හුඟක් දෙනා ඔබව මඟහරින්නෙ ඇයි? ඔබ ආකර්ෂණීය මදි ද?

ඔබ හිතන තරම් ඔබ ආකර්ෂණීය නැද්ද? අනිත් අය ඔබ සමඟ කතාබහට එතරම් ප්‍රිය කරන්නේ නැද්ද? ඔවුන් ඔබ හැකිතාක් මඟඅරින්න හදනවාද? කොටින්ම සමූහයක් අතරේ ඔබට කැපී පෙනෙන චරිතයක් වෙන්න බැරිද? එහෙම වෙන්න හේතුව ඔබට තවමත් හොයාගන්න බැරිවුණා ද? එහෙමනම්, මේ කරුණු ටික හොඳින් අවධානයට ගන්න. ඔබට දැන් වෙනස් වෙන්න කාලය හරි.

අනික් අය අතරෙ වැඩියෙන් ම කාරුණික, වැඩියෙන් ම හොඳ කෙනා වන්න හැම කෙනෙකුට ම තියෙන්නෙ අධික උනන්දුවක්. ඒත් ඔබ හරියට ම හඳුනාගෙන නැති නරක පුරුදු කිහිපයක් නිසා ඔබ හිතන හොඳ පුද්ගලයා බවට ඔබට පත්වෙන්න බැරි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මිතුරන් අතරේ කැපීපෙනෙනවා වෙනුවට බොහෝ දෙනා නොරුස්සන කෙනෙක් බවට ඔබ පත්වෙලා ඉන්නවා වෙන්නත් පුළුවනි. එහෙමනම් මේ විදියට ඔබ තුළ සිටින ඔබ වෙනස් කරගන්න.

තමන් ගැන කරන පුරාජේරු කතා නවත්තන්න

මිතුරන් අතරෙදි එහෙමත් නැත්නම් ඔබ වටා සිටින පිරිස අතරෙ ඔබ කතාකරන්න උත්සාහ ගන්නේ ඔබේ හැකියාවන් සහ ඔබ කළ කී දේවල් ගැන පුරාජේරු කතා නම් ඒවා අහන්න කවුරුවත්  කැමති නැහැ. අනිත් අයගේ අවධානය දිනාගන්න නම් ඔබ වටා සිටින අයට වැදගත්වන දේවල් හඳුනාගෙන ඒවා කතාකරන්න. ඔබ හිතන්නෙ සියල්ල ඔබ බවයි. ඒත් අනික් සියලු ම දෙනාට ම ඔබ එක්කෙනෙක් විතරයි.

ආකර්ෂණීයත්වය පටන්ගන්නේ මුහුණෙන් නොවෙයි

අනුන්ගේ ආකර්ෂණය දිනාගන්නට අසමත් වන බොහෝ දෙනා හිතන්නේ ඔවුන්ගේ මුහුණ සහ බාහිර අලංකාරය කෙසේ හෝ තවදුරටත් වැඩිදියුණු කරගත යුතු බවයි. ඒත් සැබෑ ආකර්ෂණීයත්වය පැනනගින්නේ හදවතින්. ඔබේ ආත්මයෙන්. ඔබේ හැසිරීම්, කතාබහ හැකිතාක් පහසුවෙන් පවත්වාගන්න.  මවාපෑම් වෙනුවට සැබෑ ස්වභාවයෙන් ජීවත්වන්න. සරලව අව්‍යාජව අනුන් සමඟ කටයුතු කරන්න. එවිට ආකර්ෂණීය හදවතක් හිමි ඔබේ මිතුරු රවුම දවසින් දවස විශාල වේවි.

තරගකිරීමෙන් වළකින්න

ඔබට අඩි 20ක් උස කන්දක් කිසිදු අපහසුවකින් තොරව ඉක්මණින් නගින්නට පුළුවන්කම ඇති. ඒත් ඔබේ මිතුරන් අතරින් කෙනෙක් අඩි 10ක් උස කන්දක් නැග ඒ ගැන ඉතා සතුටින් කතාබහ කරන මොහොතක අයියෝ ඒක මොකක් ද? මම අඩි 30ක් උස කන්දක් නැගල තියෙනවා එක හුස්මට, වැනි තරගකාරී අදහස් පළකිරීම්වලින් වළකින්න. ඔබ දක්ෂ බව, ඔබ දිනා ඇති බව ඔබට සතුටක් වුණත් අනිකාගේ නොහැකියාව මතුකර ගන්නට එය ආයුධයක් කරගන්න එපා. එවැනි අයට මිතුරන් ඇතිකරගන්න හෝ මිතුරන් අතර ආකර්ෂණීය වන්න කොහොමටවත් ම බැහැ.

ඔබ වටා සිටින්නේ ඔබේ සතුරන් නොවේ

ආකර්ෂණය අඩු අය හැමවිටම තමන්ගේ මිතුරන් සමඟ රණ්ඩු සහ හිත් අමනාපකම් ඇතිකරගන්නට බලනවා. නිතරම ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්නේ චෝදනා ස්වරයකින්. මතභේද ඇතිකරනොගෙන ඔවුන්ට කිසිවක් විසඳාගන්න බැහැ. ඒ නිසා ම හේතු හොයා නොබලාම  සමහර අවස්ථාවල දි ඔවුන් කෙරෙහි ද්වේශසහගතව කටයුතු කරනවා. ඉතින් ඔබේ ඇසුර ප්‍රිය කරන අය කොහොම ද ඉතිරි වෙන්නේ.

අනිත් අය අතරෙ ඔබ කියන්නෙ එක්කෙනෙක් විතරයි

සියලු දෙනා අතරෙ සියල්ල ඔබ වටා ඔබ ප්‍රධාන කරගෙන සිදුවෙන්න ඕනෙ කියල ඔබ හිතනව ද? එහෙම වුණොත් ඔබේ මිතුරු රවුම දවසින් දවස පුංචි වේවි. හුඟක් දෙනා ඔබ මඟහැර යාවි. ඔබේ මිතුරියන් දෙදෙනෙක් ගමනක් යන විට ඔබට සමහර විට ආරාධනා නොකරාවි. ඒත් එය ඔබට විශාල ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ කියන්නෙ සියල්ල නෙවෙයි.

බොස් පාර්ට් එක නවත්තන්න

කණ්ඩායමක් ඇතුළෙ හැම කෙනෙකුට ම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා. ඔබ හිතනවනම් ඔබ කියන දේ අහන එක විතරයි අනික් හැමදෙනාම කළ යුත්තේ කියලා, ඔබට පවතින්න අපහසුයි.  මිතුරන් අතරට අණ දෙන නිලධාරීන් අවශ්‍ය නැහැ. ඔබේ බොස්පාර්ට් එක නිසා ඔබ මිතුරන් අතරේ කැපී පෙනෙනවා වෙනුවට කැපී යාවි.

අවංක වෙන්න

මිතුරන් අතරෙ ඔබ බොරු කියන්නෙක් වුණොත් ටිකෙන් ටික හැමෝම ඔබව ඈත් කර දමාවි. ඇත්ත වෙනුවට මවාපෑම් එක්ක ජීවත් වෙන අයට කවුරුවත් කැමති නැහැ. වංචනිකව කටයුතු කරන මුල් කාලයේ ඔබේ මිතුරන්  ඔබව විශ්වාස කළත් ඔබේ සැබෑ ස්වභාවය ඔවුන් නොබෝ කලකින් ඉතා පහසුවෙන් හඳුනාගනීවි. එවිට ඔවුන් ඔබ ප්‍රතික්ෂේප කරන එක වළක්වන්න බැහැ.

ඔබ ඔවුන් හිතාමතා මඟහැර දමනවා ද?

ඔබේ සහාය, උදව්ව, එහෙමත් නැත්නම් සහභාගීත්වය අත්‍යවශ්‍ය අවස්ථාවල දී ඔබේ මිතුරන් සමඟ ඔබ රැඳී සිටින්නේ නැත්නම්, ඔබ කොහොම ද ඔවුන් අතරෙ ආකර්ෂණීය වෙන්නෙ? මට වැඩක් තියෙනවා, මට ඉන්න වෙන්නෙ නැහැ. මට පරක්කු වෙන නිසා ඉන්න බැහැ. මම කොහොම උදව් කරන්න ද වැනි ප්‍රකාශ නිකුත් කරමින් මිතුරන් මඟහැර යන්න එපා. ඔබේ ශක්තිය, සහයෝගය ඔවුන්ට කිසිවිටෙකත් ලබා නොදී ඔවුන්ගෙන් පමණක් එය අපේක්ෂා කරන්න එපා.

නිතරම සෘණ හිතිවිලිවල ඉන්න කෙනෙක් ද?

ඕක කරන්න අමාරුයි, ඒක නම් වැඩක් නැහැ, ඒක කිසි තේරුමක් නැහැ, මට නම් ඒක කරන්න බැරි වෙයි, දැන් පරක්කු වැඩියි, මෙච්චර වේලාසනින් ඒක කරන්න බැහැ. ‍ආදී වශයෙන් දේවල් නොකර සිටීමට, නොසිතා සිටීමට උත්සාහ නොකර සිටිමට වැඩිපුර කැමති අය ආකර්ෂණශීලී අය වෙන්නෙ නැහැ. ඔවුන් ඉතා ඉක්මණින් ම මිතුරන් අතරෙ කැපී යන චරිත බවට පත්වෙනවා.

බාහිරින් කොතරම් වෙනස් වුණත්, ඔබේ පිටත පෙනුම, රූප ස්වභාවය කොතරම් අලංකාරව පවත්වාගත්තත් ඔබ තුළ සිටින නොරුස්සන, කලහකාරී, ආත්මාර්ථකාමී, ඒ වගේම සෘණ හිතිවිලි පිරුණු, උඩඟු පුද්ගලයා හික්මවා ගන්නට අපොහොසත් නම්, ඔබ ට මිතුරන් අතරේ හොඳ මිතුරෙක් වන්නට හැකියාවක් නැහැ.

ඒ නිසා වහා ම ඔබේ එබඳු හැසිරීම්,  ක්‍රියාකාරකම් වෙනස් කරගන්න. මිතුරන් අතරේ ආකර්ෂණීය මිතුරෙක් වන්න.

 – නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles