අරුමැති ආදරයක් – 35

0
2337

විනාඩි කිහිපයකට පසුව වෛද්‍යවරයා රෝහල් කාමරය වෙත පැමිණියේ දුවගෙන සේය. ඒ යන හදිසි ගමනේදීත් ඔහු තමා එනතුරු බලා උන් පිරිස වෙත සුහද  සිනහවක් පා කරන්නට අමතක කළේ නැත. පිරුණු මිනිසුන් එසේ යැයි අපූර්වාට සිතුනේ ඔහු දෙස බලා සිටියදීය. 

යුගාෂ්ගේ ජංගම දුරකතනය නාද වූයේ තත්පර දෙක තුනකට පසුවය.

“හරි අංකල්.. හරි හරි ප්‍රශ්නයක් නෑ..ඒක එහෙම නොකළොත් තමයි ප්‍රශ්නේ…”

දුරකථන සංවාදය නිමා කළ ඔහු අපූර්වා දෙස බැලුවේ සිනහමුසුවය. ඒ සිනහව වශීයක් සේය. 

“පේෂන්ට්ලා හතර දෙනෙක් විතර අරගෙන අපිට කතා කරන්නද කියලා අහනවා අපූර්වා. අංකල් මට හොස්පිට්ල් චාජර්ස්වත් ගෙවන්න දුන්නේ නැහැ. ඉස්සර වෙලාම අපිට කතා කරන එක හරි මදිනේ..

“අනේ කමක් නෑ සර්. කොච්චර වෙලා හිටියත් මොකද…”

පිළිතුරු දුන්නේ අපූර්වා නොව හේෂානිය. ගෙවී ගිය විනාඩි කිහිපයට ඔවුන් හොඳ මිතුරන් සේ ලංව  උන්නේය. යුගාෂ් හා මිතුරුවීම අපහසු නොවේ. 

“දැන් දෙන්නත් එක්ක සැරින් සැරේ තරගෙට මට සර් කියලා මාව සෑහෙන අමාරුවක දාලා තියෙන්නේ. වටේ ඉන්න මිනිස්සු සර් කොහේද උගන්නන්නේ කියලා නොඇහුවොත් ඇති.”

යුගාෂ් එවර පැවසූයේ සිනහසෙමින්ය.ඒ සිනහවටම කාන්තිත් හවුල් වූවාය. 

“බිල්ලො එනවා. බිල්ලො එනවා…”

ඊළඟ තත්පරයේ ඒ මුවින් පිට වූයේ සුපුරුදු මිමිණිල්ලමය. 

අවසන වෛද්‍යවරයා හමුවට ගියේ කාන්තිත්, අපූර්වාත්, යුගාෂුත්ය.

“කොහොම ඉලන්දාරියා..ඔයා  අම්මත් එක්ක ඉඳගන්න දුව.වෙනද වගේ නම් උඹට මගේ මේසෙ උඩින් හරි ඉඳගන්න තිබුණා. දැන් ඉතින් එහෙම කරන්න බෑනේ අපිට වඩා ලොකුයිනේ..”

අපූර්වාගේ සිතෙහි වූ බිය සැක නැති කලේ වෛද්‍යවරයාගේ හිතවත්කමය.

“අපි කතා කරන්න කලින් රිපෝට්ස් ටික බලලා ඉමු නේද..”

එවර ඔහු පැවසූයේ අපූර්වා දෙසට හැරෙමින්ය ඈ තමා අත වූ ලිපි ගොනුව වෛද්‍යවරයා වෙත දිගු කළාය.

“බය වෙලාද ඉන්නේ…බය වෙන්න එපා. අපි අම්මව සනීප කරගමු.”

අපූර්වා මුව මත මදහසක් ඇඳ ගත්තේ අසීරුවෙන්ය.

“අ සිටුවේෂන් දැට් නීඩ් ඇටෙන්ෂන්..”

විනාඩි කිහිපයකට පසු ඔහු හිස ඔසවා අපූර්වා දෙසත් යුගාෂ් දෙසත් බැලුවේ මාරුවෙන් මාරුවටය.

“මට දැන්  දුව පැහැදිලි කරන්න අම්මා මෙහෙම වෙන්න කලින් එයාගේ තිබුණු තත්ත්වය. වෙනසක් වෙන්න කලින් අන්තිමට අම්මාව යථා තත්වයෙන් දැකපු දවස ගැන”

අපූර්වා වෛද්‍යවරයා ඉදිරියේ සිදුවූ සියල්ල පැවසූයේ කෙටියෙන්ය. අවසන ඇගේ හඬ බිඳී යමින් තිබිණ. අපූර්වා දෑස් රිදවූ  කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දුන්නාය. තරුණයා අපූර්වා පසුපසට පැමිණ ඇගේ හිස මත තම දකුණත තබා ‘සන්සුන් වන්න’ යැයි පැවසූයේ දෑස් වලින්ය. 

“මේ වගේ මානසික පීඩනයක් ඇතිවෙන්න හේතුව කලින් වෛද්‍යවරු මේ දරුවට තේරුම් කරලා දීලා ඇතිනේ. ඒ ගැන මං ආයේ කතා කරන්න අවශ්‍ය නෑ. මං අද ඔයාට බලාපොරොත්තුවක් දෙනවා. ඔයාගේ අම්මව සනීප කරගන්න පුළුවන්. හැබැයි ඔයා මම කියන විදිහට වැඩ කරන්න ඕනෙ දුව.”

“අම්මව සනීප කර ගන්න පුළුවන්නම් මං ඕනෙම දෙයක් කරනව ඩොක්ටර්…”

“මේ වෙලාවේ දුව අපි අම්මට නේවාසික ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. ඇත්තටම මේක මීට වෙන්න තිබුණු දෙයක්. මේ රිපෝට්වල කලින් ට්‍රීට්මන්ට් කරපු ඩොක්ටර්ත් ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඇයි ඔයා ඒ දේ නොකළේ…”

“මගේ හිත ඉඩ දෙන්නෙ නෑ ඩොක්ටර්…අම්මව අංගොඩ යවන්නේ කොහොමද මම…”

“අංගොඩ කියන වචනේ අමතක කරන්න දුව. ඔයාගේ අම්මට තියෙන්නේ රෝගී තත්වයක්. එතකොට ඔයාගේ අම්ම යන්නේ රෝහලකට. එයාට තියෙන රෝගී තත්ත්වය අනුව එයා  ගෙදර තියාගන්න එක ටිකක් භයානකයි. මං මේ කියන දේවල් අංගොඩ කියන තැන ඔලුවෙ තියාගෙන අහගෙන ඉන්න එපා. ඒක ගමක නමක් විතරමයි. එතකොට ඔයාගේ අම්මා යන්නේ පැය  විසි හතරම වෛද්‍යවරු හෙදියෝ සහ රෝහල් කාර්ය මණ්ඩලය රැඳිලා ඉන්න තැනකට. ඒ පැය විසි හතරෙම ඔයාගේ අම්මා ගැන හොඳ හොයා බැලීම එයාලා  කරනවා. අද මම අම්මව බලලා එයාට බෙහෙත් දෙනවා. ආපහු සති දෙකකට පස්සේ මාසෙකට පස්සේ එන්න කියලා මං ඔයාට කියනවා. ඒ සති දෙක ගත වෙනකල් හරි ඒ මාසය ගත වෙනකල් හරි අම්මගේ දිනපතා චර්‍යාව මම දන්නෙ නෑ දුව. මානසික රෝගියෙක් කියන්නේ විනාඩියෙන් විනාඩිය වෙනස් වෙන කෙනෙක්. මේ විනාඩි පහළව ඇතුළේ මට ඔයාගෙන් මාසයක් තිස්සේ වෙච්ච දේවල් අහන්න බෑ.. මොකද මට එක පේෂන්ට් කෙනෙකුට වෙන් කරන්න පුළුවන් විනාඩි පහළවයි…ඉස්සෙල්ලම ඔයා සිහියේ  තියාගන්න ඕන දෙයක් තමයි මේ උණක්  කැස්සක් හෙම්බිරිසාවක් නෙමෙයි කියන එක. මේ විදිහට පාවිච්චි වෙන්න කියලා යවන්න මේ දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ ලෙඩකුත් නෙමෙයි… මම හිතනවා මං කියන දේ ඔයාට තේරෙනව ඇති කියලා.”

අපූර්වා හිස වැනුවේ ‘ඔව්’ යැයි හඟවමින්ය. ඇය පිටුපසට වන්නට ඒ උරයකට අතක් තබාගෙන සිටගෙන උන්නේනේ යුගාෂ්ය. අන් කවරදාකවත් නොවූ රැකවරණයක්, හයියක් ඇයට දැනෙන්නට විය. ඈ ඔහු දෙස බැලුවේ තීරණයක් ගන්නට ඒ සහාය පතමින්ය. 

“ඔයාගේ අම්මා යවන්න කියලා මං කියන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට. මේ තියෙන්නේ මෙන්න මෙතනට…..”

ඔහු එසේ පැවසූයේ මේසය මත වූ පොතක් අපූර්වා වෙත දිගු කරමින්ය. එහි මුල් පිටෙහි වූයේ රෝහලක දර්ශනයකි. එම රෝහලෙහි නම සඳහන්ව තිබුණේ ඔහු කලින් සඳහන් කළ පරිදි ‘ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය’ යනුවෙන්ය. 

“ඔයාගේ අම්මා ඉක්මනින් සුව කරගන්නවද තව කාලයක් ගිහිල්ලා සුව කරගන්නවද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා දුව. ඔයාගේ අම්මා ඉන්නේ සුව කරන්න පුළුවන් තත්වෙක. හැබැයි මතක තියා ගන්න නිසි ප්‍රතිකාර නොකිරීම තුලින් එයා සදාකාලික රෝගියෙක් වෙන්නත් පුළුවන්. ඉස්සර වෙලාම  ඔන්න ඔය පටු රාමුවෙන් මිදිලා තීරණයක් ගන්න. මොකද විශේෂම කාරණය තමයි එතනදි අපි ට්‍රීට්මන්ට් කරන්නේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස වෙනස් වෙන රෝගියෙකුට. එහෙම නැතුව මාසෙකට පස්සේ මේ පරණ රිපෝට්ස් බලලා දැන් කොහොමද කියලා අහලා මට පුළුවන් මේ බෙහෙත් ටික ලියලා දෙන්න. ඒකට යම් තරමකට ඔයාගේ අම්මව පාලනය කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඔයා ඔය කියන විදිහට ඔයාගේ හිටපු ඒ ආදරේ පිරිච්ච  අම්මව ගෙනත් දෙන්න පුළුවන් වෙයිද නැති  වෙයිද කියන්න මං දන්නෙ නෑ…”

ඒ හඬ මදක් දැඩි වී තිබිණ.

යළිත් අපූර්වාගේ දෑස් වල උපන් කඳුලක් ඇය ඇද උන් ඩෙනිම්  කලිසම මත වැටී බොඳව යන  අයුරු යුගාෂ් බලාගෙනය. මේ තීරණය ඇයට ලෙහෙසි පහසු එකක් නොවන වග විශ්වාසය. එසේම ගතයුතු හොඳම තීරණය එය බවද විශ්වාසය. යුගාෂ් උන්නේ ඒ සිත හදන්නේ කෙසේදැයි සිතමින්ය.

“ඔයා බයවෙන්න එපා. අපි අම්මව සනීප කර ගමු දුව. මට පුළුවන් ඔයාට පොරොන්දු වෙන්න විශේෂයෙන්ම මම අම්මා ගැන හොයලා බලනවා කියලා..”

“අපි එහෙම කරමු අපූර්වා. අපිට ඕනෙ අම්මව හොඳ කර ගන්නනේ. පහුගිය දවස්වල අම්මා එළියට ගිහිල්ල උන සිදුවීම් ඔයාට මතක ඇතිනේ. අන්කල් වගේම මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාට අම්මව බලන්න යන්න ඕනෙ  කියල හිතෙන හැම වෙලාවකම මම ඔයාව එක්කරගෙන යනවා කියලා.”

යුගාෂ් ඇගේ උරහිසට උඩින් එබී පැවසූයේ මද හඬකින්ය. ඒ හඬෙහි වූයේ විශ්වාසයකි. අපූර්වා හිස වැනුවේ අසරණවය.

“මම ලෙටර් එකක් දෙන්නම්. පුතා දුවත් එක කතා කරලා අනිද්දා උදේ දහයට හොස්පිට්ල්  එකට එක්කරගෙන එන්න. හිත ශක්තිමත් කරගන්න දරුවෝ. මේක ඔයාට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිදුවෙන සිදුවීමක්. ඒ තැන්වලින් පැනල දුවන්න අපිට බැහැ.”

වෛද්‍යවරයා හිස් සුදු පිටුවක යමක් ලියුවේ  එසේ පවසමින්ය. අවසන ඔවුනට  රෝහල් කාමරයෙන් පිටව යන්නට අවසර ලැබිණ.

“ඉලන්දාරියා මට හෙට හවස හෙමිහිට කතා කරන්නකෝ…”

වෛද්‍යවරයා යළිත් පැවසූයේ ඔවුන් නැගී සිටියදීය. ඉස්සර වූ යුගාෂ් කාන්තිගේ දකුණතින් අල්වා ගත්තේ අපූර්වාට  ඉස්සර වන්නයැයි පවසමින්ය. යුගාෂ් උන්නේ ඒ සියළු වගකීම් තමා වෙත පවරා ගත්තා සේය. හැමදාමත් ඇගේ සිතෙහි වූ බිය මෙයය. එහෙත් වෛද්‍යවරයා පැවසූ අයුරින් ඊට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුහුණ දිය යුතු බව අපූර්වා දැන සිටියාය. 

“අම්ම සනීප කරගෙන ආපහු ඔයාලා එක්ක ආදරෙන් ජීවත් වෙනවා බලන්න ඔය ආසයි නේද. අන්කල් මේ හැම දෙයක්ම කිව්වේ  ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. මට ඒක අංකල්ගේ රිඇක්ෂන් වලින් දැණුනා. අපූර්වා අපි අංකල්ට ඒ අවස්ථාව දෙමු..ප්ලීස් හොඳ දරුව වගේ මාව විශ්වාස කරන්න. මං කිව්වනේ තත්පරයක්වත් තනිකරන්නේ නැතුව ඔයා එක්ක මම ඉන්නවා කියලා. දවස් දෙක තුනකට සැරයක් අපි ගිහිල්ලා අම්මව බලල එමු..”

කාන්තිව හේෂානිට බාරදුන් යුගාෂ් එවර පැවසූයේ අපූර්වාගේ හිස අතගාමින්ය. රෝහල් භූමියක් බව නොසිතාම ඇය ඔහුගේ පපුවට තුරුලු වූවාය. කෑ ගසා හඬන්නට වුවමනා වුවත් ඕ ඉකිබින්දේ  නිහඩවය. යුගාෂ්ගේ සුදු පැහැ ක්‍රොකඩයිල් වර්ගයේ ටී ෂර්ටය තෙමී යනතුරුම ඈ උන්නේ ඔහුගේ පපුවට තුරුලු වීගෙනය.

“මේ කඳුළුයි, දුකයි,  ප්‍රශ්නයි අරගෙන අනාගතයට යන්න ඕනෙ නෑ අපූර්වා. අපි හෙමින් හෙමින් ඒ යන පාර ක්ලියර් කරගමු. පුළුවන්කම තියාගෙනත් එහෙම නොකර ඉන්න එක කවදකහරි පසුතැවීමකට හේතුව වෙයි”

අවසන ඔහු පැවසූයේ ඒ නලළත මත මෘදු හාදුවක් තබමින්ය. පුදුමය….ඒ වදන් විශ්වාස කරන්නට ඇගේ සිත සැදී පැහැදී උන්නාය. 

                                   *****************

අමායාගේ පියාගේ ජංගම දුරකථනය නාද වූයේ ඔහු වත්ත  පහළ වූ කෙසෙල් කැනක් කපමින් සිටියදීය. දුරකථන තිරය මත සටහන්ව තිබුණේ නාඳුනන අංකයකි. 

“අමායා ඉන්නවද…”

“කවුද මේ කතා කරන්නේ?……”

“අංකල් මම එයාගේ ඔෆිස් එකේ වැඩ කරපු කෙනෙක් බොහොම වැදගත් දෙයක් කියන්නයි මං අංකල්ට කතා කළේ. මං ඉස්සර වෙලා අමායගේ නම්බර් එකට ගත්තා. ඒ නම්බර් එක දැන් වැඩ කරන්නේ නැද්ද අන්කල්..”

“අමායගේ ෆෝන් එක දැන් නැහැ. මේ අර වාද්දුවේ  ළමයාද..”

“ඔව් අංකල්…මං තාම දයාල්ගේ ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ.”

“හනේ දරුවෝ මං හිතුව අයින් වුනා කියලා. පරිස්සමෙන් ඉන්න වෙච්ච දේවල් දන්නවනේ” 

“අංකල් මේක හොඳට අහගන්න.  පුළුවන්නම් අමායා මේ දවස් දෙකේ ගෙදර තියා ගන්න  එපා. දා හතර නඩුව නේද..අංකල්ට පුළුවන්නම් අමායා වෙන කොහේ හරි නතර කරන්න… “

“ඇයි දරුවෝ…..”

“කෙල්ල ඉස්සුවනං වැඩේ හරි කියලා දයාල් සර් කාට හරි කියනවා මට ඇහුනා. මං දන්නෙ නෑ ඒ කිව්වේ අමායා ගැනද වෙන කවුරු හරි ගැනද කියලා.” 

“සමහරවිට අපේ ළමයා ගැන වෙන්න ඇති. අමාය නැති උනොත් නඩුව නිකම්ම කල් යනවනේ..මං.. මම එයාගේ අම්මත් එක්කත් කතා කරලා මොකක් හරි පිළිවෙලක් කරන්නම්.”

“මං මේ වෙලාවේ අමාය බලන්න නෑවිත් ඉන්නේ එයා අමතක කරලා නෙමෙයි කියලා අමායට කියන්න..”

“මං කියන්නං දරුවෝ මං ..කියන්නම්……ඔය ළමයා එනවා යනවා කියල දැන ගත්තොත් ඔය ළමයටත් ප්‍රශ්නයක් වෙයි”

කලබලයෙන් දුරකථනය විසන්ධි කළ අමායාගේ පියා ඇමතුමක් ලබාගත්තේ යුගාෂ්ටය. 

එහෙත් ඔහු පැවසුයේ කිසිවකට බිය නොවී නිවසේම රැඳී  සිටිනා ලෙසය. නඩුව නිමවනතුරු ඔවුන්ගේ ආරක්ෂාව තමා බලාගන්නා බවද යුගාෂ් පැවසූයේ ස්ථීර හඬකින්ය. 

( යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here