සුහදිනි -20

“දකින දකින තැන ඒ ළමයා එක්ක කතා කරන්න ඕනමයි කියලා එකක් නෑ අහස්”

සකී රෝහලේදී හමු වූ කතාව අසා සිටි සියුම් පැවසුවේ සරදමට ම නොවේ.සකී කියන්නේ අහිංසක දැරියක බව ඔහු හොඳින් දැන සිටියේ ය.අහස්ගේ ජීවිතයට මැදිවන්නට එවන් යුවතියකට නොහැකි ය.ඔහු නරක නොවන බව ඇත්තකි.නමුත් සාරණ්‍යාගේ ගැටළුව සේම අහස් ට සමාජයෙන් එල්ල වන පීඩා ද  දරා ගන්නට සකීට උදව් දීමට හැකි වේ දැයි සැකයකි.

“එහෙම ලොකුවට කතා කරේ නෑ”

කුඩා කාලයේ ශීතකරණයෙන් රසකැවිලි සොරා ගත් පසු අම්මා ඉදිරියේ නිවැරදි වන්නට සැරසෙන මුහුණින්  අහස් පවසයි. සෙල්ලක්කාරයකු බවට සමාජ මාධ්‍ය චෝදනා නගන්නේ මෙවැනි අහිංසක තරුණයෙකුට බව සිතද්දී සියුම්ට ද දැනෙන්නේ වේදනාවකි.

“ලොකුවට හරි පොඩියට හරි කතා කරානෙ.උඹ කතා කරන එකෙන් ඒ ළමයා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත්?”

ඒ කතාවට අහස් වහාම එරෙහි වූයේ ය.තමන් වතාවක් දෙකක් ඇමතීම නිසා බලාපොරොත්තු ඇති කර ගන්නට තරම් සකී අනුවණ යුවතියක නොවේ.

“එහෙම බලාපොරොත්තු ඇති කරගන්නවද බං මිනිස්සු?”

ඔහු එය බැහැර කළේ ය.අහස් හමු විය හැකි බව කියද්දී පවා සකී එය නෑසුණා සේ සිටි අන්දමත් අනතුරුව ආචාරශීලීව එය ප්‍රතික්ෂේප කළ අන්දමත් සියුම්ට අමතක නැත.ඇය ඔහු මුණගැසෙන්නට උවමනාවක් දැක්වූයේ නැත.නමුත් අහස් කුමක්දෝ හේතුවකට සකී ලුහුබඳින බව සියුම්ට වැටහේ.

“මේක දැක්කද? උඹ මේක කොහේ හරි කියල තියන බව මම දන්නව.මට ඇත්තටම ඕන වුණේ සකී ඕක දැනගත්තු හැටි හොයා ගන්න.”

විදේශ රටක පැවති ක්‍රිකට් තරගාවලියකට පසු ක්‍රීඩකයන් සහ කුඩා දරුවන් පිරිසක් අතර සිදුවන සංවාදයක් යූ ටියුබ් අවකාශයේ තිබේ.එය කිසිවෙකු ජංගම දුරකථනය හරහා පටිගත කළ එකක් වේ.ඒ වීඩියෝව ලංකාවේ ජනප්‍රිය නොවීම ද පුදුමයට කරුණකි.ඕනෑම ඕපාදූපයක් ලෝකයේ කෙළවර තිබී හෝ සොයා ගන්නට සමත් ගොසිප් වෙබ් අඩවි හසුරවන්නන් මෙය දුටුවා නම් එය ඔවුන්ට දින ගණනක මස් කටුවකි.

“මේ උඹත් එක්ක සෙල්ෆි ගහ ගහ දඟලන හුරතල් වෙන පොඩි එකෙක් උඹට රෝස මලක් දෙනව.උඹ කියන්නෙ කැමතිම මල සන් ෆ්ලවර් කියල.”

සියුම් එය කොහෙන් සොයාගත්තා දැයි අහස් නොදනී.නමුත් එවැනි සුන්දර මොහොතක් පසු වූ වග ඔහුට මතක ය.සෑම මොහොතක්ම කාගේ හෝ ජංගම දුරකථනයකින් පටිගත වී පොදු අවකාශ වලට එක්වීම මොනතරමට කැළඹිලි සහගතදැයි අහස් සිතී ය.

එහෙත් සකී මෙය දුටු බව සිතන්නට ඔහුට වුවමනා නොවේ.ඇය ඔහුගේ සිහිනවල හිඳින්නී බවත් ඔහු සමඟ අනතුරේ වැටෙන තැනැත්තිය බවත් ඔහුට සහතික ය.ඇය මේ මලක කතාන්දරය යූ ටියුබ් අවකාශය පීරා සොයා ගත් බව සිතන්නට ඔහුගේ කැමැත්තක් නොවේ.

“ඒ ළමයා මාරම මාර සොයා ගැනීමක් කරා වගේ ඒ ළමයගෙ පස්සෙන් යන එක නවත්තනවා.ඇත්තටම කිව්වොත් වෙන්න ඇත්තෙ ඕක.හැබැයි ඔය වැඩේ හින්ද ඒ ළමය අමාරුවේ වැටෙනවා.”

 සියුම් එසේ පැවසුවේ සමහර කරදර පැමිනෙන්නේ කල් තියා පවසමින් නොවන හන්දා ය.අහස් එය නොතැකුවේ ය.

නමුත් යමක් සිදුවෙමින් තිබිණ!

ජනප්‍රිය පුද්ගලයෙකු සමග කතා කරන ඕනෑම මොහොතක් කාගේ හෝ ජංගම දුරකථනයකින් පටිගත වී පොදු අවකාශයට එක් වීම වැළැක්විය නො හැකි බව සකී ඉගෙන ගනිමින් හුන්නා ය.

“කවුද හොස්පිටල් එකේදී මුණ ගැහුණේ? අපි හලලා ගියේ මේක ප්ලෑන් කරලමද?”

සුළි සුළඟක්ව නිම්නා කඩා වදිනතුරු සකී සිටියේ අහස් පැවසූ දේවල් ගැන කකල්පනාවට වැටෙමිනි.තාත්තා අසනීප වීම යන කාරණාව පවා ඔවුන් දෙදෙනාටම පොදු ය.ආත්මීය සහකරුවන්ට හිරිහැර සහ කරදර පැමිණෙන්නේ ද එක්වරම සහ එක සමානව බව ඇය අසා තිබිණි.ඇය හිටියේ දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් සිතා බලමිනි.

 “කවුරුත් මුණ ගැහුණේ නැහැ.”

මුණගැසුනේ සාමාන්‍ය තරුණයෙකු නොවේ.ජනප්‍රිය තරුණයෙකි. ඔහු සම්බන්ධයෙන් මුසාවාද පැවසීම අසීරු බව සිතුණානම් සකී මිතුරියට එසේ පවසන්නේ නැත.නමුත් පැවසූ වචන නැවත ගත නොහැකි බව ඇයට වැටහුණේ නිම්නා දුරකථන තිරය මුහුණ ඉදිරියේ තැබූ විට ය.

“මේ මොකක්ද?”

නිම්නා අසයි.සකී ගල් ගැසී ගියා ය.

“අමාරුම වෙලාවකත් අත් අරින්නෙ නැති එයාලගෙ ආදරේ”

ඕපාදූපයේ මාතෘකාව එබඳු ය.ජනප්‍රිය පෞද්ගලික රෝහලක සිටින අහස් සහ ඇගේ පෙම්වතිය ගැන විශාල කතාන්දරයක් එහි ලියා ඇත්තේ අවසරයකින් තොරව ඔවුන්ගේ ඡායාරූපයක් ද එක්කරමිනි. 

අහස් පාදයේ ආබාධය ට දිගටම ප්‍රතිකාර ලබා ගන්නා බවත් ජනප්‍රිය තරුණ නිලිය ඔහු අත්හැර දැමු පසු ඔහු සමඟ ජීවිතය බෙදා ගන්නට තවත් තරුණියක් ඉදිරිපත් වී ඇති බවත් බලා සිටියා සේ ලියා තබන්නට ඕපාදූප වෙබ් පඩංගුව සමත් වී තිබේ.

“මට අහස්ව මුණ ගැහුණෙ අහම්බෙන් අනෙ”

සකී අසීරුවෙන් කියා ගත්තා ය.මිතුරියන් ඉදිරියේ පවා වැරදිකාරියක වීමට  ඇයට නොසිතේ.නමුත් දැන් එය සිදු වෙමින් පවතී.

“අහම්බෙන් හරි මොකක් හරි වුණත් අද හවස් වෙනකොට මේ ෆොටෝ එක පුදුම විදියට වයිරල් යනව.”

නිම්නාගේ කටහඬ කෝපයෙන් පිරී තිබේ.අහස්ට දක්වන උමතු ප්‍රේමය කෙදිනක හෝ විනාශයකින් කෙළවර වන බවට තමන් මත පළ කළා මතකදැයි ඇය ඇසුවේ සැරෙනි.සකී හිඳින්නේ හඬමිනි. නමුත් නිම්නාට අනුකම්පා කරන්නට සිතක් නොවේ.

“ඒත් මේක මාර වැරදි වැඩක්.මේ ඉන්නේ ඇත්තටම කපල් එකක් උනත් උන්ට මොකද?”

නොසිතු මොහොතක ධෛර්යය සපයා ගැනීමට සමත් රන්මිණි හිටි හැටියේ පැවසුවා ය.සැබෑවටම සටන් කළ යුතු කරුණක් බව සකීට සිතුණේ ඒ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles