සැරිසරන්නී -14

එදා, මගේ හිතේ ඔහු කෙරේ වන හැඟීම පො සඟව රවීන් ඉදිරියේ හෙළි දරවු කළ දා, දවල් මා මනාලියක ගේ මල් කළඹක් සඳහා සැලැස්මක් අඳිමින් සිටියදී, රවීන් ගේ නම මගේ දුරකතන තිරය මත සනිටුහන් ව තිරය ආලෝකමත් විය. මේසය මත වන දුරකතනය දෙස බලා ගෙන සිටියදී මගේ දෙතොල් අතරේ සිනහවක් මතු වූයේ ය. ඒ වෙලාවේ අහල පහලක සුනෙත් නොමැති වීම මට සහනයක් ද විය.

“හෙලෝ”

මම හුරතල් හඬකින් කතා කළෙමි.

“කෑවද…”

පිරිමියෙකු එහෙව් ස්වරයකින් එසේ අසත්දී, එය ජීවිතයේ කුළුඳුළේ ම ඇසෙත්දී කෙළි හිතක හට ගන්නා වූ චමත්කාරයේ හැඩතල ගැන ඔබට කියන්නට මට තේරෙන්නේ නැති තරමි. මම දුරකතනය සවනේ තද කොට ගතිමි. ඇස් පියවී ගියේ මට ද නො දැනී ය.

“තාම නෑ”

“මං ලන්ච් වලට යන්න හදන්නෙ”

කෑම කන්නට හදත්දී ඔහු ට මා මතක් වූ බව නො කියා කියූ ආකාරයක් ද ඒ? මිහිරි වූත් සෞන්දර්යාත්මක වූත් සිතිවිලි සමුදායකින් මා නැහැවෙමින් යන්නට විය.

“මං බ්‍රයිඩ් කෙනෙක්ගෙ බොකේ එකක් ඩිසයින් කරන ගමන්. මේක කන්ෆර්ම් වෙනකල් කන්න හිතෙන්නෑ ඉතිං”

“කට්ටිය මං එනකල් බලං ඉන්නව. මං යන්නද එහෙනං…”

“හ්ම්. අයිය යන්න”

“වැඩි වෙලා බඩගින්නෙ ඉන්නෙ නැතුව කන්න ඔයත්”

ඊළඟ තත්පරයේ ඔහු දුරකතන සම්බන්ධය බිඳ දමාවියි ක්ෂණික බියක් මගේ ජීව රසායනික ක්‍රියාවලිය තුළ බරපතල වෙනසක් සිදු කරන ලදී.

“අයියෙ”

ඉතින් මම වහා ඔහු ඇමතුවෙමි.

“කියන්න සනූ”

කිසිදු කලබලයකින් තොර ව ඔහු මට කන් දෙන්නට සූදානම් වූයේ ය. තාත්තා හැරුණු කොට ඒ විදිහට මා වෙනුවෙන් ඉවසූ කෙනෙකු වේ නම් ඒ සුනෙත් පමණකි.

“ඔයා තියනවට ලෝබ හිතුණා”

ඔහු සුසුමක් හෙළනවා ඇසිණ.

“මට බය හිතෙනව නංගි. ඔයා ට ඔය හීනෙන් ඇහැරෙන්න වෙන දවසක…ඔයා කොහොමද ඒකට මූණ දෙන්නෙ කියල හිතනකොට…”

මම මගේ සුසුම මගේ හදෙහි ම ගුලි කොට ගතිමි. ඒ බරැති සුසුම් වල පවා වූයේ ආදරය ය. ඒ නිසා ඒ සුසුම් පවා පිට නො කොට තුරුලු කර ගෙන ඉන්නට මම රිසි වීමි.

“මං ඒකට ෆේස් කරනව. මට පුළුවන්”

මම කොඳුරා ගතිමි.

විවාහක තැනැත්තෙකු හා අවිවාහකයෙකු අතරේ ආදරයක් ඇති විය නො හැකි ද යන කාරණය ගැන සාක්ෂි සොයන්නට ඉන්පසු මගේ කාලය වැඩි වශයෙන් ගත විය. ඉතිහාසය පුරා එහෙව් සිදු වීම් වී ඇති අවස්ථා සොයා බලන්නට පමණකුදු නොව, සමාජයේ දකින්නට අහන්නට ලැබෙන එවන් සිදුවීම් සාධාරණ හේතු කොට ගෙන මගේ ප්‍රේමය සාධාරණීකරණය කරන්නට මම වෙහෙසුණෙමි.

“අරයත් යාළු වුණේ කලින් මැරි කරපු කෙනෙක් එක්කලු නේද..ඒත් දැන් ඔය ඒ දෙන්න හරි හොඳට ඉන්නෙ…අහවලා බැඳල ඉන්නෙ කලින් බැඳපු කෙනෙක්නෙ. ඉතින් ඔය ලස්සනට ආදරෙන් ඉන්නෙ දෙන්නා”

යනාදී වශයෙන්, ප්‍රේමය එවන් තැන් වලත් පැවතිය හැකි බව මම සාධාරණීකරණය කරමින් සිටියෙමි. මගේ උගුර හිර වූයේ ගෙදරදී ය. අඩු තරමින් ලොකු අයියා ඉදිරියේ හෝ මගේ ඇත්ත තත්වය හෙළි කරන්නට මම බිය වීමි. 

අපේ මහා පවුල තුළ, රවීන් දොළොස් මහේ පහණක් ලෙස මා හැඳින්වූයේ ය. නැන්දලා ගේ හිත් වල මා ගැන යම් යම් ඊර්ෂ්‍යා සහගත තැන් තිබුණේ වී ද, රවීන් කී දේ තුළ යම් සත්‍යයක් ද තිබිණි. පවුලේ ගැහැනු ළමයින් ගෙන් මා කැපී පෙනෙන ලක්ෂණ තිබිණි. විවෘත විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරන ගමන් මම මල්සර ෆ්ලෝරා හි වැඩ කළෙමි. එහි මගේ වැටුප, හොඳ මට්ටමේ එකකි. නිතර නිතර එහි වැඩි කිරීම් ද සිදු විය. ගැහැනු ළමයෙකුට ලස්සනට ජීවත් වන්නට ඒ ඉතා හොඳ වැටුප් තත්වයකි. තවත් ක්ෂේත්‍ර ගණනාවක් තුළ මගේ අධ්‍යාපන කටයුතු සිදු වූයේ ය. මම විටින් විට විවිධ පාඨමාලා හදාරමින් ඩිප්ලෝමා ලබා ගතිමි. 

පවුලේ ඇතැම් ගැහැනු ළමයි ඇටෙන් පොත්තෙන් එළියට එනකොට ම පෙම් සබඳතා වල පැටළුණ පුවත් අපේ පවුලෙන් ඕනෑ තරම් සොයා ගත හැක. ඒ ප්‍රශ්න දුර දිග ගිය අවස්ථාවනුත් ඒවා නතර කරනු වස් ඔවුන් ට දෙමාපියන් විසින් දඬුවම් පමුණුවන්නට වූ අවස්ථාත් තිබේ. එවන් අවස්ථා වල මාමලා සේ ව ඔවුන් ගේ බිරින්දෑවරු ද සිය දියණි වරුන් ට ආදර්ශයක් ලෙස හුවා දැක්වූයේ මාව ය.

“බලනව අර සනූ හැදුණ හැටි. ඉගෙන ගත්තා. රස්සාවක් කරනව. තවත් ඉගෙන ගන්නව. කවදාවත් නම කැත කර ගත්තද…මොකද ඕනනං කසාදයක් බඳින්න වුණත් වයස නැතුවද…ඒත් ඔය ඉන්නෙ පොඩි එකා වගේ. ඒකට අපේ එවුන්ට ඉස්කෝලෙං අස් වෙන්නත් කලින් ඕනෙ මගුලක් කර ගන්න”

ගෙවල් ඇතුළේ එසේ මා ආදර්ශ කොට දුන් අවස්ථා මගේ කනට ම ඇසී තිබේ. මා නැති තැන වුව ඔවුන් එසේ කී බව ආච්චා ගෙන් හෝ මට හිතවත් වෙනත් කෙනෙකු ගෙන් අසන්නට ලැබී ද තිබේ. පවුලේ ළමයෙකු වරදක් කරනා බව දැන ගත හොත් ඊට අවවාදයක් කරන්නට කියා ඇතැම් විට ඔවුන් ගේ මවුවරු මගෙන් ඉල්ලා සිටි අවස්ථා ද නැතිවා නොවේ.

“අනේ සනූ ඔය මොළේ පෑදෙන්න මොනා හරි කියන්න. අපි කියනවට වඩා හොඳයි ඔයා කතා කරන එක. අපිට වඩා ඔයාට කන් දෙනව”

නැන්දලා එසේ මා අගයන්නේ සිය  දරුවන් වරදින් මුදා ගන්නට මාව පාවිච්චි කරනු වස් බව මම දැන සිටියෙමි. ඇතැම් විට මට වඩා වයසින් අඩු සහෝදර සහෝදරියන් ට පමණක් නොව වයසින් වැඩි අයට පවා  එසේ  කතා කොට අවවාද දෙන්නට මට සිදු ව තිබේ. ලොකු අයියා වුව මුරණ්ඩු කමකදී කන් දුන්නේ මට පමණකි. 

එසේ පවුලේ ළමයින්ට ආදර්ශ පාඨයක් වූ මා, ප්‍රථම විවාහය බිඳ ගෙන සිටිනා බව මුළු පවුල ම දන්නා රවීන් ගැන ප්‍රේමයෙන් පසු වන බව දැන ගත හොත් තත්වය කෙසේ වනු ඇත්දැයි මට සිතා ගත නො හැකි ය. එය කෙසේ වුවත් දැන් මේ බැඳීමෙන් අත් මිදීම මට කළ හැකි දෙයක් නොවන බව නම් මම ඉඳුරා දනිමි.

එදායින් පසු දින කිහිපයක් ම මා පටු මගෙහි ඇවිද යත්දී පසු පස හැරී බැලූ මුත් රවීන් ගේ රිය පැමිණියේ නැත. නමුත් ඔහු නො වරදවා ම දිවා ආහාර විවේකයේ දී මට දුරකතන ඇමතුමක් දුන්නේ ය.

“මං බලං හිටිය අද උදෙත්”

බැරි ම තැන මම කීවෙමි.

“ඔයාට ප්‍රශ්නයක් එනවට මං කැමති නෑ නංගි”

උදේට මා වැඩට යන වෙලාව ඔහු මග හැර ගියේ හිතා මතා ම බව මා තේරුම් ගත්තේ ඒ වෙලාවේ ය.

“ඔය ලේන් එකේදි ඔයා මගෙ කා එකට නගින එක වැඩි දවසක් ඔයාගෙ ගෙදරට ආරංචි නොවී තියෙන්නෙ නෑ”

මා මේ තත්වය ගැන තරමක් නො ඉවසිලිමත් වූණත්, සුනෙත් එය දුටුවේ දුර දක්නා දෑසකිනි.

“මොනා වුණත් ඌ ඔයාගෙ ආරක්ෂාව ගැන හිතනව. කසාද බැඳපු මිනිහෙක් කෙල්ලෙක්ව සෙට් කර ගත්තහම සාමාන්‍යයෙන් එහෙම නෑ. ගාණට තමංගෙ වැඩේ කරං මාරු වෙන්නයි බලන්නෙ. උඹ ඌට පිස්සු වැටිලයි ඉන්නෙ කියල දන්නව වුණත් ඌ කල දුටු කල වළ ඉහගන්න බලන්නෙ නෑ වගේ. ඒක නිසා උඹ නාස්ති නොවී බේරෙනව”

“මං නාස්ති වෙන්නෑ කොහොමත්”

මම සුනෙත් ට රැව්වෙමි. ඔහු ගේ දෙතොලතර මඳහසක් ඇඳිණි.

“කිසි කෙල්ලෙක්ට නාස්ති වෙන්න ඕන නෑ බං. උඹ හිතන්නෙ ඔය ෆිල්ම් හෝල් වල බොක්ස් අස්සෙයි රූම්ස් වලයි කොල්ලන්ගෙ වදේට රිංගන කෙල්ලන්ට වුණත් නාස්ති වෙන්න ඕනයි කියලද…නෑ. උං එහෙම කරන්නෙ එහෙම නොකළොත් කොල්ලා නැති වෙයි කියන බයට. ඇත්තම කියනවනං ඉතිං ආදරේට. හැබැයි පස්සෙ උන්ට එහෙම නොකර බැරි වෙනව. ඇයි ඉතිං ඊට පස්සෙ කොල්ලා ඉන්නෙ යන්න එළියට අඩිය තියා ගත්ත ගමන්නෙ. එහෙම නැතුව උනුත් මේ ආසාවට කොල්ලො නිසා නාස්ති වෙනව නෙවෙයි”

ගැහැනු ළමයෙකු හොඳ ම යාළුවා වෙනවා ට වඩා, ගැහැනු ළමයෙකු ගේ ජීවිතයේ පිරිමි ළමයෙකු සමීප මිතුරෙකු වීම තුළ ලද හැකි අත්දැකීම් සුවිශේෂ ය කියා මම සිතමි. පිරිමින් ගේ ජීවිත වල අප නො දන්නා බොහෝ රහසිගත ඉසව් ගැන මා දැන ගත්තේ සුනෙත් ගෙනි. ඇතැම් විට මා පෙම්වතියක වීම ගැන බිය වූයේ ත් සුනෙත් නිසා දැන ගත් පිරිමින්ගේ ජීවිත වල එවන් අහු මුලු නිසා වන්නට ඇත.

ආච්චා අපේ ගෙදර නවතින්නට ආවාට පස්සේ හැන්දෑවට අපේ ගෙට ගොඩ වීම ලොකු අයියා ගේ සිරිත විය. ඔහු කොහොමත් පවුලේ අනිත් ළමයින්ට වඩා ඥාතීන් ට හිතවත් ය. ආච්චා ට ළෙංගතු ය. ඈ ඔවුන් ගේ ගෙදර සිටියදීත් නයනා නැන්දා ගෙන් ආච්චා ට සිදු වූ වෙනස් කම් වලට එරෙහිව කතා කළේ ලොකු මාමා නොව අයියා ය. 

හවස වැඩ නිම වී ඇවිත් නාගෙන සැහැල්ලු ටී ශර්ට් එකකින් හා කොට කලිසමකින් හෝ බොටම් එකකින් සැරසුණු රවීන් ද ලොකු අයියා සමග හවසට පාර පහලට ආවේ ය. මම ඒ මොහොත අපේක්ෂාවෙන් උච්ච වූ හද ගැස්මෙන් ද බලාපොරොත්තුවේ ප්‍රීතියෙන් ද යුතු ව මග බලා හිඳීම පුරුද්දක් කොට ගතිමි. බොහෝ විට ඒ වෙලාවට තාත්තා ගෙදර නොවීම මට හිත් පහසුවක් දැනවූ අතර ආච්චා රවීන් කෙරේ දැක්වූ විශේෂ ළෙංගතු කම ද මට අමතර වාසියක් විය. හැන්දෑවට ගෙදර එත්දී මා ගෙන එන කෙටි කෑමක් කන්නට දී ලොකු අයියාට බොන්නට තේ හදා දීම සාමාන්‍ය දෙයක් වූ අතර, ඒ සමගින් රවීන් ට ද තේ එකක් තනා දෙන්නට හැකි වීම දවස තුළ මගේ ප්‍රීතිමත් ම අංගය බවට පත් විය. 

“හැමදාම මෙහෙ ඇවිත් තේ බීල කරදර කරනව අපි”

එහෙම තේ බොන එක හවසක රවීන් මඳහසකින් කීවේ ය. මගේ වශීකෘත ඇස් ඔහු වෙත දැල්වී ගෙන තිබී, අම්මා මහන මැෂිමෙන් හිස ඔසවත්දී ම අම්මා වෙතට යොමු විය.

“අනේ…තේ එකක් බොන්න දෙන එකනං ඔයහැටි කරදරයක්ද…”

අම්මා ඇයට හුරු පුරුදු දයාවෙන් කීවා ය. අම්මා කොහොමටත් තාත්තා මෙන් නොව පිටස්තරයන් හා ඉක්මනින් කුළුපග වන කෙනෙකි. ඇය ඕනෑ ම කෙනෙකුට ළෙංගතු ය. නංගී ට ඇගේ ගති ස්වභාවයන් පිහිටා තිබියදී, ඥාතීන් කීවේ මා තාත්තා වාගේ කියා ය.

“උඹට හිතෙනවනං අපේ නැන්දලගෙ ගෙදරින් තේ එකක් බොන එක කරදරයක් කියල…උඹ අනිත් දවසෙ එනකොට සීනි තේකොළ පිටි ටිකක්…තව ඕන්නං ඔය තේ වලට කන බොන ජාති ටිකක් එහෙම ගෙනාවට කමක් නෑ. නේද නැන්දෙ..”

ලොකු අයියා සිය කතාවට අම්මා ව ද සම්බන්ධ කර ගත්තේ ය. අම්මා ලස්සන සිනහවක් නගා ගත්තා ය.

“අනේ මේ පිස්සුද මලිත්…ඒ ළමය හිතයි ඇත්තට කිව්ව කියල”

“ඇත්තට තමයි කිව්වෙ. බොරු කියල රවට්ටන්න මූ චූටි බබෙක්දැයි”

“අනේ මන්දා..සීනි තේකොළ කොහොම වුණත් ඔය ශෝට් ඊට්ස් කේක් බිස්කට් වගේ දේවල්නං අපිත් කනව රවීන් අයිය”

නංගී ද ලොකු අයියා ට අනුබල දුන්නා ය. රවීන් දෙස බලනා මගේ ඇස් වල දෝරෙ ගලන ආදරයක් වන්නට ඇත. හිතේ ඊටත් වැඩියෙන් සෙනෙහස පිටාර ගැළුවේ ය.

“මන්නං කන්නෙ ගැටෝ…”

මම ද ඇහෙන නෑහෙන ගානට මුමුණමින් ඔහු දෙස බැලුවෙමි. ඒ මොහොතේ අපේ සිව් නෙත් අතර නේත්‍රාවකාශයේ අකුණක් පුපුරා ගියේ ය. 

ඊළඟ හැන්දෑවේ ලොකු අයියා සමගින් රවීන් අපේ ගෙදරට ගොඩ වූයේ කේක් එකක් සමග ය. ඔහු එය ගෙනැවිත්  මගේ අතට දුන්නේ ය. 

“බලපංකො කේක් එකක් දැක්කහම මේකිගෙ මූණ…හරියට නිකං ලයිට් පත්තු කරපු ගමං තොරණක් වගේනෙ”

ලොකු අයියා ගේ කටහඬ ඇසෙත්දී ම මම රවීන් වෙතින් මුදා ගත් නෙතින් මුළුතැන්ගෙට ගියෙමි. ලොකු අයියා කීවා සේ ම මගේ හිත ද තොරණක් ව දැල්වෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles