මිත්‍රත්වයෙන් පටන් ගෙන ආදරයෙන් දෑත් බැදුනු අන්නත් අම්බානිගේ ප්‍රේම වෘතාන්තය..

“මම මුලින්ම රාධිකාව හම්බුන දවසෙ මම තේරුම් ගත්ත අනන්ත්ට එයාගෙ ජීවන සහකාරියව, එයාට වඩාත්ම ගැලපෙන කෙනාවම හම්බුවෙලා කියල. ඒ වගේම මට තවත් දුවෙක් හම්බුනා කියල.

එයා මම වගේම නැටුමට ආස කරන ආදරේ කරන කෙනෙක්. ඒ වගේම මම තරම්ම මගෙ පුතාට හදවතින්ම ආදරේ කරන කෙනෙක්

රාධිකා අපි ඔයාව අපේ පවුලට පිලිගන්නෙ ආදරේ පිරිච්ච, විවෘත හදවත් වලින්. අපේම පවුලෙ තවත් එක දුවෙක් විදියට. ඔයා තවදුරටත් අනන්ත්ගෙ බිරිඳ විතරක් නෙවෙයි. ඔයා තමයි අපේ දුව, සහෝදරිය, නැන්දා, පුංචි අම්මා වගේම අපේ පවුලෙ ආලෝකය”

මේ වචන මොනතරම් සුන්දර ද නේද?

මේ වචන ඇහෙන වීඩියෝ පටයක් මේ මොහොතේ සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා. සමහරවිට ඔබටත් ඒ අසන්න ලැබෙන්න ඇති. මේ තරම් සුන්දර විදියට තමන්ගෙ ලේලියව අමතන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ආසියාවෙ ධනවත්ම සහ ලෝකයේ එකොලොස්වෙනියට ධනවත් මුකේශ් අම්බානිගෙ බිරිඳ වන නීතා අම්බානි.

ඒ තමන්ගෙ පුතා වන අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් අතර මේ දිනවල පැවැත්වෙන විවාහ මංගලයේ උත්සව අවස්තාවක් අතරවාරයේ.

අම්බානි පවුලේ ලාබාලතම සාමාජිකයා වෙන අනන්ත් අම්බානි සහ ඉන්දියානු ව්‍යාපාරික විරේන් මර්චන්ට් ගෙ දුව වන රාධිකා මර්චන්ට් අතර විවාහය ප්‍රකාශයට පත් කරපු දවසෙ ඉඳලම ඒක ලෝකයේ බොහෝ පිරිස් වලට කතා බහ කරන්න හේතුවෙච්ච මාතෘකාවක් වුනා. ඒකට හේතුව වුනේ දීර්ඝ කාලිනව පැවතෙන ඇදුම රෝගයක් සඳහා අරගත්ත ස්ටෙරොයිඩ්ස් නිසා අනන්ත්ගෙ බර අසාමාන්‍ය ලෙස වැඩි වීම. ඉතින් අපේ මිනිස්සු කොහොමත් කෙල්ල කොල්ලට වඩා ගොඩාක් ලස්සනට ඉද්දි හදන එකම එක කට කතාව අනන්ත් සහ රාධිකා වෙනුවෙන් කියන්නත් අමතක කරේ නෑ.

“සල්ලි වලට වෙන්නැති බඳින්න ඇත්තෙ”

“සල්ලි නම් කෙල්ලො ඕන දෙයක් කරනවා” වගේ කතා දාහක් ඇතුලෙත් අනන්ත් සහ රාධිකාගෙ ආදරය බිඳක්වත් පලුදු වෙලා නැති බවට දෙන්න පුලුවන් හොඳම උදාහරණය වෙන්නෙ මේ වෙලාවෙ ජම්නගර් වල පැවැත්වෙන ඔවුන්ගෙ විවාහ උත්සවයේ පූර්ව උත්සවයන්.

රාධිකා සහ අනන්ත්ගෙ ආදර කතාව එයාලා දෙන්නගෙ ලමා අවධියේ මිත්‍රත්වය දක්වාම විහිදල යනවා. සුන්දර අත්දැකීම් වගේම ඒ ආදරේ අන්‍යෝන්‍ය අවබෝධයෙනුත් පෝෂණය වෙච්ච එකක්. ලෝකය තමන් දිහා බලල මොන විදියෙ කතා කිව්වත් අනන්ත් සහ රාධිකා එයාලගෙ ප්‍රේමයේ ගමන එකට අත්වැල් බැඳගෙන තරණය කරන්නෙ ලෝකයාගේ හෝ කාලයාගේ ප්‍රශ්ණ සහ පරීක්ෂණවලට ඉවසීමෙන්, දරාගැනීමෙන් උත්තර දෙමින්.

විශාල සෞඛ්‍යය ගැටලුවලට මුහුන දෙමින් උන් අනන්ත්ට නොසැලී ඉන්න රාධිකාගේ ආදරයත් හේතුවක් වෙන්නැති. රාධිකාගේ ආදරය, ජීවිතය ගැන බලාපොරොත්තු බිඳුණ අනන්ත්ට මාර්ගෝපදේශක ආලෝකයක් වෙන්නැති.

අවුරුදු ගාණක් තිස්සෙ හෙමින් හෙමින් පෙති දිග හැරිය මේ ආදර කතාව මිත්‍රත්වය පදනම් කරගෙන ගොඩනැගුණ සබඳතාවයක්. මේ මොහොතේ උත්තරීතර විවාහ බන්ධනයෙනුත් බැඳෙන්න බලාගෙන ඉන්න මේ ජෝඩුවගෙ පූර්ව විවාහ උත්සව වලදි රාධිකාව තමන්ගෙ පවුලට ආදරෙන් භාරගන්න නීතා අම්බානි කියන්නෙ ඇත්තම සුන්දර කාන්තාවක්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් “නීතා අම්බානි එහෙම කතාවක් කලේ ලෝකෙට පේන්න කියල”

ඒත් ආසියාවෙ ධනවත්ම මිනිසාගෙ බිරිඳ උනත් නීතා අම්බානි කියන්නෙ අම්මා කෙනෙක්. දීර්ඝ කාලීන අසනීපයකින් පෙලෙන තමන්ගෙ බාල පුතාව තමන් තරම්ම ආදරයෙන් පිලිගන්න, භාරගන්න, වැලඳගන්න රාධිකා ගැන නීතා අම්බානි කියපු හැම වචනයක් ඇතුලෙම ගැබ්වෙලා තිබුනේ රාධිකා වෙනුවෙන් එයාගෙ හිතේ පිරිලා තියෙන ආදරය, අව්‍යාජ ගරුකිරීම. රාධිකා තුලින් නීතා දකින්නේ තවත් එක් ලේලියෙක් නෙවෙයි තමන්ගෙ දරුවට ඉමහත් විදියට ආදරේ කරන කරුණාබරිත, දයාබරිත හිතක්.

නැන්දම්මා සහ ලේලිය අතර තියෙන සබඳතාවය ගැන අපි ගොඩක් අයගෙ හිත්වල තියෙන්නෙ බයක්. එහෙමත් නැත්තම් සෘණාත්මක අදහස්. නීතා අම්බානි රාධිකාව පවුලට පිලිගනිමින් කල මේ කතාවෙදි උනත් අපේ හිතට ඒ ගැන සැක සංකා පහල වෙන්න අනාදිමත් කාලයක් පුරාවට නැන්දම්මා සහ ලේලිය ගැන සමාජයෙන් අපේ හිතේ තැන්පත් කරල තියෙන සෘණාත්මක සිතුවිලි හේතුවක් වෙන්න ඇති.

ඒත් එහෙම ලෝකෙක, ආසියාවෙ ධනවත්ම මිනිසාගේ බිරිඳ තමන්ගෙ ලේලියව පිලිගන්නෙ විවෘත හදවතකින්. ආදරණීයව. තමන්ගෙ දුව කියන තැනම තියාගෙන.

ඒක ලෝකෙට පේන්නවත්, සම්ප්‍රදායක් රකින්නවත් කියන තැන ඉඳල නෙවෙයි. තමන්ගෙ පුතා වෙනුවෙන් රාධිකා කරන කැපවීම, ලබාදෙන ආදරය අගයන්නම ඕන කියන මානුෂීය හැඟීම් සමුදාය නිසා.

රාධිකා වගේම මීට වසර ගණනාවකට කලින් අතීතයක තමන්ව මේ අම්බානි පවුලෙන් පිලිගත්තෙත් ආදරය සහ ගෞරවය සමගින්ම නිසා.

අනන්ත් රාධිකා නිසා සතුටෙන් ඉන්න බවත්, අනන්ත්ට හොඳටම ගැලපෙන යුවතිය රාධිකා බවත් නීතා ඇතුලු අම්බානි පවුලේ සියල්ලන්ම දන්න නිසා.

ඉතින් එකතුවෙලා යන ගමනක, අලුතෙන් ආරම්භ කරන ජීවිතයක මූලාරම්භයේදීම නීතා අම්බානි සහ රාධිකා මර්චන්ට් අපිට පෙන්නල දෙන්නෙ ආදරයේ සහ එකිනෙකාට ගරු කිරීමේ තියෙන සුන්දරත්වය, අපූර්වත්වය ගැන.

නීති රීති නැති, සීමා මායිම් නැති එකිනෙකා ගැන සැලකිලිමත් වන දෙපාර්ශ්වයක එක්වීම ගැන.

ඉතින් මොන ලෙඩ රෝග තිබුනත්, අනන්ත් අම්බානි කියන්නෙ පුදුමාකාර වාසනාවන්ත කොල්ලෙක් නේද?

සුන්දර හිතක් තියෙන අම්මා කෙනෙක් වගේම, ආදරණීය හදවතක් තියෙන බිරිඳක් එක්ක මුලු ජීවිතයක්ම ගෙවන්නට ලැබීම කොච්චර වාසනාවක්ද නේද?

Related Articles

Don't Miss


Latest Articles