හසරැලි වැස්සේ -19

“මොකක්ද කියන්නේ?”

ඈ නැවත වතාවක් ශිෂ්‍ය නායිකා අක්කා බවට පත්ව තිබිණ.මම ඇගේ දෑස් මඟ හරිමින් මඳ වෙලාවක් ගෙවා දැමීමි.

“දෙනෙත්? ඔයා කියන්නේ දෙනෙත් ගැනද?”

නිර්මාණි අක්කා අසන්නේ අරුම ස්වරයකිනි.ඇය මගේ අයියාට ආදරය කරනවානම් මට ද තරුණයෙකුට ආදරය කරන්නට අවසර නැතිදැයි මම එක්වරම සිතීමි.ඒ අනුව සිත දිරි ගතිමි.

“ඔව්.දෙනෙත් අයියා.එයා මගේ ක්‍රෂ් එක වෙලා ගොඩක් කල්..ඒ වුණාට ඒක ක්‍රෂ් එකක් නෙවේ ආදරයක් කියලා මට තේරෙන්න අරන් දැන් ටිකක් කල් අක්කි..”

අක්කා නළල පිරිමදිමින් මඳ වෙලාවක් ගෙවා දැම්මා ය.ඈ අනතුරුව මගේ අත්ල පිරිමදින්නට ගත්තා ය.ඒ දෑසේ ඇත්තේ ගැටළුකාරී බවකි.මම කොරියන් මාලා නාට්‍යවල ඇති අන්දමේ කතාවක් ගොතන්නට ගතිමි.ඇතැම්විට ඔහු දරුණු අසනීපයකින් පෙළෙනවා විය හැකි ය.ඔහු තමන්ට ආදරය කරන ගැහැනු ළමයින්ට වේදනා දී අත් හරින්නට හේතුව එය විය යුතු ය. එවිට ඔවුන් දෙනෙත් අතැර දමන්නේ තරහිනි.දිනෙක ඔහු මිය ගිය පසු ද ඔවුන්ට අහිමි වීමේ වේදනාව දැනෙන්නේ නැත.මා සිතින් එසේ සිහින දකිද්දී අක්කා මා ඇමතුවේ ආදරණීය ස්වරයකිනි.

“නංගා..මං ජීවිතේට දැකලා තියන ආත්මාර්ථකාමීම ළමයෙක් දෙනෙත්.මට තේරුම් ගන්නම බැරි දේ සචිරයි හසරැලුයි එයාව කවදාවත් අත් ඇරියෙ නැත්තේ ඇයි කියලා.සචිර නම් ඕන මනුස්සයෙක්ට කරුණාවන්ත කොල්ලනෙ. හසරැල් නීති කාරයා වෙලත් ඔච්චර කාලයක් දෙනෙත්ව දරාගෙන ඉන්න එක මටනම් මාර පුදුමයක්..”

ඇය එසේ කියා සුසුමක් හෙළුවා ය.මම දෙනෙත්ගේ අහංකාර දෑස සිහි කළෙමි. ගමක කොල්ලෙකු සේ නොදැනෙන ඔහුගේ අහංකාර ඇස් බැල්ම මවෙත වැටෙන සෑම මොහොතකම මට දැනෙන්නේ විදුලියකට හසු වූ අන්දමේ හැඟීමකි.එය එතරමට උසුලා ගන්නට අපහසු ය.

“එයා මට අකමැති වෙන්නෙ ඇයි අක්කි?”

නිර්මාණි අක්කා මගේ කතාවේ වැදගත්ම වාක්‍යයක් ලියූවේ ඒ මොහොතේ ය. ඇය එසේ නොකීවානම් මේ කතාව මෙතැනින් නිමා වන්නට ද තිබිණ.නමුත් ඇය පැවසුවේ ගින්නට පිදුරු දමන අන්දමේ කතාවකි.

“එයා ඔයාට අකමැති වෙන එකක් නෑ..ඒකමයි මට බය..”

නිර්මාණි අක්කාගේ අම්මා අපේ පාසලේ ගුරුතුමියකි.ඇගේ තාත්තා ද රාජ්‍ය ආයතනයක වගකිය යුතු නිලධාරියෙකි.අපේ පවුල නිස්කලංක සහ වැදගත් එකක් හන්දා අයියාගේත් නිර්මාණි අක්කාගේත් සම්බන්ධයට විරුද්ධ වන්නට හේතුවක් නොපෙනෙන බව ඇගේ අම්මා අපේ නිවසට ආ දිනක පැවසූ අන්දම මට අමතකව නොයයි.නමුත් දෙනෙත්ට ඇත්තේ එවැනි වැදගත් පවුලක් නොවේ.මට අක්කාගේ බියට හේතුව පැහැදිලි ය.

“ඔයාලා බය දෙනෙත්ගෙ පවුලේ අයට නෑකම් කියන්න වෙනවටද?”

අක්කා මේ අවන්හලක් බව අමතක කර උස් හඬින් හිනැහිණ.අනතුරුව ඈ මවෙත හෙළුවේ කාරුණික බැල්මකි.

“දෙනෙත් එයාගේ අහිංසක තාත්තව අමතක නොකර ගමේ ගෙදරක් තියනව කියල මතක ඇතුව හැසිරුණානම් අපි ඕකට අකමැති වෙන එකක් නෑ නංගා..”

එය අරුමපුදුම කතාවකි.මම අක්කාගේ මුහුණ දෙස බලා සිටියේ පුදුමයෙනි.

“තමන්ගේ මුල් අමතක ගස් ඉක්මනට දිරා වැටෙනවා නංගි..”

පාසල් සාහිත්‍ය සමිතියේ කතාවක් පවත්වන භාෂාවෙන් නිර්මාණි අක්කා පැවසුවා ය. දෙනෙත් තමන්ගේ අතීතය අමතක කරන මිනිසෙකු බව ඔවුන් සියලු දෙනා දැන සිටින්නේ කෙසේද?

“එයා අනිත් මිනිස්සුන්ට ලං වෙන්නේ එයාලව ආස්සරේ කරන්නේ තමන්ගේ අනාගතේ හදාගන්න.සචිර වුණත් ඒව නොදන්නව නෙවේ..ඒත් එයා තාමත් දෙනෙත්ට ඒ ගෙදර ඉන්න ඉඩ අරිනවා.අම්මා තාත්තගෙ ආදරේ ලබා ගන්න ඉඩ දෙනවා.දෙනෙත් එයාගෙ ටාගට් සම්පූර්ණ කරගත්තු දාට සචිරලව ලේසියෙන්ම අමතක කරනවා..මම නම් ඒක හොඳට දන්නව..”

අක්කාගේ කටහඬ විශ්වාසයෙන් පිරී ඇත.

“තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය මොන වගේ ලයිෆ් පාට්නර් කෙනෙක් ද කියලා අපි දැන් තෝරගන්න ඕන,තේරුම්ගන්නත් ඕන.දෙනෙත් වෙලාවකට හිතෙනවා එයාට ඕනේ දාසියක් වගේ එයාව බලාගන්න කෙනෙක් කියලා.ඒ විදිහෙ ගෑනු ළමයෙක් යාලු කරගෙන දවසකට එයාව ලැබ් රැට් කරගෙන බලනවා..ආයෙත් එයා හිතනවා හොඳ පවුල් පසුබිමක ගෑනු ළමයෙක් හොයා ගන්න..ඔයාට කැමති වෙන්න එයාට තියෙන හේතුව ඔයා දක්ෂ ළමයෙක් හින්දා.හොඳ රස්සාවක් තියෙන වයිෆ් කෙනෙක් එයාට ඕනි හින්දා.. හැබැයි එයා ඔබාමාගෙ දුවෙක් බැන්දත් ඒ කෙල්ලට මානසික වද දෙන එකනම් නතර කරන් නෑ..”

මම මේ සියල්ල අසා හුන්නේ ගැහෙන හදකිනි.තෙත් වූ දෑසකිනි.මගේ කැළඹිල්ල නුදුටුවා සේ අක්කා දිගින් දිගටම කියවාගෙන ගියා ය.මට ඇගේ කියවිල්ල නවතන්නට ඕනෑ විය.

“මිනිස්සු දුප්පත් කියලා මොනම වෙලාවකවත් පහත් කරන්න හොඳ නෑ තමයි..මිනිස්සුන්ගෙ උසස් පහත්කම තීරණය වෙන්නේ එයාලගෙ හැසිරීම එක්ක.එයාල අනිත් අයට සලකන විදියට.තමන්ට ඕනෑම මනුස්සයෙක් යූස් කරන්න පුලුවන් කියල හිතන තමන්ට ඕනම මනුස්සයෙක් යූස් කරලා තමන්ගෙ අරමුණට යන්න පුලුවන් කියල හිතන අය අපි ජීවිතේට අලෝ ගන්න ඕන නෑ..”

සැබෑවටම පිළිගත්තානම් එය ජීවිතය සම්බන්ධයෙන් මට ලැබුණු හොඳම උපදෙසකි.යොවුන් වසන්තය පාමුල හුන් මට ඒ උපදේශය එතරම් තදින් සහ හොඳින් හිතට ගන්නට නොසිතිණ.අනෙක් කාරණාව පිරිමියෙකුට දැඩි ලෙස ප්‍රේම කරද්දී ඔහු ගැන වැරදි ද ඔහු ගැන දොස් ද ඔහුගේ අඩුපාඩු ද නොපිළිගන්නට තරම් යුවතියන් අන්ධව යන තරම් ය.

මා ඒ මොහොතේ සිටියේ ඒ අන්ධ බවිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content