සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී වූ කිසිවක් අප වටා නොවන බවක් දැනී යන්නේ ය. 

මුණිවර මගේ සුරතේ මැණික් කටුව තද කොට අල්ලා ගත් නිමේශය ද මට එසේ වූ බව කිව යුතු ය. මිස්ට් ෆීල්ඩ් වල පිරිත් දේශනයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා ඉතා විශාල සෙනගක් මෙහි රැස් වී සිටින බව මට අමතක වී තිබිණ. මම ඔහු ගේ මූණ දෙස බලා සිටියේ ජීවිතයේ ප්‍රථම වතාවට ඔහු දෙස බලන්නා සේ ය. 

සිහින් රේඛා බඳු ඇස් දෙක මැද කළු ඉංගිරියාව දිළිසුණේ ය. අක්‍රමවත් ලෙස වැවුණ රැවුල් කොට අතරේ අතැඟිලි යවා පිරිමැද බලන්නට හිතුණ සිතිවිල්ල ගැන මට ම තනිව සිනහ නැගෙන්නට ආවේ ය. ඔහු ගේ බැල්මෙහි ළෙංගතු කමක තරවටුවක් තිබුණේ ය.

“මං ගැන කොහොමද හිතං ඉන්නෙ ආ..”

මුණිවර මගේ අත අත් නෑර ම ඇසුවේ ය. එසේ අසත්දී ඔහු ගේ ඇස් වඩාත් කුඩා විය. 

“ඒ කිව්වෙ…”

මම අසීරුවෙන් වචන හොයාන අසා ගතිමි.

“ධාරා ගැන මගෙ රිඇක්ට් එක මොකද්ද කියල මං කියලනෙ තියෙන්නෙ. ඉතිං ඒ මනුස්සය එපා කියද්දිත් ඇවිත් මගෙ වෙහිකල් එකට නැග්ගට මං මොනා කරන්නද…එළියට තල්ලු කරල දාන්න බෑනෙ”

මගේ හිස වටා රැස වළල්ලක් කැරකෙන්නා සේ දැනෙන්නට ගති. එය වූ කලී ප්‍රහර්ශයක පරිසමාප්තිය හඟවනා ලක්ෂණයකි. ඔහු මට ධාරා ගැන නිදහසට කාරණා කියන්නට පටන් ගෙන තිබේ. ඒ පෙර දා පටන් ම එම සිදුවීම මත මා ඔහු ගෙන් පලි දරමින් සිටි නිසා විය යුතු ය. මේ මොහොතේ ද මගේ තොල් කොනක් සිනහවකට ඇද වෙන්නට හැදුවේ ය. 

“අම්..මනුස්සයෙක්ට රිද්දන එකේ සීමාවක් තියෙන්න ඕන නේද..”

ටික ටික මට අවට ශබ්ද ඇසෙන්නට විය. පිරිත් හඬ වඩා පැහැදිලි ව ඇසුණේ ය. මෙතෙක් අමතක වී තිබි අවට ලෝකය ගැන මතකය අලුත් වන්නට විය. මා මෙහි ආවේ ඇයි? ස්ටේප්ලරය සොයා ගෙන ය. මුණිවර ගේ නංගී එය බලාපොරොත්තුවෙන් සිටිනවා විය යුතු ය. මා මෙතරම් ප්‍රමාද මන්ද කියා ඔවුන් විපරම් කරන්නට බැරි නැත. සමහර විට කිසිවෙකු මා සොයා මෙහි එන්නට ද බැරි නැත. 

“මට යන්න ඕන”

මම මිමිණුවෙමි. නමුත් මුණිවර ගේ අත මුදාලීමේ කිසිදු උත්සාහයක් මවිසින් නො දැරූ බව සහතික ය. ඒ ග්‍රහණයෙන් මිදීමේ ලෝභී හැඟීමක් මගේ යටි සිත තදින් බදා ගන්නට වූයේ ය. නමුත් උඩු සිත පෙන්වූයේ ඉක්මනින් මෙතැනින් යා යුතු යයි බොරු කලබලයකි. මුණිවර අත අල්ලා ගත් වන මවෙතට නැඹුරු වී ඉතා තදින් මගේ කොපුලක් සිප ගත්තේ ය. ඔබ විශ්වාස කළ ද නො කළ ද ඒ මොහොත මා පාෂාණිභූත කරවූ බව දිව්රා කියමි. සිදු වූයේ කුමක් දැයි  කොහෙත් ම සිතා ගත නො හැකි ව මම වේගයෙන් හුස්ම ගන්නට වූයෙමි. ඇස් ලොකු කර මා ඔහු දෙස බැලූ බව මතක ය. ඒ දෙතොල් මත්තේ ජයග්‍රහණයක මඳහසක් නලියමින් තිබුණේ ය. ඒ එවන් මොහොතක් මගේ ජීවිතය වෙත එළඹි ප්‍රථම අවස්ථාවයි. ඇත්තටම නම් මා රිසි වූයේ ඔහු ගේ ගෙල වටා දෑත් යවමින් ඒ පපුතුර මුහුණ හොවා ගන්නටයි. නමුත් ඒ ඇත්ත හැඟීම් සඟවා ගෙන එවන් අවස්ථා වල අප කරන්නේ ම අපට කරන්නට ඕනේ නැති දේ ය. 

“නංගි හොයනව ඇති. මං යන්නෝන”

ඔහු අල්ලා ගෙන ඉන්නා මගේ අත දෙස බලමින් මම කොඳුරා ගතිමි. මුණිවර අතේ ග්‍රහණය ලිහිල් කළේ ය. ඒ අවසරයෙන්, අහස කඩාගෙන එන බවට පුවත ලද කිකිළිය සේ ගාල කඩා ගෙන දිව යන්නට පටන් ගතිමි.

“මො..කද…”

මා හති හලා ගෙන කුස්සියට ගොඩවත්දී නංගී ඇසුවා ය. මම මුණිවර ගේ පොඩි නංගී වෙත ස්ටේප්ලරය පෑවෙමි. කුස්සියට එමින් සිටි දසුන් ගේ මුහුණේ වූයේ අමුතු තාලයක සිනහවකි.

“හොල්මනක් දැකල බය වෙලා වගේනෙ”

හංසිකා කීවා ය. මම මේසය මත වූ වතුරු වීදුරුවක් ගෙන උගුරු කිහිපයක් බීවෙමි.

“පිරිත් කියන වෙලාවට තනියම එළියෙ යන්න හොඳ නෑ කියන්නෙ ඕක තමයි. දැං හැදෙන ළමයි විශ්වාස නොකළට හිත ගැස්සෙන දේවල් වෙන්න පුළුවන්”

උයමින් සිටි කම්කරු කාන්තාවක කීවා ය. 

“මං මොනාටවත් බය වුන්නෑ. දුවං ආපු නිසා හති”

මා එසේ නොකීවේ වී නම් එතැන අනවශ්‍ය කතා බහක් සිදු වී නො විය යුතු අංශයක් ගැන අවධානය යොමු වන්නට තිබිණි.

ගෑනු ළමයි තවමත් පළතුරු කපමින් සිටියහ. මම එතැනින් හිඳ ගෙන නිකට දණහිසෙහි තියා ගෙන අඹ ගෙඩියක් ලෙලි ගසන්නට පටන් ගතිමි. මගේ වම් කම්මුල අල්ලා බැලීමේ ආශාවක් මට දැනිණ. පිටස්තර පිරිමි තොලක පහසක් ඒ මගේ කම්මුලකට දැනුණ ප්‍රථම වතාවය. මුණිවර ගේ රැවුල් කොට කම්මුලේ වැදුණ බවට හැඟීමක් තවමත් එහි වේ. මම කම්මුල දණිහිසට තද කොට ගතිමි. 

ඒ චමත්කාරය වචන වලට පෙරළන්නට පුළුවන් කමක් ඇති ය කියා මම නො සිතමි. සමහර දේවල් එහෙම ය. විඳ ගන්නවා මිස විස්තර කරන්නට යාම අසාර්ථක ය. තවමත් මා සිටියේ මුළුමනින් පියවි තත්වයට නො එළඹ බව නම් මම ඉඳුරා දැන සිටියෙමි.

“එන ගමං ස්ටේප්ලර් පින් එකක් කටට ගහගෙනද එක්කෙනෙක්…”

කසුනි ගේ හඬ ඇසුණේ මා ඒ මොහොතකට පෙර අතීතය තුළ තව දුරටත් ජීවත් වෙමින් සිටියදී ය.

“මොකක් හරි තමයි”

“ඇත්ත හොල්මනක් අතරමගකදි හම්බ වුණාද කියන්නත් බෑනෙ”

“දැම්ම පිරිත් නූලක් බන්දවන්න වෙයිද කියන්නත් බෑ”

ඔවුහු එක එක කතා කීහ. මම දණිසින් හිස ඔසවා බලා සිනාසෙමින්,

“පිස්සුද අප්ප ඕගොල්ලන්ට”

කියා විමසීමි. මගේ ඇස් ද සිනහ වෙන බව මට දැනුණේ ය. හිත සතුටු සාගරයක දිය බුං ගසමින් තිබිණ. නමුත් තවමත් මට වූයේ ඒ හැබෑවක් ද නැත්නම් මායාවක් දැයි වෙන් කොට හැඳින ගන්නට බැරි කමකි. මම ඒ අන්තර් තත්වයට වඩාත් රිසි වීමි. ජීවත් වෙන බවක් හදිසියේ ම මට දැනෙන්නට ගෙන තිබිණ. අඹ පොතු යවනා ගමන් මට තනිව සිනහ නැගිණි. මුණිවර ළඟ දැනෙන්නා වූ පිරිමි සුවඳ මේ මොහොතේත් දැනෙන්නා සේ විය. මේ සෙනග ගොඩ අතරේත් මට මා දැනුණේ තනිව මගේ හදවතත් සමග සරණා හුදෙකලා ජීවියෙකු සේ ය. නමුත් මා තුළ මම ලෝකයක් ම මවා ගෙන සිටියෙමි.

මුණිවර විසින් වාචික ව ප්‍රේමය ප්‍රකාශ කරන තෙක් මගේ මිතුරියන් හා නංගී ද සමග මම බලා සිටියෙමි. මුණිවර ගේ සොයුරිය විදුනි ද ඒ බලාපොරොත්තුව සහිත ව සිටියා කියා මම සිතමි. නමුත් ඔහු ප්‍රේමය ප්‍රකාශ කළේ මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ආකාරයකට ය. පෙර කී පාර්ශවයන් බෙහෙවින් සතුටු කළ හැකි ආරංචියක් වී ද මා මේ බවක් ඔවුන් ට කියා ගන්නේ කෙසේ ද? ඒ නිසා මට සිදු වූයේ එය රහසක් ලෙස මගේ හදවත තුළ තියා ගෙන සුව විඳින්නට ය.

අතර මගකදී අවදි වූ ධාරා ඇගේ මුහුණේ වූ දන්තාලේප රැවුල ගැන සිනහ වෙමින් එය සෝදා ගෙන පැමිණියා ය. ඉන් පසු අපත් සමග කතා කරමින් තේ බීවා ය.

පළතුරු කැපීමෙන් පසු ගෑනු ළමයි පිරිත් මණ්ඩපය පෙනෙන මානයේ පැදුරක අසුන් ගත වූහ. මම මගේ දෑස් පුරා මණ්ඩපය දකිමින් සිටියෙමි. පුන් කළස් මත තවමත් පහන් නො නිවී දැල්වේ. මණ්ඩපයේ කවුළු වලින් මට සංඝයා වහන්සේලා පෙනේ. පිරිත් හඬ හිත් නිවාලමින් මිස්ට් ෆීල්ඩ් පුරා පැතිර යයි. ඒ සියල්ල අතරේ මුණිවර ගේ රැවුල් කොට ඇනුණ හාදුව මා තදින් වැළඳ ගෙන සිටී. යන්තම් මා හිස හරවන කල මිදුලේ පුටු දෙකක අසුන් ගත් මුණිවර හා දසුන් ගේ රුව මගේ නෙත ගැටිණ. ඒ වෙත්දීත් ඔවුන් මා දැක, මා ගැන කතා කරමින් සිටි බවක් මට දැනුණේ මා හැරී බලත්දී නැගුණු සිනහවෙනි. දසුන් අතක් ඔසවා මට ඉඟි කිරීමක් කළේ ය. මම ඔහු ට පමණක් සිනහවක් දී බිම බලා ගතිමි. පුපුරු ගසන්නට හදනා කොපුල උරහිසට තබා තද කර ගත්දී මන්දස්මිතයක් මැවුණේ ය.

පිරිත් නිමා වීමෙන් පසු උදේ දානය සඳහා කටයුතු සූදානම් විය. අප්පච්චිත් අම්මාත් අප කැටිව යන්නට පැමිණ සිටියහ. සියල්ල සූදානම් කොට තැබී ද අප දානය බෙදීම සඳහා ගියේ නැත. 

“කෝ මන්දාකිණී දුව…පුළුවන් තරං වැඩ කළා. දානෙ බෙදන්න එන්නැද්ද..”

මුණිවර ගේ අම්මා එසේ කියා නෙතු කරකවමින් මා සොයනවා අපට පෙනිණ. නංගි මාව ඉදිරියට තල්ලු කළා ය.

“නැන්දම්ම හොයනව අන්න. යනව”

එකෙනෙහි ලොකු තාත්තා ඇවිත් මගේ අතකින් අල්ලා ගෙන එහි කැටිව ගියේ ය.

“අනේ ලොකු තාත්ත පවුලෙ අය ඉන්නවනෙ…මං ඕන්නෑ දානෙ බෙදන්න”

“පැහෙන්නැතුව මෙන්න මේක අරං ගිහිං බෙදන්න දුව”

ඔහු බලයෙන් ම මා අත ව්‍යාංජන දීසියක් තැබුවේ ය. හාමුදුරුවන් පන්සලට වැඩි ඉක්බිති හීල් දානය ගෙන අපි ද ගෙවල් බලා යන්නට සූදානම් වීමු. මුණිවර ගේ අම්මා අපේ අම්මා ට මා ගැන මුව පිරෙන්නට ගුණ ගැයුවා ය. 

“ටිකක් හවස් වෙලා මං එන්නං අස් කරන්න උදව් වෙන්න. ලොකු තාත්තව එවන්න පුළුවන්ද මිස්ට මුණිවර…”

කවුරුත් ඉදිරියේ මා එසේ අසත්දී ඔහු හිස සලා එකඟ වූයේ ය. නමුත් අප දෙදෙනා පමණක් දන්නා රහසක් ගැන ඇස් හතරක් දොඩමළු වෙමින් සිටියේ ය.

මුළු රැයක් අවදියෙන් සිටියද නිදි මතක් අසලකට ආවේ නැත. මම බිත්තිය පැත්තට හැරී ඒ සදාකාලික මොහොත තුළ තව තවත් ජීවත් වන්නට වූයෙමි. අම්මා හා අප්පච්චි පිරිත ගැන ද මුණිවර ගේ පවුලේ අය ගැන ද ප්‍රශංසා මුඛයෙන් දොඩනු ඇසුණේ ය. මට නින්ද ගියේ තවත් බෝ වෙලාවකට පස්සේ ය. 

නංගී මගේ අතකින් අල්ලා සොලවා කතා කරත්දී මා සිටියේ නින්දේ ගැඹුරු තැනක විය යුතු ය. එතැනත් මුණිවර ගේ තද හාදුවේ රැවුල් කොට ඇනුණා වූ ස්පර්ශයත් ඔහු ගේ සුසුවඳත් තිබූ බව විශ්වාස ය. 

“ආං ඇවිත් කැන්දන් යන්න”

මම පැහැදිලි නැති දෑසකින් නංගී දෙස බැලුවෙමි. 

“දැං පැය දෙක තුනක්වත් දකින්නැතුව ඉන්න බෑ වගේ”

“අපි මෙතනිං යන ගමන් නිසා නතර කළේ. අම්..මන්දාකිණී කිවුවනෙ එයාට එන්න ලොකු තාත්තව එවන්න කියල”

මුණිවර ගේ හඬ මට ඇසුණේ ය. මම ඉක්මන් කොට යහනෙන් බැස ගතිමි. 

“ආපු වෙලාවෙ ඉඳල තාම නිදි. මං කෑම කන්නවත් කතා කළේ නෑ”

අම්මා කීවා ය. මම නාන කාමරයට වැදී ඇඟ සෝදා ගෙන ඇඳුමක් දමා ගෙන පිටතට ආවෙමි.

“මරු ආ…රෑ නිදි මරපු හිලව්වට දවල් දවසම නිදි”

මල්ලී ලොකු මිනිසෙකු සේ කීවේ ය. මම ඔහු ට ටොක්කක් ඇන්නෙමි. 

“අපරාදෙ නැගිට්ටුවෙ”

ලොකු තාත්තා කීවේ ය. මම සිනහවක් නගා ගතිමි.

“මන්දාකිනී කියපු නිසයි මං මතක් වෙලා නතර කළේ”

මුණිවර ගේ ස්වරයේ පසුතැවීමක් විය. මම ඔහු ගේ ඇස් මගහැරියෙමි.

“ඒකට මොකද…ඔය නිදා ගත්තෙ හොඳට”

“එහෙනං සර් අපි ගිහිං එන්නද…මන්දාකිණීව මං නැතත් ලොකු තාත්ත අතේ හරි එවන්නං”

අප්පච්චි ගෙන් අවසර ගෙන ඔහු රියට නැග ගත්තේ ය. වෙන කිසි දා ක ඒ රිය තුළ දී දැනී නැති විදිහේ අපහසුතාවයක් මට දැනිණ. මුණිවර ගේ මූණ බලන්නට බැරි ලැජ්ජාවක් ද ඒ අතරේ වූයේ ය. මම මඳ වෙලාවක් වීදුරු කවුළුවෙන් පිටත බලා ගෙන ම සිටියෙමි. 

“දසුන් අයිය ගියාද…”

අන්තිමට මා එසේ විමසුවේ ඒ නිහඬ බව හිතට වදයක් සේ දැනුණ නිසා ම ය. 

“කොල්ලට යන්න හිතක් නෑ. ඒත් ඉතිං ඉන්න විදිහකුත් නෑනෙ”

“ලොකු තාත්තල නිදා ගත්තෙම නෑද…”

“මොන නින්දක්ද දරුවො”

ලොකු තාත්තා සිනහ වූයේ ය. මා ලොකු තාත්තලා වශයෙන් බහු වශයෙන් විමසූයේ මුණිවරද ඒ කුලකයට ම දමා ඔහු ගැන ද දැන ගන්නට ය. වෙනදා ඔහු ගෙන් යමක් විමසන්නට නො දැනුණ විදිහේ සබකෝලයක් දැන් මට දැනෙන්නේ ඇයි?  මිස්ට් ෆීල්ඩ් වල දී මුණිවර රියෙන් බැස්සේ “කාල ඉමු ලොකු තාත්තෙ..මන්දාකිණී තාම කාලත් නෑනෙ” කියා ගෙන ය. පෙර දා සවි කළ මඩු ආදිය සේවකයන් විසින් ගලවනු ලබමින් තිබිණ. එහි සෙනග ගැවසී ද මගේ හිතට දැනුණේ පාළු නිස්සාර හැඟීමකි. ඇතැම් විට නින්දෙන් පිබිද ගත් ගමන් නිසා මට එහෙම දැනුණා වන්නට ද ඇත. 

මණ්ඩපය එහෙම ම තිබිණ. ඉවත් කෙරෙමින් තිබුණේ අනිත් දේ ය. මේ දහවලට ද මිස්ට් ෆීල්ඩ් මුළුතැන්ගෙයි විශාල පිරිසකට බත පිසී ඇති බව පෙනෙන්නට තිබිණ.

අප්පු අපට කෑම මේසයට එව්වේ ය. ලොකු තාත්තා ත් මුණිවරත් පිරිත සාර්ථක වීම ගැන කතා කරමින් කෑම ගත්හ. නුහුරු නුපුරුදු තරමට මා නිහඬ ඇයි දැයි මට තේරුණේ ම නැත.

ලොකු තාත්තා කොහොමටත් ඉක්මනින් කෑම කයි. ඔහු මේසයෙන් නැගිට ගත්තේ හට් ටික ලොරියට පැටවා යැවිය යුතු බව කියමිනි. භෝජනාගාරය තුළ අප දෙදෙනා පමණක් ඉතිරි විය. ඒ නිහඬ බව කන් අගුළු වැටෙන ඝෝෂාවක් මට ඇසුණේ ය. හිස බිමට ම හරවා ගෙන හිඳ මා හිස නගා බලත්දී මුණිවර කෑම ගැනීම නවතා ඉඳුල් අත පිඟාන මත තබා ගෙන ම මදෙස බලා ගෙන සිටියේ ය. මා දුටු වන ඔහු ගේ අර වශීකෘත සිනහව පිපිණ. ඒ සිනහව දරා ගන්නට බැරි ව යළිත් මට බිම බැලිණ.

“සුවඳයි”

ඔහු ඉතා හෙමිහිට මිමිණුවේ ය. මා මුළුමනින් වෙව්ලා යනවා මට දැනිණ. පිරිමියෙකු ගේ ඒ තරම් සාමාන්‍ය වචනයකට ගැහැනු හිතක් ඒ තරම් සසල කළ හැකි වෙතැයි සත්තකට මම එතුවක් නො දැන සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content