යසස්වී වෙහෙරගොඩ, සුළඟත් එක්ක සෙලවී කිංකිණි හඬක් නගනා, සඳැල්ලේ වහළ කෙළවර මල් කැටයම් වඩිම්බුවේ එල්ලුණු සුළං සීනුව දෙස බලා සිටියා ය. සැඳැල්ලට එන හැම වතාවක ම ඒ මිහිරි නදින් සවන් පිරී යයි. වේවැල් පුටුව මතට වී ඒ හඬ අසා ඉන්නා එක වෙනස් ම භාවනාවකි. යසස්වී ඊට රිසි ය.
සඳැල්ලෙහි වඩිම්බුවේ පමණක් නොව මෙවන් කුඩා සුළං සීනු, තුසිතයෙහි සුළං වදිනා ස්ථාන කිහිපයක ම එල්ලී තිබේ. පෝටිකෝවෙහි ඒවා පෙළකි. ඇතැම් ගසක අත්තක ද සුළං සීනුවක් දැකිය හැකි බව යසස්වී නිරීක්ෂණය කළා ය.
‘ඇයි අර අච්චර වින්ඩ් චයිම්ස් එල්ලල තියෙන්නෙ… මෙහෙ ඒව හදනවද… නැත්තං විකුණනවද…’
ඈ සිය කුතුහලය සන්සිඳුවාගනු වස් වජිරා විමසුවා ය. ඇගේ මුවෙහි නැගුණේ මඳහසකි.
‘අපොයි නෑ. ඕව ගෙනත් එල්ලන්නෙ අපේ චූටි පුතා. මාත් ඒත් කියනව ඔය එකක් දෙකක් තිබ්බහම මදැයි කියල. ඒත් දැක්කොත් කොහෙන්හරි තව එකක් උස්සං ඇවිත් ගහක අත්තකින් හරි එල්ලනව’
‘ඒක ශෝක්’
‘ඇයි…’
‘මන්දා. මං ආසයි ඒ සද්දෙට’
‘චූටි පුතත් ඔහොම තමයි කියන්නෙ’
‘ඒ කියන්නෙ එයා මං වගේ’ කියා ඈ කීවා නොව සිතුවා පමණකි. ඒ සිතිවිල්ල තුළ දී යසස්වී ගේ තොල් කොනක් සමච්චලයට ඇද වී තිබිණ.
ඈ දැන් සිටින්නේ සතුටෙනි. අනුරාධපුරයේ ගෙදර දී ගත කළ අවසාන කාලයේ දැනුණ හුස්ම හිර කරනා සංවේදනය දැන් දැනෙන්නේ නැත. නමුත් ඉඳහිට උදාරගෙන් දුරකතන ඇමතුමක් එන වෙලාවක, කතා කරන්නටත් පෙරදී ම හුස්ම නතර වෙයි. ඇතැම් විට ඇය ඒ ඇමතුමට පිළිතුරු නොදී දුරකතනය නිහඬ වෙන්නට හරියි. එතකොට උදාර හැසිරෙන්නේ වෙඩි වැදුණ ඌරෙකු සේ ය. ඔහු එක දිගට කී වතාවක් හෝ දුරකතනය හඬවයි. යසස්වී කතා කරන්නේ ඒ කන්දොස්කිරියාවත් ඉවසන්නට බැරි හෙයිනි.
‘මොකද ෆෝන් එකට ආන්සර් කරන්නැත්තෙ…’
කියා ඔහු අසන්නේ ඇඟට කඩා පනිමිනි. ළඟ සිටියේ වී නම් යසස්වී ගේ හිස හරහා පහරක් එල්ල කරන්නට තරම් ඔහු කේන්තියෙනි.
‘මං කැම්පස් එකේ ඉන්නෙ’
කියා යසස්වී පවසන්නේත් කෝපය පාලනය කරගනිමිනි. ගෙදර සිටියදී බොරුවට එසේ කීව ද ඇගේ ආවේගය නම් ඇත්තට ම ය.
‘අද කැම්පස් නෑනෙ…’
‘තියනව. ඔයා දන්නෙ කොහොමද මට ලෙක්චර්ස් තියන නැති දවස්… අනික හැමදාම එකම දවස් නෙවෙයි… වෙනස් වෙනව සමහර වෙලාවට’
‘ඒ මොක වුණත් මං කතා කරපු ගමං ෆෝන් එක ගන්න ඕනෙ’
කෝපය පුපුරා හැළුණත් යසස්වී කිසිත් නො කියා මුව තදකොට පියාගනී. සල්ලිකාර නූගත් රස්තියාදුකාරයෙකු එක්ක එකට එක කියාගන්නවා කියන්නේත් මෝඩකමකි. ඔහු හින්දා ම ඇය වැඩිපුර දුරකතනය අක්‍රිය කොට තබයි. මේ මිනිහා මේ තරමට ඈ හඹා එන්නේ ඔහු ට වෙනත් ස්ත්‍රීන් නොමැති නිසා නොවන බව යසස්වි දනී. ඔහු ට ඕනෑ කර තිබෙන්නේ සිය අන්තඃපුරයෙහි ඈ අගමෙහෙසි කරගන්නට ය. තාත්තා ට පූසා මැටියෙන් හැදූවත් කම් නැත. මීයන් අල්ලනවා නම් එපමණකි. උදාරගේ පියාගේ ව්‍යාපාර වල වත්කම් ගැන පමණක් ඔහු හිතයි. අම්මා කියන දෙයක් ඔහු කනකට ගන්නේ නැත. නැතහොත් සැර දමා ඈ නිහඬ කරවයි. සිය සොයුරිය සමග කතා කොට යසස්වී කොළඹ නවතන්නට පියාට හොරෙන් රහස් කුමන්ත්‍රණ කළේ අම්මා ය. නමුත් ඇය ප්‍රසිද්ධියේ සැමියාට විරුද්ධව කතා කරන්නට තරම් දිරියක් නැති සම්ප්‍රදායික බිරිඳකි.
තුසිතයේ තත්වය එහෙම නොවේ. එබැවින් යසස්වී තුසිතයේ ජීවිතයට කැමති ය. වජිරා සේ ම විජිත ද ආදරණීය ය. වෙහෙරගොඩ මුදලාලි වාගේ මුදල් හම්බ කිරීම මුළු ජීවිතයේ එක ම අරමුණ නො කරගත් විජිත, ජීවිතයෙහි සුන්දරත්වය විඳින මිනිසෙකි. ආදරය එකතු කරන හා බෙදන මිනිසෙකි. ඔහු ගේ සිනහව සරල ය. විටෙක ඒ උස් සිනහවෙන් තුසිතය පිළිරැව් නැගේ. වෙහෙරගොඩ මුදලාලි නම් සිනහ වෙන්නට දන්නේ හෝ නැත. ඔහු සිනහ වී ඇති දවසක් යසස්විට මතක නැත.
උයාගෙන කන්නට පවා ඉඩ නොදුන් නිසා, වජිරා උයන වෙලාවට යසස්වි මුළුතැන්ගෙයි කැරකේ. වජිරා ගේ කෑම රසැති ය. ඇය හොදි මාළු ඒදන විදිහ, අම්මා දම්මි හොදි ඒදන විදිහට වැඩිය වෙනස් ය. බලා ඉන්නට ආස ය. යසස්වී ඒ වෙලාවට වජිරා ළඟට වී ඇගෙන් සියල්ල ප්‍රශ්න කරමින් බලා සිටී. වජිරා ට අත් උදව් දෙයි. කලින් තනිව කෑම පිසිද්දී මෙන් නොව දැන් වජිරා ට පාළු නැත. ඉහුම් පිහුම් කලාවේ ඈ දන්නා සියලු ශිල්ප ක්‍රම ඇය යසස්වි ට කියා දෙයි. දුවක නැති අඩුව එතකොට වජිරා ට අමතක ම වී යයි. යසස්වී ද සිය මවට වැඩියෙන් ඇයට සමීප වූ වජිරා කෙරේ විශේෂයෙන් බැඳෙමින් සිටියා ය. ඇගේ වැඩ බෙදා ගනිමින්, ඇයට අත් උදව් දෙමින්, ඇයට යෙහෙළියක වෙමින් සිටියා ය.
‘එහෙම ඉතිං අකමැති කෙනෙක්ව බඳින්න බෑනෙ. රෝස මලක් වගේ කෙල්ලෙක් ඉද්දි… තමුන්ටත් සල්ලි තියෙද්දි… මොන එහෙකට දරුවා අකමැති සල්ලිකාරයෙක් බන්දන්න හදනවද…’
වජිරා නො රිස්සුමට පත්ව මූණ රතු කරගෙන කීවා ය. යසස්වි ගේ යෝජිත පෙම්වතා ගැන ඇය දැනගත්තේ ඒ සති අන්ත සැඳෑවේ ය. ඒ වෙලාවේ යසස්වී ගෙවත්තෙන් කඩා ගත් හීන් නාරං ගෙඩි වලින් සිසිල් බීමක් පිළියෙළ කරමින් සිටියා ය. අස්විද හමුවන්නට පැමිණ සිටින ඔහු ගේ මිතුරු රයන් වෙනුවෙන් වජිරා කෝඩියල් තනන්නට සැරසෙත්දී ය යසස්වී නාරං යෝජනාව ගෙනාවේ.
‘මං කොළඹට පැනගත්තෙ කොහොමහරි ඕකෙන් ගැලවෙන්න ආන්ටි. බැචොලර් එක ඉවර වුණාට පස්සෙ… කොහොමහරි මාස්ටර්ස් කරන්නත් එක්ක රටකට පැනගත්තොත් මං එන්නෑ ආයෙ ඔය මිනිහ වෙන ගෑනියෙක්ව බඳිනකල්. දෙයියම්ප’
වජිරා සිය සිනහව නිකටෙහි සඟවාගත්තා ය. යසස්වී සුදු වීදුරු වලට ලා කහ පැහැති නාරං යුෂය දැමුවා ය. බන්දේසියෙහි ගෙදර සියල්ලන් වෙනුවෙන් නාරං යුෂ වීදුරු විය.
‘මට උස්සං යන්නත් බෑ වගේ. අනික් ඒව අයින් කරල චූටි පුතාගෙයි යාළුවගෙයි ග්ලාස් දෙක විතරක් තිබ්බනං හරි පුතේ’
වජිරා බන්දේසිය ඔසවා බලා යළිත් එය පැන්ට්‍රි මේසය මතින් තැබුවා ය.
‘ඉන්නකො’ කියමින් යසස්වී එය දෑතින් ගත්තේ ඉනික්බිතියි.
අස්විදත් ඔහුගේ මිතුරාත් කතා කරමින් සිටියේ ඉදිරිපස මිදුලේ සිමෙන්ති බංකුවෙහි ය. බීම වීදුරු සහිත බන්දේසිය ගෙන ඔවුන් වෙත එන යුවතිය දෙස රයන් ඇස් පිය නො සලා බලා සිටියේ ය. අස්විද නම් වරක් ඇය දෙසත් මිතුරා දෙසත් බැලුවා පමණකි. රයන් බීම වීදුරුව ගත්තේ අඩ සිනහවකිනි. අස්විද එය ගත්තේ නො ගෙන බැරිකමට වාගේ ය.
‘ආන්ටි වැඩට ගෑනු ළමයෙක් අරං වගේ…’
යසස්වී සමග ම මිදුලට පැමිණි වජිරා වෙතට රයන් විහිළුවක් කළේ ය. යසස්වී ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නට නො ගොස්, යන්තම් සිනහ වී බන්දේසියත් ගෙන යළි ගෙතුළට ගියා ය. පිරිමින්ගේ ළාමක විහිළු වලට කොහොමටත් ඇය ප්‍රතිචාර දක්වන්නට යන්නේ නැත.
නාරං යුෂ යයි කී විට විජිත බීම වීදුරුව ප්‍රතික්ෂේප කළේ ය.
‘ඕව ඇඹුල්. මට එපා දුව’
ඔහු ඊට හේතුව ද කීවේ ය.
‘ඇඹුල් නෑ. මේ… බීල බලන්නකො’
කියමින් යසස්වී බලයෙන් ම බීම වීදුරුව ඔහු ට දුන්නා ය.
‘ඇත්ත නේන්නං. මීට කලිං අපේ ගෙදර අය හැදුවහම කටේ තියන්න බෑ ඇඹුල්’
‘හරියට පදමට හැදුවහම එහෙම නෑ අංකල්. ඕන දේක රස තීරණේ වෙන්නෙ පදම මත තමයි. නාරං ඇඹුලට ලුණුයි සීනියි අයිසුයි ගාණට වැටෙන්න ඕනෙ’
‘ඒක හරි පුතා. ජීවිතේ වුණත් රස වෙන්නෙ පදම හරියට දැනගත්තහම තමයි. දුවට කවදහරි ඒ පදම අල්ලගෙන ජීවිතේ රහට ගෙවන්න පුළුවන් වෙයි’
යසස්වී ගේ රතදර අතරෙහි අවිනිශ්චිත සිනහවක් ඇඳිණි. සිය අනාගතය කෙසේ විසඳෙන්නට නියමිත ද කියා ඇය දන්නේ නැත. නමුත් තමන් වෙනුවෙන් සටන් කරන්නට ඇය හිතට පිළිණ දී සිටී. ඒ සටනෙහි ජය පරාජය කෙසේ වේවිද කියා සිතා ගත නො හැකි ය.
වජිරා ගෙතුළට පැමිණි පසු රයන් වහා ඔහු ගේ හිත නො සන්සුන් කළ ප්‍රශ්නය පිටතට දැමුවේ ය.
‘ඇත්තටම ඒ සූටි නංගි කවුද බං…’
‘පිස්සුනං නටන්නෙපා. අම්මගෙ යාළුවෙක්ගෙ දුවෙක්ලු. මෙහෙ යුනි එකකට යන නිසා අපේ ගෙදර නවත්තල. පොඩ්ඩක් විනීතව හැසිරියං… වයසට ගැලපෙන විදිහට’
‘වයස… වයස බලන්නැතුව දෙන දෙයියො උඹේ ගෙදරටම ගෙනත් දීල වගේ නේ…’
‘මොනාද ඕයි කියවන්නෙ… පොඩි ළමයෙක්’
‘මගේ පුංචි රෝස මලේ… මමයි නුඹේ වියපත් බඹරා… නුඹ හීනෙන්වත් නො දකින කුමරා… නුඹ හීනෙන්වත් නො දකින කුමරා… මේ දවස්වල උඹ ඔය සින්දුව කිය කිය ඉන්නව ඇති නේ…’
‘අඩෝ උඹ හිතං ඉන්නෙ මං වියපත් බඹරෙක් කියලද… තාම වියපත් නෑ යකෝ… මේ ඉන්නෙ දහ අටේ කොල්ලන්ට වැඩිය හොඳ ෆිට් එකේ…’
රයන් හඬ නගා සිනහ වූයේ ය. අස්විද ගේ පිරිමි හද පුරා ද හදිසි ප්‍රහර්ෂයක් පැතිර ගියේ ය. ඔහු ගේ දෑස් සඳැල්ල දෙසට හැරුණේ එහි ඡායාවක් සේ යම් රුවක් දුටු බැවිනි. මල් කැටයම් වඩිම්බුවේ එල්ලෙන පිත්තල පාට සුළං සීනුව යටින් අත්ල දිගුකොට තබාගෙන එදෙස බලා සිටිනා කිරිගරුඬ ප්‍රතිමාව යසස්වී ය. එක්වර සිය දෑස් මුදාගන්නට අස්විද ට අමතක වූ තරමි. නමුත් ඔහු බලා සිටිනු දුටු ගමන් යසස්වී වහා එතැනින් ඉවත් වූවා ය. මේ දර්ශනය දෙස බලා උන් රයන් ගේ සිනහව පුපුරා ගොස් ඔහු ගේ මුවෙහි වූ නාරං යුෂ උගුර පිටතට විසිරී ගියේ ය. අස්විද ඔහු ට රැව්වේ ය.
‘මගේ පුංචි රෝස මලේ… මමයි නුඹේ වියපත් බඹරා… නුඹ හීනෙන්වත් නො දකින කුමරා…’
‘පිස්සු ඕයි තමුසෙට’
මිතුරා ට තරහක් පෙන්වන්නට උත්සාහ කළා ට, එහෙම කියත්දී අස්විද තුළින් සිනහවක් ද උපදිමින් තිබිණ.