“මොකක් හරි ප්‍රශ්නයක්ද?” ඇය ඇසුවාය. ඔහු ඇය දිහා එක එල්ලේ බැලුවේය.
“ප්‍රශ්නයක් නම් තමයි.” ඔහුගේ හඬේ තිබුණේ සැඟවුණු බරපතළකමකි.
ඒ පිළිතුරත් සමග හිත ගැස්සුන බවට සමුධ්‍යාට සැකයක් නැත. මෙච්චර කාලයක් ඔවුන් එකට මුහුණ දීපු හැම අභියෝගයකදීම නොසැලී සිටිද්දී අරුණගේ හඬේ මෙයාකාර බරපතල හැඟීමක් තැවරී නොතිබුන බව සමුධ්‍යාට විශ්වාසය. අරුණගේ ඇස්වල තිබුණේ සමුධ්‍යාට තේරුම් ගන්න බැරි ගැඹුරු සිතුවිල්ලකි. හිරු බැස ගොසින් අහස කළුවර වෙද්දී, ඒ නිශ්ශබ්ද වෙරළ තීරයේ ඔහුගේ වචන, සමුධ්‍යාගේ සිතට එක්කලේ අමුතු බරකි. අරුණ කියන්නට යන්නේ කුමනාකාරයේ කතාවක්ද කියා සිතාගන්නට නොහැකි තැන සමුධ්‍යා හුස්ම ගන්නට පවා අමතක වෙලා මෙන් අරුණ දෙසම බලාගෙන සිටියාය.
“සමුධ්‍යා…” ඔහු ඒ ඇසුවේ වඩාත් පහත් එහෙත් මුදු බව තැවරුණ කටහඬකිනි. ඔහුගේ දෑස් ඇගේ දෑස්වල සිර වී තිබුණි. “මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.”
එතෙක් වේලා මුහුදු රළ පහසින් සසලව පැවති වෙරළ තීරය මොහොතකට නිශ්ශබ්ද වූවාක් මෙන් සමුධ්‍යාට දැනුණි. ඇගේ හදවතේ ගැස්ම ඇයටම ඇසෙන්නට තරම් ඒ නිහඬතාවය දැඩි විය. අරුණ කියන්නට යන දේ කුමක්දැයි ඇගේ සිතට සිතුවිලි දහසක් එක්රැස් විය. බිය, කුතුහලය, සහ බලාපොරොත්තුව යන හැඟීම් එකවරම ඇගේ සිත වෙලා ගත්තේය. ඔහුගේ දෑස්වල තිබූ ගැඹුරු හැඟීම් ඇයට විනිවිද දකින්නට උත්සාහ කළත් ඒ වනාහී අසීරු දෙයක් විය.
“සමුධ්‍යා… මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා දණ ගහලා සම්ප්‍රදායික ප්‍රපෝසල් එකක් කරන්න මං ආස නෑ. ඒක මට පුරුදු දෙයක්වත්, ඒක මගේ වයිබ් එකවත් නෙවෙයි ඒකයි. ඔයා දන්නවනෙ මං ගැන. ඒ හන්දා මං හිතනවා ඔයා මට ඒකට එක්ස්කියුස් එකක් දෙයි කියලා. වෙච්ච ප්‍රශ්න එක මං හිතන්නෙ අපි දෙන්නට හම්බුනේ අනිත් ලව් කරන කපල්ස් වලට වගේ හරිම කාම් රොමැන්ටික් විදියට පටන් ගත්ත ලව් ස්ටෝරි එකක් නෙවෙයි. මං හිතනවා ඒකටත් ඔයා මට සමාව දෙයි කියලා.මොකද ඒ හැම දේකටම හේතු වෙච්ච අය අතරෙ ඉස්සරහින්ම මගෙ තාත්තයි මල්ලියි ඉන්න හන්දා. ඒත් ඒ හැමදෙයක්ම දරාගෙන, මට ඔයාට සාමාන්‍ය කොල්ලෙක් වගේ ආදරේ කරන්න බෑ කියලා දැන දැනත් ඔයා මේ කාලෙම මාත් එක්ක මගෙ ලඟින් හයියට හිටියා.
ඔයා වගේ කෙනෙක් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා කියන්න ඕනම කොල්ලෙක් මේ ලෝකේ ඉන්න කැමති වෙයි.
ඒත් මම තවදුරටත් ඒක එහෙමයි කියන්න ආස නෑ සමුධ්‍යා. ඒ හන්දා මම මෙහෙම අහන්නම්. මට හැමදාම ඔයා ළඟින් ඉන්න ඕනේ. ඔයා කැමතිද මගේ ජීවිතේ ඉතුරු ටික මගේ එක්ක ගත කරන්න? ඔයා කැමතිද මාව කසාද බඳින්න?”
සමුධ්‍යා උන්නේ කිව යුත්තේ කුමක්දැයි හිතාගන්නට නොහැකිවය. ඇගේ දෑස් තිබුනේ කඳුලින් පිරී ගොසින් ය. ඒ වනාහි බොහෝ දිනකට පසුව දෙනෙත්වල පිරුණ සතුටු කඳුලු බව දන්න නිසාම සමුධ්‍යා ඒ කඳුලු පිසදාගන්නට උත්සහ කලේ නැත.
හදවත සතුටින් පිරිලා ගියත්, ඒ සතුටත් එක්කම නොයෙකුත් සිතුවිලි ගොඩක් හිතට ආ නිසාවෙන්ම සමුධ්‍යා මොහොතක් නිහඬව අරුණ දෙස බලා සිටියාය. මේ මොහොත තමන් මෙතරම් ඉක්මනින් ජීවිතේට එතැයි බලාපොරොත්තු නොවුණු දෙයක් බව දන්නා නමුත් අරුණගේ ඉල්ලීම තමන්ව කෙතරම් සතුටට පත් කරන්නට හේතු උනත් සමුධ්‍යාගේ මනස තිබුණේ අතීතයේ කටුක මතකයන් සහ අනාගතයේ ඇතිවිය හැකි අභියෝග අතර දෝලනය වෙමිනි. තමන්ව කොන්දේසි විරහිතව පිළිගන්නා මේ මිනිසාට තමන්ගේත් ඔහුගේත් අතීතය බරක් නොවේවිද යන බිය ඇගේ සිතේ දවන්නට විය.
අරුණ සමුධ්‍යාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහුගේ ඇස්වල තිබුණේ ඉවසීමයි, ගැඹුරු ආදරයයි. ඒ ආදරය නිසාවෙන්ම සමුධ්‍යාගේ දෑස්වල තිබූ සැකමුසු බැල්ම වටහා ගන්නට අරුණට අපහසු වූයේ නැත.
“අරුණ…” සමුධ්‍යා හෙමින් සැරේ තමන්ගේ කටහඬ අවදි කරන්නට යෙදුනේ අරුණ එවන් සිතුවිලි අස්සේ සිරව ඉද්දීය. ඇගේ හඬ වෙව්ලන්නට විය. “මට… මට මේක හිතාගන්න අමාරුයි. මට හිතාගන්න බැරුව අරුණ මම ඉන්නෙ. ඇත්තටම මම මේ තරම් සතුටු වෙලා නැහැ. ඒත්…”
ඇගේ හඬ බිඳී ගියේ ඒ වදන් සමගමය. සමුධ්‍යා අරුණ දිහා බැලුවේ වචනයෙන් කියාගන්නට බැරි බොහෝ දේ දෙනෙත් අස්සේ ඇඳ තබාගෙනය.
“අරුණ, අපි දෙන්නටම ගොඩක් ප්‍රශ්නවලට මූන දෙන්න උනා පහුගිය කාලෙ. ඔයාගේ පවුලටත්, මට, සත්සරාලට විශේෂයෙන්ම ඔයාගේ අම්මාට. එයා මාත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ. එයා තාමත් හිතේ පොඩි හරි තැනකින් හිතනවා මේ හැමදේම උනේ එයාට එයාගෙ හස්බන්ඩ් වගේම එක පුතෙක් නැති උනේ මං හන්දා කියලා. මේ හැමදේම එක්ක ඔයා හිතනවද කවදාවත් අපි දෙන්නට එකතුවීමක් තියේවි කියලා? ඔයාගෙ අම්මා කීයටවත් කැමතිවේවිද අරුණ මං වගේ එයාට උන්නු වටිනම දෙන්නෙක් නැතිකරන්න හේතුවෙච්ච කෙනෙක්ව එයාගෙ අනිත් පුතාට බන්දලා දීලා එයාට මේ ලෝකෙ ඉන්න එකම කෙනාවත් නැති කරලා දාන්න?”
එසේ කියද්දිත් සමුධ්‍යාගේ අත තිබුනේ අරුණගේ අතේ තදින් වෙලී ය. ඇගේ ස්පර්ශයෙන් ඔහුට ඇගේ සිතේ තිබූ නොසන්සුන්තාවය හොඳින් දැනුණ බව ඇත්තකි.
“මගේ අතීතේ. මට වෙච්ච දේවල්. ඔයාට අම්මා එක්ක ප්‍රශ්න ඇති කරන්න හේතුවෙයි නේද? මේ හැමදේම දරාගෙන ඔයාට ඇත්තටම මං එක්ක ජීවිතේ ඉතුරු ටික ගත කරන්න පුළුවන්ද?” කියා විමසද්දී සමුධ්‍යාගේ ගේ ඇස්වල තිබුණේ බයක්, අවිනිශ්චිත බවක් මුසුවුන බැල්මක් බව අරුණ හැඳිනගත්තේය.
“මට ඕන නම් ආදරේ කියලා එකපාර ඔයා අහපු දේට ඔව් කියල උත්තර දෙන්න පුලුවන් කම තිබ්බා අරුණ. ඒත් මං මේක අවංකවමයි අහන්නෙ. අපි දෙන්නගෙ හිත්වල අපි දෙන්නා ගැන තියෙන්නේ තාවකාලික ෆීලින් එකක් නෙවෙයි කියලා දැන දැනම ජීවිත කාලෙටම පවතින බැඳීමක් එරෙන පොලොවක් උඩ හදන්න යන එක මෝඩකමක් නෙවෙයි කියලද ඔයා හිතන්නෙ?
අපිට ඉස්කෝලෙ යන කාලෙ ළමයි වගේ බොලඳ විදියට තීරණ ගන්න බෑ නේද? මං එහෙම දේකට ඉඩ දෙන්නෙත් නෑ. ඔයා හිතනවා ඇති ඔයාට අම්මාව වෙනස් කරගන්න එහෙම නැත්තම් අම්මා කියන දේ අහන්නෙ නැතුව මාව තෝරගන්න පුලුවන් කියලා. ඒත් කීයටවත් ඒක කරන්න එපා අරුණ. මං කීයටවත් ඒකට ඉඩ දෙන්නෙ නෑ. මොක උනත් ඔයාගෙ අම්මට දැන් මේ ලෝකෙ තමන්ගෙ කෙනෙක් කියලා ඉන්නෙ ඔයා විතරයි අරුණ. එයාට ජීවත්වෙන්න තියෙන ඒ එකම එක ස්ට්‍රින්ග් එකත් එයාට නැතිකරන්න එපා”
සමුධ්‍යාගේ අත්දැකීම් ඇයව පරිණත කර තිබුණි. ජීවත්වෙන්නට ආදරය පමණක් ප්‍රමාණවත් නොවන බව ඇය අවබෝධ කරගෙන සිටියාය. සමාජයේ යථාර්ථය සහ ඔවුන්ට මුහුණ දීමට සිදුවන පීඩනය පිළිබඳව ඇය දැන සිටියාය.
අරුණගේ දෑස් තවමත් ඇගේ දෑස්වල සිර වී තිබුණි. ඔහු ඇගේ දෑස්වල තිබූ බිය සහ අවිනිශ්චිත බව පැහැදිලිව දුටුවේය. ඇගේ කඳුළු පිරුණු දෑස්වලින් ප්‍රශ්න දහසක් විමසන බව ඔහුට හැඟුණි. ඇය බිය වන්නේ තමාට නොව, තමාට සහ තම පවුලට අනාගතයේදී සිදුවිය හැකි කරදර පිළිබඳව බව ඔහු තේරුම් ගත්තේය.
“මගේ අම්මා ගැන ඔයාට හිතෙන දේ මට නොතේරෙනවා නෙවෙයි. එයා තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ. ඒත්, එයාට කවදා හරි මේ හැමදේම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එයාගේ දුක නිසා තමයි එයා සමහර වෙලාවට එහෙම හැසිරෙන්නේ. මම එයාටත් මේ හැමදේම තේරුම් කරලා දෙන්න මම ට්‍රයි කරන ගමන් ඉන්නෙ සමුධ්‍යා. මම දන්නවා එයාගේ හිත හැදෙන්න කාලයක් යයි. ඒත්, මම ඒක අතාරින්නේ නැහැ. මම එයාට තේරුම් කරවන්නම් ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. මට විශ්වාසයි කාලයත් එක්ක එයා හැමදේම තේරුම් ගනීවි.
මට ඕන ඔයාගේ සතුට. ඔයා සතුටින් ඉන්නවා නම් ඒ ඇති. මම කිසිම දවසක ඔයාව අත්හරින්නේ නැහැ. මට ඕන ඔයා මාව විශ්වාස කරන්න විතරයි”
ඔවුන් දෙදෙනා වෙරළේ වැලි මත හිඳගෙන, අනාගතය ගැන කතා කළහ. ඔවුන්ගේ සිහින, බලාපොරොත්තු, සහ බිය පවා ඔවුන් බෙදා ගත්හ.
එහෙත් ඒ අනාගතය සැබෑවක් වේද යන කුකුස හිත දෙකක් අස්සේ එකමාකාරයෙන් ගැහෙන්නට පටන් ගෙන තිබුණි.