ තාත්තාය. කිහිප වරක්ම වත්තේ කෙළවරක ළිඳක් කපා ගැනීමෙහි අවශ්‍යතාවය වුවත් එයට සරිලන මුදලක් එකතු කර ගැනීමට හැකියාවක් වූයේ නැත.

“ආච්චී ලොකු හාමුදුරුවෝ වඩිනවා. ඉක්මනට සුදු රෙද්දක් හොයලා ගන්න..”

අපුර්වා මදක් උස් හඬින්  කෑ ගැසුවේ තුන් කාලක් වන්නට පිර වූ වීදුරු බෝතලය පසෙක තබමින්ය. තත්පර කිහිපයක් ගතවීමට මත්තෙන් පියසීලී සුදු රෙද්දකුත්, ප්ලාස්ටික් පුටුවකුත් රැගෙන  කාමරයෙන් එළියට පැමිණියාය. 

“මේ දරුව රාජකාරියට පිටත් වෙන්න කලින් මං මේ වැඩියේ. හොඳ වෙලාවට කෝල් එකක් දීපු ගමන් චින්තන මහත්තයවත්  අල්ලගන්න පුළුවන් උනා.”

“එහෙමයි හාමුදුරුවනේ…”

යැයි පවසමින්  මුලින්ම උන්වහන්සේගේ දෙපා වැන්දේ පියසීලීය. 

“පෙරේදා  නෝනලා දෙන්නෙක් ඇවිල්ල මාව මුණගැහුනා. තමන්ගේ අරමුණත් කියලා තමන් ගැනත් ලොකු විස්තරයක් කියලා තමයි ආපහු පිටත් උනේ. මේ ඇත්තෝ ඒ ගැන මොනවා හරි කතා කරගත්තද.”

“අනේ හාමුදුරුවනේ මං කිව්වේ ලොකු පුතා කොහේ හරි ඉඳලා අපේ දිහා බලන් ඇති කියලා. ඔය මහණ මැෂින් දෙන්න ආපු ගමන්ලු ඒ නෝනලා මෙහෙට ආවෙ. මේක මේ කෙල්ලගේ පූරුවේ පිනක්. හීනෙකින්වත් අපිට හිතන්න පුළුවන් උන දෙයක්ද ඔය.”

“අපූර්වා දුව මොනවද කියන්නේ..”

“එක පාරටම එකඟ වෙන්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ හාමුදුරුවනේ. අපිට වෙච්ච දේවල්වල හැටියට මේ වෙන්න යන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා.”

“අපිත් මේ දවස් ටිකේම කතා වුනේ ඔය ගැන හාමුදුරුවනේ. හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. අපි ඉතින් ඔය දෙකම විඳගන්න බලාගෙන තමයි මේ කටයුත්තට ඉඩක් දෙන්න වෙන්නේ..”

එසේ පැවසූයේ චින්තකය. අපූර්වා ඔහු දෙස බලා හිස වැනුවේ ඔහුව අනුමත කරමින්ය. 

“මේක අපි හැමෝගෙම හොයා බැලීමකින් වෙන කටයුත්තක් නිසා එහෙම නරක  දෙයක් නොවෙන්නත් පුළුවන් අපූර්වා. කොහොම උනත් මම ආවේ මේ කටයුත්තට අපි එකඟ වෙමු කියලා කියලා යන්න. ජීවිතයේ නරක කාලවල් වලදී  අයහපත් දේවල් සිද්ධ වුනත් හැමදාම අයහපත් දේවල් සිද්ධ වෙන්නේ නෑ දරුවෝ. මේ ඉඩම්වල ඔප්පු තිරප්පු ඇත්තේ තාත්තාගේ නමටනේ”

“එහෙමයි හාමුදුරුවනේ..”

“අපි මුලින්ම ඒවා පරීක්ෂාවක් කරගමු. කිසි කෙනෙක් අතට පත් වෙන්න දෙන්න එපා ඒවා..”

“හොඳමයි හාමුදුරුවනේ”

“අපිට ඕනනම් තව ටිකක් හොයලා බලන්න පුළුවන්.වැඩේ කෙරීගෙන යද්දී ප්‍රශ්නයක් මතු උනොත් අපි ඒවා නිසියාකාරව විසඳගමු.”

“එහෙමයි හාමුදුරුවනේ  මම අඳුරන මහත්තයෙකුටත් කියලා තියෙන්නේ ටිකක් ඒ අය ගැන හොයන්න කියලා.”

“ඒක හොඳයි..”

“එහෙනම් මමත් ආපහු වඩින්නම්. ඉස්කෝලෙට යන්නත් ප්‍රමාද වෙනවනෙ. හොඳට හිතලා බලලා මේ කටයුත්තට අපි එකඟ වෙමු අපූර්වා. මම හිතන්නේ නැහැ  ඒ මිනිස්සු නරක මිනිස්සු කියලා. මමත් හොයලා බලන්නම්කෝ. ඒ වගේම අපූර්වට පුළුවන්නම් ආපහු ඉරිද දවසට පැය දෙක තුනක් හරි දහම් පාසල පැත්තට එන්න බලන්න. කලාප තරඟ වලටත් ලියුම් ඇවිල්ලා තිබුණා. අපූර්වලා ලඟ  තිබුණු කැපකිරීම වෙන අයගෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි.”

“එහෙමයි හාමුදුරුවනේ,  මං කොහොම හරි එන්න බලන්නම්. පහුගිය දවස්වල කිසිම දෙයක් කරගන්න පුළුවන් හිතක් මට තිබුණෙ නෑ.”

“හිතට වඩා හාමුදුරුවනේ අපූර්වා  මේ කරන රස්සාවත්  එක්ක ආපස්සට ගියා. දැන් එයා මේ රස්සාවට ඇරෙන්න කිසි දේකට සුදුසු නෑ කියලයි එයා හිතන් ඉන්නෙ. වෙනද වගේ දහම් පාසලේ දරුවෝ එයාව ගුරුවරියක් විදිහට පිළිගන්න එකක් නෑ කියලා හිතනවා. එයා හදන්නේ හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙන්න.”

එවර චින්තක පැවසූයේ පැමිණිල්ලක සරින්ය. සැබෑවත්  එයමය. 

“තමන් කරන රස්සාව මොකක්ද කියන එක නෙමෙයි දරුවෝ ප්‍රශ්නේ. තමන්ගේ රස්සාව ඇතුලේ ගෞරවය ආරක්ෂා කරගන්න එක. අම්මල කීප දෙනෙක්ම මමත් එක්කත් කිව්වා අපූර්වා  මිස් නැති එක ලොකු පාඩුවක් කියලා. ඒ නිසා ඔය මනස්ගාත දේවල් හිතින් අහක් කරලා ආපහු දහම් පාසලට එන්න දරුවෝ.”

“කතා කර කර හිටිය මිසක්කා හාමුදුරුවන්ට ගිලන්පස එකක්වත්..”

“ඕන නෑ උපාසක අම්මේ. මං මේ හීල වළඳපු ගමන් ඉස්කෝලෙටත් යන්න බලාගෙන ආවේ. උපාසක අම්මා ගෙදරට වෙලා සිල් සමාදන් වෙනවා කියලා මට ගුණවතී නෝනත්  කිව්වා. ඒක නරක දෙයක් නෙමෙයි. පුළුවන් වෙලාවක පන්සලට ඇවිල්ල වන්දනා කරලා යන්න.”

“එහෙමයි අපේ හාමුදුරුවනේ. මේ ලෙඬා දාලා ඉතින් මට දොට්ට බහින්න හැටියක් නෑ…

පියසීලී දිගු සුසුමක් මුදා හැරියේ එසේ කියා නිමවනවාත් සමගය. ‘තම ජීවිතයේ අවසන් සමයවත් නිදහසේ ගෙවා දමන්නට නොහැකි වූවායැයි’ යන ශෝකයක් ඒ දෑස්වල ලියැවී තිබුණායැයි අපූර්වාට සිතිණ.

“ලොකු හාමුදුරුවෝ කියනවනං ආයෙ අහන්න දෙයක් නෑ. ඒ නෝනට කතා කරල කියපන් පුතේ අපිට මේ වැඩේ කරල දෙන්න කියලා. කකුල් දෙක අල්ලල වැඳලා කිව්වත් පව් නෑ…”

ආච්චී එසේ පැවසූයේ හාමුදුරුවන් ආපසු වැඩියාට පසුවය. අපූර්වා ඊට එකඟව හිස වැනුවාය. ලෝයර් මහතා නොකියා පැවසූයේත් ඒ ටිකමය.

අපූර්වා  ජීවත් වූයේ හෙට දවසක් නැති ගණනටය. ඇයට ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා තම ජීවිත ගැන වූයේ අවිනිශ්චිත බවකි. ඉඳ හිට දුරකථනය නාද වන හඬටත් ඈ තැති ගත්තේ එනිසාය. 

කිරි සුදු පැහැය පිරියම් කළ කුඩා නිවසක් ඇගේ දෑස් ඉදිරිපස මැවී නොපෙනී ගියේ ක්ෂණයකින්ය. ජීවිතයට අලුත් ඉරක් පායන්නට හදන්නේ අපූර්වා සිහින දැකීම පවා අතහැර දැමූ කාලයකය. 

“මිනිස් ජීවිත ඇතුළේ සතුට දුක කියලා කියන්නේ අපූර්වා හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. ජීවත් වෙනවා කියලා කියන්නේ සතුටට සතුටින් මුහුණ දෙන එකත් ප්‍රශ්නවලට උත්තර  හොයන එකත් තමයි..”

පෙරදා රාත්‍රියේ තරුණ නීතිඥයා පැවසූයේ ඒ අයුරින්ය. යළිත් අපූර්වා සිනහව සොයමින් උන්නාය. පුංචි පුංචි බලා පොරොත්තු වලට හදවත අභ්‍යන්තරයෙන්ම පිරිත් පැන් ඉසිමින් උන්නාය. 

“උඹට වරදින්නේ නෑ මගේ පුතේ…”

පියසීලී එසේ පැවසූයේ අපූර්වා ඒදෙපා වඳිද්දී වෙනදා ‘තුණුරුවන් සරණයි’ කියනවා වෙනුවටය. නින්දේ උන්නත් අපූර්වා අම්මා අසලට ගොස් ඒ දෙපා සිප ගත්තාය.

                    **************************–

ඇල්පෙනෙති තුඩක් බිම වැටුනත් එහි ශබ්දය ඇසෙන තරමට නිහඬ නිසංසල වූ මහාධිකරන ශාලාව වෙනදාට වඩා වැඩි පිරිසක් විය. සේනක මන්ත්‍රීතුමා විත්තිය පාර්ශ්වයේ අසුන්ගෙන  උන්නේ ඔහුගේ ආධාරකරුවන්ද සමගින්ය. මුලින්ම ශාලාවට  ඇතුළු වූයේ යුගාෂ්ය. තමා දෙස රවාගෙන  සිටින  සේනක දෙස බලා මද  සිනහවක් හෙලූ යුගාෂ් තමාට හිමි අසුනෙන් අසුන් ගත්තේ එහා පස එකට ගුලිව සේ  උන් මවත්, දියණියත්, තාත්තාත් දෙස කාරුණිකව බැලුවාට පසුවය. පුෂ්පානන්ද  පැමිණියේ තවත් විනාඩි කිහිපයකට පසුවය. තම දියණියගේ දෑත් තදින් අල්ලාගෙන උන් ඇගේ පියා තිගැස්සෙන අයුරු යුගාෂ් දුටුවේ අහම්බයකින් නොවේ. තේජස් ගමනකින්  අප්පච්චි මහාධිකරන ශාලාව තුළට ඇතුළු වද්දීත් යුගාෂ්  සිටියේ ඔවුන් දෙස බලාගෙනය. ඒ තරමට ඒ මුහුණුවල වූයේ අසරණ කමකි.

“ගුඩ් මෝර්නින් අප්පච්චි..” යනුවෙන් තරුණයා පැවසූයේ  මද සිනහවක් මුවගෙහි තබාගෙනය. එවන්  ප්‍රාර්ථනාවක් කරන්නට වත් ඔහුගේ දිව නොනැමුණු  තරම්ය. අප්පච්චී තමාගේ දෑස් මගහරින්නට උත්සාහ කරන අයුරු යුගාෂ් බොහෝ වේලා ගතවීමට පෙර වටහා ගත්තේය. 

“මචං….”

එහා පස උන් මිතුරා එසේ පැවසූයේ මද හඩකින්ය. අප්පච්චීගේ දෑස්තුල වන කෝපය ඔහු හදුනා ගන්නට ඇත.

“හැමදේම අපහසු වෙන්නේ මුල්ම දවස්වල විතරයි.”

එසේ පැවසූ යුගාෂ් සුසුමක් මුදා හැරියේ සන්සුන් වන්නට වෙර  දරනා ගමන්ය. 

මුලින්ම කතා කළේ පැමිණිල්ලේ පාර්ශවයයි. බොහෝ වේලා ගතවන්නට මත්තෙන් පුෂ්පානන්ද තම පුතුගේ තර්ක සියල්ල බිඳ හෙලුවේ  ජයග්‍රාහී සිනහවක් මුව මත තබාගෙනය. ඒ සිනහව ඒ අයුරින්ම සේනක මන්ත්‍රීතුමාගේ මුහුණෙහිත් ඇඳී යන අයුරු යුගාෂ් හොඳටම දුටුවේය. පැමිණිලි  පාර්ශ්වය පැමිණිලි කූඩුවට නැගි යුවතියගේ දෑස් වල වූ කඳුළක් ඇගේ දකුණතෙහි වූ සුදු පැහැ ලේන්සුවට පොඩි වී යන අයුරු යුගාෂ් බලා සිටියේ  වේදනාවෙන්ය. 

“ස්වාමීනී තරුණ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් අතර එහෙම සම්බන්ධයක් ඇතිවීම සාමාන්‍ය‍ය දෙයක්. ඒ වගේම අවුරුදු දහ අට ඉක්මවා ගිය යුවලක් තමන්ගේ කැමැත්ත අනුව යම් ලිංගික කාර්යයක නිරත වෙනවානම් ඒකත් වර්තමානයේ අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මේ ගෑනු  ළමයා අදාළ තරුණයට කැමති වෙලා තියෙන්නේ කාගෙවත් බලපෑමකින් නෙමෙයි. තමන්ගේම කැමැත්තෙන්. හැබැයි මගේ සේවා දායකයා කොතනකවත් ලිඛිත පොරොන්දුවක් දීල නැහැ මේ ගෑනු ළමයව විවාහ කර ගන්නා බවට. ඒ වගේම ඒ ගෑනු  ළමයා අහලත් නැහැ තමාව විවාහ කරගන්නවද නැද්ද කියන එක.” 

පුෂ්පානන්ද පැවසූයේ පැමිණිළි කූඩුවේ සිටින යුවතියගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම  බැල්මක් හෙලමින්ය.

“ගෑනුකම ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන්නේ තමන්ගේ අතේ කියලා මේ පැමිණිලි කාරියට අමතක වෙලා ඇති.  මෙතන බලහත්කාරකමක් සිද්ධ වෙලා නං අපිට නීතියේ උදව් පතන්න තිබුණා. හැබැයි මෙතන වෙලා තියෙන්නේ බලහත්කාරකමක් නෙමෙයි. මේ වගේ තේරුමක් නැති නඩුවකට මේ උසාවියේ වටිනා කාලය නාස්ති කරනවා කියන එකත් විහිළුවක්.

ස්වාමීනි, මේ පැමිණිලිකාර පාර්ශවය බලාපොරොත්තු වෙන්නේ වෙනම දෙයක්. සේනක මන්ත්‍රීතුමාගේ පුතා එහෙම නැත්නම් මගේ සේවා දායකයා  දයාන් සේනක රාජපක්ෂ කියල කියන්නේ වර්තමානයේ මේ රටේ ප්‍රධාන පුටුවකට යන්න බලාගෙන ඉන්න ඒකට සුදුසුකම් තියෙන තරුණයෙක්. ඒ නිසාම ඔහුට හතුරෝ  ඇති ඕන තරම්. සමහර විට ඒ වගේ කෙනෙක් මේ පැමිණිලි පාර්ශවය මෙහෙයවනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං හිතා මතා මඩ ගැසීමේ උවමනාවෙන් මේ පැමිණිලි පාර්ශවය මේ නඩුව දැම්මා වෙන්නත් පුළුවන්. ඒ සේරමත් අතරේ මගේ සේවා දායක දයාන් සමඟ විවාහ වීමේ වුවමනාවෙන් මේ පැමිණිලි පාර්ශවයේ  තරුණිය නඩුව ගොනු කළා වෙන්න පුළුවන්. දූෂණයක්, බලහත්කාරකමක් නොවුනු තැනකදී කොහොමද මේ තරුණිය ඔප්පු කරන්නේ ඔහු තමාව ද්වේෂ සහගත ලෙස  රවටා  අතහැර දැමුවා කියලා. ඒ වගේ ජනප්‍රිය චරිතයක් එක්ක කවුද විවාහ වෙන්න අකමැති.

අදත් හෙටත් මේ රටේ මෙහෙම දේවල් සිද්ධ වේවි ස්වාමීනි. ප්‍රේම සම්බන්ධකම් ඇතිකර ගැනීම අපට නවත්තන්න පුළුවන් ද පැමිණිළි කූඩුවේ සිටින මේ තරුණිය දැන ගත යුතුයි තමන් එම ස්ථානයට පැමිණියේ රාජකාරියකට කියන වග. ඒ වගේම තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගත යුත්තේ තමන්මයි කියන වග. මම යළිත් වරක් මගේ උගත් නීතිඥ මහත්මයාට මතක් කර දෙනවා මේ සියල්ල සිදුවී ඇත්තේ කැමැත්තෙන් මිස අකමැත්තෙන් නොවන බව. තනි අතින් අත්පුඩි ගහන්න බැරි වග” 

පුෂ්පානන්දගේ උස් හඬ ශාලාව පුරා ගිගුම් දෙමින් තිබිණ. ගැහෙමින් තිබුනේ හදවත්ය. යුගාෂ්, “උඹ මේ හැප්පුනේ සිංහයෙක් එක්ක…”  වන් වූ බැල්මක් අප්පච්චිගේ දෑස් වල ඔහු දුටුවේය. ඔහු යළිත් වරක් බැලුවේ පැමිණිලිකාර පාර්ශවය දෙසය. සියලු බලාපොරොත්තූන් බිඳී ගියාක්වන්  වේදනාවකින් ඒ අම්මාත්  තාත්තාත් වූයේ විනිසුරු දෙස බලාගෙනය. පැමිණිළි කූඩුවෙන් බැස ගිය දියණිය මවගේ එක් උරයකට වාරුවී ඉකිබිඳිමින් උන්නාය. 

( යළිත් හමු වෙමු ආදරයෙන් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here