නිලැසි -32

“ඔයා දැන් ගෙදර යන්න බබී.අපි බලමුකො කරන්න දෙයක්..”

නිලැසි රතිඤ්ඤා කරල් පිපිරෙන වේගයෙන් තිසරුට බැන වදිමින් සිටියදී එරන්ද ප්‍රවේසම් හඬකින් පැවසුවා ය.නිලැසි ඔහු දෙස බැලුවේ විමසුම් දෑසකිනි.

“කොහෙ යන්නද?”

ඈ අසන්නේ කුතුහලයෙනි.සිතට ආ සැකය ක්‍රියාත්මක වන්නට එන වග දැනී තිසරු කලබල වූයේ ය.ඔහු එළිමහන් ආලින්දයේ ඒ මේ අත ඇවිදිමින් හිස් අහස දෙස මොහොතක් බලා සිටියේ ය.අහසෙහි සෞන්දර්යට බාධා කරමින් ඔහු ඇස ගැටුණේ නිවස ඉදිරියෙන් වැටී ඇති විදුලි කම්බි ය.එහි වසා හිඳින නමක් නොදන්නා කුරුල්ලා අසලට වී උස් හඬින් නාද කරන්නේ කිරිල්ලියක බව ඔහු සැක කළේ ය.නිලැසි කියන කිසිවක් නාසා ඔහු එදෙස බලා සිටියේ දෙතොලතර මන්දහාසයක් තවරා ගනිමිනි.

“අර කිරිල්ලි කුරුල්ලට මලම ඇණයක් වෙලා..”

ඔහු කියද්දී නිලැසි දෑස විසල් කර එරන්ද දෙස බැලී ය.

“මං කියන දේ අහගෙන නෙමෙයිද හිටියේ?”

නිලැසිගේ ප්‍රශ්නයට එරන්ද හඬනගා හිනැහුණේ ය.තමන් වඩා වියවුලෙන් පසුවන නිසා ඔහු සරදම් කරමින් තමන්ගේ මානසික මට්ටම ඉහලින් තබන්නට උත්සුක වන බවට නිලැසි සිතුවා ය.ඇයට දැනුණේ අප්‍රමාණ සැනසීමකි.

“ජෝක්ස් කරා කියලා මට හිනා යන්නේ නෑ බබා.මම ඉන්නේ ඇත්තටම හරිම අවුලෙන් දැන් මේකට අම්මා කොයි විදියට රියැක්ට් කරයිද මට හිතාගන්න බෑ..”

එරන්ද හඳුනාගත නොහැකි අන්දමේ සිනාවක් සමග නිලැසි දෙස බලා හුන්නේ ය.

“දැන් ඔයා මේ මට කරදරයක් වෙන විදියටම අර කුරුල්ලට කිරිල්ලි ඇණයක් වෙලා.ඉතින් මම කලේ විහිළුවක් නෙමෙයි.”

හිස මත අකුණු දහසක් පිපිරී ගියාක් මෙන් නිලැසිට දැනිණි.නැත! ඔහු හිඳින්නේ සරදම් කරමින් නොවේ.ආදරය යැයි විසල් රැවටීමකට ලක් ව ඇති බව හදවතට දැනෙද්දී ඒ හැඟීම අසත්‍යයක් බව තහවුරු වන තෙක් ඇය නැවතත් බලා හුන්නා ය.

“මම ඔයාට කියලා තියෙනවා, ඇත්ත ආදරෙයි රැවටීමයි අඳුනගන්න තරම් ඔයාට මොලයක් නැති එක ගැන මට හරි දුකයි අක්කේ..කසාද බැඳපු ගෑණුන්ට ලං වෙන හැම පිරිමියාම ළඟ ආදරයක් නෑ.ඔය එරන්ද කියන මිනිහා ළඟ නම් කොහොමත් නෑ..”

එදවස දිගැසි එසේ පවසද්දී ප්‍රේමයට සීමා මායිම් නැති බව පවසමින් නැගණිය සමඟ ගැටුම් ඇති කරගත් ආකාරය නිලැසි යළි යළිත් සිහි කළා ය.නමුත් දැන් සියල්ලන්ම නිවැරදිය.ඇය පමණක් කොතැනක හෝ පැටලී ඇත.තිසරුගෙන් ප්‍රතික්ෂේප වූ නමුත් එරන්ද වෙතින් කිසිසේත්ම ඈත් විය යුතු නැති බවට නිලැසි තීරණයක් ගත්තා ය.

“මම අර කරදරකාර කිරිල්ලිටටත් වඩා කරදරයක් වෙන්න පුළුවන්.ඒත් සමාවෙන්න මං මේ වෙලාවේ කොහෙවත් ම යන්නෙ නෑ.මං ඉන්නේ මෙහෙ.ඔයා එක් ඇතිකරගත්ත සම්බන්දෙ හින්දයි මට මගේ හස්බන්ඩ්ගෙ ගෙදරින් එන්න වුණේ.සම්බන්ධය ඇති වුණේ ඔයත් එක්ක නම් මම දැන් ඉන්න ඕනේ ඔයත් එක්ක.ඒ නිසා මම ඉන්නේ මෙහේ කොහෙවත් යන්නෙ නෑ..”

ගැටුමක් ඇතිකරගෙන නිලැසිව පලවා හැරිය නොහැකි බව එරන්ද ඊළඟ තත්පරයේ දී වටහා ගත්තේ ය.ඇගේ කර වටා අතක් දැමූ ඔහු ඇය තමන් වෙතට නැඹුරු කරගෙන නළල මත හාදුවක් තැවරී ය.

“පැටියෝ..ඔයා දැන් ඉන්නේ ඩිවෝස් කේස් එකක විත්තිකාරි වෙලා.ඔයා මං ගාවට ආවම තිසරුගේ ලෝයර්ට එක නඩු වාරයයි යන්නෙ.ඔයාට කටයි අනිත් එකයි වහගෙන උසාවි කූඩුවෙන් බහින්න වෙනව.දැන් අපි කරන්න ඕන ඒ කතාව බොරුවක් කරන එක මිසක් ඇත්තක් කරල තිසරුට දිනන්න දෙන එක නෙවේනෙ..”

එරන්ද පවසන දෙය මොනතරම් ඇත්තක්දැයි සිතෙද්දී ඔහු කෙරෙහි කෝප ගැනීම ගැන නිලැසිට වේදනාවක් ඇති විණ.නමුත් එරන්ද එතරමට ඇය ගැන සිතන සැබෑ ප්‍රේමවන්තයෙකු නොවේ.ඇගේ දික්කසාද නඩුව ගැන ඔහුට අංශුමාත්‍රයක හෝ හැඟීමක නොදැනිණ.එහෙත් නිලැසි පිටමං කරන්නට එය තරම් සාධාරණ හේතුවක් ඔහුට සොයා ගන්නට නොතිබිණ.

“කොහොමටත් තිසරු ළඟ සාක්කි නම් ඇති..”

නිලැසි කියන්නේ කෙඳිරිලි ස්වරයකිනි.ඒ කතාවට එරන්ද කලබල වූයේ නිලැසි මෙන් ජනප්‍රිය කෙල්ලකගේ මෙවැනි පුවතක් තටු ගසා ඉගිලෙන ඉඩ ඉතා වේගවත් බැවිනි.

“යන්තන් ජනප්‍රිය වෙන්න හිතුවා විතරයි.මේ මෝඩ ගෑනිගෙ නඩුවලට නම් පැටලෙන්න බෑ..”

ඔහු තරයේ සිතන්නට වූයේ ය.තිසරුගේ දික්කසාද නඩුව නවතන්නට හේතු සොයන්නට ඔහුට ඉන් අනතුරුව සිතිණ.දික්කසාදයට පසු නිලැසි තමන් වෙත ඒමේ අවධානම ද දැන් තබා ඉවත් කර ගත යුතු බව ද දිගුදුර කල්පනාවේ දී එරන්ද සිතුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles