සුහදිනි – 10

අඳුරු ගස් සහිත පරිසරය සිතුවමට නැඟූ ඇය අහස් හෝ ඇය ගිල ගන්නා තණ පලස මත ඉහිරී යන කහ පැහැති මල් සිතුවම් කරන්නට වූවා ය.ඒ හිරු එළිය වැටෙන තැනක් නොවේ.ඒ නිසා එවැනි බිමක සූරියකාන්ත පිපෙන්නේ නැත.එහෙත් මල් නොපිපෙන බිමකට වුවද මල් පෙති විසුරුවාලන්නට සුරඟනකට හැකියාවක් තිබෙන බව සකී සිතන්නට වූවා ය.ඇය ඒ අඳුරු වටපිටාව කහ පැහැති සූරියකාන්ත මලින් පුරවන්නට වූවා ය.ඊළඟ සිහිනය ගමන් කළ යුතු වන්නේ මේ මල් පෙති මතින් ය.සිහිනය තමන්ට ඕනෑ ආකාරයට හසුරවා ගන්නට ඇය තීරණය කළා ය.මල් නොපිපෙන බිමක වුවද මල් නෙළා තබන්නී සුරඟනක් නොවේ,ආත්මීය ප්‍රේමයක් දරාගන්නා ප්‍රේමවන්තියකි.ඇයට ඊළඟ තත්පරයේ එසේ සිටින්නට පටන් ගෙන තිබිණ.

පෙරලා ආදරයක් නොලබාම ආදරේ කිරීම මොන තරම් සෞන්දර්යාත්මක හැගීමක්දැයි සකී සිතුවේ ඊළඟ සිතුවම අඳින අතර ය.මේ ඇගේ ජීවිත කාලය තුළ වේගවත් ව ම ඇඳි සිතුවම අඳුරු තුරු වදුලේ කහපැහැති මල් ලෙස නම් කරන්නට කැමති ය. එය වාසනාව සොයා දෙන සිතුවමක් විය යුතු බව ඇය විශ්වාස කළා ය.ඊළඟ සිතුවමෙහි වූයේ අන්ධකාරයෙන් වැසුණු බිමට මෙපිටින් පිහිටි සූරියකාන්ත මල් යාය ය.ඇය ද අහස් ද අත් අල්ලාගෙන නිදහසේ එහි ඇවිද යමින් සිටියහ.ඔවුන්ට අඳුරු විල්ලුව ට ඇතුළු වීමට උවමනා නොවේ.එකිනෙකා රැක ගන්නට නම් එහි නොයා යුතු බව දෙදෙනාම තීරණය කළ යුතු බව ඇය සිතුවේ සිතුවම අඳින අතරේ ය.

“ඇත්තටම මේ පෙර ආත්මෙද? කිසිම මනුස්සයෙක් ට පෙර ආත්මයක් මෙච්චර කාලෙකට මතක තියෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ.ඒත් මට එක දෙයක් හොඳටම විශ්වාසයි.ඔයාව ටීවී එකේ මුලින්ම දකින්න කලින් ඉඳල මං ඔයාව අඳුරනවා.මට ඔයාව හීනෙන් පෙනෙන්නේ කොහොමද කියලා විස්තර කියන්න මම දන්නේ නෑ. ඔයා මගේ හීන වල ඉන්නව කියන එක මට ඔප්පු කරන්න බෑ.ඒ වුණාට ඒ හැම හීනෙම ඉන්නෙ අපි දෙන්නා.”

ඇය එසේ කියා ගන්නට වූයේ සිතුවම අඳින අතර ය.මේ කාලාන්තරයක්  තිස්සේ දකින නපුරු සිහිනය වෙනස් කළ යුතු වේ. ඔහුට හෝ තමන්ට හිරිහැරයක් වන තරමට මේ සිහිනවල ගිලී යා යුතු නැතැයි සකී සිතී ය.ඇය එසේ සිතමින්ම සිතුවම් නිම කළා ය.මේවා අහස්ට ලබා දීමට තිබුණේ නම් අපූරු ය.නමුත් එය පහසු නොවේ.අමුතු පසුතල සහිත සිතුවම් තමන්ට ලබාදෙන මේ යුවතිය උමතුවෙන් යැයි ඔහු සිතනවාට සකී නොකැමති ය.උදෑසන එළඹෙන්නට හෝරාවක් පමණ ඉතිරිව තිබියදී යහනට වැටෙන අතර ඇයට කල්පනා කරන්නට කාරණාවක් තිබිණි.

ඔහු හෙට යම් හිරිහැරයකට බඳුන් විය යුතු වේ!

එහෙත් දවස ගෙවී ගියේ එවැනි කිසිම දෙයක් ගැන ආරංචියක් නොතබා ය.ඔහු ජනප්‍රිය වූ කාලයේ පටන් ඇය මේ සිහින ඔහු සමඟ සංසන්දනය කළේ ය.අහස් ඉලංගසිංහ අසාර්ථක වෙන ඕනෑම දවසකට පෙර රාත්‍රියේ සකී ඔහු විල්ලුවේ ගිලී යන අන්දම සිහිනයෙන් දුටුවා ය.දවස ගෙවෙන්නට තව ඉතිරිව ඇත්තේ පැය කිහිපයකි.නමුත් අද ඔහුට කිසිදු හිරිහැරයක් හෝ වෙන යමක් සිදු වූ බව පෙනෙන්නට නැත.

“මං ඇන්ද චිත්‍ර සාර්ථක වෙලාද?”

 සකී සිතුවේ සන්තෝසයෙනි.සිහිනයක් පාලනය කරන්නට තමන්ගේ පින්සල ට හැකි බව සිතීම ම සතුටකි.ඇය ඒ මිහිර තනිව විඳිමින් සිටියා ය.නමුත් සන්තෝසයට එතරම් ආයුෂ තිබුණේ නැත. ජනප්‍රිය තරුණ නිළියක වූ සාරණ්‍යා සියදිවි නසා ගන්නට පෙති වර්ගයක් පානය කළ බවට සමාජ ජාලා ගිනි ගන්නට පටන් ගෙන තිබිණි.

මේ ඔහුගේ ජීවිතය වූ යුවතිය ය!

ඒ නොගැළපෙන සම්බන්ධයක් බව පැහැදිලිව පෙනුණ ද ඒ අහස්ගේ පෙම්වතිය ය!

සිහිනවල සිටින අහස්ට මිස සැබෑ ලෝකයේ කිසිම තරුණයෙකුට ආදරය කර නොමැති සකීට ද ප්‍රේමයේ වේදනාව ගැන දැනේ.ඔහු පීඩා විඳින සෑම අවස්ථාවකම ඇය හිඳින්නේ වේදනාවකිනි.ඒ සිහින පෙම්වතෙකි.නමුත් සාරණ්‍යාට හිරිහැරයක් සිදුවීම අහස්ට දරා ගන්නට අපහසු බව සකීට සිතේ.නමුත් අහස් සිටියේ වේදනාවෙන් නොවේ.කම්පනයෙනි.සියදිවි නසා ගන්නා උත්සාහයට ප්‍රථම සාරන්‍යා ලිපියක් ලියා තිබූ බව ඔහුට දැනගන්නට ලැබිණ.

ඒ සියදිවි නසාගැනීමේ සම්පූර්ණ වරද ඔහු පිට පටවා ය.

“උඹට ජීවත්වෙන එක එපා කරපු ගෑනි අන්තිමට මැරෙන්න උත්සාහ ගන්නව.අනික මැරෙන්න ඕනේ වුණා නම් ඔහොම වෙන්නෙ නෑ.මේකත් රඟපෑමක්.”

සියුම් කියන්නේ කෝපයෙනි.අතිශය සංවේදි කාරණාවක් එසේ සුළුකොට කිය නොහැකි බව ඔහුගේ පෙම්වතිය වූ යෙත්මි කියද්දී සියුම් ඇයට ද රවා බැලී ය.

“ජීවිතේ දරාගන්න බැරුව ඇත්තටම ඩිප්‍රෙස් වෙලා සූසයිඩ් කරගන්න හිතෙන මිනිස්සු ඇත්තටම පව් තමා යෙතූ.වගේ මිනිස්සු ඉවසල ඉවසල ඉවසල ගන්නේ නොගෙන බැරිම තීරණයක් කියලා අපිට එයාලව ජජ් නොකර ඉන්න පුළුවන්.ඒත් මේ වගේ ගෑනු හින්ද ඇත්තටම ඒ වගේ දෙයක් කරගන්න මනුස්සයෙක් වුණත් සමාජෙට විහිළුවක් වෙනවා.”

පසුගිය කාලය පුරා සාරණ්‍යාට ජීවිතය නැතිකර ගන්නට හේතු කාරණා තිබුණේ නැත.නමුත් ඇය අහස්ගේ ජීවිතය එපා කරවන හේතු සොයා දෙන්නට බොහෝ වෙහෙසුණා ය.ආදරයක් බලෙන් ලග රඳවා ගන්නට නොහැකි ය.ප්‍රේමයක් ඉතිරිව නැති තැනකින් ගෞරවාන්විතව නික්මෙන්නට උත්සාහ ගත් අහස්ව හැඟීම් සම්බන්ධ සටනක පැටලවීමට සාරණ්‍යා උත්සාහ ගන්නා බව සියුම් පැහැදිලිව පැවසුවේ ය.ඒ කතාවේ වරදක් නැති බව අහස්ට සිතේ.අනිත් කාරණාව ඔහු සාරණ්‍යාට සදහටම සමු දුන්නේ ද නැත.ඔහු ඇයට කෙටි කාලයක් නිහඬව හිඳින්නට ආරාධනා කළා පමණි.දැන් සාරණ්‍යා හැසිරෙන්නේ දිවි දෙවැනි කොට පෙම් කළ මිනිසා ඇය අත්හැර දැමූ ළසොවින් ජීවිතය අත්හැර දැමූ කෙල්ලක වාගේ ය.

“ගෑනියෙක් පෙති ටිකක් බිව්වට උඹට කරන්න දෙයක් නෑ.දරුවො ඉන්න ගෑනු ඩිවෝස් කරපු මිනිස්සු පවා ඉස්සර මේ ටීම් එකේ ඉඳලා තියෙනවා.හැබැයි ඒ පෞද්ගලික ප්‍රශ්න ඒ මිනිස්සුන්ගෙ  දක්ෂතාවයට අදාළයි මේ රටේ මිනිස්සු හිතුවේ නෑ.හැබැයි දැන් හැමදේම වෙනස්.අපි අඳින ඇඳුමක් අදහන ආගමක් පවා ජජ් කරන්න දැන් මිනිස්සු ලෑස්ති.උඹ ඊළඟ මැච්වල සාර්ථක වුණොත් සෝෂල් මීඩියා රන් කරන කීබෝඩ් වීරයෝ ටික සාරණ්‍යාට බනියි.හැබැයි උඹ ෆේල් වුණොත් ගෑනියෙක්ටවත් ජීවත් වෙන්න නොදෙන මිනිහෙක් කියලා උන් උඹට බනියි.”

අහස්ට එසේ පැවසුවේ කණ්ඩායමේ සගයෙකි.අහස්ගේ අඳුර පිරෙන මුහුණ දෙස බලා සිටි ඔහු මිතුරාගේ උරහිසට පහරක් එල්ල කළේ ය.

“කීබෝඩ් වීරයෝ හිතන්නේ උන් ලියන විදිහට අපි මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕනේ කියලා.ඔය ප්‍රශ්නේ තියෙන ඉමෝෂනල් පැත්ත විසඳාගෙන ඔලුව නිදහස් කරගනින්.ඒ ඇරුණම වෙන වෙන විකාරවලට බය වෙන්න ඕන නෑ.”

තදින් බිඳී සිටින මොහොතක හිත හදන්නට හැක්කේ සහෝදරයන් බඳු මිතුරන්ට බව අහස් සිතුවේ ය.මිත්‍ර සම්පත්තිය අතින් ඔහු බොහෝ පොහොසත් ය.නමුත් ආදරය අතින් තමන් තරමට දිළිඳු අයෙකු නැති බව අහස්ට දැනේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles