පතිදම්වැල් 23

“මම හිතුවෙ ලබන සතියෙ අවුරුදු උත්සවේ නිසා මැඩම් නිවාඩු දෙන එකක් නෑ කියල. ඒත් ඉතින් නිවාඩු එහෙමම වගේ ඉතුරු නිසා ප්‍රශ්නයක් උනේ නෑ”

උශාලි එසේ පැවසුවේ අම්මාටය.

අද පාසලේ මිතුරියක වූ අරුණිගේ විවාහ මංගල උත්සවයයි. කොළඹ රමාඩා හෝටලයේ පැවැත්වෙන ඒ මංගල උත්සවය සඳහා යන්නට උශාලි සූදානම් වෙමින් හිඳියේ ඊයේ සන්ධ්‍යාවේ සිට ය.

විවාහ මංගල උත්සව යනු ඉතින් සතුටින් පිරුණු අත්දැකීම් ය.

උශාලි කොහොමත් සුන්දරව සැරසී මෙවන් උත්සව වලට යාම ප්‍රියකරයි. එය එක්තරා අයුරකින් සාමාන්‍ය ජීවිතයට වෙනසකි.

නිවසින් රැකියාවටත්, රැකියාවෙන් නිවසටත්, සති අන්තයේ අධ්‍යාපන කටයුතු සඳහා විශ්ව විද්‍යාලයටත් යනවා හැරෙන්නට වෙනත් වර්ණවත් දෙයක් නොවන තරම් වන උශාලිගේ ජීවිතයේ මෙවන් උත්සව සඳහා එන ආරාධනා වුව එන්නේ ඉතාම අඩුවෙනි.

මිතුරියන් අල්ප සංඛ්‍යාවක් ආශ්‍රය කරන්නියක නිසා එළියට ගොස් විනෝද වන්නට හෝ විවාහ මංගල උත්සව වලට සහභාගි වන්නට උශාලිට ඇරයුම් ලැබෙන්නේ ඉතාම අඩුවෙනි.

ඉතින් මේ මග හැර ගත නොහැකි මොහොතකි.

කහ පැහැ ඉන්දියන් සාරියේ බෝඩරය ගොසින් තිබුණේ රන්වන් පාටිනි. එමරල්ඩ් කොළ පාට සාරිපොට පුරාවට රන් පැහැ ඉරිවලින් වැඩ දම තිබූ සුන්දර සාරිය උශාලිගේ පිරුණ එහෙත් කුඩා සිරුර වටා එතී තිබුනේ මන බන්දනීය ලෙසිනි.

පාසල් යන කාලයේ පටන් නැටුම් සහ නාට්‍ය කණ්ඩායම් වල සාමාජිකාවක්ව හිඳි හෙයින් මුහුණේ වත්සුණු තවරා ගන්නටත්, කෙස් කළඹ සුන්දරව සරසා ගන්නටත් රූපලාවන්‍යා ගාරයකට යැමේ අවශ්‍යතවයක් උශාලිට තිබුනේ නැත.

පින්ටරස්ට් ඔස්සේ බලා සොයාගත් සරල ඉන්දියානු හිස කේ සැරසිල්ලකට සුදු මල් සැරසිල්ලක් කර කෙස් කළඹද, මද පමණට වත්සුණු තවරා සුන්දර කරගත් තම දියණියගේ ආකර්ශනීය පෙනුම ගීතාංජලීගේ සිතට ගෙන ආවේ ආඩම්බරයකි.

දුවලගේ සුන්දරත්වය අම්මලාගේ සිතට ආඩම්බරයක් මෙන්ම බියක්ද ගෙන එන්නේ විසම සමාජය තුළ හිඳින සුන්දර මල් නෙලාගන්නට බලා හිඳින මිනිසුන් නිසාවෙනි.

එහෙත් ගීතාංජලීට ඒ බිය එතරම්ම තිබුනේ නැත. කොපමණ සුන්දර වුවද තම දියණිය එපමණකටම බුද්ධිමත් තරුණියක බව ඇය නොදන්නවා නොවේ.

වයසටත් වඩා ලාබාල පෙනුමැති දියණිය දැන් විවාපත් කර දිය යුතු කාලය බව මෙවන් මොහොතක වඩාත් හොඳින් ගීතාංජලීට සිහිවේ.

ඇයගේ මිතුරියන් පවා විවාපත් වන කාලයක් යනු ඇයගේද නිසි කල වයස පැමිණි බවට කරන ඇඟවීමක් බඳුය.

එහෙත් දුවෙක් විවාහ කර දීම මිනිසුන් කියනා හෝ සිතනා තරම් පහසු නැත.

අනෙක් අතට දියණියට දන්නා තරමට පෙම්වතෙකුද නැත. ඇයට සුදුසු අයෙකු සොයා දෙමුයැයි කියා සැමියාට කොපමන වරන් කීවද ඔහු ඒ ගැන දරන්නේ වෙනම අදහසකි.

“එහෙම අපි හොයල දෙන එක හොඳ දෙයක් නෙවෙයි”

“ඉතින් අනේ එයා හොයාගන්නෙත් නැත්තම් අපි හොයල දෙන එකේ වැරැද්ද මොකද්ද?”

“වැරැද්ද තමයි ළමයින්ගෙ වුනත් ජීව්ත ගැන අපිට එහෙම හිතුමනාපේ තීරණ ගන්න බැරි එක.

අපිට එයා වෙනුවෙන් කෙනෙක්ව හොයල දෙන එක කරන්න බැරි නෑ. කොටින්ම මමත් ඒක කිව්ව එයාට කතා කරපු වෙලේ. ඒ උනාට මමම පස්සෙ කල්පනා කරල බලද්දි අපි එහෙම කරන්න හිතන එක වැරදි.

ඔයා දන්නවනෙ එයා කොච්චර අහිංසක දරුවෙක්ද කියල. අන්තිමේ අපි හොයල දෙන කෙනෙක්ව එයාගෙ හිතට හරි ගියේ නැතත් එයා හා කියල බැඳල අන්තිමේ මුලු ජීවිතකාලෙම දුකෙන්හිටියොත් ඔයා හිතනවද ඒක අපිට කවදාවත් සමාවක් ඉල්ල ගන්න පුලුවන් විදියෙ වරදක් වෙයි කියලා

මම කියන්නෙ නෑ ඔයා ඔය ගැන හිතන එක වරදක් කියල. අම්ම කෙනෙක් විදියට ඔයා එහෙන හිතන එකහරි. අවුරුදු 25 කට කිට්ටු වෙච්ච දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඔයා ඒ ගැන වොරි වෙන එක වරදක් කියල මම කියන්නෙ නෑ.

ඒ උනාට ඔයාම හිතල බලන්න අපේ කාලේ කෙල්ලො විසි ගණන්වලින් බැන්දෙ ඒ කාලේ ඔය දැන් වගේ හයර් ස්ටඩීස් කරන්න හරි රස්සාවල් කරන්න හරි ගියේ නැති හින්දානේ. දැන් ළමයි එහෙම නෑ. ගොඩක් කෙල්ලො දැන් තුස් ගණන්වලිනුත් බඳිනවනෙ.

මම කියන්නෙ නෑ ඒක හරි හෝ වැරදි කියල. අපි දූට අපිට තියෙන් ගැටලුව තේරුම් කරල දෙමු. ඒත් අපි එයාට ඕනවට වඩා ෆෝර්ස් කරන්න යන්න නරකයි කියලයි මම කියන්නේ”

සැමියා කුමනාකාරයේ අදහසක් දැරුවද ගීතාංජලීගේ සිත තුල වූයේ දුව ගැන බියකි. තමන් දන්නා හඳුනන තැන්වල තම දියණිය හා සමවයස් දියණිවරු විවාහ වන බව දැනගත්විට ගීතාංජලීගේ සිතටට තම දියණියද විවාහ විය යුතුය යන අදහස ඒම වලක්වාලිය නොහැක.

එහෙත් එසේ කියා හමුවන පලමු තරුණයාව ගෙනවිත් තම මැණිකක් මෙන් වටින රූබර දියණිය සරණ පාවා දෙන්නට නොහැකි වන බව ද ඇය නොදන්නවා නොවේ.

“දැන් ඔය අරුණි බඳින්නෙ ප්‍රපෝසල් එකකින්ද?”

කෙස් කළඹේ මල් රඳවා කටුවලින් අමුණමින් උන් උශාලි අම්මා දෙස බැලුවේ මෙතෙක් වේලා කණ්ණාඩියෙන් පේන තම රුව දෙස බලාගෙන ඇඳ මත වාඩි වූ හුන් අම්මා එකවරම එවන් පැනයක් ඇසුවේ ඇයිද යන කුහුලද දෙනෙතේ ලියාගෙනය.

එහෙත් අම්මා උන්නේ ඇඳ මත වාඩි වීම නිසා ඇතිවුණු රැලි අතින් හාම කරමිනි. ඉතින් තම දෙනෙතේ රැඳුණු කුතුහලය පිරුණු බැල්ම ඇය නෙත නොගැටුණ බව දැනගෙනය.

“කවුද අනේ දැන් කාලෙ ප්‍රපෝසල් වලින් බඳින්නේ? අරුණි ඒ අයියා එක්ක යාලු වෙලා තිබුනෙ කැම්පස් යද්දි මම හිතන්නෙ. අරුණිලගෙ සුපර් සීනියර් බැච් එකක අයියා කෙනෙක් මම හිතන්නේ”

“මොනා කරන ළමයෙක්ද?”

“ඒ අයිය රට ඉන්නෙ. මොනවද කරන්නෙ කියලනම් හරියටම දන්නෙ නෑ. හැබැයි බැඳල රට යන කතාවක් තමා දුලංජලීල හෙම කිව්වෙ”

“දුලංජලීද බ්‍රයිඩ්ස්මේඩ්ට ඉන්නේ?”

“දුලයි නිකිණියි දෙන්නම ඉන්නවා”

“ඇයි ඔයාට කතා කරල නැත්තෙ?”

අම්මා ඉතින් ඔය වගේ අමුතුම ආකාරයේ ප්‍රශ්න අසන බව උශාලි නොදන්නවා නොවේ. දෙවනි මනාලියට ඉන්නට කතා කරා නම් ඔයාට ඇයි කතා කරේ කියලා අසන්නේද අම්මා බව උශාලි දනී.

“එහෙම ඉතින් හැමෝටම බ්‍රයිඩ්ස් මේඩ්ට එන්න කියන්නෙ නෑනෙ අම්මේ. අනික දුලයි නිකිණියි එක්ක තමා අරුණි ගොඩක්ම යාලු. මාවත් දන්නෙ දුලා හින්දනෙ. අනේ අනික ඒක කිව්වෙ නැති එක හොඳයි අම්මේ. නැත්තම් ෆිටොන් වලටයි, සප්‍රයිස් ඩාන්ස් අරවට මේවටයිත් යන්න වෙනවනේ. එපා වෙනව අන්තිමේ වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ”:

ඒ කතාබහෙන් පසුව අම්මා නික්ම ගියේ මුකුත් නොකියාය.

මුහුණේ වත්සුණු තවරාගත් පසුව උශාලි වෙහෙසුණේ රමාඩා හෝටලය වෙත යන්නට වාහනයක් කතා කරගනු පිණිසය. විපුලසේන මාවතේ හිඳ රමාඩා වෙත යන්නට මහ වේලාවක් නොගියද විවාහ උත්සවයකට යද්දී ත්‍රියෝද රියකින් ගොස් බැසීම උචිත නොවේ යැයි සිතුවිල්ලක් ඇයගේ සිත තුල විය. අනෙක් අතට ත්‍රිරෝද රියක යධ්ඩි සුලං පහරට හසු වීමෙන් කෙස් කළඹ අවුල් වීම අනෙක් කාරණාවයි.

පික් මී ඔස්සේ ඇණවුම් කල කුලී කාරයේ නැගී යද්දී වුවද උශාලි උන්නේ සතුටෙනි. විවාහ මංගල උත්සව යනු සිතට සතුට දනවන කාරණාවන්‍ ය. අනෙක් අතට බොහෝ විවාහ මංගල උත්සව එන්නේ පවුලේ අයත් සමග යනු පිණිස මිස තනිවම යාමට නොවේ.

ඉතින් මේ විවාහ මංගල උත්සවය සැබවින්ම විශේෂිත ය.

රමාඩා හෝටලයේ ඉදිරියෙන් බැස ගෙන හෝටලය ඇතුලට යද්දීත් හෝටලයේ සෙනග පිරී හුන්නේ එදිනම පැවැත්වෙන තවත් මංගල උත්සව කීපයක් සඳහා ය. ඒ මුහුණු අතර අඳුරන කිසිත් මුහුණක් නොවේ හෙයින් මංගල ඇරයුම් පතේ වූ ශාලාවට යන මග සොයාගෙන උඩු මහලට යාම පිණිස උශාලි විදුලි සෝපානයට නැංගේය.

සෝපානයෙන් බහිද්දීම දුටුවේ අරුණිගේ සුන්දර මුහුණයි.ඕෆ් වයිට් සාරියේ රන්වන් පැහැ මෝස්තරයෙන් සැරසී, සුදු පැහැ මල් කළඹක් අත දරාගෙන උන් අරුණිගේ මුහුණේ වූ සුන්දරත්වයෙන් බිඳක් ගෙන දෙවනි මනමාලියන් ලෙස ලා දම් පැහැ ඔසරිවලින්ම සැරසී හුන් දුලංජලී සහ නිකිණිගේ මුහුණු ආලෝකමත් කර තිබුණි.

සියල් මුහුණු වල වූයේ සතුටකි.

හෝටලය ඇතුලට යාමට මනමාලිය සමග පෙල ගැසී මනමාලියගේ පාර්ශ්වයේ නෑයන් අතරට එක් වූ උශාලි උන්නේ ඒ සතුටෙන් බිඳක් තම සිත තුල ද තවරා ගනිමිනි.

මෙවන් දිනයක් මගේ ජීවිතයට ඒද යන සිතුවිල්ල සිතට ආවේ කොහෙන්දැයි කියා උශාලි නොදනී.

ඔහුගේ අතේ එල්ලී, සුන්දර සුදුවන් මංගල ඇඳුමකින් සැරසී මල් කළඹක් අතින් ගෙන ඇවිද යන දසුනක් හිත කෙළවරක ඇඳුනේ සුන්දරම සිනහවක් දෙතොල් ළඟ රඳවාය.

 ඒ වූ කලී මිහිරිතම සිතුවිල්ලකි. සිතුවිල්ලකින් වුවත් සිත කෝලබවට හෙලන හැඟිමකි.

ඒ හැඟීම අද්දර දුලන්‍යාගේ තාත්තාගේ කාන්තිමත් දෑස මතක පොතට එකතු වූයේ ඇයිද?

“ඇයි තියන්න එපා කිව්වේ” කියා පෙර දිනයක ඔහු විසින් දුරකතනය ඔස්සේ මෙපසට එවූ ඒ සරගී කෙඳුරුම් හඬ කණට ලංව අසන්නට තිබුණා නම් කොපමණ අපූරුද යන්න යැයි සිතූ අදහස ගත සලිත කරවන හැඟීමකි.එය සිතීම පවා මෙතරම්ම ආශ්වාදජනක නම් එය විඳගැනීම කෙතරම්ම ආශ්වාදජනක විය හැකිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles