ලක්මව රනින් සැරසූ දිරිය දියණියන්

ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව අයත් කරගත් විශිෂ්ට ජයග්‍රහණය අපි පසුගිය දිනවලදී නිතරම කතා කළා. ඊට පසු කරලියට පැමිණියේ ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් තරගාවලියේ දී ධනංජය ද සිල්වා රැස් කළ ශතකයයි. අපි ක්‍රිකට් ගැන රොද බැඳ ගෙන කතා කරද්දී අපේ දිරිය දියණියන් මලල ක්‍රීඩා තරගවලට සහභාගී වෙමින් රට රනින් සරසමින් සිටිනවා.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අප වැඩිපුර කතා නොකළ එහෙත් කතා කළ යුතුම මාතෘකාවක්. ඒ වාර්තා පිට වාර්තා තබන්නට ධෛර්යමත් ක්‍රීඩිකාවන් සමත් වූ නිසා.

වසර විසි පහක් පැරණි වාර්තාවක් බිඳ දමමින් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වට රන් පදක්කම ලබා ගන්නට තරුෂි කරුණාරත්නට හැකි වුණා. තරුෂි තවම දහනව හැවිරිදි වියේ පසුවන තරුණියක්. ඇය වලල ඒ රත්නායක විද්‍යාලයේ සිසුවියක්. ඇය මීට අමතරව මීටර් 400 සහාය දිවීමේ රිදී පදක්කම සහ මිශ්‍ර සහාය දිවීම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කියනවා.

තරුෂි මෙහිදී තම හොඳම පෞද්ගලික වාර්තාව පිහිටවන්නට ද සමත් වුණා. ඒ වගේම ඒ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ගයන්තිකා අබේරත්න විසින්.

මේ අනුව ශ්‍රී ලංකාව 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් සමඟින් 4 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

එය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් දක්වා ඇති හොඳම දක්ෂතාවය ලෙස ඉතිහාස ගත වනවා.

මීට පෙර 2007 වසරේ ශ්‍රී ලංකාව රන් 3 රිදී 2 සහ ලෝකඩ පදක්කම් 2ක් ලබා තිබෙනවා.

ඉතිං! අපි වැඩිපුර ක්‍රිකට් ගැන කතා කළත්, අපේ දිරිය යුවතියන් රට රනින් සරසන්නේ එහෙමයි. එහෙත් අනේකවිධ කැපකිරීම් සහ උත්සාහයන් නිසා ඔවුන්ට කිසිම විටෙක ජයග්‍රහණය දුර වූයේ නෑ. දිරිය යුවතියන්ට කළ නොහැක්කක් නැති බව ඉන් මොනවට පැහැදිලි වෙනවා.

තරුෂිටත් අනිත් ක්‍රීඩිකාවන්ටත් ඔලිම්පික් පදක්කම දක්වා යන්නට Smartlady අපේ සුබ පැතුම්!!

Related Articles

Don't Miss


Latest Articles