මෞර්යා අලුත් කාර්යාලයට හුරුවෙමින් උන්නාය. ඇය මුලින්ම නිර්මාණය කළ යුතු දැන්වීම පිළිබඳව විස්තර ඇතුළත් විද්‍යුත් තැපෑලක් නෙහාරා විසින් එවා තිබුණු අතර මෞර්යා laptop පරිගණකයට එබී ගෙන එය කියවමින් එම දැන්වීම නිර්මාණය කළ යුතු ආකාරය පිළිබඳව සිතෙන් මවා ගත්තාය. ඒ අතරේ වරින් වර කිහිප දෙනෙකු පැමිණ ඉතාම සුහදශීලීව තම තමන්ම හඳුන්වා දුන් අතර දහවල් කෑම සඳහා යාමට ද ඇයට ආරාධනා කළහ.
ආදිත්‍ය කාර්යාලයට පැමිණියේ නමයයි තිහට පමණය. පෙර දින රාත්‍රියේ නින්දක් නොවූ නිසාත් , ෂෙහාරා නිවසට පැමිණෙන තුරු බලාහුන් නිසාත් ආදිත්‍ය උන්නේ විඩාවට පත් වීය. ෂෙහාරා නිවසට පැමිණියේ අලුයම තුනත් පසුවන විටය. නමුත් ඇය වචනයක් හෝ කතා නොකර ඇඳ සිටි ඇඳුම පිටින්ම නින්දට වැටුනාය. ආදිත්‍යයට යන්තමින් හෝ නින්දක් ලැබුනේ ඉන් බොහෝ වේලාවකට පසුවය.
ආදිත්‍ය කෙලින්ම තමන්ගේ කාර්යාල කාමරය වෙතට පිවිසි අතර පුරුදු පරිදි නෙහාරා දවසේ වැඩ සැලසුම අතැතිව ඔහු හමුවට ගියේය. පෙළ ගස්වා ඇති වැඩ සහ රැස්වීම් පිළිබඳව කෙටි විස්තර කිරීමක් කළ පසු නෙහාරා කාර්යාල කාමරයෙන් පිටවන්නට ගොස් නැවත හැරුණාය.
” මිස්ටර් ආදිත්‍ය. අද අර අලුත් ගර්ල් වැඩට ආවා. මං අනිත් අයට නම් එයාව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා. මිස්ටර් ආදිත්‍යයට ඕන නම් මම එයාව ඔෆිස් එකට එවන්නම් “
ආදිත්‍ය මොහොතක් කල්පනා කළේය.අනපේක්ෂිත මොහොතක තමාට උපකාර කළ සුන්දර තරුණිය තමාගේම ආයතනයේ සේවයට පැමිණ ඇත. එහෙත් ඇය සමග කතාබහ කරන්නට හෝ තමාව හඳුන්වා දෙන්නටවත් සුදුසු තත්ත්වයක තමා මේ මොහොතේ නැත.
” මං එයාට පස්සේ කතා කරන්නම් නෙහාරා.ඔයා පොඩ්ඩක් බලලා ඒ ළමයට උදව් කරන්න. අනිත් එක අපේ ග්‍රැෆික් එකේ හේමන්ත හෙඩ් එයාව බලනවනේ ? ”
” ඔව් මිස්ටර් ආදිත්‍යය. අපි හැමෝම එයාට හෙල්ප් කරනවා. මට හිතෙන්න නම් එයාට දවසකින් දෙකකින් අපේ වැඩ අල්ලගන්න පුළුවන් වෙයි.එයා කලින් කරලා තියෙන ඒවා බැලුවහම ඇත්තටම එයා දක්ෂ ළමයෙක් “
ආදිත්‍ය මදහසක් පෑවේය. දැන් ඉතින් ඇය සේවය කරන්නේ තමාගේ ආයතනය නිසා ඕනෑම මොහොතක ඇයව මුණගැසීමට හැකිය. එහෙත් ඊට පෙර තමාගේ හිත නිදහස් කර ගත යුතුය.
” Great. අලුතෙන් කෙනෙක් ආවහම එයාට හෙල්ප් කරලා මේ Company එක ගැන හොඳ impression එකක් අපි දෙන්න ඕනේ නෙහාරා. එතකොට තමයි අලුතෙන් එන කෙනෙකුට වුනත් මෙතන රැඳෙන්න හිතෙන්නේ ”
නෙහාරා ආදිත්‍යගේ ඒ අදහස අනුමත කරමින් කාර්යාල කාමරයෙන් පිටව ගියාය. ඇය කෙලින්ම ආවේ මෞර්යා වැඩ කරන තැනටය.ඒ වන විට මෞර්යා දැන්වීමක් නිර්මාණය කරමින් උන්නාය. ඇයගේ අවධානය දැඩිව ඒ වෙත යොමු වී තිබුණු අතර නෙහාරා ඇය අසලට පැමිණි බවත් ඇයට දැනුනේ නැත.
” Excuse me මෞර්යා ? ”
මෞර්යා තිගැස්සුනාය. නෙහාරාට සිනහ පහළ වූයේ ඇය තිගැස්සුණු ආකාරය දැකය.
” අනේ සොරි.මං ඔයා එනවා දැක්කේ නැහැ ”
” ඒකට කමක් නැහැ. මං දැක්කා ඔයා ඔයාගේ වැඩේට බැහැලම ඉන්නවා. ඔයාට තව මොනවා හරි දැනගන්න ඕනේ නම් ඔයාගේ හෙඩ් මිස්ටර් හේමන්ත අන්න අතන රූම් එකේ ඉන්නවා. ඒ නැතත් ඔයාට මේ ඕන කෙනෙක්ගෙන් ඕන දෙයක් දැනගන්න පුළුවන් ”
” අනේ තැන්ක්යූ නෙහාරා. ඔයාලා හරිම හෙල්ප්ෆුල් ”
” අනිත් එක අපේ අනිත් බොස් ඇවිල්ලා ඉන්නේ. හැබැයි එයාට දැම්ම ඔයාව හම්බවෙන්න විදිහක් නෑ කියලා කිව්වා. ඔයාට කොයිවෙලේ හරි එයා කතා කරයි ඒකටත් ලෑස්ති වෙලා ඉන්න හරිද ? “
නෙහාරා වෙනත් කාර්යයක් සඳහා පිටව ගියාය. අභිමන් හැරුණු කොට මේ ආයතනයේ ප්‍රධාන ධුරය හොබවන අනෙක් ප්‍රධානියා සේවකයකු මුණගැසීමට වෙලාවක් සකස් කර ගැනීමට නොහැකි තරම් කාර්ය බහුල පුද්ගලයෙකු විය යුතු යයි මෞර්යා කල්පනා කළාය.
ආදිත්‍ය කාර්යාල කාමරයට වී එදින නිම කළ යුතු වැඩක් නිමකරමින් උන්නේය. දහවල් දොළහ පමණ වන විට දුරකථනය නාද වූ අතර දුරකථන තිරයේ සටහන් වූයේ ” Wife ” ලෙසය. මෙවැනි වෙලාවක ෂෙහාරා තමා අමතන්නේ ඉතාම කලාතුරකිනි. ඒ සිතුවිල්ලෙන්ම ආදිත්‍ය දුරකථන ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තේය.
” ෂෙහාරා ,කියන්න “
” ආදිත්‍යය ඔයා ඔෆිස් එකේ නේද ඉන්නේ? “
ෂෙහාරා කතා කළේ කුමක් හෝ අපහසුවකින් බව ආදිත්‍ය තේරුම් ගත්තේ ඇගේ කටහඬේ වූ මලානික ස්වභාවය අනුවය.
” ඔව් ෂෙහාරා. ඇයි ? ”
” ඔයාට බැරිද ගෙදර එන්න ? මට හරි අමාරුයි අනේ ”
ආදිත්‍ය සැණෙකින් පුටුවෙන් නැගිට්ටේය.ඒ බොහෝ කලබලයෙනි.
” ඇයි ඔයාට මොකද ? ”
” දන්නැද්ද ඉතින් ඊයේ පොඩ්ඩක් වැඩි වුනා.ඔලුව පැලෙන්න රිදෙනවා. ඔයාට බැරිද කන්න මොනවා හරියි පේන් කිලර්ස් මොනවා හරියි අරගෙන එන්න. ඕඩර් කලත් මං පල්ලෙහාට බහින්න එපැයි ඕක අරගන්න.පල්ලෙහට යනවා තියා මට ඇඳෙන් බැහැගන්න බෑ අනේ ”
ආදිත්‍ය සුසුමක් හෙළුවේය.ඔහු සිතුවේ ෂෙහාරාට කුමක් හෝ හදිසි අසනීප තත්ත්වයක් ඇති වී ඇතැයි කියාය. එහෙත් ඇය සිටින්නේ පෙර දින රාත්‍රියේ ඕනෑවට වඩා මත්පැන් පානය කිරීම නිසා ඇති වූ ශාරීරික අපහසුතාවයකිනි. කෙසේ වෙතත් තම බිරිඳ වූ ෂෙහාරා ඉල්ලීමක් කළ විට එය පැහැර හැරිය නොහැක. ආදිත්‍ය වාහනයේ යතුර ගෙන කාර්යාල කාමරයෙන් පිටතට පැමිණ අභිමන්ගේ කාමරය වෙතට ඇතුළු වූයේය.
” මල්ලි. මං පොඩ්ඩක් ගෙදර යනවා.ෂෙහාරට සනීප නෑ ”
අභිමන් කරමින් හුන් කාර්ය නවත්වා ආදිත්‍ය දෙස බැලුවේය.
” ඇයි මොකද අයියේ ? ”
” නෑ නෑ එහෙම ලොකු දෙයක් නෙමෙයි මං ගිහිල්ලා ඉක්මනට බලලා එන්නම් ”
” හදිසියක් නෑ ඔයා ඒක බලාගන්න , මම ඉන්නවනේ ඔෆිස් එකෙ ”
අභිමන් කොහොමටත් එහෙමය. තම එකම සහෝදරයා මුවින් නොකීවාට සිටින්නේ කුමක් හෝ ගැටලුවක බව කාලයක් තිස්සේ අභිමන් නිරීක්ෂණය කරමින් උන්නේය. තම මව පවා ඒ පිළිබඳව යම් යම් දේවල් දැන උන්නත් කිසිම විටෙක තමා සමග කතා නොකළද මතක ඇති කාලයක සිටම මව සහ පියාගේ ගැටුම් දුටු අභිමන්ට මේවායෙහි අරුමයක් වූයේ නැත.
මෞර්යා උන්නේ කාර්යාලයේ එහා කෙළවරේය. එම නිසා ඇය ආදිත්‍ය ගේ සේයාවක් හෝ දුටුවේ නැත. ආදිත්‍ය කලබලයෙන් කාර්යාලයෙන් පිටවී විදුලි සෝපානයට නැගුණේ තමා ඉක්මනින් පැමිණෙන බව වට්සැප් පණිවිඩයක් ඔස්සේ ෂෙහාරාට දන්වා යවමිනි.
ආදිත්‍ය තලවතුගොඩ පිහිටි Spar එක වෙත ගොඩවී ලෙමන් ගෙඩි කිහිපයකුත් , ෂෙහාරා කන්නට ප්‍රිය කරන කෑම වර්ග කිහිපයකුත් , වේදනා නාශක පෙති කිහිපයකුත් මිලදී ගෙන වාහන අංගනයේ නවතා තිබූ වාහනයට ගොඩ වූයේය. වාහනය පණ ගන්වන්නට පෙර ආදිත්‍ය මොහොතක් කල්පනා කළේය. මෙය තමා පැතූ ජීවිතය නොවේ. ජීවිතයක මානසික නිදහස තිබිය යුතුය. තමා ජීවිතයට එකතු කරගන්නා සහකාරිය හෝ සහකාරයාද ඒ මානසික නිදහසේ කොටසක් විය යුතුය. එහෙත් බොහෝ කාලයක සිට තමා බලාපොරොත්තු වූ ඒ මානසික නිදහස වෙනුවට තමාට ලැබෙන්නේ දරා ගත නොහැකි තරමේ මානසික පීඩාවක් පමණි.
ආදිත්‍ය තවත් විනාඩි කිහිපයක් ඇතුළත නිවසට පැමිණියේය. නිවසට ඇතුළු වූවද එය නිහඬතාවයෙහි ගිලී ඇත්තේ ෂෙහාරා සිටින්නේ උඩුමහලෙහි නිසාය. මුළුතැන්ගෙයට පිවිසි ආදිත්‍ය ලෙමන් ගෙඩියක් මිරිකා එයට සීනි , ලුණු ,ගම්මිරිස් ස්වල්පයක් සහ අයිස් වතුර එකතු කර ලෙමන් යුෂ සකස් කර එය වීදුරුවකට දමා ගත්තේය. ෂෙහාරා බත් වලට වඩා ප්‍රිය කරන්නේ වෙනත් කෙටි කෑම වර්ග වලට නිසා ආදිත්‍ය මිලදී ගත් කුකුළු මස් සහ චීස් පැස්ටා එකද පිඟානකට දමා ගෑරැප්පුවක් සමඟ ට්‍රේ එකක් මතින් තැබුවේය. ලෙමන් යුෂ වීදුරුවද තවත් වතුර වීදුරුවක් ද ට්‍රේ එකේ පසෙකින් තබාගෙන ආදිත්‍ය තරප්පුව නැග කාමරයට ඇතුළු වූයේය.
ෂෙහාරා සිටියේ බ්ලැන්කට්ටුව තුල ගුලි වී දුරකථනය අතැතිවය.
” ෂෙහාරා ”
ෂෙහාරා බ්ලැන්කට්ටුව එහාට කර හැරී බැලුවේය. ආදිත්‍ය අත තිබූ ට්‍රේ එක බෙඩ් සයිඩ් එක මතින් තබා ඇඳ මතින් වාඩි වුයේය.
” ලෙමන් ජූස් හැදුවා. ඒක හිස්බඩ බොන්න හොඳ නෑනේ.පැස්ටා එක කාලා ඒක බොන්න ”
ආදිත්‍ය සාක්කුවේ වූ වේදනා නාශක පෙති කිහිපයද බෙඩ් සයිඩ් එක මතින් තැබුවේය.
” කාලා ඒක බිව්වට පස්සේ මේකෙන් එකක් බොන්න ”
ෂෙහාරා මොහොතක් ආදිත්‍ය දෙස බලා උන්නාය. තමා එක් දුරකථන ඇමතුමක් ලබා දුන් සැනින් සියලු වැඩ පසෙකලා මේ තමා ඉදිරිපිටට පැමිණ සිටින්නේ තමාගේ සැමියාය යන හැඟීම ෂෙහාරාට මොහොතකට ඇති විය. ඇය හිස හරවා බෙඩ් සයිඩ් එක මත ඇති ට්‍රේ එක දෙස බැලුවාය.
” ඇයි ආදිත්‍යය ඔයා මෙච්චර මං ගැන හිතන්නේ ? ”
ෂෙහාරා මිමිනුවාය. තප්පර කිහිපයකට පසුව ආදිත්‍ය ඇඳෙන් නැගිට්ටේය. ඔහු පිටව යන්නට දොර අසලට ගොස් නැවත හැරී බැලුවේය.ඒ වන විටත් ෂෙහාරා උන්නේ ආදිත්‍ය දෙසම බලාගෙනය.
” අපි දෙන්නා එක පවුලක් නිසා.ඔයා මගෙ වයිෆ් නිසා ”