ශරදාකාසේ – 22

නිශාමනී එක එල්ලේ ශාරද ගේ මූණ දෙස බලා සිටියා ය. ඔහු ගේ මූණ අඳුරු විය. කට කොනක මස් පිඬක් සැලී ගියේ ය. ඒ ඇස් වල මහා භීතියක් සනිටුහන් විය. ඒ බිය අන්ත අසරණ කමකට හැරවී ගෙන යන හැටි නිශාමනී නිසොල්මනේ බලා සිටියා ය. 

යමක් කියා ගන්නට ශාරද ට උවමනාව දැනිණ. නමුත් ස්වර තන්ත්‍ර තිබුණේ අක්‍රිය තත්වයක ය. ඇතැම් විට ඔහු ගේ මුළු සිරුරේ ම පේශි, පටක අකරණියකට ලක් වූවා වන්නට පුළුවන. මොළයේ සෛල ක්‍රියා කළාද කියා නිශ්චිත නැත. ස්ථිර වශයෙන් අනිච්ඡානුග ව සිදු වූයේ ශ්වසනය පමණකි.

“ඔයා තාමත් දන්නෙ නැති වුණාට ඔයාගෙ දරුවෙක් පංචලීගෙ බඩේ ඉන්නව. ඒ ගෑනි ඔයාට ආදරේ කරන්න ඇති. හැබැයි එසඳි වගේ පොඩි දුවෙක්ට එයාගෙ තාත්ත නැති කරන්න හිතන තරං දරුනු ගෑනියෙක් නෙවෙයිනෙ පංචලී කියන්නෙ. ඉස්සරටත් වඩා දැන් එයාට දැනෙනව ඇති ඒක මොන තරං බරපතල දෙයක්ද කියල. හැබැයි ඕක ඩිපෙන්ඩ් වෙන්නෙ ඒකට ෆේස් කරන ගෑනු කෙනාගෙ හිතේ ශක්තිය මත. මට මගෙ දුවව හදා ගන්න තාත්ත කෙනෙක් ළඟ නැති වුණාට කමක් නෑ. කොහොමත් ආයෙ කවදාවත් ඔයා ගැන ආදරෙන් කරුණාවෙන් හිතන තත්වෙට මගෙ හිත හදා ගන්න බෑ. ඒක නිසා මේ වෙලාවෙ ඔයා පංචලීයි ඒ දරුවයි ගැන හිතන්න ශාරද. එයත් හිතං ඇති ඔයාට මේක කියන්නෙවත් නැතුව හැංගිලා ගිහින් ළමයව හදා ගන්න. එක පිරිමියෙක් නිසා පවුල් දෙකකට..ගෑනු දෙන්නෙක්ට..ළමයි දෙන්නෙක්ට එකම ඉරණම අත් වෙන්න ඕන නෑ කියලයි මං හිතන්නෙ. ඔයා කසාද බැඳපු පිරිමියෙක් දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් කියල දැන දැන ඔයාට ආදරේ කරපු ගෑනිනෙ පංචලී. ඉතින් මට බැරි වුණාට එයාට බැරි වෙන්නෙ නෑ ඔයත් එක්ක අනාගතයක් හදා ගන්න. ඒක කරන්න තරං අවංක වෙන්න ශාරද. හිතක් පපුවක් තියෙන පිරිමියෙක් වෙන්න”

නිශාමනී වේගයෙන් කතා කරගෙන ගොස් හති අරින්නට වූවා ය. නමුත් ශාරද හිටියේ ඒ අතර වාරයේ එක වචනයක් හෝ කතා කර ගත නො හැකි ව ඇස් විදා ගෙන ඇදෙස බලා ගෙන ය. ඔහු ගේ නළලේ ඉසිහින් රැලි කිහිපයක් තිබිණි.

ශාරද ගේ මූණ ඉතා තද අඳුරකට හැරුණේ ය. ඇස් දෙක බලා සිටිය නො හැකි අන්දමේ විලාප සරක් නැගුවේ ය. ඇසිල්ලකින් ඔහු දෝතෙහි මුහුණ හොවා ගත්තේ ය. ශාරද හඬමින් සිටිනා බව නිශාමනී වටහා ගත්තේ ඔහු ගේ උරහිස් හා පිට සැලෙනා රිද්මයෙනි. ඇගේ පපුවෙහි තව තවත් බර පැටවෙමින් තිබිණ. නමුත් ඒ කිසි සේත් ප්‍රති නිර්මාණය වන ස්නේහය නොවන බව ඇය ඉඳුරා වටහා ගනිමින් සිටියා ය.

ආයේ කිසිදු භවයක ඇය ඔහු ට පෙම් නො කරනු ඇත!

ශාරද ඉකි ගසමින් හැඬුවේ ය. ඔහුත් සමග කිසිදු ආත්මානුබද්ධ සම්බන්ධයක් නැති සෙයින් නිශාමනී පසෙකට වී බලා සිටියා ය. ඇගේ හදෙහි ශෝකයක් නොවූවා නොවේ. නමුත් මේ මොහොතේ ඇය ට ඔහු දැනුණේ ඉතා ඈතකින් පවත්නා පුද්ගලයෙකු සේ ය. ඒ ඉකි බිඳුම් සරින් ඇගේ හද දෙදරා නො ගියා ම නොවේ. නමුත් එදුකින් හඬන්නට කඳුළු ඈ වෙත වූයේ නැත. ඔහු ගේ වේදනාව ගැන තව දුරටත් තමන් තුළ සහකම්පනයක් නොවන්නේ ද යන පැනය පවා නිශාමනී තුළ ඇති විය.

“මට ඔයාවයි දුවයි අත් අරින්න බෑ ශාමි…මාව අත් ඇරල දාන්න එපා. අනේ ශමී…මං කොහොමද ඔයයි දුවයි නැතුව ජීවත් වෙන්නෙ…”

නිශාමනී ගේ ඇස් විසල් වූයේ ය. මේ මිනිසා සිටින්නේ හොඳ සිහියෙන් ද යන පැනය ඈ වෙත ඇති විය. ඔහු හඬන්නේ බොරුවට නොවන වග ඇයට විශ්වාස ය. නමුත් ඒ වචන කෙසේ නම් විශ්වාස කරන්න ද? ඔහු පංචලී ව ඇසුරු කළේ එසේ නම් කිනම් අරමුණකින් විය හැකි ද? එය දරුවෙකු පිළිසිඳ ගන්නා තරම් දුර ගිය සබඳකමක් වී තිබියදී නිශාමනී හා දියණිය නොමැති දිවියක් නැතැයි ඔහු කියයි. මේ කවර කතාවක් ද? නිශාමනී හිසේ අත ගසා ගත්තා ය. 

“ශාරද…ඔයාට අසනීපයක් ද…මොනාද ඔයා මේ කතා කරන්නෙ…පංචලී ඔයා නිසා ප්‍රෙග්නන්ට්..ඉතින් ඔයා කොහොමද ඔය විදිහට අඬා වැටෙන්නෙ අපිව අත් අරින්න බෑ කියල….ඔයා මේ රඟපානවද…නැත්තං ඔයාට ඇත්තටම සයිකොලොජිකල් ට්‍රීට්මන්ට්ස් ඕන කරන මානසික ප්‍රශ්නයක් තියනවද…එහෙම දෙයක්නං අපි සයිකෑට්‍රිස්ට් කෙනෙක් ළඟට යමු. මට මං ඉස්සරහ මේ ඉන්න ඔයාව තේරුං ගන්න බෑ”

සැබවින් ශාරදටත් වඩා නිශාමනී ට දැනුණ මානසික ව්‍යාකූලත්වය බරපතල ය. ශාරද ළඟ ඇය නිරවුල් කළ හැකි පිළිතුරක් වූයේ නැත. ඔහු එහෙම ම යහනේ පෙරළී කොට්ටයක් බදා ගත්තේ ය. නිශාමනී මඳ වෙලාවක් ඇදෙස බලා ගෙන සිටියා ය.

“පොඩි කාලෙ අපි අපිට ඕන දෙයක් ලබා ගන්න අඬනවනෙ ශාරද. හැබැයි ටික ටික ලොකු වෙනකොට අපි තේරුං ගන්නව ඇඬුවයි කියල හැම දේම ලැබෙන්නෙ නෑ කියල. ඒක නිසා ප්ලීස්…ඔයා නිකං චූටි බබෙක් වගේ නැතුව මේ වෙලාවෙ අඩල්ට් කෙනෙක් විදිහට හැසිරෙන්න. අනිත් එක ඔයා කරල තියෙන්නෙ අඬල හැපිල අමතක කරන්න පුළුවන් වරදක් නෙවෙයි. ඔයාට කොච්චර මාව ඕන වුණත් මං හිතන්නෑ මට ආයෙ ඔයාව ඕනයි කියල. ඒක නිසා තවත් මේ ප්‍රශ්නෙ අවුල් නොකර අපි විසඳුමකට එමු. අර තව තැනක අසරණ වෙලා ඉන්නෙත් ගෑනියෙකුයි ළමයෙකුයි.  එයාටත් ඔයා ආදරෙයිනෙ…නේද..”

‘නෑ’ යයි ඍජු පිළිතුරක් දෙන්නට ශාරද සමත් නොවුණේ ය. ඔහු ඒ තනි වචනේ බොරුව නො කීම ගැන ඇය දෙවියන් ට ස්තූති වන්ත වූවා ය.

නිශාමනී කාමරයෙන් පිටතට ආවේ ඇස් රතු කර ගෙන විඩාපත් බවකින් යුතුව ය. බරාඳයෙහි එසඳි එක්ක සෙල්ලම් කරමින් සිටියා ට ආකාස ගේ සිතිවිලි තිබුණේ වේගවත් ගමනක ය. ඔහු විටින් විට ගෙතුළට දෑස් පා කළේ ය. නිශාමනී හෝ ශාරද පිටතට එත්දැයි අවධානයෙන් සිටියේ ය. නිශාමනී ට යමක් කියන්නට තිබෙනා බව ආකාස දනී. ඒ ගැන කියන්නට ඇය ඊයේ කල් ඉල්ලුවා ය. කුමක් නමුත් සිදුව හෝ සිදු වෙමින් තිබෙන්නේ යහපත් දෙයක් නොවන බව ඔහු ගේ පංචේන්ද්‍රිය ඉක්මවූ ඉනකට දැනේ.

ගල් ගැසී ඇති සේ දැනෙනා බරැති දෙපා අද්දා ගෙන බරාඳය තෙක් පැමිණි නිශාමනී, එහි දාරයේ පඩිය මතින් හිඳ ගෙන කුළුණකට හේත්තු වූවා ය. හිස පිටුපසට කොට කුළුණ මත රැඳවූ ඕ පෙනහලු ගර්ථ වල පිරී තිබූ හුස්ම මුළුමනින් පිටතට ඇද දැමුවා ය. 

ආකාස තවමත් බලා හිඳී. වාචික ව කිසිත් නාසා ප්‍රශ්නාර්ථයෙන් ඇදෙස බලා හිඳී.

“පංචලී ට දරුවෙක් ලැබෙන්න ඉන්නව”

පුළුවන් තරම් ඉක්මනින් නිශාමනී ඒ කියා දැමුවා ය. ඒ තරම් අසරණ හා පරාජිත ඉරියව්වක් මීට පෙර ආකාස ඈ වෙතින් දැක නැත්තේ ය. 

“ආ…”

ප්‍රශ්නයක් ලෙස නොව විශ්මයක් ලෙස ඔහු ට එසේ කියවිණ.

“මෙයාට කියල නෑ. ගාල්ලට ට්‍රාන්සර් වෙන්නයි එයා ප්ලෑන් කරන් ඉන්නෙ. මට මෙයා එපා එකේ…එයාට ලැබුණට මට කමක් නෑ. කමක් නෑ නෙමෙයි මෙයා ඒ වගකීම ගන්න ඕන ආකාස. මොනාද මේ මට අහන්න දකින්න වෙලා තියෙන්නෙ…ඇයි මට මෙහෙම විඳවන්න වෙලා තියෙන්නෙ…මං මොන වරදක් කළාටද…මට තවත් මේ දේවල් දරා ගන්න බෑ මල්ලි. මං ගෙදර යනව. අර ගෑනිට වැරැද්දක් වෙන්න දෙන්න එපා”

කිව යුත්තේ කුමක් දැයි ආකාස ට එක වර සිතා ගත හැකි වූයේ නැත. විවාහක පිරිමින් වෙනත් සබඳතා වල පැටලී හිඳින හැටි, රැකියා පරිසරය තුළ දී ඔහු කොතෙකුත් දැක තිබේ. නමුත් ශාරද එය මෙතරම් ව්‍යාකූල කර ගනිතැයි ඔහු කිසි සේත් බලාපොරොත්තු වූයේ නැත. ඔහු මේ තරම් අනුවණ මිනිසෙකු වූයේ කෙසේ ද?

“ඒ ගෑනු මනුස්සය වුණත් කියන්නෙ ඇත්තමද කියල අපිට විශ්වාස කරන්න පුළුවන්ද…කවුද දන්නෙ වෙන කාගෙවත් කුණු….”

“වෙන කාගෙවත් නෙවෙයි ශාරද ගෙවත් කුණු ඒ කෙල්ල මෙයාගෙ ඇඟේ පටවන්න හදන්නෙ නෑ. ඒ කෙල්ල එහෙනං මෙයාට ඕක කියල ගැලවෙන්න බැරි විදිහට මෙයාගෙ ඇඟේ එල්ලෙන්න හදනවනෙ…”

“එක පාරට හැමෝම විශ්වාස කරන්න යන්න එපා”

“නෑ”

නිශාමනී එහෙම ම හිඳ ආකාසය දෙස බලා සිටියා ය. ඇය ට මහත් වෙහෙසක් දැනේ. මේ ප්‍රශ්නයත් සමග සටන් කිරීමේ ශක්තියක් දැන් ඇයට ඇත්තේ ම නැත. ශරීරය බරපතල ලෙස ඇඩ්රිනලින් හෝමෝනය නිදහස් කරමින් මෙතැනින් පලා යන්න යයි ඇය ට දැනුම් දෙමින් සිටී. නමුත් පලා යන්නට හෝ කායික ශක්තියක් ඇය වෙත නොමැති තරම ය.

“මොන බූරුවෙක්ද මන්දා මූ…මං කතා කරන්නංකො හොඳවයිං දෙකක්”

“මේ වෙලාවෙ එයාට තනියම ඉන්න ඕන ඇති. ඔයා පස්සෙ කතා කරන්න”

‘ශරදාකාස’ ය මළ සොහොන් මූසල බවක් අරක් ගත්තේ ය. අඳුර කඩා වැටුණේ සදහට ම ජීවිත ගණනාවකට යළි ආලෝකය උදා නොවෙන බව දැනුම් දෙන්නට මෙනි. එක අතකට ආලෝකයට වඩා අඳුර හොඳ යයි සිතමින් නිශාමනී අඳුරෙහි දුක් විඳිමින් සිටියා ය. ඇගේ හදවතට දැනුණේ වචන කෝටි ගණනකින් හෝ විස්තර කොට කිව නො හැකි විදිහේ මූසල බවකි. 

රෑ කෑමක් ගැන වගක් හෝ වූයේ නැත. කිසිවෙකු ට කුසගිනි දැනුණේ ද නැත. ශාරද උදේ පාන්දර ම පිබිද ගෙදරින් පිට ව යාමට සූදානම් වූයේ ය. සැබවින් නිශාමනී ගේ මූණ බලන්නට බැරි ලැජ්ජාවකින් ඔහු හෙම්බත් ව සිටියේ ය. 

“මට සමා වෙන්න ශමී මං ඔයාට ආදරෙයි. ඉස්සරටත් වඩා මං ඔයාට ආදරෙයි. ඒත් මට ඒක ඔප්පු කරන්න පුළුවන් කමක් නෑ”

ඔහු ඇය නිදනා කාමරයේ දොර ළඟට ගොස් මුමුණා, ගෙදරින් නික්ම ගියේ ය. නිශාමනී අවදි වී ශාරදටත් එක්ක තැනූ තේ කෝප්පය මේසය මත පීරිසියෙන් වසා තිබිණ.

ආකාස වුව එදා උදේ ගෙදරින් පිට ව ගියේ බර වූ හදකිනි. ඔහු හරි හැටි නිශාමනී ට මූණ නොදුන්නා යි කීවොත් මුසාවක් නොවේ. සැබවින් ඔහු ට එසේ කළ නො හැකි ව තිබිණ.

නිශාමනී ගේ පපුවේ යමක් තිබිණ. බරක් වී හිතට වද දුන් යමක් තිබිණ. නමුත් ඈ සිටියේ ද ආකාස ට වැඩිපුර මුහුණ නොදී ය. ඔහු ගේ රිය නික්ම යත්දී ඒ බර ඇගේ ළය වඩාත් බර කරන ලදී.

කිසිවක් නො සිතා ඉතා ඉක්මනින් ඉතිරි ක්‍රියා මාර්ගය ගත යුතු යයි ඇය වහා තීරණය කළා ය. ඒ අනුව ඇගේත් දරුවා ගේත් අත්‍යවශ්‍ය සියල්ල ලොකු බෑග් එකකට අසුරා ගන්නා ලදී. එක කඳුළක් හෝ නො හෙළන්නෙමැයි ඇය හිත දැඩි කර ගත්තා ය. මේ ගිය වතාවේ, ශාරද වෙනත් පෙම් පලහිලව්වක පැටලී යයි දැන ගත් වෙලාවේ සේ ආවේගය මත ගෙදරින් නික්ම යාමක් නොවේ. මේ වූ කලී සැලසුම් කළා වූ ගමනකි. හැඟීම් මත තීරණය දිය වී නොයා යුතු බව නිශාමනී දැන සිටියා ය. කටුවක් වුණක් ඇනී රිදුම් දෙනවා නම් එය ගලවා දැමිය යුතු ය. දතක් වුණත් හෙලවෙමින් වදයක් දෙනවා නම් එය ගලවා දැමිය යුතු ය. ගලවා දැමීමේ රිදුම ගැන බිය වන්නට හෝ හැඟුම්බර වෙන්නට ගිය හොත් වන්නේ සදාකාලික රිදුමක පැසවන්නට ය. 

ශාරද ඇති කොට තිබෙන්නේ කිසි සේත් යළි පෑස්සිය හැකි බිඳුමක් නොවේ. ඇය ජංගම දුරකතනයෙන් ටැක්සියක් ඇනවුම් කළා ය.

“කොහෙද අම්මි අපි යන්නෙ..”

එසඳි ප්‍රශ්න කළා ය. නිශාමනී පිළිතුරු දෙන්නට ගියේ නැත.

“මෙච්චර ලොකු බෑග් එකක් ගෙනියන්නෙ ඇයි අම්මි…”

නිශාමනී ගේ නිහඬ බව ඇයට රිස්සුවේ නැත.

“ඉතිං අපි තාත්ති ආවහම යංකො. ඔයා මට තාත්තිට කෝල් එකක් අරං දෙන්න”

වළකා ගත නො හැකි වූ කඳුළක් නිශාමනී ගේ ඇසින් විසි විය. ඇය යටි තොල තදින් සපා ගත්තා ය. ශාරද කොයි තරම් නම් එසඳිට ආදරය කළේ ද යන වග ඇය නො දන්නවා නොවේ. නමුත් ඇය සතුව වෙනත් විකල්පයක් වූයේ නැත. ගෙමිදුල නතර වූ රියෙහි ඩිකියට බෑග් ටික පටවා නිශාමනී එසඳි තුරුලු කර ගෙන පසු පස අසුනෙහි ගුලි වූවා ය. නමුත් පසු ගිය වතාවේ සේ ඇය හඬන්නට ඇස් වලට ඉඩ දුන්නේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...