ළපෙති මල් -23

“මොකටද මං එන්නේ? බැනුම් අහන්නද? මූසලී කියල අහගන්නද? මොකටද එන්නේ..ආ..මොකටද එන්නෙ?”

හිමංගි අසන්නේ ආවේගයෙනි.ඇගේ ආවේගයට ඉඩ දී බලා හිඳින්නට නොහැකි වූ මන්දාරා අඩියක් පෙරට තැබුවා ය.නමුත් මෙවන් අක්කා වැළක්වූයේ ය.

“අනේ බලන්න එන්නම නල්ල මලේ කිරියම්ම.කෙල්ලට කන්නවත් දුන්නද? අපේ සුමනෙයි අයියයි මැදිහත් නොවුණනං මේකි ටවුමෙ ඉස්කෝලෙවත් යන් නෑ..”

හිමංගිගේ නැන්දා ඉඟටියේ අත් ගසාගෙන කියවයි.මැහැල්ල නහයෙන් පිඹිමින් බලා සිටියා ය.ඒ තරම් වියරු බැල්මක් නගා ගන්නට තරම් ඇය හිමංගිට වෛර කරන බව මන්දාරාට වැටහිණ.ඇයට ආ වේදනාව හිමංගිව ගම රැගෙන ඒම ය.

“උඹෝගෙ හෑලි මට වැඩක් නෑ පරට්ටි.කට වහපං..”

කිරියම්මා නැන්දාට කෑගසන්නේ හැරමිටිය ඔසවා ය.

“අපේ සුමනෙයි සමරෙ අයියයි දෙන්න කෙල්ලව ටවුමට යවපු තරහ තමයි ඔය පිරිමහන්නෙ.මේක අස්සට වෙලා හේන් කෙටුවනං හොඳා.මේ කිරි කිරි පාට කාරෙකක ආවම නාකිච්චිට ආව ඉරිසියාවක තරම..”

එවර නැන්දා කියවන්නට ගත්තේ මන්දාරාට සමීප වී ය.

“අනේ කිරියම්මේ,දැන් හිමංගි හොඳින් ඉන්නවනෙ.මේ බලන්නකො ඔයාට තෑගිත් ගෙනාවා..”

මෝටර් රථයෙන් ගත් පාර්සලය මන්දාරා කිරි අම්මාට දිගු කළා ය.ඇය එය පිල් කඩ මත හෙළුවේ නොකැමැත්තෙන් ය.

“රෙදි කෑලි ගෙනත් දෙන්නෙ උඹේ කසාදෙට අඳින්නද? ඔය කොළඹ රටේ තනි පංගලමේ ඉන්න උඹට දැන් කොහොමත් පෝරුවක නගින්න බෑ කියල අංග ලස්සන වලින් පේනව..”

මැහැල්ල එසේ කියා පිල්කඩ මත හිඳ ගත්තා ය.මාමා එනතුරු පවා රැඳෙන්නට හිමංගි එකඟ වූයේ අසීරුවෙනි.ඈ පැමිණි ආරංචියට ලොකු මාමා සහ නැන්දා ද ඔවුන්ගේ දරු පිරිවර ද පැමිණිය ද හිමංගිට වූයේ ගමට පැමිණීම ගැන වේදනාවකි.මන්දාරා මව් සෙනෙහස ලැබූ දැරියක නොවේ.නමුත් සිරිමා මහත්මිය ඇය දරා ගන්නේ කොපමණ ආදරයකින් දැයි හිමංගි සිතුවා ය. නොදන්නා ළදැරියක කාලයේ පවා ආදරය සොයමින් කිරියම්මා තුරුලට යද්දී ඇය තමන් ඉවතට ඇද දමන අන්දම හිමංගිට අමතකව යන්නේ නැත.

“නංගි කරගත්තු දේවල් අම්මට හීනයක් වගේනෙ නෝනෙ.ඒකයි ඔය දුව ගමෙන් ගියාට සෝලි තියන්නෙ..කොච්චර හොඳින් ඉන්න බව පෙනුණත් හිතේ ඇත්තේ නාස්ති වෙයි කියලා බය..”

ලොකු මාමා මන්දාරා සහ මෙවන් සමඟ පැවසී ය.එහෙත් නැන්දලා දැරුවේ වෙනත් අදහසකි.

“අපේ මිනිස්සු එපා කියද්දිනෙ නෝනෙ අම්මයි දුවයි ඔය අවුරුදු කුමාරියක් වෙන්න උඩ දාගෙන ගිහිං තියෙන්නෙ.ප්‍රේමවතී මනම්පේරිට වෙච්ච දේවල් හොඳයි මේ ළමාතැනී කොරගත්තු ඒවගෙ හැටියට.දුවට අවලමේ යන්න දීපු අම්මට දැන් මිනිබිරී ඉගෙන ගන්න ගිය එක තමයි අමාරුව.ඔය තියෙන්නෙ ඉරිසියාව.වෙන මොකක්වත් නෙවෙයි..”

හිමංගිගේ අම්මා ගැන සෙවීමේ උවමනාව ද කුතුහලය ද මන්දාරාට වඩා තදින් දැනුණේ මේවා අසද්දී ය.

“මේ තියෙන්නෙ අපේ ගමේ ඉස්කෝලෙ මැඩම්ගෙ ගේ..යං ද?”

තමන්ගේ මහ ගෙදර වූ අප්‍රසන්න අත්දැකීම් අමතක කරන්නට හිමංගි ආපසු ගමනේ දී එක් තැනක නැවතුණා ය.

“ගමෙන් ගිය දරුවෝ ආයේ ගමට නේනකොට අපි බනිනව තමයි.ඒත් හිමංගිට බනින්නෙ නෑ.පුතා යනකං තමයි අපි බලාගෙන හිටියේ.”

වැල් දොඩම් වීදුරු තුනක් රැගෙන ආ විදුහල්පතිනිය හිමංගිගේ හිස පිරිමැද්දේ මව් සෙනෙහසිනි.

“මැඩම් අහලා ඇති නේද රහල් බමුණුසිංහ මහත්තයා ගැන..”

හිමංගි සැරසෙන්නේ තම විවාහය හෙළි කරන්නටදැයි මන්දාරා පුදුම වූවා ය.නමුත් ඇය මන්දාරාත් මෙවන්වත් විදුහල්පතිනියට හඳුන්වා දුන්නා ය.
අනතුරුව තමන් ඔවුන්ගේ ආයතනයේ සේවය කරන බවත් මන්දාරා සරසවියේ හොඳම යෙහෙළිය බවත් හෙළි කළා ය.

“ඔයා ඉහළට ගිහින් හොඳ අය ආස්සරේ කරලා හොඳින් ඉන්නවට අපිට සතුටුයි පුතේ.ඒත් එක වතාවක් උසස් පෙළ ලියල අතෑරලා දාපු එක නම් අපරාදෙ.ඔයා මෙඩිකල් කොලේජ් යන්න ඕනෑ ළමයෙක්..”

විදුහල්පතිනිය සමු ගනිද්දී පැවසුවා ය.

“හිමංගි අක්කා ඇයි ආයේ ඒලෙවල් නොකළෙ..ඩොක්ට කෙනෙක් වෙන සාම්ප්‍රදායික හීනෙ ඔයාට නෑ??”

රථය බොහෝ දුරක් පැමිණි පසු මෙවන් ඇසී ය.හිමංගි හිනැහුණේ මන්දාරා දෙස බලමිනි.

“මම තාම ආසයි..ඒත් ඒ වෙලාවෙ ආයේ විබාගෙ ලිය ලියා කාලේ නාස්ති කරන එක අපරාදයක් කියල මට හිතුණා..”

මන්දාරා හිමංගි දෙස දිදුලන දෙනෙතින් බැලුවා ය.

“ආපහු ඒලෙවල් ලියන්න කියල නෙවෙයි කියන්න ගියේ..ඕක තාත්තට කියන්නකො හිමා.එයා ඔයාව ෆොරින් යුනිවර්සිටි එකකට යවයි.ඔයාට ආස නම් ඇයි මෙඩිසින් නොකරන්නේ?”

ඔහු තමන් විවාහ කරගත්තේ බොහෝ කාලයක් අහිමි වූ ආදරය විඳින්නට බව මෑත අතීතයේ වූ සමහර සිදුවීම් මතින් හිමංගි තීරණය කළා ය.රහල් කියන්නේ විසල් හිතක් ඇත්තෙකුට ය.ඔහුට ඒ සිහිනය කියන්නේ නම් ඔහු එයට ඉඩ දෙන්නේ දෑත් විදා බව හිමංගි දනියි.

“ඔයාලත් මැරිකරලා යන්නනෙ ඉන්නෙ.මං තාත්තා ගාව ඉන්නං..මං දැන් කැමති එයා ගාව ඉන්න.ඔයාලා එක්ක ආදරෙන් ඉන්න..”

හිමංගි එසේ කියද්දී මන්දාරා ඉදිරි අසුනේ හිඳ පාවෙන හාදුවක් පා කළා ය.

“ඇත්තටම ඔයා තව අවුරුදු දහයක් වැඩිමල් උනානං..මං ඔයාට කට ඇරලා අම්මා කියනවා හිමා..”

හිමංගි අසීරු සිනාවක් පා කළා ය.දැන් පැය කිහිපයකට පෙර තමන් මුණ ගැසුණු අයගෙන් වූ කරදර ද හිත් බිඳුම් ද අමතක කරන්නට සිතා ඇය තෝරා ගත්තේ මන්දාරාගේ ලෝකයට අනවසරයෙන් කඩා වැදීමේ මාවත ය.නමුත් දැන් රහල්ට සේම මන්දාරාට සහ මෙවන්ටත් සිරිමා මහත්මියටත් තමන් ආදරය කරන්නේ සැබෑවටම බව හිමංගිට සහතික ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content