තෑගි 

මුළු ඔෆිස් එකම ජනවාරි පළවෙනිදා ට අලුත් වෙන බව කුසුමාවතී පුරුද්දෙන් දන්නවා. සර්ලා කොහොම වුනත්  මිස්ලා ටික නම් එකිනෙකාට නොදෙවෙනි වෙන්න ඇඳ පැළඳගෙන එනවා. ගිය අවුරුද්ද වෙනකල් නම් කුසුමාවතීත් ජනවාරි පළවෙනිදා ට අලුත් සාහය හැට්ටයක් ඇන්දා. අලුත් කොණ්ඩ කට්ටක් ගැහුවා. අලුත් සෙරෙප්පු දෙකක් දැම්මා. ඒත් විමලසේන නොකල වරදකට  සිර ගත  වුනාට පස්සේ කවුද කුසුමාවතී ගැන එහෙම හොයලා බලන්නේ.

කුසුමාවතී තමයි කාර්‍යාලයේ අතුපතු ගාලා පිරිසිදු කරන රාජකාරි වල ඉඳන් තේ හදලා කට්ටිය ළඟටම ගෙනල්ලා දෙන රාජකාරි කරන්නේ. කාර්‍යාලයේ හැමෝටම කුසුමාවතී අම්මා කෙනෙක් ගානයි. 

විමලසේන සිර ගත වෙලා දැන් මාස දෙකක්.කුසුමාවතී ට  විමලසේනව ඒ උගුලෙන් ගලවගන්න කරන්න දෙයක් වැටහෙන්නේ නැති කමට නෙවෙයි මේ ඉන්නේ. කලු ගල් වල ඔලුව හප්පගන්න හය්යක් නැති නිසා. කෙල්ලෝ දෙන්නාත් එක්ක තනියෙන් ඉන්න ගෙදරට ගිණි තියලා පවුල පිටින්ම අලු කරලා දාන්න තරම් පහත් මිනිස්සු එක්ක හැප්පෙන්න එපාම කියලයි විමලසේනත් කියන්නේ. 

පතිරණ මහත්තයා ගේ ගල් මෝලේ තමා විමලසේන වැඩ කලේ. එතැන වෙච්ච ආරෝවකදී පතිරණ මහත්තයා සමරසේනට පහර දුන්නා. ඒ පහර කාගෙන සමරසේන මැරිලා වැටුණා. කොහොමද මන්දා නූල් සූත්තරයක් දාලා ඒකට හා කලේ විමලසේනව. එකපාරටම පොලිසියෙන් ඇවිල්ලා ජීප් එකට දාගන්නකොට විමලසේන වික්ශිප්ත වුණා. ඒකත් විමලසේනට අවාසියට හිටින විදියට තමයි කරුණු එකතු වුණේ. 

පතිරණ මහත්තයා ඇති පදමට සල්ලි විසි කරපු නිසා විමලසේන වැරදිකාරයා වුණා.  විමලසේන එහෙම දෙයක් කරේම නෑ කියලා කතා කරගන්න   කුසුමාවතීවයි කෙල්ලෝ දෙන්නවත් ඉස්සර කරගෙන පතිරණ මහත්තයා මුණ ගැහෙන්න ගිය වෙලේ ඒ ඇස් කෙල්ලෝ දෙන්නා දිහා ගිලින්න වගේ බලාගෙන ඉන්නවා කුසුමාවතී ඇඳින්නා. එදාට පස්සේ ඒ පැත්ත පලාතේ නොගිහින් ඉන්න කුසුමාවතී තීරණය කලා. 

“අම්මේ… අම්මා පලවෙනිදා ඔෆිස් යන්න අලුත් ඇඳුමක් ගත්තේ නෑනේ…”

පලවෙනිදා පන්ති යන්න ලොකු කෙල්ලට මහපු ගවුම අත ගගා බලන ගමන් පොඩි කෙල්ල කියනකොට කුසුමාවතී හිනා වුනා විතරයි. 

“අපරාදේ අම්මා මට ගවුම් මැහුවේ.. අම්මා ඇඳුමක් ගන්න තිබුණේ…”

ලොකු කෙල්ලෙ කාමරේ ඉඳන් එහෙම කියනකොට කුසුමාවතී ගවුම් කරෙන් කඳුළු පිහිදුවා.

“ඔෆිස් එකේ මිස්ලා සර්ලා ඔක්කොමල ලස්සන අලුත් ඒවා ඇඳන් එනකොට අම්මා විතරක් පරණ එව්වා ඇඳන් යන්නේ කොහොමද ?’

ලොකු කෙල්ල ආයේ අහනවා.

“කසාද බැඳලා මාව එක්කන් ආවත් හරි, අලුත් අවුරුද්දට,සිංහල අවුරුද්ද ට උඹලෑ තාත්තා තමා මාව අලුත් ඇඳුමෙන් සැරසුවේ…ඒ මනුස්සයා නැතුව මට අලුත් ඇඳුම් වලින් පලක් නෑ ලොකූ… නොකල වරදකට හිර බත් කන මිනිහා වෙනුවෙන් මට මේ මාස දෙකක් තිස්සේ මුකුත් කරගන්න බැරුව ගියානේ…”

කුසුමාවතී ට ඇඬෙනවා. නීතීඥ මහත්තුරු මුණ ගැහෙන්න ගිය වාර අනේකයි. ඒත් ඒ ඉල්ලන මුදල් වල සීමාවක් නෑ. දැනට නඩුවට කතා කරන නෝනාටත් සෑහෙන්නම ගෙවලා. ඒ සල්ලි හොයාගත්තේ සන්තකේ තිබුණ කරමාලෙයි, වළලු තුනයි විකුණලා. ඊටත් පස්සේ වෙන්නේ ඔප්පුව උකසට තියන්න කියලත් කුසුමාවතී දන්නවා.   ඒත් තවම විමලසේන එහෙමමයි.

“අම්මේ… තාත්තා වරදක් කලේ නැති බව අපි දන්නවනේ… “

“ඒ දැනගෙනත් අපි මෙහෙම ඉන්න එකනේ මට උහුලන්න බැරි ..”

කුසුමාවතී කතාව එතැනින් නැවැත්තුවා. ඊයේ හවස් වරුවේම කාර්‍යාලයේ කට්ටිය පලවෙනිදා ට සූදානම් වුණ විදිය කුසුමාවතී ට මතක් වුණා.

කෑම මේසේට කෑම වර්ග ඕසේටම බෙදුණේ කට්ටිය අතරේමයි. උදේ හීල් දානයක් වෙනුවෙනුත් කාරණා සූදානම් වෙනවා  ඇහුණා. පිරිකර ගැන කතා වෙනවා ඇහුණා. වෙනදාට නම් මේ හැමදේටම කුසුමාවතීත් සම්බන්ධ වෙනවා. ඒත්, මේ වතාවේ එහෙම හිතක් නැහැ. 

” දෙය්යෝ බුදුන් ඉන්නවා නම්,  මේ අහිංසකයා නිරපරාදේ අච්චු වෙන්න විදියක් නෑ..”

කුසුමාවතී එහෙමයි හිතුවේ.

සිකුරාදා නඩු වාරයක් තියෙන්න තිබුණත් ඒක නැහැ කියලා නීතීඥ නෝනා කෝල් කරලා කීව නිසා තව මාසයක් හමාරක් ආයේ බලාගෙන ඉන්න වෙන බව කුසුමාවතී දන්නවා. 

“කිරිබත් කෑල්ලක් උයන්, උදෙන්ම එයැයි බලලා දවාල වෙලා ඔපීසියට යනවා…. සර්ට කියනවා පරක්කු වෙනවා කියලා    “

කුසුමාවතී එහෙම තීරණය කරා. 

ඒ විදියටම කියන්න ඇමතුමක් ගත්තා.

“සර්.. මම පලවෙනිදා ටිකක් ප්‍රමාද වෙලා එන්නද ?”

“බෑ බෑ… පලවෙනිදා කොච්චර වැඩ තියෙනවා ද… කුසුම් ඇන්ටි උදෙන්ම එන්න ඕනි… හත වෙද්දි එන්න …”

කුසුමාවතී දිග හුස්මක් හෙලුවා. කෙල්ලෝ දෙන්නාවත් බලාගෙන වේලක් ඇර වේලක් හරි කන්න තියෙන්නේ ඔය රස්සාව විතරක් බව කුසුමාවතී දන්නවා. ඒ නිසාම, සර්ලාගේ හිත් රිදවන්නේ කොහොමද ?

කුසුමාවතී කිරිබත් හැදුවේ නෑ. ලොකු කෙල්ල කුසුමාවතී ට තිබුණ හොඳම ඇඳුම අයන් කරලා සූදානම් කරලා තිබුණා. කුසුමාවතී හයයි පනස්පහ වෙනකොට ගේට්ටුව ළඟ. ඒ වෙනකොටත් එක්කෙනා දෙන්නා ඇවිල්ලා හිටියේ.

කුසුමාවතී ගේ බෑග් තියාගන්නේ තේ හදන කාමරේම කොනක. කුසුමාවතී බෑග් එක තියලා, අතුපතු ගාන්න ආපහු හැරෙනකොටමයි දැක්කේ මේසේ කොනක තිබුණ පාර්සලේ. සිකුරාදා යනකොට ඔක්කොම අස් පරස් කරලා ගිය නිසා මේක ඊට පස්සේ ආව එකක් බව කුසුමාවතී ට විශ්වාසයි. 

කුසුමාවතී ඒ පාර්සලේ එහෙට මෙහෙට හරවලා බැලුවා. නුහුරු හුරුවක් හිතට දැනුණත්, ආයේ ඒ ගැන හිතන්න වෙලාවක් නැති බව දන්න නිසාම කුසුමාවතී ඒක මේසේ උඩ එහෙමම තියෙද්දී ආපහු හැරුණා. 

“දෙය්යනේ…”

ඉස්සරහින් විමලසේන. ඊට පිටිපස්සෙන් කෙල්ලෝ දෙන්නා. ඒ ළඟම නීතීඥ නෝමා.  ඊටත් පිටිපස්සෙන් කාර්‍යාලේ හැමෝම. හැමෝගෙම මූණු වල හිනාව වැක්කෙරෙනවා.

“ඇඳුම් ඇඳගෙන එමු අම්මේ…”

“බුදු අම්මේ… මට ආයේ අලුත් ඇඳුම් මක්කටෙයි .. මගේ දෙය්යෝ…”

කුසුමාවතී විමලසේනව වැළඳගත්තා.නීතීඥ නෝනා බෑග් එකෙන් පාර්සලයක් ඇදලා අරගෙන කුසුමාවතී ගේ අතේ මිටමෙලෙව්වා. කුසුමාවතී ඒ දිහා පුදුමෙන් බැලුවා.

“ඔෆිස් එකේ යාලුවෝ මගේ සම්පූර්ණම බිල් ගෙව්වා … මුල ඉඳන්ම…ඉතින් මේ මුදල් ආයේ මේ අම්මාට…”

කුසුමාවතී වටපිට බලනවා.

“ලෝයර් නෝනව මුණ ගැහිලා මේ හැමදේම කතා බහ කරලා සූදානම් කලේ අපේ සුරත් මහත්තයා … පතිරණ මහත්තයා සමරසේනගේ නෝනා  එක්ක කාලෙක ඉඳන් සම්බන්ධතාවයක් තිබිලා… ඒකේ ප්‍රශ්න වලට මේක කලේ කියලා සමරසේනගේ නෝනාම අද සාක්කි දුන්නා..  ෆැක්ට්‍රි එකේ සිකිටුරිටි ඉන්න අංකල් විමලසේනගේ පැත්තට සාක්කි දුන්නා….”

එච් ආර් අංශයේ  සංකල්ප මහත්තයා එහෙම කියනකොට කුසුමාවතී ට හිනාව බේරෙනවා. ඒ අස්සේ ඇඬුම්.

“මගේ අවුරුද්ද තියෙන්නේ අලුත් ඇඳුම් වල නෙවෙයි … මේ තුන්දෙනාගේ හුස්ම ඩිංග අස්සේ …”

කුසුමාවතී එහෙම නොකිව්වට ඒ මූණේ හිනාව දැක්ක හැමෝටම ඒක තේරුණා.

2024 සුබම සුබ වේවා …!!!

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles