ළපෙති මල් -8

සිරිමා බමුණුසිංහගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායකට ඉදිරියෙනි.ඒ වෙල් යායෙන් එහා අතුරුගිරිය නගරය පිහිටියේ ය.ජනාකීර්ණ බව අඩුවැඩි වන කුඩා නගරයේ රාත්‍රිය වෙනුවෙන් දැල්වුණු දහසක් නියොන් එළි දෙස මන්දාරා බොහෝ වෙලාවක් බලා සිටියා ය.ගෙතුළ නිහඬ ය;නිස්කලංක ය.ලීලාගේ සේසේ පැමිණ මන්දාරාගේ දෙපා අතර දැවටෙන්නට පටන් ගත්තේ ය.මන්දාරා සේසේ ඔසවා උකුල මතට ගත්තා ය.ඇයට අතීතයේ බොහෝ දෑ සිහිව එයි.ඒ අතීතයෙන් මිදී තේජන සමඟ අනාගතයට ඇවිද යන්නට මන්දාරාට ඕනෑ විණ.

උසස් පෙළ අවසන් කර තාත්තා කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ම ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ උපාධියක් හදාරන්නට තීරණය කළ දවස් මන්දාරාට සිහි විණ.තේජන ද සිටියේ ඒ උපාධියම හදාරන උවමනාවෙනි.පාසල් ප්‍රේමවන්තයා සමඟ උසස් අධ්‍යාපනයට ද ඇවිද එන්නට හැකි වීම ගැන මන්දාරාට වූයේ සතුටකි.බාලිකාවක උගන්නා කාලයේ තේජන හමු වූයේ එහෙමත් දවසක නිසා ඇයට සරසවියේ දී තේජන අසලම හිඳින්නට ඇයට ඕනෑ විය.

හිමංගි!

ඇය හමු වූයේ ඒ කාලයේදී ය.

නානාප්‍රකාර විලාසිතා වලින් සැරසුණු යෞවනියන් අතර ඩෙනිම් කලිසමට ටී කමිස ඇද කොණ්ඩය පෝනි ටේලයක් දැමූ යුවතිය හා හිනැහෙන්නට තමන්ට සිතුණේ දෛවය කළ දරුණු සරදමක් නිසා බව මන්දාරා සිතන්නී ය.හිමංගි ඉතා ඕනෑකමින් ඉගෙනීම් කටයුතු කරන්නියක බව වටහා ගන්නට මන්දාරාට දිනක් දෙකක් යද්දී හැකි විය.තාත්තා මුල්ම දේශනය පැවැත්වූ දා මන්දාරාට නැවත නැවතත් සිහි කළ හැකි ය.

“මං ටීවී ප්‍රෝග්‍රෑම් එකක රහල් සර්ව දැකල තියනව.සර් උගන්නන ලස්සන.
මාරයි නේද?”

හිමංගි ඉස්පාසුවක් නැතුව කියවද්දී මන්දාරාත් තේජනත් මුහුණට මුහුණ බලා හිනැහුණහ.

“ඔයාලා සර් ගැන මොකද හිතන්නේ?”

හිමංගි එසේ අසද්දී තේජන උස්හඬින් හිනැහුණේ ය.

“සේනානායක වේරලියද්ද කියන්නේ, මං සිංහයාට බයයි නංගියේ.. අන්න ඒක තමයි..”

තේජන එසේ කියද්දී හිමංගි දෙබැම හකුළා ගත්තා ය.

“සර් සැර නෑනෙ..”

ඇය කියන්නේ අමනාපයෙන් වාගේ ය.

“සැර නෑ..එයා චුට්ටක් පණ්ඩිතයි..”

තමන් එසේ කියා දඟකාරව හිනැහුණ අන්දම මන්දාරාට මේ මොහොතේ පවා සිහි වේ.

“ඔයා දන්නවද හිමංගි මන්දාරා කියන්නේ කවුද කියලා.ඒ සර්ගේ එකම දූ කුමාරි.ඉතිං මං සිංහයාට බයයි..”

තේජන එසේ කියද්දී හිමංගි පුදුමයෙන් මුව අයා ගත්තා ය.රහල් බමුණුසිංහට තමන්ගේ වයසට කිට්ටු දියණියක ඇති බව සිතන්නටවත් නොහැක.නමුත් එය අසත්‍යයක් නොවන බව ඇය ඉක්මනින්ම වටහා ගත්තා ය.

තාත්තා කියන්නේ හිමංගිට කොහොමටත් මුණ ගැහෙන්නට තිබූ කෙනෙකි. නමුත් ඇයට අම්මාව හඳුන්වා නොදී ඉන්නට තිබිණ.මන්දාරා මේ මොහොතේ පවා පසුතැවෙන්නේ ඒ බව සිතමිනි.අම්මා කවුදැයි හිමංගි හරියටම තේරුම් නොගත්තානම් ඇය මෙවැනි පියවර තබන්නට කිසිම අයුරකින් සමත් වන්නේ නැති බව මන්දාරාට විශ්වාස ය.

“අර ජයන්ති දැං තුන් පාරක් විතර මෙහෙට්ට ටෙලිපෝං කරා..”

මන්දාරාගේ සිතුවිලි අහුර බිම වැටුණේ එතැනට ආ ලීලා නිසා ය.ඇය අතීතයේ සක්මන නවතා පියව් ලෝකයට ආවා ය.

“රස්සාවක් කරගෙන හිතවත්ව ඉන්නෙකයි අහට්ටයි මෙහෙට්ටයි කේලං කියන එකයි දෙකක් කියල ජයන්තිට තාම තේරෙන් නෑ..”

මන්දාරා හැර දමා තිබූ කවුළු අනවසරයෙන් ම වසා දමන අතරේ ලීලා කියවන්නී ය.

“මට තේජන කිව්ව ජයන්තිට කෝල් කරලා එහෙ විස්තර අහන්න එපා කියලා ලීලෝ.ඇත්ත තමා.ජයන්ති ඕවා කියන්නෙ මගෙ හොඳට වෙන්න ඇති.ඒත් මට හරියට දුක හිතෙනව..”

මන්දාරා සිතිවිල්ලේ කියාගෙන ගියා ය.ලීලා ජනේල වැසුවේ ජයන්තිගේ කම්මුලට පහර දෙනවා සේ සිතමින් මහ හයියෙනි.

“ජයන්ති ඔය කාටවත් හිත නෑ නෝනෙ.අනේ මයෙ රත්තරං නෝනේ,මහත්තයෝ ගගා වචනෙන් ආටෝප කරන්නනං කාට බැරුවද..එයැයි ආං ඒ ජාතියෙ.පුංචි නෝනාට අවුරුදු හතරෙ පහේ ඉඳන් එයා ඉන්නවනෙ.සමහර දේවල් ඒ ඒ ආකරෙන් වෙන්න ඔය ගෑනිත් පෝර වතුර දැම්මා.ඊටපස්සෙ මනුස්සකම ඉහමුදුනෙ තියනව වගේ රඟපාලා වැඩක් නෑ.ඔය ගෑනිගෙ නියපොත්තෙ ඉඳන් විස..”

ලීලා කියවමින් ජනේල වසා දමා තිර රෙදි ඇද දැමුවා ය.මන්දාරාට කෑම කන්නට එන්නැයි සිරිමා මහත්මිය කී බව සිහි කර යන්නට ගිය ලීලා කාමරයේ දොර අසල යළි නැවතුණා ය.

“රහල් මහත්තයගෙ අලුත් ජීවිතේ මෙවන් බේබිට තරම් ලේසියෙං පිළි ගන්න පුංචි නෝනාට පුලුවංද බැරිද මං දන් නෑ.අපේ ලොකු මැණිකෙට කෑම ටික උයන් බෙහෙත් ටික දීගෙන ඉන්නව මිසක මට ඒවා වැඩකුත් නෑ.මේ ප්‍රස්න ගැන මට පුංචි නෝනෙට දෙන්න තියෙන්නෙ එකම එක උපදේසයක්..”

ලීලා පසුපස දිව යන්නට සේසේ පූසාට ඉඩ දුන් මන්දාරා හිනැහී ඇය දෙස බැලුවා ය.

“ඔය කටුකකා කේලං පතුරෝන ගෑනු දුරු කරලම දාන්න.පුංචි නෝනේ අම්මා අප්පගෙන් පවා දුරු වෙන්නනං හදන්නෙ කේලං කියෝන ගෑනු එක්ක ගනුදෙනු වැඩක්ම නෑනෙ..අනිත් ප්‍රස්න නිකංම විසඳෙයි.එක එකා කියෝන ඒවා නාහා ඉන්න..”

දිව්‍යලෝක රස ආහාර පිසූ නමුත් ලීලා උගත් ගැහැනියක නොවන බව මන්දාරා හොඳින් දැන සිටියා ය.නමුත් ඒ කතාව නිවැරදි නැත.පොතේ දැනුම නොවූවාට මේ ගැමි ගැහැනිය සතු සමාජ දැනුම ගැන මන්දාරාට දැනුණේ ආදරයකි.ඇතැම්විට ඒ ආච්චම්මා වැනි බුද්ධිමත් ගැහැනියක ඇසුරේ කාලාන්තරයක් ගෙවීම නිසා ලීලා උපයා ගත් දෙයක් වන්නට ද ඉඩ ඇතැයි මන්දාරා අනතුරුව සිතුවා ය.

කට උල්කරමින් ආටෝප වදන් දෙඩුවාට කැදැල්ලක් සුණු විසුණුව යන්නට උදව් වෙන බොහෝ දෑ ජයන්ති එදවස සිදු කළ බව මන්දාරා ද දන්නී ය.ඒ කළු පැහැති අතීත මතක ගොඩ ගන්නට ඕනෑ නැති වුව ද අම්මා ගැන අපුලක් සහ වෛරයක් මතු වීම වළක්වා ගන්නට මන්දාරා තවම ඉගෙන ගෙන නැත.

තාත්තා වැදගත් සහ සම වයස් ගැහැනියක හා විවාහ වූවානම් ඔහුගේ තීරණයට දෑතම ඔසවා සහය දෙන්නට තිබුණා නොවේදැයි මන්දාරා නැවත සිතුවා ය.පස් හැවිරිදි කුඩා දැරියක සාවියේ දුටු කාරණාවක් ගැන අම්මාගෙන් විමසන්නට පවා එසේ නම් ඇය සිතා හුන්නා ය.අම්මා හිතින් මකා දමන අන්දමේ කුඩම්මා කෙනෙකු තාත්තා සොයා ගත්තා නම් යැයි සිතද්දී මන්දාරාට පහළ වන්නේ කෝපයකි.ආහාර ගන්නට යන්නට සිතා ඇය ඇඳෙන් නැගිට්ටා ය.

මිදුලේ වාහනයක් නතර වන හඬ ඇසුණේ ඒ මොහොතේ ය.වාහනයේ හඬ හඳුනා ගත හැකි වූ නිසාම මන්දාරා කාමරයේ දොර වසා අගුළු දැමුවා ය.හිත සැනසෙන්නේ කාමරයේ විදුලි එළිය පවා නිවා දැමූ පසු ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...