පිණි මුතු පලසක් – 39

0
52

“තාත්තා කිව්වා එයාට වැදගත් වැඩක් තියෙනවා කියලා. එයා කිව්වා ටීචට කිසිම හානියක් කරන්නේ නැහැ කියලා. හැබැයි… හැබැයි ටීචර් එයා කියන දේ නොකළොත්…” කියා එතනින් නැවතුණා මිසක සත්සරාට කතාව අවසන් කර ගැනීමට නොහැකි විය. ඇය උන්නේ බියෙන් වෙව්ලමිනි. 

“තාත්තා හරිම තරහෙන් හිටියේ ටීච. මට එයා දිහා බලන්නත් බය හිතුණා” කියමින් ඇය සමුධ්‍යාට තවත් ලං වූවාය.

“ඔයාට තේරෙනවද සත්සරා, ඔයාගේ තාත්තා මේ කරන්නේ ලොකු වැරැද්දක් කියලා? මේක අපරාධයක්. එයාට දඬුවම් ලැබෙන්න ඕන,” සමුධ්‍යා කීව්වේ මෙතෙක් වේලා ගැටගසා තිබුන රැහැන් පට සත්සරාගේ උපකාරයෙන් ගලවා ගෙන කඳුලු වක්කරන සත්සරාගේ හිස සෙමෙන් ආදරයෙන් අතගාන ගමන් ය.

“මම දන්නවා ටීච. මම දන්නවා. ඒ උනාට… ඒ උනාට එයා මගේ තාත්තා ටීච. මම කොහොමද තාත්තවයි අයියවයි හිරේට යවන්නෙ?,”කියද්දී සත්සරාගේ දෙනෙත් යළිත් කඳුළින් පිරී ගියේය. ඇගේ හඬෙහි තිබුණේ දරුවෙකුගේ අසරණකමයි. “මං හන්දා තාත්තට කරදර උනොත් මම කොහොමද ඉන්නේ? එතකොට මට තාත්තා කෙනෙක් නැති වෙනවා. මෙච්චර කල් මට තාත්තා කෙනෙක් හිටියෙ නැති එක ඇත්ත ටීච. ඒ උනාට තාත්තා කියල මට එයාට කතාකරන්න බැරි උනාට මෙච්චර කාලයක් අපි දන්නෙ නැතුව හරි අපිට කන්න බොන්න දුන්නෙ එයානෙ. එයාට එහෙම දෙයක් වෙන්න දෙන්න මට බෑ නේද ටීච? ඒක වැරදි නේද? ඒක පවක් නේද?. අම්මාත් කිව්ව මට මං එහෙම කරොත් ඒක ලොකු වරදක් කියලා” කියූ සත්සරාගේ කතාව සමුධ්‍යාගේ හදවත විනිවිද ගියේය.

සමුධ්‍යාට සත්සරා ගැන අනුකම්පාවක් ඇති විය. මේ කුඩා දරුවා මේ වගේ තත්ත්වයකට මුහුණ දීම අසාධාරණයකි. “මට තේරෙනවා දරුවෝ. මට හොඳටම තේරෙනවා. ඒත් වැරැද්දක් කරන කෙනෙක්ට දඬුවම් ලැබෙන්න ඕන. ඒක යුක්තිය. අනික ඔයා හිතන්න මේ වෙලාවෙ ඔය හැම කෙනෙක්ම කතාකරන්නෙ එයාලට බේරෙන්න මිසක් ඔයාව බේරගන්න, ඔයාව පරිස්සම් කරන්න නෙවෙයි. ඔය හැමෝම ඔයා එක්ක කතාකරන්නෙ වෙස් මූනක් දාගෙන. ඔයා දකින්න එයාලගෙ වෙස් මූණ විතරයි පුතේ. වෙස් මූන මොකද්ද ඇත්ත මූණ මොකද්ද කියලා අඳුරගන්න තාම ඔයා මෝරලා නෑ, මේ ලෝකෙ ගැන දන්නෙත් නෑ”

“යුක්තිය හැමවෙලේම හැමෝටම හම්බවෙන්නේ නැති බව ඇත්ත. සමහර වෙලාවට යුක්තියට වඩා ප්‍රැක්ටිකල් දේවල් බලපානවා කියන එකත් ඇත්ත. හැබැයි එහෙමයි කියලා අපි කරන්න ඕන පුතේ වැරදි කරන මනුස්සයව, ඒ වැරැද්ද දැක දැක කට වහගෙන ඉන්න එක නෙවෙයි, ඒ වැරැද්දට විරුද්ධව සටන් කරන එක,” සමුධ්‍යා කීවේය. ” මේ ලෝකේ හැමදේම හරිම සංකීර්ණයි පුතේ තේරුම්ගන්න. හරිනම් ඔයාලා මේ වගේ වයස් වලදි මෙච්චර ලොකු ජීවිත ප්‍රශ්නවලට මූන දෙන්න උවමනා නෑ. ඒත් ජීවිතේ එක එකා අයට ලැබෙන්නෙ එක එක විදියටනෙ. සමහර වෙලාවට අපිට කැමති නැති දේවල් කරන්න වෙනවා අපේම හොඳ වෙනුවෙන්”

සමුධ්‍යාට මොහොතකට කතා කර ගත නොහැකි විය. සත්සරා අරුණ සහ විදුර අතර සිදුවූ සංවාද ගැන පවා යම් දෙයක් දන්නා බව පෙනී ගිය නිසාවෙන්ම “විදුර තව මොනවද පුතේ අරුණ සර් ගැන කිව්වේ?” කියා සමුධ්‍යා ඇසුවේ ඒ නිසාවෙන්මය.

“මම… මම අහගෙන හිටියා. තාත්තා ෆෝන් එකේ කතා කර කර ඉද්දි මම අහගෙන හිටියා,” සත්සරා පැවසුවාය. “එයා අරුණ සර්ට බනිනවා ඇහුණා. එයා කිව්වා ‘ඔයාට ඕන නම් ටීචව බේරගන්න, නඩුවෙන් අයින් වෙන්න’ කියලා” කියද්දිත් සත්සරා උන්නේ බියෙන් ගැහෙන්නට ගෙනය. “අරුණ සර් මොනවද කිව්වෙ කියලා මට ඇහුනෙ නෑ ටීච ඒ උනාට ඒ කෝල් එකෙන් පස්සෙ තාත්තා උන්නෙ කලින් උන්නට වඩා සන්තෝසෙන්.”

සමුධ්‍යාට තේරුම් ගියේ තමන් හිතුවාට වඩා තත්ත්වය බරපතල බවයි. මේ කුඩා දැරිය මේ සියල්ලටම කොටු වී ඇත. “දැන් අපි මොනවද කරන්නේ?” සමුධ්‍යා ඇසුවේ තමන් ගෙන්මය. ඇයට අවශ්‍ය වූයේ සත්සරාගෙන් කිසියම් හෝ තොරතුරක් ලබා ගැනීමටය.

“තාත්තා කිව්වා එයා දැන් අරුණ සර්ට කතා කරනවා කියලා. එයා කිව්වා අරුණ සර් මේ නඩුවෙන් අයින් වෙන්න එකඟ වෙනවා කියලා. එයා එහෙම කළොත්, ටීචට කිසිම හානියක් කරන්නේ නැහැ කියලා කිව්වා,” සත්සරා පැහැදිලි කළාය.

සමුධ්‍යාගේ හිතට බරක් දැනුණි. අරුණ මේ මොහොතේ දැඩි තීරණයක් ගත යුතු බව ඇය දන්නා නමුත්, “එතකොට එයා අයින් වෙන්නේ නැත්නම්, අරුණමයි මට කිව්වෙ එහෙම මේ වගේ මයිනර් කේස් එකක නඩුවක් අයින් කරගන්න බෑ කියලා” කියන පැනය සමුධ්‍යාව නිරුත්තර නොකලා නොවේ.

සත්සරාගේ දෑස් යළිත් බියෙන් පිරී ගියේය. “එතකොට… එතකොට මම දන්නේ නැහැ ටීච. තාත්තා හරිම තරහෙන් හිටියේ. එයා කිව්වා ඔයාට පාඩමක් උගන්වනවා කියලා. මට බයයි ටීච. එයාට ටීචට මොනවා හරි කරදරයක් කරන්න පුළුවන්. මට බයයි.” ඇය සමුධ්‍යාගේ අත අල්ලාගෙන හඬා වැටුණාය.

සමුධ්‍යා ගැඹුරින් හුස්ම ගත්තාය. ඇය සත්සරාගේ අත තදින් අල්ලාගත්තාය. “කමක් නැහැ සත්සරා. අපි මේකට මූන දෙන්න ඕන කොහොමහරි. මොනවා වුණත් අපි එකට ඉන්නවා. අරුණත් අපිව බේරගන්න හැම උත්සාහයක්ම ගනීවි.” තමන් තමන්ගේ ඒ වචනවල කොපමණ ශක්තියක් තවරන්නට උත්සහ කරද තමන්ගේ වචන තිබුනේ යම් කිසි හිත ඇතුලාන්තයෙන්ම පැන නගින බියකින් සැලෙමින් බව සමුධ්‍යාට නොතේරුනා නොවේ. එහෙත් මේ වනාහී ඒ බිය එලියට ගෙන හැර පාන්නට වෙලාව නොවන බව දන්නා නිසාවෙන්ම සමුධ්‍යා සත්සරාව සනසනු පිණිස බොහෝ හේතු කරුණු ගෙන හැර පෑවාය.

සමුධ්‍යා දෙනෙත් පියාගෙන හිත ඇතුළෙන් ඉකි බිඳින්නට වූයේ තමන් හොඳටම අසරණ බව තේරුම් ගිය තැනය. ඇයට දැනුනේ බලාපොරොත්තු සියල්ල සුන් වී ගිය බවකි. ඇගේ මනස අන්ධකාරයෙන් වැසී ගියේ, තමාට මෙතැනින් ගැලවීමක් නොමැති බව සිතීමෙනි. “අනේ අරුණ, මාව බේරගන්න,” ඇය හදවතින්ම මුමුණා ගත්තාය. ඇයට අවශ්‍ය වූයේ මෙම බියකරු සිහිනයෙන් මිදීමටය. මේ මොහොතේ, තමන්ගේ නිදහස, තමන්ගේ ජීවිතය, සියල්ල අරුණගේ තීරණය මත රඳා පවතින බව ඇය දැන සිටියාය.

“අනේ, අරුණ…” සමුධ්‍යා උන්නේ හදවතින්ම ඒ නම මුමුණමිනි. තමන් දෙදෙනා අතර ඇතිවූ ඒ අමුතු බැඳීම, එය ආදරයද, ගෞරවයද, නොඑසේනම් තවත් කුමක්දැයි ඇයට නිශ්චිතවම පවසන්නට නොහැකි බව හැබැවක් වුවද ඒ වනාහී තමන්ගේ ජීවිතේ කෙටි කලකට හෝ ආලෝකමත් කරන්න හේතු වුණ දෙයක් බව සමුධ්‍යා ඒ මොහොතේත් සිතුවාය..

ඒත් දැන්… ඒ සියල්ලම සුන් වී ගොසින් ය.ඇගේ දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට වූයේ වේදනාව දරාගන්නට නොහැකි තැනය.

 මේ ලෝකය කොතරම් කුරිරුද? යුක්තිය, සත්‍යය, ආදරය… මේ හැමදේම හිස් වචන විතරද? සල්ලි, බලය ඉස්සරහා මේ හැමදේම දියවෙලා යනවාද? 

“සමුධ්‍යා, මම ඔයාව කවදාවත් අත්හරින්නේ නැහැ.” ඒ වචන තිබුනේ සමුධ්‍යාගේ හිත ඇතුලේ දෝංකාර දෙමිනි. 

“ඒත් දැන්, එයාට මොනවද කරන්න පුළුවන්? දෙයියනේ මට මොකද්ද වෙන්නෙ? සත්සරාට මොකද වෙන්නෙ?” සමහරවිට ආයේ කවදාවත් අපි හිතපු කිසි දෙයක් සැබෑ වෙන්නේ නැතුව ඇති. අරුණ මේ වෙලාවෙ කොච්චර වේදනාවකින් ඉන්නවා ඇත්ද? තමන්ගේම තාත්තාගේ වැරැද්දක් නිසා, තමන් ආදරය කරන මාව බේරගන්න, එයාට මේ නඩුව අතාරින්න උනොත් කියන ප්‍රශ්නෙ මට වගේම එයාටත් තියෙනවද?කියා හිතමින් සමුධ්‍යා වේදනා ගංගාවක ගිලෙද්දී අරුණ උන්නේ දිය යුතු පිළිතුරු දෙකෙන් තමන් තෝරා ගත යුත්තේ කුමන එකද කියා හිතාගන්නට බැරි අතීරණයකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here