කේක් කියන්නෙ ලොකු පොඩි වෙනසක් නැතුව අපි කවුරුත් කන්න කැමති කෑමක්නෙ.
මිළ ගණන් කෝම වුනත් අද වෙද්දි වෙළඳපොලෙන් නිසි ප්‍රමිතියකින් යුතු කේක් මිලදී ගැනීම අපි ගොඩක් දෙනෙක්ට ගැටළුවක් වෙලා තියෙනව.
විශේෂයෙන්ම කේක් වලට යොදන විවිධ රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සහ වර්ණක නිසා මේ තත්වය තවත් ගැටළුකාරී වෙලා තියෙනව.
ඉතිං අද අපි ඔබට කියන්නෙ සෞඛ්යාරක්ෂිත විදිහට අවන් එකක් නැති ඔබට වුනත් ගෙදරදිම ඉක්මණින් හදාගන්න පුළුවන් පළතුරු කේක් හදාගන්නෙ කොහොමද කියලයි.
මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩාවට කපාගත් වියළි පළතුරු (ඇප්රිකට් මේස හැඳි 02 ක්, රතු පාට චෙරි මේස හැඳි 02 ක්, කොළ පාට චෙරි මේස හැඳි 02 ක්)
පිටි තේ හැඳි 01 ක්
බටර් කෝප්ප ¼ ක්
කුඩු කරගත් සීනි කෝප්ප ½ ක්
වැනිලා රසකාරකය තේ හැඳි 01 ක්
බිත්තර 02 ක්
පිටි කෝප්ප 01 ක්
බේකින් පවුඩර් තේ හැඳි 01 ක්
බේකින් සෝඩා තේ හැඳි ¼ ක්
කිරි කෝප්ප ¼ ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම කපාගත් පලතුරු වලට පිටි තේ හැන්ඳක් දමා පළතුරු වල හොඳින් දැවටෙන සේ කලවම් කරගෙන පසෙකින් තබාගන්න.
දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට බටර් සහ සීනි එකතු කර සුදු පැහැයට හුරු මිශ්‍රණයක් ලැබෙන තෙක් හොඳින් බීට් කරගන්න.
එයටම වැනිලා රසකාරකය සහ බිත්තරත් එකතු කර හොඳින් බීට් කරගන්න.
දැන් වෙනම භාජනයකට පිටි, බේකින් සෝඩා සහ බේකින් පවුඩර් එකතු කර තුන්වරක් පමණ හලාගන්න.
හලාගත් පිටි මිශ්‍රණය බිත්තර මිශ්‍රණයට එකතු කර පැතලි හැන්ඳක් භාවිතයෙන් නැවත කලවම් කරගන්න.
එයට කිරි සහ පිටි දවටාගත් පළතුරු කැබලි එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.
දැන් කේක් තැටියකට හෝ සුදුසු වෙනත් තැටියකට තෙල් කඩදාසියක් දමා එහි තෙල් ස්වල්පයක් ආලේප කර සාදාගත් කේක් මිශ්‍රණය එයට දමා එක සමාන මට්ටමක් වන සේ අතුරාගන්න.
දැන් තරමක් විශාල භාජනයක් ලිපතබා එහි පතුලේ යකඩ ආධාරයක් තබා භාජනයේ පියන වසා විනාඩි 05 ක් 07 ක් පමණ රත්කර ගන්න.
රත්කරගත් භාජනයේ ආධාරය උඩින් කේක් තැටිය තබා පියන වසා මඳ ගින්නේ විනාඩි 35 ක් 40 ක් පමණ රත්කර ගන්න.
(අවන් එකේ නම්, කලින් රත්කරගත් අවන් එකේ සෙන්ටිග්‍රේට් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 40 ක් බේක් කරගන්න)
ඉරට්ටකින් හෝ ටූත් පික්ස් එකකින් කේක් එක තුළට ගැසූ පසු කූරටයේ කේක් නොඇලේනම් කේක් එක නිසිපරිදි සැකසී ඇත.
ඔන්න, එහෙනම් ලේසියෙන්ම කේක් හදාගන්න විදිහ අපි ඔබට කියල දුන්න.
පළතුරු වෙනුවට වියළි මිදි, රට ඉඳි වුනත් යොදාගන්න පුළුවන්.
එහෙනම් හදල බලමු නේද oven ඕනම නැති පළතුරු කේක්.
සටහන – දුලානි නවෝද්‍යා