කිසියම් තැනක් වැරදී ඇති බවට පළමු පෙර නිමිත්ත වූයේ නිහඬතාවයි.
අරුණ සවස් කාලයේ සිටම සමුධ්‍යාගේ පණිවිඩයක් අපේක්ෂාවෙන් සිටිය බව ඇත්තකි. මුලදී, ඔහු සිතුවේ ඇය කොළඹ සිට ආණමඩුව වෙත ගිය ගමනේදී ගමන් මහන්සිය නිසාවෙන්ම සමුධ්‍යා නින්දට වැටෙන්නට ඇතැයි සිතුවද නිවාසයෙන් පිටත අහස වැස්සක් නොමැති කාලයක අඳුරෙන් බර වී යද්දී සමුධ්‍යා ගැන සසල වන සිතුවිලි වලින් අරුණ ගේ සිත තිබුණේ ඉරිතලා යමිනි.
පොලිස් නිළධාරින් සමග අරුණ ගෙට ඇතුළු වන විට විදුර වීරබද්ධව විසින් සමුධ්‍යාව සිර කරගෙන උන්, විදුර තමන්ගේ රාජකාරි කටයුතු සඳහා වෙන් කරගෙන තිබුන, පොල් වත්ත මැද නිවස තිබුනේ සැඳෑ අන්ධකාරයේ නිශ්ශබ්දබව අස්සේ සැඟවීය.
නිලධාරීන් පුහුණු වූ පරිදි පොල් වත්තේ හතර සීමාවට පැතිර ගියහ. කිසිත් ශබ්ධයක් නොඇසෙන පරිද්දෙන් දෙදෙනෙක් උඩු මහලටද, තවත් අයෙක් අමුත්තන්ගේ කාමර දෙසටද, එක් අයෙක් නිවස පිටුපසටද, තවත් අයෙක් මෝටර් රථය අසලද රැඳී සිටියහ. විදුර වීරබද්ධන තමන් මේ නිවස ඇතුලේ සිරකරගෙන හිඳින අයව ඇමට තියාගැනීම සඳහා කුමනාකාරයේ ආරක්ෂක විධි විධාන පනවා ඇතිද කියා නොදන්නා නිසාවෙන්ම පොලිසිය එසේ හැසිරුණද අරුණ තනිවම තමන් කුඩා කාලයෙ ඉඳහිටක පැමිණ දුව පැන ගිය නිවසේ දිගු ශාලාව දිගේ ඇවිද ගියේ කිසිත් බියක් නොමැතිවය.
ඒ බිත්තිවල තවම තිබුනේ තමන් කුඩා කාලයේ එද්දිත් බිත්තිවල ඇඳි තිබුණ තෙත පැල්ලම් බව බිත්ති දිහා දුටුව අරුණ ආයෙ ආයෙම මතක් කරේය. මේ බිත්ති අස්සේ සැඟවුන සොඳුරු ළමා කාලයක් තවමත් වල් බිහි නොවී තිබෙන බව අරුණ මතක් කරේය. තාත්තා මේ නිවස මිළට ගත් කාලයේ ඇත්තටම තාත්තා කෙනෙකු වශයෙන් තමන්ට ආදරය පෑව බවත්, අම්මාත් තමාත් තාත්තාත් අතර මද වශයෙන් හෝ යහපත් සම්බන්ධයක් තිබුණ බවත් අරුණට මෙනෙහි වුණේය.
කුඩා කාලයේ මේ නිවසේ ශාලාවන් දිගේ සපත්තු හඬ නංවමින් තමා දුව ගිය අයුරුත්, දුව යන තමාව වඩාගෙන තාත්තා උඩට කර කැරකැවූ බවත් අරුණට මතක් වුණේය. ඒ මතක සියල්ල තවමත් මෙහි සෑඟවී තිබෙන බවත් තාත්තාට ඒවා අමතක වී තිබෙන බවත් අරුණ හිතට කිව් බව ඇත්තකි . එහෙත් ඒ කිසිත් මතකයකට තාත්තා විසින් මේ කරන්නට යෙදුණ කිසිම වරදක් නිවැරදි කරන්නට හෝ සාධාරණීකරණය කරන්නට නොහැකි බව අරුණ නොදැන උන්නා නොවේ.
තාත්තා සොයා ගිය විදුරට තාත්තාව හමු වුනේ උඩු මහලේ ටෙරසයේ අද්දරට වී අන්ධකාරයේ නැහැවෙමින් මත්පැන් වීදුරුවක් තොලගාමින් සිටිද්දීය. විදුර උස් කවුළුව අසල, දෑත් පිටුපසට කරගෙන, තවමත් නිල ඇඳුමක් මෙන් ඇඳ සිටි සුදු කමිසයෙන් සහ ක්‍රීම් පැහැති කලිසමෙන් සැරසී සිටියේය. ඔහුගේ අතැඟිලි තිබුනේ සෙමෙන් අතේ තිබුණු විස්කි වීදුරුව හා සිතුවිලිවල තාලයට ගැටෙමිනි. අරුණ ආ බව තේරුණ මුත් විදුර හැරී බැලුවේ නැත. පියවර හඬින් පවා තමන්ගේ හතුරන් සහ මිතුරන් වෙන් කර හඳුනාගන්නට හැකි අයෙක් මෙන් නොහැරීම විදුර අන්ධකාරය දෙස බලාගෙන තමන්ගේ සිතුවිලි වචන කරන්නට විය.
“මං හිතුවා ඒවි කියලා. හැබැයි මං හිතුවෙ නෑ බැටෑලියන් එකක් එක්ක ඒවි කියලා” කියද්දි උනත් තාත්තාගෙ කටහඬේ තිබුනේ තමන් මේ මොහොතේ විඳ දරාගන්නට බලාපොරොත්තු වුන තිගැස්ම, බිය, කෝපය නොව, යම් කිසි අන්දමේ අත් හැරීමක සලකුණක් බව මිනිසුන් සමග හොඳින් තෙම්පරාදු වුණ රැකියාවක් කරන අරුණට නොතේරුනා නොවේ. තමන් නොසිතුවාට පොලිස් නිලධාරින් මෙහි ආ බව දැක දැකත් තාත්තා විසින් කිසිත් තිරණයක් නොගත්තේ මන්ද යන ගැටලුව අරුණ තම සිතෙන් ඇසුවේය.
“මට මේක මෙහෙම ඉවර කරන්න ඕන උනේ නෑ තාත්තෙ” කියා තමන් සිතුවිලි වදන් කරද්දී බොහෝ කාලයකට පසුව කටෙන් පිටතට ආ ඒ තාත්තා යන වචනයේ යම් කිසි හඳුනා නොගත් වේදනාකාරී බවක් තැවරී තිබුන බව අරුණට තේරුණේය. එහෙත් අරුණ උන්නේ ඒ අදහස සමග ගැටෙන අදහසක නොවේ.
“මං කවදාවත් බලාපොරොත්තු උනේ නෑ තාත්තේ තාත්තා තමන්ට ඕන දේ කරගන්න මෙච්චර ලෝ ලෙවල් එකකට වැටෙයි කියලා. සමුධ්‍යාව කිඩ්නැප් කරාම තාත්තා හිතුවෙ සමුධ්‍යා වෙනුවෙන් මම මගේ වගකීම අත අරීවි කියලා නම් මම තාත්තගෙ පුතා විත්තිය ඇත්ත. ඒ උනාට තාත්තෙ මම තාත්තා වගේ අමනුස්ස ගති තියෙන කෙනෙක් උනේ නෑ. මොකක් හරි හේතුවක් හන්දා තාත්තගෙ ලේ දුවන මේ ඇඟ අස්සෙ මගේ හිත තාම බීට් වෙන්නෙ මනුස්සකමේ තාලෙට” කියා අරුණ වචනවලට හැරලුවේ මෙපමණ කාලයක් පුරාවට හිත අස්සේ හිරකරගෙන උන් තාත්තා නිසාවෙන් පුතෙකුගේ හිතේ ඇතිවන වේදනා ගඟක් ය.
හඬන්නට උවමනා උනා නම් ඒ වචන හඬන්නට ඉන්න ඇසකට ඇඟිල්ලෙන් අනින්නාක් බඳු වුවද විදුර කලේ සිනාසෙන එකය.
“මුලු ජීවිත කාලෙම උඹට කොහොමත් ඕන උනේ උඹ තමයි මනුස්සයා කියලා පෙන්නන්නනෙ. උඹ ගෙදරින් පිටවෙලා ගියෙත් මාත් එක්ක තියෙන තරහකට, ප්‍රශ්නෙකට වඩා මම තාත්තාට වඩා හොඳ මිනිහෙන් කියල පෙන්නලා මාව නරක මිනිහා කරන්න”
“තාත්තා කවදාවත් මං දිහා හරි විදියට බැලුවෙ නෑනෙ. වැරදි කණ්ණාඩිය දාගෙන මොන දේ දිහා බැලුවත් ඒ දේ පේන්නෙ වැරදියට තමයි තාත්තෙ” අරුණ කීවේය. “මට ඕන උනේ මට විතරක් හොඳ කරගන්න නෙවෙයි, අපි හැමෝටම හොඳක් කරන්න.” කියා අරුණ කතාව නතර කරද්දී ඒ වචන වලින් ලද අමුතු උත්තේජනයක් හේතුවෙන් විදුර හැරුණේය.
විදුරගේ දෙනෙත් තිබුනේ රතු වීය. එහෙත් ඒ රතු පාට අස්සෙන් හදවත විනිවිද දකින්නට හැකි අන්දමේ තියුණු බවක් රැඳී තිබුණී.
“හොඳ? මොකද්ද අන්තිමේ උඹ කරන්න හදපු හොඳෙන් වෙච්ච හොඳේ? කාටද හොඳක් උනේ? උඹට හොඳක් වෙන්න ඇති. හැබැයි මතක තියාගනිං ඒ හැම හොඳක්ම උනේ අපිට කෙලවලා. උඹ ගොඩ ගියේ මට කෙලවලා. තාත්තෙක්ට කෙලවලා උඩට යන්න හදන දරුවෙක්ට කිසිම දවසක හොඳක් වෙයි කියලා උඹ හිතනවද?” කියා විදුර කියද්දී පොලිස් නිලධාරින් උන්නේ නිවස අභ්‍යන්තරයේ සමුධ්‍යා හිඳින්නට ඇතැයි සිතිය හැකි සැම තැනක්ම පරික්ෂා කරමිනි. සත්සරාගේ උදව්වෙන් සමුධ්‍යා හිඳින තැන සොයාගන්නට හැකි වූ පසු පොලිසිය සමුධ්‍යාව සිරකර උන් කාමරයෙන් එළියට රැගෙන ආවේත් උඩු මහලේ සිට අරුණ වහ වහා පහලට දුව විත් සමුධ්‍යාව තුරුලු කරගත්තේත් එකටය. මෙතෙක් වේලා හිත අස්සේත් ඇස් අස්සේත් සිරකරගෙන උන් කඳුලු ගංගාවට අරුණගේ පපු නිම්නය මත්තේ නිදහසේ ගලා යන්නට සමුධ්‍යා ඉඩ දුන්නාය.
“අඬන්න එපා සමුධ්‍යා මං ආවනේ. ඔයා දැනන් හිටියනෙ නේද මම එනවා කියලා” අරුණ හීන් සැරේ, එහෙත් කඳුලු බර නිසාම තෙත බත්වූ කටහඬකින් අසද්දී අරුණගේ පපුව අස්සේ හිස හිරකගත් සමුධ්‍යා කිසිත් වචනයක් නොකියා හිස සැලුවේ තමන් එය දැනගෙන උන් බව කියන්නට මෙනි.
අරුණත් සමුධ්‍යාත් එකිනෙකාගේ තුරුලේ හඬා වැටෙද්දී පොලිස් කාන්තාවක් සත්සරාව ආරක්ෂිතව තමන්ගේ භාරයට අරගත්තාය. පොලිස් නිළධාරින් කිහිප දෙනෙකු සමුධ්‍යා පැහැරගෙන ඒම සම්බන්ධයෙන් ගාමිණි ඇතුලු තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගනිද්දි තවත් පොලිස් කණ්ඩායමක් උඩු මහලේ ටෙරසය බලා ගියේ මේ සියල්ල පිටුපස සිටින විදුර වීරබද්ධනව පොලිස් භාරයට ගනු පිණිසය.
විදුර වීරබද්ධන උන්නේ තීරණයක් ගෙනය.
අරුණත් සමුධ්‍යාත් නිවසින් පිටතට ගියේත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවුන මහා වෙඩි හඬක් නැගුනේත් එකම මොහොතකය.
ඒ වෙඩි හඬ නැහුනේ ඔවුන් අතරින්මය. ඔවුන් වෙනුවෙන්මය. ඔවුන් විසින්මය.