මිෂෙල් උදෑසන සිටම ධීර ව සම්බන්ධ කර ගන්නට උත්සහ කරත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. මිෂෙල් ඇඳෙන් නැගිට සූදානම් වූයේ හෝටලයට ගොස් හෝ ඔහුව මුණ ගැසීමට අධිෂ්ඨාන කර ගෙනය.
” බලමුකෝ දැන් එයා නටන හැටි ”
මිෂෙල් ඇත්තටම උන්නේ ධීර කෙරෙහි කෝපයකිනි. තමාට උවමනා දේ කෙසේ හෝ කර ගැනීමට ඇය කල් බලමින් සිටි අතර ඇය නිවසින් පිට වූයේ ධීර මේ මොහොතෙහි අනිවාර්යයෙන්ම සිටින්නේ හෝටලයෙහි බව දන්නා නිසාය.
තාදී පුරුදු සන්සුන් බවින් යුතුව ධීර ට දුරකථන ඇමතුමක් දී වසන්ත ගජනායක තමා හමුවීමට පැමිණි බව ධීර ට පැවසුවාය. ධීර ඕනෑවටත් වඩා කලබල වූයේ එය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් නිසාය.
” කලබල වෙන්න එපා කියලා මං කිව්වනේ ධීර. ලොකු දෙයක් සිද්ධ වුණේ නෑ මෙතන ”
ධීර එය විශ්වාස කළේ නැත. මේ මොහොතේ මේ විවාහය කරදීම සඳහා තම පියා ඕනෑම දෙයක් කිරීමට සූදානම් ධීර දනී. ඇරත් තම පියා ස්වභාවයෙන්ම කළහකාරී සහ කේන්තිකාරයකු නිසා තාදී කියනා ආකාරයට කිසිවක් සිදු නොවූ බව පිළිගැනීමට නොහැක. වසන්ත ගජනායක නොකියා තර්ජනයක් කර ගිය බව තාදී කියන්නටද ගියේ නැත.
” අනේ මං ලොකු වැඩ වගේකට හිරවෙලා ඉන්නේ තාදී. තව විනාඩි විස්සකින් විතර මං පිටත් වෙනවා ”
ධීර කීවේ කලබලයෙනි. තාදීව මුණගැසී සිදුවූ සියල්ල අසා ගත යුතු වුවත් මේ මොහොතේ අතිශය කාර්ය බහුල වීම නිසා ධීර උන්නේ කර කියාගත දෙයක් නොහැකිවය.
” කොහේ යන්නද ? “
” ඔයාව හම්බ වෙන්න. මට වෙච්ච දේ හරියටම දැනගන්න ඕනේ ”
” හරි හරි කලබලයක් නෑ ඔයා හෙමිහිට වැඩ ටික ඉවර කර ගෙන එන්න. කලබල වෙන්න තරම් දෙයක් වුණේ නැහැ ධීර. තාත්තා කියපු දේවල් අහගෙන ඉඳලා මං උත්තරයක් දුන්නා ”
” මොකක්ද ඔයා දීපු උත්තරේ? ”
” මං කිව්වා ඉතින් මං මේක නවත්තන්නේ ඔයා කැමති නම් විතරයි කියලා ”
ධීර තත්පර කිහිපයක් නිහඬව සිටියේය. තාදී එවැනි උත්තරයක් දෙන්නට අනිවාර්යෙන්ම තම පියා මේ සම්බන්ධයෙන් නතර කරන ලෙසට තාදී ට කියන්නට ඇත. දැන් තිබෙන්නේ සටනේ හොඳම හරිය ය. තාදී නොවන්නට මේවාට මුහුණ දෙන්නේ කෙසේදැයි ධීර ට සිතා ගන්නට වත් නොහැකි විය.
ධීර දුරකථන ඇමතුම අවසන් කළේ තවත් විනාඩි විස්සකින් පමණ හෝටලයෙන් පිටත් වන බවට තාදී ට පොරොන්දු වෙමිනි.
මිෂෙල් හෝටලය දෙසට වාහනය පැදවූයේ ධීර ට කියන්නේ මොනවාදැයි සිතමිනි. ඔහු හිතා මතාම තමාව මඟ හරින බව දැන උන්නත් පහසුවෙන් පරාජය භාර ගත යුතු නැතැයි මිෂෙල් සිතුවාය. වාහන අංගනය පුරා වටයක් දෙකක් වාහනය කරකැවූ මිෂෙල් ධීර ගේ වාහනය එහි ඇති බව දුටුවාය.
” එහෙනම් ඔයා ඉන්නවා ”
මිෂෙල් කට කොණකට සිනහවක් නගා ගෙන ධීර ගේ වාහනයට මදක් නුදුරින් වාහනය නවතා දොර ඇර බසින්නට සූදානම් වන විට ධීර දුරකථන ඇමතුමක සිට කලබලයෙන් වාහනය දෙසට එන අයුරු දුටු නිසා මිෂෙල් නැවතත් වාහනය තුළට වී දොර වසා ගත්තාය. තවත් මොහොතක් ඇතුළත ධීර වේගයෙන් වාහනය පිටතට ගන්නා ආකාරය දුටු මිෂෙල් ද ධීර පසුපසින් යන්නට තීරණය කළේ ඒ අනුව ය.
ධීර සිටියේ තාදී ව මුණගැසෙන්නට කලබලයෙනි. සිදු වූ දෙය සක්සුදක් සේ දැන හවසට නිවසට යා යුතුය. සිදුවන දෙයකට මුහුණ දිය යුතු ආකාරය තීරණය කළ යුත්තේ තම පියා විසින් තාදීට කියා ඇති දේවල් දැන ගැනීමෙන් පසුවය. මිෂෙල් ගෙන් වරින් වර දුරකථන ඇමතුම් පැමිණියද ධීර ඒ එකකටවත් පිළිතුරු නොදෙන්නට ගියේ තමාගේ තීරණය පැහැදිලිව ඇය වෙත පවසා අවසන් නිසාය. එහෙත් පෙරදින රාත්රියේ තම පියා ඇගේ නිවසට යාමෙන් පසුව තත්ත්වය කුමක්දැයි නොදන්නා නමුත් තම තීරණයේ වෙනසක් නොකරමි යැයි ධීර තදින්ම සිතා ගෙන උන්නේය.
ධීර ගේ වාහනය පෙනෙන දුරින් වාහනය පදවන්නට මිෂෙල් වග බලා ගත් අතර Clothez වෙත එන්නට ධීර ට ගත වූයේ සුළු වෙලාවකි. ධීර වාහනයෙන් බැස Clothez වෙත ඇතුලු වන ආකාරය මිෂෙල් පාරෙන් එහා පස සිට බලා සිටියාය. කාන්තාවන්ට ඇඳුම් නිර්මාණය කරන ආයතනයකට මේ තරම් හදිසියෙන් පැමිණීමට ධීර ට ඇති උවමනාව කුමක්දැයි කල්පනා කරමින් මිෂෙල් Clothez ඉදිරිපිට නවතා ඇති ධීර ගේ වාහනය අසලින්ම වාහනය නවතා ඉන් බැස්සාය.
තාදී උන්නේ අතිශය කලබලයට පත් වී හුන් ධීර ව සන්සුන් කිරීමට උත්සාහ කරමිනි. කිසිදු දෙයක් ධීර ට සැඟවීමෙහි පුරුද්දක් නොවූ නිසාත් , සිදු වූ දෙය අනිවාර්යෙන්ම ධීර ජයමිණි ගෙන් දැනගන්නා නිසාත් තාදී කිසිවක් ධීර ගෙන් සඟවන්නට ගියේ නැත.
” ඔයා එහෙම උත්තරයක් දීපු එක හොඳයි තාදී . තාත්තා උනත් දැනගන්නවනේ එතකොට මං මගේ තීරණය වෙනස් කරන්නේ නෑ කියලා ”
මිෂෙල් Clothez වෙත ඇතුලු වූයේ ධීර ගේ රුව සොයමින් වුවත් ඔහු පෙනෙන්නට සිටියේ නැත. මිෂෙල් වටපිට බලමින් ඇතුළු වූ නිසා ගයාත්රී සිනාමසු මුහුණින් ඉදිරියට පැමිණියාය.
” හායි මිස් ”
මිෂෙල් ගයාත්රී දෙස තප්පර කිහිපයක් බලා සිට නැවත වටපිට බැලුවාය. ගයාත්රී සිතුවේ මිෂෙල් මේ සොයන්නේ තාදීව කියාය.
” මේ.. මං දන්න කෙනෙක් දැන් මේකට ආවා.. ඒකයි බැලුවේ ”
මිෂෙල් කියනා දෙය ගයාත්රී ට පැහැදිලි වූයේ නැත. මින් පෙර මිෂෙල් මෙහි පැමිණ ඇති බවක් ගයාත්රීගේ මතකයේ නොවූ නිසා ඇය කියනා දෙය වටහා ගන්නට ගයාත්රි උත්සාහ කළාය
” මිස් කවුරු ගැනද කියන්නේ ? අපේ මිස් ගැනද ? ”
” අ… නෑ නෑ.. ධීර.. මං මැරි කරන්න ඉන්න කෙනා ”
ගයාත්රීගේ ඉහමොල රත්වූයේ එවිටය.එහෙනම් එකත් එකටම මේ තැනැත්තිය ධීර පසුපස එන්නට ඇතැයි ගයාත්රී අනුමාන කළාය. මේ මොහොතේ මැයව කාර්යාල කාමරයට යැවුවහොත් විශාල ගැටළුවක් ඇතිවිය හැකි බව ඇගේ මුහුණෙන්ම පෙනෙන්නට තිබුණු නිසා ගයත්රි උත්සාහ කළේ හැකි තාක් සන්සුන් වීමටය.
” ධීර කෝ ? මං දැක්කා එයා මේක ඇතුලට එනවා. කොහෙටද ගියේ ? ”
” අ.. මිස් මේ. ”
” ඇයි ගොත ගහන්නේ ? ”
” නෑ මිස්. මේකයි.ධීර සර් මෙහෙ ආවා තමයි පොඩි වැඩකට ”
” ඔව් ඉතින් ආවනම් මං අහන්නේ කෝ කියලා ”
මිෂෙල් කෝපයෙන් වටපිට බැලුවාය. කෙළවරේ කාර්යාල කාමරයක් පෙනෙන්නට තිබෙන අතර එහි කවුරුන් හෝ සිටින වගත් පෙනෙන්නට තිබේ. ධීර ඇත්තේ එහි බව අනුමාන කෙරූ මිෂෙල් ඒ දෙසට යන්නට හැරුණාය.
” පොඩ්ඩක් ඉන්න මිස්. මං අපේ මිස්ට කියන්නම් මිස් ඇවිල්ලා ඉන්නවා කියලා ”
ගයත්රි උත්සාහ කළේ මිෂෙල් කාර්යාල කාමරයට යාම නැවැත්වීමටය.
” ඔයාගේ මිස්ට මොනා කියන්නද ? ”
ගයාත්රීව පසෙකට තල්ලු කෙරූ මිෂෙල් කෝපයෙන් කාර්යාල කාමරය දෙසට ගියාය.වේගයෙන් එහි දොර ඇර මිෂෙල් එයට ඇතුළු වෙද්දි ධීර උන්නේ තාදී ගේ අතින් අල්ලා ගෙන මේසයට ඔලුව තබා ගෙනය. තාදී අනිත් අතින් ධීර ගේ හිස අත ගාමින් උන්නාය.
” ධීර.. එහෙනම් මේකයි සෙල්ලම ”
මිෂෙල් කෑ ගැසුවාය. ධීර තිගැස්සී හිස ඔසවා බැලූ අතර ධීර ත් තාදී ත් අසුන් වලින් නැගිට සිටියේ එකවරමය. තාදී හැකිතාක් සන්සුන් වීමට උත්සාහ කළ අතර ධීර සිටියෙ කෝපයෙනි.
” ඔයා මොකක්ද මෙහෙ කරන්නේ ? ”
” මමනේ ඒක ඔයාගෙන් අහන්න ඕන ධීර. අරහේ අපි දෙන්නගේ වෙඩින් එකක් ලෑස්ති කරලා තියෙද්දි ඔයා මේ එක එකීට කියලා ඔළුව අත ගාවගන්න එකේ තේරුම මොකද්ද ? ”
” මිෂෙල් මේ ? මං තමුන්ට පැහැදිලිව මගේ උත්තරය කියලා ඉවරයි. අනිත් ඒව මං දන් නැහැ. අනික මෙතන මොනවා වුනත් ඒක තමුන්ට අදාලත් නැහැ ”
තමාට වඩා අතිශයින්ම රූමත් පෞරුෂයකින් හෙබි තරුණියක ධීර අසල සිටීමම මිෂෙල් ගේ සිතට විශාල ඉරිසියාවක් එකතු කළ අතර ඒ ඉරිසියාව පරයා නැගුණේ පුපුරා යන තරමේ කෝපයකි.
” මට අදාළ නොවෙන්නේ කොහොමද ? ”
ReplyForwardAdd reaction |