සුළි සුළඟක සුසුමක් – 27 වන කොටස

සංකල්ප අතේ තිබූ බෑග් එක ගෙන මම ඉන් ඔරලෝසු පෙට්ටිය පිටතට ගතිමි. පරිස්සමට ඉන් අත් ඔරලෝසුව ගත් මම, සංකල්ප ගේ වමත ගෙන එය පැළැන්දුවෙමි. රෝම වලින් ගහන වූ ඒ තලඑළළු අතට, රන් හා රිදී පැහැයන් මිශ්‍ර වූ එම ඔරලෝසුව කදිමට ගැලපුණේ ය.

“ටවුන් එකේදී ඔරලෝසු හදන තැනකට දීල මේකෙ බෙල්ට් එක අජෙස් කර ගමු”

මගේ ඇස් ප්‍රීතියෙන් බබලමින් තිබෙන්නට ඇත. අප්පච්චි හා අයියා හැරුණු විට පිටස්තර  පිරිමියෙකුට මා  තිලිණයක් දුන් මුල් ම වතාව මේ ය. මීට කලින් කෙටි කාලීන සම්බන්ධතා පැවැත්වූ කිසිදු පෙම්වතෙකුට මා කිසිත් තිලිණ කොට නොමැත්තේ ය.

“තාත්තට කොච්චර සල්ලි තිබුණත් මේකිගෙං ටොෆියක් තරං දෙයක් ගන්න බෑනෙ”

එක් පෙම්වතෙකු මගේ මූණට ම කීවේ ය.

“හරි වැඩක්නෙ..අප්පච්චි ගෙ සල්ලි වලිං මං මොකටද කාටවත් තෑගි දෙන්නෙ. මහන්සි වෙලා මං හම්බ කරන සල්ලි වලිං වුණත් ආවට ගියාට කාටවත් වියදං කරන්න තරං මං දියාරු නෑ හරිද…”

මම ඍජු ව අවංක ම පිළිතුර ලබා දුන්නෙමි. එහෙම හිටිය කෙල්ල හදිසියේ ම ඇස් ඉදිරියේ පහළ වූ අතීතයෙන් ආ කොල්ලා වෙනුවෙන් මේ තරම් වටිනා තෑගි මිලට ගන්න හේතුවක් හොයා ගන්නේ කොහෙන් ද?

“මේ වොච් එක මීට පස්සෙ හැමදාම…හැමදා…ම මෙහෙම අතේ එල්ලිල ඉන්න ඕනෙ. මං බලනවා..”

ඔහු බලා උන්නේ නළල රැළි නංවාන, කුඩා කර ගත් දෑසිනි. මේ බැල්ම කෙල්ලන් ගේ පපු මත කඩු තුඩු ප්‍රහාර එල්ල කරනා එකකැයි මට සිතිණ.

කතා බහකින් තොරව ම සංකල්ප රිය පණ ගැන්වූයේ ය. මම සතුටෙන් හිටියෙමි. පොඩි ළමයෙක් වගේ රිය කවුළුවෙන් බෙල්ල එළියට දා ගෙන ඈත ලස්සනට පේන මීදුම් කඳු දෙස බලා සිටියෙමි.  නිම කර ගන්නට බැරි වූ සූරියකන්ද ගමන ගැන මතකය හිතේ පෙණ බුබුළු නංවමින් තිබිණි.

“අතන ඉඳල අර ගමන යන්නත් ඕන”

සංකල්ප නෙතගින් බැලුවේ ය.

“මං කියන්නෙ…වංගු පාරෙ…”

අද ඔහු වැඩිපුර කතා කරන්නේ නැත. නමුත් ඒ මුණිවත ද මා තුළ අමුතු මිහිරක් දැනවී ය.

සංකල්ප අත් ඔරලෝසුව ඔහු ගේ අතට ගැලපෙන සේ සකසවා ගත්තේ ය.

“මිස් තෝරපු එකක් වගේ”

ඔරලෝසු කාර්මිකයා මදෙස බලා කීවේ ය. මම මඳහසකින් කරබා ගතිමි. නමුත් ඔහු ඉන් නතර වූවා නොවේ.

“මේකෙ තේරුම සර්…අපේ වෙලාව තීරණේ කරන්නෙ ඒගොල්ලො කියන එක තමයි. ආයි අතේ එල්ලුණාට පස්සෙ ගලෝල දානව බොරු”

සංකල්ප හඬ නගා හිනැහුණේ ය. මම දෑස් කුඩා කොට ඔහු දෙස බලා ඉවත බලා ගතිමි.

“පිස්සුද කොහෙද ඒ මනුස්සයට”

යළි රියට නැගුණ ගමන් මම ඔහු ට බැන්නෙමි. සංකල්ප අඩ සිනහවක් හෙළුවේ ය. මම මොහොතක් ඒ සිනහවේ එල්ලී ගෙන හිටියෙමි.

“ඒ මනුස්සය වයසයිනෙ. අත්දැකීමෙං කියනව ඇත්තෙ”

මම ගස්සා ඉවත බැලුවෙමි. සංකල්ප හයියෙන් හිනැහුණේ ය.

ඉන්පසු අප ගියේ එළවළු මාකට් එකට ය. සංකල්ප පළපුරුදු ලෙස එළවළු මස් මාළු තේරුවේ ය. මා නම් ඒ ඒවා මිල දී ගැනීමේ අත්දැකීමක් ලැබුවා ම ය.

“මොකද හිනා වෙන්නෙ…”

ඔහු බඩු මිල දී ගනිමින් ම ඇසුවේ ය.

“නෑ ඉතිං…හොඳ පුරුදු කාරයෙක් කියල තේරුණා”

“අපි අම්ම නැතුව හැදිච්ච කොල්ලොනෙ මැඩම්…ආදරේ නැතුව අතරමං වෙච්ච…”

“අපිත් අප්පච්චිල නැති වෙච්ච කෙල්ලො කියල අමතක කරන්න එපා…ආයෙ ඒ හව්හරණ කොහෙං හොයන්නද කියල දන්නෙ නැති…”

එහෙම කියන විට මා තුළ රිදුමක් ඇති වී ගෙන ආවේ ය. ඇස් වල කඳුළු පටලයක් බැඳුණේ ඇසිල්ලකිනි. සංකල්ප මා පිටුපසින් සුරත යවා හෙමිහිට බඳට තට්ටු කළේ ය. අප්පච්චි ගේ හව්හරණය ඔහු ළඟ තියෙන බවක් ඒ ඇස් මට කතා කොට කීවේ ය.

ඔහු නැති ව ගිය අම්මා කෙනෙකු ගේ සෙනෙහස හොයයි. මම නැති වූ පියෙකු ගේ අඩුව ගැන කම්පිත ව හිඳිමි. ආපසු එන ගමන් මා හිතුවේ ඒ ගැන ය. අප ට අපගේ අවශ්‍යතාව වැඩියෙන් දැනිය හැකි යතුරු අගුළු යාන්ත්‍රණයක් එතැන වේ.

“මොනාද කල්පනා කරන්නෙ…”

ඉතා මෘදු පිරිමි හඬකින් සංකල්ප හෙමිහිට ඇසුවේ ය. මම ඔහු දෙස බලා ඉක්මන් සිනහවක් පෑවෙමි.

“ඩොක්ටර් ගැනද…”

මම ඔහු ගේ අත් බාහුව රිදෙන්නට කෙනිත්තුවෙමි. ඒ රිදුම වැඩි වෙත්දී ඔහු ඌයි ඌයි කියමින් කෑ ගැසුවේ ය. මම ඒත් කොනිත්තා ගෙන ම හිටියෙමි.

“ඒයි…හැප්පෙයි දැං හොඳේ”

“කමක් නෑ හැප්පිච්චදෙං”

“විහිළුවක්නෙ මැණික”

“සොරි කියන්න”

“හරි හරි…සොරි ඉතිං”

මම ඔහු ගේ අත අතැර රිය කවුළුවෙන් පිටත ජනාකීර්ණ නගරය දෙස බලා ගතිමි. සංකල්ප ඒ දොස්තර ගැන කියත්දී මා ඒ තරම් කේන්ති ගත්තේ ඇයි දැයි මට ම තේරුණේ නැත. එය ඇස් වලින් කඳුළු පනින්නට තරම් නරක විහිළුවක් බව පමණක් මට දැනිණ.

“ඒයි…කේන්ති ගියාද…”

තවත් ටික දුරක් මා ඉවත බලා ගෙන ම එත්දී ඔහු මගේ ගෙල ළඟින් අල්ලා ළඟට ඇද්දේ ය. මා නතර වූයේ අත් දෙක ම ඔහු ගේ කකුල් මත තබා ගැනීමෙනි.

“හරි හරි මීට පස්සෙ ඒව මතක් කරන්නෑ”

“මතක් කරන්න දෙයක් ඇත්තෙත් නෑ එතන”

“ඒක ඇත්ත. මතක් කරන්න දේවල් තියෙන්නෙ මං ළඟනෙ”

“ඕ…අර මල්ෂා ගැන එහෙම…නේ…”

ඔහු යටැසින් හෙළු බැල්ම මුවහත් ය. මම සිනහව සඟවා ගතිමි.

අප හයිලන්ඩ් ගෙස්ට් වෙත පැමිණෙන විට මල්ෂා එහි පැමිණ, ගල් බැම්ම මතට වී පෙරමග බලා සිටියා ය. රිය වත්තට ඇතුළු වෙත්දී ම නැගිට ගත් ඕ, මා දැකීමෙන් ඉක්බිති මුහුණේ ඉරියව් වෙනස් කර ගත්තා සේ මට දැනිණ. සියුම් පසුතැවීමක් මට නො දැනුණා ම නොවේ. මේ කොයි දේත් නිසා සිදු වන්නේ ඇගේ හිත රිදෙනා එක ය. ඒ වරද මා නිසා මගේ අතින් වෙන එක ගැන කැමැත්තක් මා තුළ නැත්තේ ය.

“ආ…ඔයා තනියම නෙවෙයිද ටවුන් එකට ගියේ…”

ඇය දෙතොල් මත සිනහවක් තවරා ගෙන වුණත් ඇසුවේ හිතේ කහටකින් බව මට නො තේරුණා නොවේ. සංකල්ප ගේ පිළිතුර ඇගේ නො සතුට තවත් තීව්‍ර කරන්නට ඇත.

“නෑනෙ. දැං මෙයාට උගන්නන්න හදන්නෙ ගෙස්ට් එකට බඩු ගේන හැටි”

“ආ…ඒ මොකටද එයා ඒව ඉගෙන ගන්නෙ…”

“පිස්සු අනේ මෙයාට”

මම ඉතා සැහැල්ලු ලෙස මිමිණුවෙමි. මල්ෂා ගේ ඇස්, සංකල්ප අත වූ මා දුන් බෑග් එක වෙත දැල්වී ගති. ගැහැනු ඇස් වලට හොර කළ නො හැකි ය. ඇගේ ඊළඟ ප්‍රශ්නය ගැන බියෙන් මගේ ඇඟේ ලේ වතුර වී තිබිණ.

“ඔයා ශොපින් කළාද..”

සංකල්ප නෑසුණ සේ හිටියේ ය.

“හානේ…මෙයා වොච් එකක් දාල. ඔයානං හරිම නරකයි සංකල්ප අයියෙ”

මල්ෂා එක් වර ම සංකල්ප ගේ අතේ මැණික් කටුව ළඟින් අල්ලා ගත්තා ය. මගේ උඩු තොල මත්තේ දහදිය බින්දු නැගී ගෙන ආවේ ය.

“මං බර්ත් ඩේ එකට දීපු වොච් එක ආසාවට එක දවසක් වත් දැම්මෙ නෑ. ඇහුවාම කිව්වෙ වොච් දාන්න ආස නෑ කියල. එහෙනං මේ දාං ඉන්නෙ එකක්…”

සංකල්ප ගේ බටිති දෙතොලතරේ ලස්සන සිනහවක් ඇඳුණේ ය. මගේ පපුවට බරක් දැනිණි.

“එහෙම තමයි ඉතිං…කරන්නෑ කියල හිතන දේවල් ඊට පස්සෙ කරන්නම වෙන හේතු උදා වෙන්න පුළුවන්. මනුස්ස ජිවිතේ කියන්නෙ එහෙම එකක්”

“මේ…මං යන්නද සංකල්ප…”

සැබවින් මට දැනෙමින් තිබුණේ එතැනින් පලා යාමේ අවශ්‍යතාවයකි. මා නැති ව කතා කළ යුතු දේවල් ඔවුන් දෙදෙනා ට තිබෙන්නට පුළුවන. වසර විසි ගණනක් තිස්සේ මාව හිතේ තියා ගෙන හිටියා කියා සංකල්ප කීවා වුණත්, ඒ අතරේ ඔහු තවත් බොහෝ දෙනෙකු සමගින් පැවැත්වූ ආශ්‍රයන් තිබෙනු ඇත. ඒවා යේ දිග, පළල හෝ උස ගැන මම නො දන්නෙමි. මා මුළුමනින් සියල්ල දැන ගත යුතු ද නැත. අප දෙදෙනා ම අතීතයක් තිබූ මිනිස්සු වෙමු. අප වූ කලී අද උපන් අයවලුන් නොවේ. ගෙවා ආ ජීවිතයෙහි මා දැන සිටිය යුතු නැති බොහෝ දේ ඔහු ට තියෙන්නට පුළුවන. ඒ නිදහස ට ගරු කිරීම ගැන මට කොහෙන්වත් පාඩම් අවැසි නැත.

“ඉන්න උත්තරා. මොනා හරි බීල යන්න”

“ඕන නෑ දැං. ඔයා මල්ෂා එක්ක කතා කරන්නකො. මං යන්නං නංගි”

කියා ගෙන මම පිට ව ආවෙමි. සංකල්ප ගේ දෑස් මා පසු පස ලුහු බඳිනා බව නො තේරුණා නොවේ. නමුත් මම වැරදීමකින් හෝ ආපසු හැරී නො බැලුවෙමි.

හිතට දැනුණේ පහසුවකි. සංකල්ප හා මල්ෂා කතා කරන තැනට වී කල් මැරුවා නම් කිසි සේත් මට ඒ සැහැල්ලුව නො දැනෙන්නට ද තිබිණි.

මා වත්තේ ඇවිදින්නට ගියේ මීට පෙර වතාවල් වල මෙහි සිටියදී ට වඩා වෙනස් සිතකිනි. මුලදී මා තුළ වූයේ දැඩි පීඩනයකින් නිදහස් වීමේ අවශ්‍යතාවයක් පමණකි. නමුත් දැන් මට අලුත් හැඟීමක් දැනිණ. ඒ මගේ කියනා හැඟීමකි.

කොළඹ ගෙදර ගැන කියත්දී කොතැනදීත් මා එය හැඳින්වූයේ අපේ ගෙදර යන නමිනි. අපේ ගෙදර කියා කීවා ට එහි හිමිකරු වන්නේ අයියා බව හිත ට අමතක වූවා නොවේ. අප්පච්චි ගේ මරණයෙන් අනතුරුව ගෙදර ගැන වූ ඒ නො අයිතිය පිළිබඳ හැඟීම වඩාත් වැඩි වූයේ ය. නමුත් දැන් මට මගේ කියන්නට තැනක් තිබේ!

මල් වලට පමණකුදු නොව පත්‍ර වලට ද සුවඳක් වන බව මට පසක් කොට දුන්නේ මේ වත්තේ ගස් ය. ගසක් අත්තක් මෑත් කරමින් එතැනින් යත්දී මට ඒ සුවඳ හොඳට ම දැනේ. එක එක ගස් වලට ඇත්තේ ඒවාට ආවේණික වෙන වෙනත් සුවඳවල් ය.

“බලන්න ලූනා ඒ ගහේ සුවඳ…ඇත්තටම මේක මොන තරං ලස්සන ලෝකයක් ද ලූනා…ඔයාට දැනෙනව නේද ඒ ලස්සන…”

මා පසු පස සෙවනැල්ලක් සේ ඇවිද එන ලූනා සමගින් හිතට එන හැම දේ ම මම කියෙව්වෙමි.

“සංකල්ප එනව ලූනා…ඔයාට ඉව දැනුණද…මටනං සුවඳ දැනුණා”

අපි දෙන්නා ම හැරී බැලුවෙමු. පහලට එල්ලී තිබෙන රසකිඳ මුල් හා දැවැන්ත ගෝල්ඩන් පොතෝස් වැල් අතින් මෑත් කරමින් ඔහු අප වෙත එමින් සිටියේ ය. සංකල්ප හැඳ සිටියේ මා ගෙන ආ ස්ලිම් ෆිට් කමිසයකි. තද හා ලා නිල් ද සුදු ද යන වර්ණයන් මිශ්‍ර ව කොටු වැටුණ එය ඔහු ගේ සිරුර හා මැනවින් මුහු වී නෙත් කළු ව පෙනුණේ ය.

“ඇති යන්තං”

මා ළඟට ම ආ ඔහු මගේ මුහුණට ඉහළින් සිට පහළ බලා ගෙන කීවේ ය.

“ඇයි…”

මම මඳහසින් ප්‍රශ්න කළෙමි.

“මං බයේ හිටියෙ දවස් ගාණකටවත් මූණෙ හිනාවක් දකින්න නැති වෙයිද කියල…මං යන්නං සංකල්ප කියල එන්න ආවට”

“ලස්සනයි”

මම ඔහු ගේ කමිසය මතුපිටින් උදරයත් පපුවත් අතරේ වූ නූල් කැබැල්ලක් අතින් ඉවත් කරන ගමන් කීවෙමි.

“මන්නෙ ඇන්දෙ…ඒකයි”

“ඒකම නෙවෙයි…මන්නෙ තේරුවෙ…ඒකයි…”

“ඒ කියන්නෙ ඒ දෙක එකතු වෙන්න ඕනෙ ලස්සනක් දකින්න…නෙහ්…”

ඔහු අත් දෙක පපුවේ බැඳ ගනිමින් මගේ මුහුණ මත දෑස් නතර කර ගත්තේ ය.

“රෑට එනවද අපේ ගෙදරිං කෑම කන්න…”

බොහෝ වෙලාවක් තිස්සේ හිත හිතා හිටි දේ මම හෙමිහිට අසා ගතිමි.

“ආ…ඇයි…”

ඔහු ගේ විලාශයට මට සිනා ගියේ ය.

“මේ බලන්නකො ලූනා…කෑම ටිකක් කාල යන්න එන්න කිව්වහම හේතු අහනව”

ලූනා කකුල් දෙකෙන් සිට ගනිමින් ඉදිරි දෑත් මගේ ඉඟ මත තබා ගත්තා ය. මම පහත් වී ඇය වැළඳ ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles