දෙහිතක කතාවක් – 01

“නිමේශ්ගේ පාටි එක හෙට නේද?”

කැළුමිණී උන්නේ අල්මාරිය ඇරගෙන ඒ උත්සවයට යන්නට සුදුසු ඇඳුමක් තෝරමිනි. එයද තමන් වෙනුවෙන් නොවේ ප්‍රභාත් වෙනුවෙනි. තමන් විසින් හැඳගෙන යන්නට බලා හිඳින ලා කොල පැහැ මැක්සි ගවුම මිල දී ගත්තේ Shein වෙතිනි. 

ඒ ඇඳුම ආසාවට මිල දී ගත්තට අඳින්නට තැනක් නැති නිසාවෙන් මෙතෙක් දිනක් අල්මාරිය අස්සේ එය ආ බෑගය තුලම තනිවී උන්න නිසාවෙන් ප්‍රභාත්ගේ මිතුරා වන නිමේෂ්ගේ විවාහ සංවත්සරය වෙනුව්නෙ පවත්වන උත්සවයට එය අඳින්නට සිතාගත්තේ උත්සවය ගැන ප්‍රභාත් කියු දිනයේදීමය.

සියල්ලටම වඩා අපහසු තමාගේ ඇඳුමට ගැලපෙන්නට ප්‍රභාත්ට අඳින්නට ඇඳුමක් තෝරාගන්නා එකය.

“ගෑණුන්ට ඇඳුම් වැඩි නිසා කොහෙ හරි යද්දි එකක් තෝරගන්න පුදුම අමාරුයි කිව්වට ඔක්කොටම වඩා අමාරු පිරිමින්ට තෝරන එක”

කැළුමිණී ඒ වචන කිව්වේ නාන කාමරයේ සිට එමින් තුවායෙන් හිස පිසදමමින් උන් ප්‍රභාත්වෙතට ඇස් ඔස්සේ සොඳුරු අමනාපයක හැඟීම් හමා යවමිනි. එහෙත් ඒ දෑසේ ඇඳී ඇත්තේ කෝලකමක් මිස අමනාපයක සලකුනු නොවන බව ප්‍රභාත් වසර කිහිපයක විවාහ දිවියේ අත්දැකීම් මත පදනම්ව දනී.

“ඇයි එහෙම කිව්වෙ?”

තුවාය කරවටා දමාගෙනම කැළුමිණීගේ පිටුපසින් විත් සිටගත් ප්‍රභාත් එසේ ඇසුවේ සෙමෙන් තම දෑත ඇයගේ බඳ වටා යවා ඇයව තදින් තමාගේ සිරුරට තද කරගනිමිනි.

“ඇයි අනේ ඇඳුම් ගොඩක් අස්සෙන් අඳින්න එකක් හොයාගන්න එක ලේසි ශර්ට් තුන හතරක් විතරක් තියෙන මිනිහෙක්ගෙ කබඩ් එකකින් ගැලපෙන ශර්ට් එකක් හොයාගන්නවට වඩා”

“ආහ් මේ මට ඇඳුම් අඩු එකයි දැන් ප්‍රශ්නෙ. හිටපන්කො මම නෙක්ස්ට් මන්ත් ඉඳල ඇඳුම් ගන්න දෙන ගාන දෙන්නෙ නෑ. ඒකෙන් මම ඇඳුමක් ගන්නවා”

ප්‍රභාත් ඉතින් මේවා කියන්නේ විහිලුවට බව කැළුමිණී නොදන්නවා නොවේ. සැම මසකම පඩි ආ විගස ගෙදර වියදමට සහ අවශ්‍ය දේ මිලදී ගන්න දෙන මුදල හැරුණකොට කැළුමිණී අතට රුපියල් විසිදාහක් විතර දෙන්නට ප්‍රභාත් පෙලඹෙන්නේ ඇයට රිසි ඇඳුම් පැලඳුම්, පොත් පත් ආදිය මිල දී ගනු පිණිසයි. කැළුමිණීට රැකියාවෙන් ඉවත් වන්න සිදු වූයේ විවාහයෙන් පසුව සැමියාටත් බිරිඳටත් එකම තැන සේවය කල නොහැකි බවට පනවා තිබූ ආයතන විධි විධාන හේතුවෙනි.

එවකටත් ඉතාම හොඳ රැකියාවක ඉතා හොඳ පඩියක් ලබමින් උන්නා වුවද ප්‍රභාත් කැමති වූයේ කැළුමිණි නිවසට වී හිඳිනු දකින්නටයි. අතිරේක මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් සහ කම්මැලිකම මකා ගැනීමේ අරමුණින් නිවසේ සිටම  සිංහල කන්ටෙන්ට් රයිටින් කරන්නියක ලෙස සේවය කල කැළුමිණීද රැකියාවෙන් ඉවත්ව පූර්ණ කාලීනව බිරිඳක්ගේ තනතුර හොබවන්නට කටයුතු කලේ අකමැත්තෙන් නොවේ.

අම්මාත් තාත්තාත් වෙනත් කිසිත් සහෝදර බැඳීමක්ද නොමැති තමන්ට මෙලොව සිටින එකම හිතවතා සහ ආරක්ෂකයා ලෙස කැළුමිණී දුටුවේ ප්‍රභාත්වය. 

ඉතින් ආදරය යනු එවන් කැපකිරීමක් බව සිතා හිඳිනා කැළුමිණී උන්නේ සැබවින්ම සතුටෙනි.

නිමේෂ්ගේත් කාලින්දිගෙත් පළමු විවාහ සංවත්සර උත්සවය මහ ඉහළින් පැවැත්වුනේ හිල්ටන් හෝටලයේය. පවුලේ හිතවතුන් මෙන්ම යහලු මිත්‍රයන් පිරිවරා හුන් ඒ උත්සවයට මොණරියක මෙන් සැරසී කැළුමිණී ගියේ ප්‍රභාත්ගේ අතේ එල්ලී ආඩම්බරයෙනි. සැබවින්ම ආඩම්බර විය යුතු අන්දමේ විවාහයක්, පෙම් කතාවක් තමාට තිබෙන බ්ව කැළුමිණී සිතා උන්නාය.

“මං හිතුවෙම නෑ උඹ එයි කියල. ඔක්කොටම වඩා තැන්ක්‍යු නංගිව එක්කන් ආවට, කොහොමද නංගි?”

නිමේෂ් අයියාව අවසානයට හමු වුයේ ඔවුන්ගේ විවාහ උත්සවයේදී බව කැළුමිණීට මතකය. කාර්‍යබහුල නාගරික ජීවිතයේ හැල හැප්පීම් මැද මිතුරන් සමග ගෙවන්නට කාලය අවම බව දන්නා නිසාවෙන් මේවා මේ හුදෙක් හිතවත් කම පෙන්වන්නම් බව කැළුමිණී නොදන්නවා නොවේ. ඉතින් සුන්දර සිනහවකින් නිමේෂ්ටත් කාලින්දිටත් සුබ පතා ගෙනා ත්‍යාගය අත තබා ප්‍රභාත් සමග මිතුරන් රැසක් අසුන්ගෙන හුන් මේසය අද්දරට ගියේද සිනහව මුවින් පලවා හැර ගන්නේ නැතුවමය.

“අඩෝ ප්‍රභාතයා වරෙන් වරෙන්

“යකෝ උඹලව දකින්න තියෙන අමාරුව”

හිඳ හුන් අසුන්වලින් නැගිට බදාගන්න මිතුරන් වෙනුවෙන් වෙලාව වෙන් කරද්දි කැළුමිණී සෙසු මිතුරු බිරින්දෑවරුන් හිඳ සිටි මේසය වෙතට යනු ප්‍රභාත් දුටුවේ ඒ මිතුරු ඇරයුම් හා සුහදතා කවුලුවෙන් එපිටිනි.

මේසය මත තබා ඇති කජු පීරිසිද, චීස් කැබලිද හා සමගාමීව මත් පැන් වීදුරු හිස් වෙද්දී වුවද කැළුමිණී උන්නේ සන්තෝසයෙනි. ඒ කාලයකට පසු ඇඳුම් පැළඳුම් ගැනද, නලු නිලියන්ගේ ඕපදූප ගැනද කතා කරන්න මිතුරු පිරිසක් හමුවීම ගැන පමණක්ම නිසා නොවේ. උදෑසන රැකියාවට ගොස් හවස් වී එන ප්‍රභාත් ගේ ජීවිතය ගෙවෙන්නේ එකම රාමුවකය. ඉතින් ඒ රාමුවට මදක් හෝ එපිට පනින්නට ප්‍රභාත්ට අවස්තාව ලැබෙන්නේ මෙවන් මොහොතක පමණක් බව දන්නා නිසාවෙනි. 

“ගෙදරටම වෙලා ඉන්න කම්මැලි නැද්ද කැළුම්?”

ඒ අසන්නී තුෂානිය. ඇය ද නිමේෂ් මෙන්ම ප්‍රභාත්ගේ පාසල් මිතුරෙකුගේ බිරිඳය. එහෙමකට කියා මිතුරුකමක් නැතුවා වුවද මෙවන් මොහොතක හමු වී කතා කරන්නට ලැබීම ගැන සතුටුය. අනෙක් අතට නිවසටම වි කාලය ගෙවන්නට වන තමාට තිබෙන්නේද අඩු මිතුරු හමුවීම් බව දන්නා නිසා මෙය වෙනසකි. ඒ වෙනස සොඳුරුය.

“දැන් පුරුදු වෙලානෙ. ගාණක් නෑ”

“මට නම් ඒත් හිතාගන්න බෑ ඔයා වගේ කාලයක් වර්ක් කල ගර්ල් කෙනෙක් කොහොමද ගෙදරට වෙලා ඉන්නෙ කියල”

ඉතින් මේ සුපුරුදු ප්‍රශ්නය.ඉතින් දෙන්නට ඇත්තේද සුපුරුදු උත්තරය.

“මුලින් නන් ඇත්තටම අමාරු උනා. අර පුරුදු ඉතින් ලස්සනට හැඳ පැලඳල ගිහිල්ල රස්සාව කරලනෙ. උදේ ඉතින් දැන් නැගිටල උයල ගේ අස් කරල ඉවරවෙද්දි වෙලාව ගිහිල්ලා”

“කම්මැලි නැද්ද?”

“මුල් කාලෙනම් ටිකක් කම්මැලියි. මම පස්සෙ ෆ්‍රීලාන්ස් කන්ටෙන්ට් රයිටින් කරන්න ගත්තනෙ.දැන් නම් ඒවයි වැඩත් එක්ක ඇත්තටම ගෙදර හිටියත් බිසී”

කතාබස් අස්සේ වෙලාව යනවා නොදැනුන තරම්‍ ය. එහෙත් මෙතෙක් වේලා තමන් විසින් මගහරිමින් තිබූ නාදුනන බවක් රැඳුණු දෑසක් තමාව ලුහුබඳිමින් හිඳින බව කැළුමිණී දුටුවේ දැන් බොහෝ වේලාවක්ව් හිඳය.

තමාගේ රූමත් බව ගැන දෙවරක් සිතන්නට උවමනාවඛෝ හේතුවක් නැත..මනාව තැවරුණ මේකප් ද, සරල කෙහෙ සැරසිල්ලද, සිරුරේ හැඩය මනාව පෙන්වන ඇඳුමද තමාගේ ඒ රූමත් බව මේ රැයේ දෙගුණ තෙගුණ කරමින් හිඳින බව දැන හුන්නද ඒ නාඳුනන දෑස් අස්සේ රැඳී තිබෙන්නේ තමන්ගේ රූමත් බව වෙත ආසක්ත වුන හැඟිමකට වඩා එහා ගිය කතාවක් බව අඳුනගන්නට කැළුමිණී ට අපහසු වූයේ නැත.

ඔහුව නාඳුනන බව ස්තිරය. බාගදා තමන් තනිකඩ තරුණියක බව සිතා ඔහු තමා වෙත දෑස් දල්වා හිඳින බව හිතට පිවිසි සැකයකි.

ඉතින් වඩාත් උචිත දේ ප්‍රභාත් අසලට ගොසින් තමාගේ හිමිකාරීත්වය ගැන මේ නාඳුනන දෑසට පෙන්වීමය.

“කීයට විතරද යන්නේ?”

ඒ අසන්නට නොඉඳි පැනයක් වුවත් නිකරුණේ ප්‍රභාත් අසලට ගොසින් කියන්නට දෙය නැති නිසාවෙන් කියන්නට යෙදුණකි.

“හදිසිද? පරක්කුද?”

ප්‍රභාත්ගේ මුවින් නික්මෙන බියර් සුවඳ තම නැහැ පුඩු අස්සේන් ගොස් ගත මත්බවින් පුරවාලනු දැනුණද දැ එය හුරුපුරුදු සුවඳකි.ගෙවුණු වසර කිහිපයක විවාහ දිවිය තුල බියර් සුවඳ ජීවිතයට තදින් බැඳි තිබෙන බව කැළුමිණී පුරුද්දෙන් දන්නීය.

ප්‍රභාත් දිනපතා බොන්නෙක් නොවුණද ඉඳහිටක නිදන කාමරය සිසාර යන බියර් සුවඳින් පිරුණු නෙට්ෆ්ලික්ස් මූවී රාත්‍රීන්ද, සරාගී කෙඳිරුම් හඬින්ද ආදරයේ මත් බවින්ද පිරිපුන් නොනිදන රාත්‍රීන්ද හුරුපුරුදු ය. සිතට සමීපය. 

අනෙක් අතට ප්‍රභාත් වනාහී තම පමණ දැන බොන්නෙක් නිසාවෙන් කැළුමිණී කෙදිනකවත් ඔහුට ඒ ගැන තහංචි පැනවූයේද නැත.

ප්‍රභාත් අමතා ඇවිදින් නැවත හුරුපුරුදු අසුනට බරවෙද්දී දුටුවේ දකිනට බලාපොරොත්තු නොවූ දසුනකි.

ඒ නාඳුනන දෑස හිතවත්කමේ සිනහවක්මුව රඳාවගෙන ප්‍රභාත් වැළඳගන්නා අයුරුත්, ප්‍රභාත් විසින් ද ඔහුව මිතුදමක ප්‍රහර්ෂයෙන් පිළිගන්නා අයුරුත් දෑස් මත ඇඳී ගියාය.

ප්‍රභාත්ගෙන් මිදුණූ ඒ දෑස තමාව තවමත් ලුහුබඳින බව ද කැළුමිණී දුටුවාය.

ඒ දෑස්වල ඇඳී තිබුණේ පැහැදිලිව වෙන් කරගත නොහැකි හැඟීමකි. සමච්චලයකි.

එහෙත් ඒ කුමක් නිසාවෙන්ද කියා හඳුනාගන්නට කැළුමිණි අපොහොසත් වූවාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles