මී වද පිරුණු වටලප්පමකට නොවරදින රහස්

වටලප්පම් කියන්නෙ ශ්‍රී ලංකාවෙ ඉතාම ජනප්‍රිය අතුරුපස වර්ගයක්. 

එදිනෙදා උයන පිහින කටයුතු වලදි අපි නිතරම යොදාගන්න අමුද්‍රව්‍ය කීපෙකින් නිවසේදීම වටලප්පම් හදාගන්න හරිම ලේසියි. 

ඒ වුනත්, වටලප්පම් හදද්දි අපි රස වගේම සැළකිලිමත් වෙන්න ඕන තවත් කාරණාවක් තමයි වටලප්පම් වල පෙනුම.

නියම වටලප්පමක සිදුරු තියෙන්න ඕන. එතකොටයි අපි එකතු කරන පැණි හොඳින් වටලප්පමට උරාගැනීම සිදුවෙන්නෙ. 

නමුත් බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි කොහොමද මේ සිදුරු තියෙන විදිහට පැණි පාටට වටලප්පම හදාගන්නෙ කියන කාරණාව.

ඔන්න අද අපි ඒ ගැන ඔබට කියල දෙන්න ලෑස්තියි. ඒ වගේම රසම රස පැණි බේරෙන වටලප්පමක් හදාගන්න විදිහකුත් ඔබත් එක්ක බෙදාගන්න අපි ලෑස්තියි.

එහෙනම් මේ පාර හරියටම වටලප්පම් හදල බලමුද ?

ඕනෑවට වඩා කලවම් කරන්න (beat) එපා

ඔබේ වටලප්පමේ සිදුරු නැතිවෙන්න ප්‍රධානම හේතුව ඕනෑවට වඩා වටලප්පම් මිශ්‍රණය කලවම් කිරීම කියල ඔබ දන්නවද ?

බිත්තර කලවම් කරද්දි, බිත්තර සමඟ පැණි මිශ්‍රණය සහ පොල්කිරි කලවම් කරද්දි ඕනෑවට වඩා කලවම් කිරීම සුදුසු වෙන්නෙ නෑ. 

බිත්තර කලවම් කිරීමේදි විනාඩි 02 ක් හෝ 03 ක් කලවම් කිරීම හොඳටම ප්‍රමාණවත් වෙනව. 

යන්තමින් බිත්තර මිශ්‍රණය උඩ එක තට්ටුවක් පමණක් සුදු පාට පුංචි පුංචි බෝල හැදීගෙන එද්දි බිත්තර මිශ්‍රණය කලවම් වී ඇති ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් බව ඔබට අඳුරගන්න පුළුවන්.

හොඳම හකුරු තෝර ගන්න

වෙළඳපොලෙන් හොඳම හකුරු මිලදී ගැනීම නම් තරමක අභියෝගයක් වෙන්න පුළුවන්.

ඔබට කිතුල් හකුරු හොයාගන්න පුළුවන් නම් පැණි රස, පැණි පාට පිරුණු වටලප්පමක් හදාගන්න හරිම ලේසියි.

නමුත්, කිතුල් හකුරු නමින් අද වෙළඳපොලේ බොහෝවිට දකින්න ලැබෙන්නෙ සීනි හකුරු. 

ඉතිං සීනි හකුරු වුනත් වතුරින් දියකරගෙන හොඳ පාටක් පැණි රසයක් ගන්න ඔබට පුළුවන්. 

සාදික්කා නොදා ඉන්න එපා

කරදමුංගු,කරාබුනැටි, සාදික්කා කියන්නෙ වටලප්පමකට ආවේණික රසයක් වගේම සුවඳක් ගෙන දෙන්නත් අපිට උදව් වෙන කුළුබඩු.

මේ අතරින් සාදික්කා ඉතාම විශේෂයි.

සාදික්කා නැතුව වටලප්පම් හදන්න එපා කියලයි අපේ ආච්චිල නම් කතාවටත් කියන්නෙ.

ඉතිං අන්න ඒ නිසා වටලප්පමට සාදික්කා එකතු කරගන්න උපරිම උත්සහ කරන්න. 

ඔන්න එහෙනම් මේ කාරණා ටිකත් හිතේ තියාගෙනම අපි රසම රස වටලප්පමක් හදාගන්න විදිහ බලමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩු කරගත් හකුරු 500 g ක්
  • වතුර 150 ml ක්
  • බිත්තර 8 ක්
  • පොල්කිරි 600 ml ක්
  • කරදමුංගු 3 – 4 ක්
  • කරාබුනැටි 3 – 4 ක්
  • සාදික්කා ½ ක්
  • කුරුඳු කෑලි 2 ක් 
  • වැනිලා තේ හැඳි 1 ½ ක් 
  • ලුණු ස්වල්පයක්
  • තෙල් හෝ බටර් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

මුලින්ම කරදමුංගු, කරාබුනැටි, සාදික්කා සහ කුරුඳු කොටාගෙන වියළි මිශ්‍රණයක් සදාගන්න. 

දැන් භාජනයක් ලිපේ තබාගෙන එයට කුඩුකරගත් හකුරු, කුළුබඩු මිශ්‍රණය සහ වතුර එකතු කරගෙන හකුරු ටික හොඳින් දියකරගන්න. 

හකුරු හොඳින් දියවී පැණි පාට වනවිට ලිපෙන් ඉවත් කර නිමෙන්නට පසෙකින් තබන්න. 

පැණි කරවෙන්න දෙන්න එපා

ඊලඟට තරමක් ලොකු භාජනයක් ගෙන එයට බිත්තර එකතු කර බීටරය (beater) , විස්ක් එක (wisk) හෝ ග්ලවුස් දාගත් අත භාවිත කරමින් විනාඩි දෙක තුනක් පමණ බිත්තර හොඳින් මිශ්‍ර කරගන්න. 

සුදු පාට පුංචි බෝල එක් තට්ටුවක් පමණ ඇතිවන විට බිත්තර කලවම් වුන ප්‍රමාණය ප්‍රමාණවත් බව ඔබට අඳුරගන්න පුළුවන්. 

දැන් හොඳින් නිමී ඇති පැණි මිශ්‍රණය බිත්තර මිශ්‍රණයට එක්කරමින් හැඳි ගාන්න. 

පැණි මිශ්‍රණය හොඳින් නිමී තිබීම අනිවාර්යයි. 

එසේ නොවුනොත් උණු පැණි මිශ්‍රණය බිත්තර සමඟ එකතු වෙලා වටලප්පමේ කැටි සහිත බවක් ඇතිවෙන්න පුළුවන්. 

හොඳින් කලවම් වූ පසු මිශ්‍රණය හැඳිගාන අතරම එයට පොල්කිරි සහ වැනිලා එකතු කරන්න. 

ඉන්පසු, ඔබ කැමති නම් ලුණු ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. 

සියල්ලම හොඳින් කලවම් වූ පසු කේක් තැටියක් හෝ වීදුරු භාජනයක් ගෙන එහි ඇතුළත බටර් හෝ තෙල් ආලේප කරගන්න. 

එවිට අනික් පැත්ත හැරවීමේදී වටලප්පම කැඩීයාමක් සිදුවෙන්නෙ නෑ.

දැන් මිශ්‍රණය පෙරා එම භාජනයට එකතු කරගන්න.

ෆොයිල් කඩදාසියක් භාවිතා කර හොඳින් භාජනය වසා සීල් කරගන්න. 

විනාඩි 45 ක් පමණ හුමාලයෙන් තම්බාගන්න (steam). මේ සඳහා ඔබට පැහෙන වතුර භාජනයක තැබූ ආධාරකයක් මත මිශ්‍රණය ඇති භාජනය තබා පියනකින් වසන්න.

එහෙමත් නැත්නම් ඉඳි ආප්ප තම්බන උපකරණය හෝ රයිස් කුකරය භාවිත කරන්න පුළුවන්.

ඔබ ප්‍රෙෂර් කුකරය භාවිතා කරනවා නම් විසිල් දෙකක් වැදෙන තුරු තැබීම ප්‍රමාණවත් වෙනවා.  

ඊට අමතරව වතුර දමාගත් පැතලි තැටියක් මත තබා අවන් එකේ සෙල්සියස් අංශක  180 උෂ්ණත්වයට විනාඩි 40 ක් පමණ තම්බා ගන්න පුළුවන්. 

විනාඩි 45 කට පසු භාජනය එළියට ගෙන හොඳින් නිමෙන්නට හැර පිහියකින් භාජනය වටා මඳක් බුරුල් කරගෙන අනික් පැත්ත හරවගන්න ඔබට පුළුවන්. 

හොඳින් නිමුනු පසු ෆොයිල් කඩදාසිය මත වටලප්පම් මිශ්‍රණය ගෑවීම සිදුවෙන්නෙ නෑ.

කැමති නම් කජු ටිකකින් සරසල පිළිගන්වන්න ඔබට පුළුවන්.

එහෙනම් මේ විදිහටම රසම රස වටලප්පමක් හදල බලමුද ?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles