“එතකොට තාත්තා ඔය ඉඩම් සම්බන්ධ කිසිම දේකට බාප්පත් එක්ක ඒ ජී ඔෆිස් එකට එහෙම නැත්නම් වෙන තැනකට ගිහිල්ලා නැද්ද..”
“දන්න තරමින් නෑ…”
“හැබැයි බාප්ප දවසක් ඇවිල්ලා තාත්තත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා වත්ත පල්ලෙහාට එක්කරගෙන ගියා. ඒ ගිහිල්ලා ආවේ පැයකට විතර පස්සේ. එදායින් පස්සේ තමයි බාප්ප අපේ ගෙදර ආවෙ නැත්තේ. තාත්තා හිටියෙ ලොකු කල්පනාවක. ඊට පස්සේ ග්‍රාම සේවක මහත්තයා හම්බවෙන්නත් ගියා. ඒ ගිහින් ඇවිල්ලත් කල්පනා කර කර ඉන්නකොට අම්මා දෙපාරක් තුන්පාරක් ඇහුවා. මොනවද කල්පනා කරන්නේ කියලා”
“එතකොට තාත්තා අම්මට මොනවද කිව්වේ”
“මොකුත් නෑ කියලා ඉස්සර වෙලා කිව්වා. පස්සේ ආයෙම දෙපාරක් තුන්පාරක් අම්මා අහනකොට තාත්ත හයියෙන් ඇහුවා මගේ ඔලුව කන්නද ගෑනියෙ හදන්නේ කියලා.”
“එහෙම නිතරම තාත්තා සැරෙන් කතා කරන කෙනෙක්ද..”
“අනේ නෑ. මගේ තාත්තා හරි විහිලුයි සර්. එයා නිතරම විහිළුවෙන් ඉන්න කෙනෙක්. සමහර වෙලාවට මමත් එක්ක එකතු වෙලා අම්මට මොනවා හරි කියල කේන්ති ගස්සනවා. තවත් සමහර වෙලාවට ඒ දෙන්නත් එක්ක මට මොනවා හරි කියලා කේන්ති ගස්සනවා.”
“එහෙම කේන්ති යන්න ලොකු හේතුවක් තියෙන්න ඇති නේද….”
“කොහොමත් ඒ ප්‍රශ්න වලින් පස්සේ තාත්තා හිටියෙම කේන්ති අරගෙන. ඒ මුණේ හිනාවක් විහිළුවක් තිබුණෙ නැති තරම්. අපි තාත්තා එක්ක කතා කරන්නත් බය උනා..”
“ඊට පස්සේ මොකද වුනේ කියලා අපූර්වට මතක විදිහට මට කියන්න. තාත්තා විශේෂ කෙනෙක් හම්බවෙන්න ගියා නං ගෙදරට ආවනං ඒ අය ගැන.”
“ඊට දවස් දෙක තුනකට පස්සේ තාත්ත ලෑස්ති වෙලා කිව්වා මං අලුත්ගම යනවා කියලා. අම්ම ඇහුවහම මොකටද කියලා හරියට උත්තරයක් දුන්නේ නෑ. එදා තාත්ත ත්‍රීවිල් එකේ මමත් එක්කම ගිහිල්ලා මාව නර්සරි එක ළඟින් දාලා තමයි අලුත්ගම ගියේ. ඒ විදිහට දවස් කිහිපයක්ම එක දිගටම තාත්ත අලුත්ගම ගියා. ඒ ගොඩත් දවස් වලට තාත්තා ගෙදර ආවෙ බීලා”
“ඒක තාත්ත පුරුද්දක් වශයෙන් කරපු දෙයක්ද.”
“අනේ නෑ…..එහෙම තනියෙන් බීලා නෑ. ත්‍රීවිල් පාක් එකේ මාමලා දෙන්නයි චින්තන අයියයි එක්ක කොහේ හරි ගියොත් තමයි බීලා එන්නේ. මළ ගෙදරක මගුල් ගෙදරක වගේ….එහෙම ආපු දවසක තමයි බාප්පා නඩු දාපු කතාව කිවුවේ..”
“එතකොට අම්මා මොනවද කිව්වේ…”
“අම්ම ඇස් දෙක උඩ තියාගෙන බලාගෙන හිටියා. ආච්චි තමයි ප්‍රශ්න ඇහුවේ. පළවෙනි වතාවට තමයි තාත්තා ඒ තරම් කේන්ති අරන් ඉන්නවා දැක්කේ. තාත්තා ආච්චිට පුදුම ආදරෙයි. එදා ආච්චිට කෑ ගහලා බැනලා අඬලා පොඩි පුතාගෙන් ගිහිල්ලා අහගන්න කියලා කාමරයට ගිහිල්ල දොර වහ ගත්ත. ඊට පහුවෙනිදා සෙනසුරාදා දවසක් නිසා මම ටිකක් දවල් වෙලා නැගිට්ටේ. අම්මා එතකොට අඬ අඬා හිටියේ. ඇහුවහම කිව්වා තාත්තා කොහේ ගියාද කියලා දන්නේ නෑ. ආච්චි බාප්පලයි ගෙදර ගියා කියලා.”
“කවුද තාත්තට උදව් කලේ ලෝයර්ලා හොයන්න එහෙම නැත්නම් විස්තර හොයාගන්න.”
“ඒ කිසිම දෙයක් ගැන අපිට කිව්වෙ නෑ සර්. අම්මට කිව්වෙත් නෑ. අවුරුද්දකට කිට්ටු වෙන්න නඩු කිව්වා. ඒ අවුරුද්දේම හිටියේ තාත්තා නෙමෙයි. ඒ පීඩනයෙන් අපිත් හරියට දුක් වින්දා සර්. ‘උඹලට මං ලොකු වැරැද්දක් කලා..’ කියලා තාත්තා හැමතිස්සෙම කිව්වා.”
“චුට්ටක් ඉන්න අපූර්වා..ඒක තාත්තා නිතරම කියපු දෙයක්ද.”
“ඔව්…..”
“ඒ වැරැද්ද මොකක්ද කියල ඔයාලා කොයිම වෙලාවකවත් ඇහුවේ නැද්ද.”
“නෑ සර් තාත්තා ඒක වැරැද්දක් කළාට කියපු දෙයක් නෙමෙයි. තාත්තා හිතෙනවා අපිට සොල්දර ගෙදරත් ඉඩමත් නැති උනේ තාත්තාගේ වරදකින් කියලා. ඒකයි තාත්තා එහෙම කිව්වේ..ඇයි සර් මෙච්චර ඒ ගැන මගෙන් අහන්නේ..”
“නිකන් අපූර්වා. මං ඉතින් ලෝයර් කෙනෙක්නේ. මං හිතනවා ඉතින් හැම නඩුවකම මට ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා.”
“සර් කවද හරි මේ ලෝකේ ලොකුම ලෝයර් වුණත් සල්ලි නිසා අසාධාරණය පැත්තට නම් කතා කරන්න එපා. ඒක හරි පවක්. අපි වගේ අසරණ වෙච්ච විඳවන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඇති. මිනිස්සු සල්ලි හම්බ කරන්න ඕනේ තමයි සර්. ඒ උනාට තවත් මනුස්සයෙක්ගේ ජීවිතවලට දුකක් දීලා දරු පවුල් පිටින් අනාථ කරලා සල්ලි හොයන්න හිතන්නවත් එපා. අපි කොච්චර ඒ ලෝයර්ට සාප කරනවද අද…”
යුගාෂ් ඇයට විරුද්ධව හෝ පක්ෂව කිසිත් පැවසූයේ නැත. අපූර්වාගේ දෑස් වල වූ කඳුළක් සිමෙන්ති බංකුව මත වැටී බොඳව යන අයුරු ඔහු බලාගෙනය. අවසන ඕ කෙසෙල් කොලය පිළිවෙලකට එකතු කලේ නැඟී සිටින්නටය.
“අපූර්වා මම මේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්නැති මෙච්චර බත් කන්න ඇත්තේ. ඔයා සිමෙන්ති කොට්ටයක් වගේ බත් එකක් දිගාරිද්දි මං හිතුවෙ මං ඒකෙන් කටවල් පහ හයකට වඩා කන එකක් නෑ කියල. ඔය ඔක්කොම නවත්තලා රෙස්ටුරන්ට් එකක් කලානම් හරි. ඔය ආස නැද්ද ඒ පැත්තට.”
“එහෙම දෙයක් ගැන හිතලා තිබුනෙ නෑ සර්…”
“අත සෝද ගෙන එන්නකෝ..”
යුගාෂ් යළි වාහනය වෙත ඇවිද ගියේ එසේ පවසමින්ය. පිටුපස අසුනෙහි වූ ෆයිල් කවරයක් අතට ගත් ඔහු යළිත් යුවතිය වෙත පැමිණෙද්දී ඈ උන්නේ වතුර පානය කරමින්ය.
“අපූර්වා…..මං ඔයාව ඕපන් යුනිවර්සිටි එකේ කවුන්සලින් කෝස් එකකට රෙජිස්ටර් කලා. සම්පූර්ණම කෝස් පී එක ගෙවලා තියෙන්නේ. ඔයා ඉරිදට ලෙක්චර්ස් යන්න ඕනේ. අපහසුම දවසක ඔයාට ඔන්ලයින් ලෙක්චර්ස් වලට යන්න පුළුවන්. පුළුවන් තරම් ෆිසිකලි ලෙක්චර්ස් වලට සහභාගි වෙන්න උත්සාහ කරන්න.”
ඔහු පැවසුවේ ෆයිල් කවරය ඈ වෙත දිගු කරමින්ය.
“සර් මේ මට…”
“ඔව් ඔයාට තමයි.”
“එතකොට ඔයා මොන්ටිසෝරි කෝස් එක ඉවර කරලනේ තියෙන්නේ. ඒකෙ තව ඔයාට කරන්න මොනවා හරි තියෙනවද…”
“නෑ සර්…”
අපූර්වා පාඨමාලාව පිළිබඳව විස්තර ඇතුලත් ලිපි ගොනුවෙහි එකින් එක පෙරලා බැලුවේ දෑස් විසල් කරගෙනය.
අවසනම වූයේ සම්පූර්ණ පාඨමාලාව සඳහාම මුදල් ගෙවූ කුවිතාන්සියයි. එහි මුදල සටහන්ව තිබුණේ එක් ලක්ෂ හතළිස් තුන්දහස් දෙසීය අසූවක් යනුවෙන්ය. එවේලෙහි අපූර්වා යුගාෂ් දෙස බැලුවේ ඉහළට ඇදගත් හුස්ම පහළට හෙළන්නවත් අමතකව ගිය ගණනටය.
“අනේ… මේ…සර්..මේ මෙච්චර…..”
“අපූර්වා ඔයාට වැදගත් දෙයක් දෙන්න ලැබීමේ සතුට විතරයි මේ වෙලාවේ මගේ ළඟ තියෙන්නේ. පටන් ගන්න දවස ඔයාට එහෙන් කෝල් කරලා කියයි.”
“සර් කොහොමද මගේ ඩීටේල්ස් දන්නේ මේ ඇප්‍රිලිකේෂන් පුරවන්න එග්සෑම් රිසාල්ට එහෙම.”
පුදුමය ඡයා පිටපත් වල වූ සියල්ල නිවැරදිමය.
“ඔයාට මතකද නිලන්ති එදිරිවීර..”
“ඔව්…..අපි වයිස් ප්‍රින්සිපල්.”
“එයාගේ නංගි මගේ බැජ් මේට් කෙනෙක්. මං දන්නවනේ ඔයා පණ්ඩිතයි කියලා.”
“මං දන් නෑ මං සර්ට මොනවද කියන්න ඕනේ කියලා. සර්ව හම්බවෙච්ච හැම දවසකම මට ජීවිතේ අලුත් තැනකින් පටන් ගන්න අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙනවා. සර් මම තාත්ත නඩුවට ගතපු ණය සල්ලි ගෙවල ඉවර වෙච්ච ගමන්ම ටික ටික සර්ගේ සල්ලි ගෙවන්නම්”
“ඒක ඔයාලගේ පැත්තෙ මිනිස්සුන්ගේ හැටිද…”
යුගාෂ් එවර ඇසුවේ සිනහව තද කරගෙනය.
“ඒ කිව්වේ සර්…”
“තෑග්ගක් දුන්නහම ඒකට සල්ලි ගෙවන එක.”
යුවතියට මේ සතුට බර වැඩි බව ඔහුට විශ්වාසය. එහෙත් කාලය යනු ආපස්සට හරවා රැක ගත හැකි එකක් නොවන බවද විශ්වාසය. තවදුරටත් ඇයට දෛවයට වෛර කරන්නට ඉඩක් නොදිය යුතුය. මේ ගෙවී යන්නේ යුවතියගේ ජීවිතයේ හොඳම කාලයය.
“අම්මව අපිට ලබන බ්‍රහස්පතින්දා ඩොක්ටර්ට පෙන්නන්න කොළඹ එක්කරගෙන යන්න පුළුවන් අපූර්වා. අංකල් නවලෝක හොස්පිට්ල් එකට එනවා කිව්වා හවස හතරට. ඔයා මට ලොකේෂන් එක දාල තියන්න අපූර්වා මම යාළුවෙක්ගෙ වාහනයක් එවන්නම්. ඔයා හොස්පිට්ල්l එකට එන්න මම එතනට එන්නම්.”
අපූර්වා එවර හිස වැනුවේ නිහඬවය. මේ ජීවිතය තුළ බොහෝ දේ සිදුවෙමින් පවතින බව විශ්වාසය. ඒ සමහරක් සිතාගත නොහැකි තරමටම පුදුම උපදවන සුළුය. යුවතිය තවමත් සිටින්ටන් ඒ පුදුමයෙහි කරවටක් ගිලී හේතු සොයමින්ය.
“ඇයි මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නේ……”
නිහඬව ගෙවී ගිය විනාඩි කිහිපයකට පසුව ඇය හිස ඔසවා යුගාෂ් දෙස බැලුවේ දෑස් වල වූ කඳුළු එලෙසම තිබියදීය.
“මේ වෙලාවේ ඒ කිසිම දෙයක් ඔයාගේ හිතට බරක් කරගන්න එපා අපූර්වා. ජීවිතයේ හැම තැනකදිම හැමදේකදිම ඔයත් එක්ක මම ඉන්නවා කියලාා හිතන්න. දැනට ඒ ඇති. ඔයා දැකපු ලස්සන හීන එකින් එක හැබෑවෙලා ඔයා මේ ජීවිතේ දිනපු දවසට ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි අපූර්වා. එතකල් ඔයත් එක්ක හිනා වෙන්න, අඬන්න, දුක් වෙන්න වගේම සතුටු වෙන්නත් මං ඔයා එක්ක ඉන්නවා…”
අපූර්වා උන්නේ යුගාෂ්ගේ දෑස් දෙසම බලාගෙනය. ඒ දෑස් තුළ වූ ආදරණීය ඇරයුම හඳුනා ගන්නට ඇයට අපහසු වූයේ නැත. ඔහු පවසන්නේ මේ ජීවිතයට ඔහු ශක්තියක් වන බවය.
‘හැමදාම මේ විදියට මගේ ළඟ ඉන්න පුළුවන්ද……’එසේ අසන්නට වුවමනා වුවත් අපූර්වා වචන ගළපා ගන්නට දැන සිටියේ නැත. දහස් වරක් සිතුවිලි ප්‍රශ්න කරද්දීත් ඇය නිහඬ වූයේ එනිසාය.
“හැමදාම ඔයත් එක්ක ඉන්නවා……ජීවිතය දුකක් උනත් සතුටක් උනත්..”
යුගල් එසේ පැවසූයේ ගැඹුරු හඬින්ය. ඇය නෑසූ ප්‍රශ්නයට පිළිතුර ලැබී තිබිණ. එය පොරොන්දුවක් සරිය. කඳුළු අතරින්ම අපූර්වා වාගේ දෑස් හිනැහුනාය. ඒ පොරොන්දුව තුළ තම සතුට පරිස්සමට තබන්නට අපූර්වා දෙවරක් සිතුවේ නැත.
අවසන යුගාෂ නැගී සිටියේ නිහඬව ගෙවී ගිය විනාඩි කිහිපයකට පසුව. පවසන්නට දහසක් දේ වුවත් නිහඬකම වඩාම සුදුසුයැයි ඔහු අවසන සිතුවේය.
“ඔයාට රෑ වෙනවා. කමක් නැත්තං මම ගේ ළඟට දාන්නද…”
දෙපැයකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියේ විනාඩියක් දෙකක් සේය. යුවතිය හිස ඔසවා තමා අසල සිටගෙන සිටින තරුණයා දෙස බැලුවේ මහත් වූ ලෝබකමකින්ය. ඉන්පසුව ඇය තම අත් ඔරලෝසුවට එබුණාය.
“අපේ ගෙවල් පාරේ යන බස් එක තියෙනවා හතරහමාරට. ඒ බස් එකේ හේෂානිත් යනවා…මං ඒකෙ ගියාට කමක් නැද්ද.”
“එහෙනම් අපි එහෙම කරමු..යාළුවත් එක්ක සෑහෙන්න කෝප්ප හෝදන්නත් ඇතිනේ..සතුටින් ඉන්න. ගොඩක් දුක් විඳපු මිනිස්සු තමයි ජීවිතය දිනුවේ. මිනිසුන්ගේ හැම කඳුළකටම වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම අපි හොයා ගමු අපූර්වා.”
අපූර්වා හිස වැනුවේ යුගාෂ් එසේ පවසද්දීය. ඒවා හිස් වදන් නොවේ. ඒ තුළ විශ්වාසය, ආදරය, රැකවරණය උපරිමයෙන්ම තිබුණායැයි අපූර්වාට සිතිණ. යුගාෂ් තම දකුණත දිගු කලේ යුවතියට නැගී සිටින්නටය.
( යළිත් හමු වෙමු ආදරයෙන්)