අනෝමා ඒ වෙලාවේ උන්නේ කුස්සියේ උදේ ආහාරය පිළියෙල කරමින් ය.
පොල් සම්බෝලයේ සුවඳත්, තෙලට දැමූ කරපිංචා වල සුවඳත් මුළු නිවස පුරාම පැතිර යන්නට හැර අනෝමා උන්නේ ගෙදර නිහඬතාවය බිඳ දමනු වස් රූපවාහිනියේ උදෑසන පුවත් විකාශයට සවන් දෙමිනි. සති අන්තයේ දවසක් නිසාවෙන් අරුණ කොහොමත් නිවසට වී හිඳින නිසා කෑම පිසින හදිස්සියක් අනෝමාට තිබ්බේ නැත.
අනෝමාගේ දෑස් රූපවාහිනී තිරය වෙත යොමු වූයේ රූපවාහිනියෙන් අසන්නට ලැබුන හද සසල කරවන පුවතක් නිසාවෙනි.
“පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු විසින් තමන්ගේ සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කළ බවට” චෝදනා එල්ල වී ඇති සිද්ධියක් ගැන ප්‍රවෘත්තියක් විකාශය වෙමින් තිබුණ අතර අනෝමා ලියමින් උන් ලූනු ගෙඩිය අතෙන් ගිලිහුණාය.
“සාමාන්‍ය පෙළ ගණන් පංතියට ආ සිසුවියට අතවර කර පෞද්ගලික ටියුශන් පංති කාමාතුරයා දැලේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු…” නිවේදිකාව පවසද්දී අනෝමාගේ අතේ තිබූ හැන්ද බිම වැටුණි. ඇය ඉක්මනින් රූපවාහිනිය නිවා දැමුවාය. ඇගේ සිතට මහත් නොසන්සුන් බවක් දැනුණි.
“මේවාගේ දේවල් මේ රටේ වෙන එක නතර වෙන්නේ නැද්ද? කොච්චර නම් ළමයි මේ වගේ දේවල්වලට අහු වෙනවද? කියා ඇය රහසින් මුමුණමින්, දෑස් පියාගෙන අඑතනම තිබූ බංකුවකට ඇද වැටුනේ දහසක් දේ කල්පනා කරමින් ය.
දින ගෙවී යද්දී අනෝමාගේ සිත තිබුනේ අරුණ විසින් කල ඉල්ලීමට තමන් විසින් දෙන්නට ලැබූ හිත රිදවන පිළිතුර ගැන සහ මේ අසන්නට ලැබුණ ප්‍රවෘත්තිය ගැන කල්පනා කරමින් ය. රූපවාහිනියෙන් දුටු සිද්ධිය ඇගේ සිතට තදින්ම කාවැදී තිබුණි. ඊටත් වඩා, තම පුතා අරුණ, සමුධ්‍යා කෙරෙහි දක්වන කැමැත්ත තමන්ව නොසන්සුන් කරන්නට හේතු වුණත් තමන් හැදී වැඩුණේ සමාජය විසින් තීන්දු කරන ලද සම්ප්‍රදායික රාමු තුළ තමන් එසේ සිතන එක වැරදි නැති බවටද අනෝමා හිතුවාය. කාන්තාවකගේ ගෞරවය රැකීම, සමාජයේ ඕපාදූපවලින් ඈත්ව සිටීම ගැහැණු ලමයෙකු විසින් කුඩා අවදියේ පටන්ම පුරුදු පුහුණු විය යුතු බවට පාසලෙන්ද ගෙදරින්ද සමාජයෙන්ද උගන්වා තිබුණි. එහෙයින්, මේ අසන්නට ලැබුණ මෙන්ම සත්සරාට සිදු වූ අතවරය පිළිබඳ පුවත නැවත සිතීම ඇයට දැඩි කම්පනයක් ගෙන දුන්නේය.
“සමුධ්‍යා කරපු දේ හරිද? එයා කරේ ඇත්තටම කරන්න ඕන දේද? අරුණ කියනවා වගේ මම සමුධ්‍යා කරපු දේ වැරදියි කියලා හිතන්නෙ සමුධ්‍යා කරපු දෙයින් මගේ පවුල විනාස වෙච්ච හන්දද? නිහඬව උන්නද අනෝමාගේ හදවත තිබුනේ දොඩමලු වෙමිනි. ඇය ජීවත් වූ සමාජය ඇයට කියා දුන්නේ නිහඬව සිටීම ආරක්ෂාකාරී බවයි. ගැහැණියකට අතවරයක් වුවහොත්, ඒ පිළිබඳව කතා කිරීමෙන් සමාජයේ ගැරහීමට ලක්විය හැකි බව ඇය හොඳින්ම දැන සිටියාය.
“නැහැ… නැහැ… මම අරුණටත් ඒ දේමයි කිව්වේ. කටකතා කියන්නේ ගිනි පුපුරු වගේ. ඒවා අන්තිමේ අරුණගෙ ජීවිතෙත් පුච්චලා දායි. ඒත් මම දිගටම අරුණට විරුද්ධ වෙන්න ගියොත්, එයාගෙ ඉල්ලීම අහක දැම්මොත්, එයත් මගෙන් ඈත් වෙයිද? අද කාලේ ළමයි එහෙම නේද? ” අනෝමාගේ සිත තිබුනේ වේදනාවෙන් කැළඹෙමින් ය. ඇය දෙවි පිහිට පතා ආගම දහම කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වූයේ මේ අසරණකම නිසාය. ඇයට අවශ්‍ය වූයේ ජීවිතයේ ඉදිරි කාලයවත් කිසිත් හිත් වේදනාවක් අහිමිවීමක් නැතුව ගෙවන්නයි. නමුත් ඒ සඳහා ගත යුතු නිවැරදි තීරණය කුමක්දැයි ඇයට වැටහුණේ නැත. ඇය තම හදවතට සවන් දිය යුතුද, නැතහොත් සමාජයේ “නිවැරදි” යැයි සම්මත දේ අනුගමනය කළ යුතුද යන්න පිළිබඳව ඇය දැඩි අර්බුදයක සිටියාය.
තම නිවසේ රූපවාහිනියෙන්, පුවත්පත්වලින් එවැනි සිදුවීම් පිළිබඳව දුටු සෑම විටම අනෝමාගේ සිත තිබුනේ නිරත්තරයෙන්ම ඇයව ප්‍රශ්න කරමිනි. සමාජය කෙතරම් වෙනස් වී ඇත්දැයි ඇය කල්පනා කළාය. තම තරුණ වියේදී මෙවැනි සිදුවීම් ගැන කතා කිරීම පවා ලැජ්ජාවට කරුණක් විය. නමුත් දැන්, තමන්ගේ සිතේ තිබූ සාම්ප්‍රදායික අදහස් සහ වර්තමාන සමාජයේ සිදුවන වෙනස්කම් අතර විශාල පරතරයක් තිබෙන බව තේරුම් ගියද අනෝමා උන්නේ තීරණයක් අරගන්නට බැරුව ලතවෙමිනි. සිතුවිලි දෙකක් අතර දෝලනය වෙමිනි.
ඇය දෙවියන්ගෙන් පිහිට පැතුවේ මේ සියලු ප්‍රශ්නවලින් මිදීමට මාර්ගයක් සොයා ගැනීමටයි.
අරුණගේ හිත සමුධ්‍යා වෙත වැඩි වැඩියෙන් නැඹුරු වෙද්දී, ඔහු තම අම්මාගෙන්, අනෝමාගෙන්, ඒ ගැන අවසර ගැනීමට නැවත නැවතත් උත්සාහ කළා. අරුණ ඇය හවස් වරුවේ ආයෙම වතාවම් අම්මා වෙත යද්දී අනෝමා උන්නේ බුදුන් වඳින පිණිස මල් නෙලමිනි.
“පුතා හොරගල් අහුල අහුල මං ගාවට ආවෙ අර කාරණාව ගැන කතාකරන්න නම්, කතාකරන්න එපා පුතේ” කියා අම්මා කියද්දී අරුණ අම්මාටත් ඇසෙන පරිද්දෙන් විසල් හුස්මක් හෙලුවේය.
“අපි කවදා වෙනකම් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්නද අම්මේ?” කියා අරුණ අහද්දී අනෝමාද අරුණ තරම්ම ගැඹුරු සුසුමක් හෙලුවාය.
“මගෙ හිත හැදෙන දවසක්, මගෙ හිත නොරිදෙන දවසක් එනකම් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්න පුතාට පුලුවන් නේද?”
“ඒ දවස කවදා එයිද කියලා අම්මට කියන්න පුලුවන්ද? මං කොහොමද අම්මේ සමුධ්‍යාට කියන්නෙ අම්මගෙ හිත හැදෙන දවසක් එනකම් බලන් ඉන්න කියල ඉවසගෙන?”
“සමුධ්‍යා මගෙ එක දරුවෙක්ව හිරේට දාද්දි, සමුධ්‍යා හන්දා මගෙ කසාද පුරුසයා සියදිවි හානිකරගද්දි, සමුධ්‍යා මගෙ අනිත් දරුවවත් මගෙන් උදුරගන්න හදද්දි මං ඉවසීමෙන් ඒ හැමදේම බලාගෙන හිටියා වගේ සමුධ්‍යාටත් මගෙ හිත හැදෙනකම් ඉවසන් බලන් ඉන්න බැරිවෙයිද පුතා?” කියා අසමින් අනෝමා භාවනාවේ යෙදෙමින් සිටි අයුරින් දෑස් පියාගෙන, සෙමෙන් හුස්ම පිට කළාය.
“මම ඔයාට කිව්වනේ පුතා, මට මේ ගැන කතා කරන්න කැමැත්තක් නැහැ කියලා. ඔයාට මම වෙන කෙනෙක්ව හොයලා දෙන්නම්. ඒ ළමයා හොඳ ළමයෙක් නෙවෙයි.” අනෝමාගේ කටහඬේ තිබුණේ කිසිදු හැඟීමක් නොමැති වියළි බවකි. ඇගේ හිතේ තිබූ බිය සහ නොකැමැත්ත ඇගේ හඬ හරහා පිට විය.
“අම්මේ! එයා හොඳ ළමයෙක්. එයා කිසිම වැරැද්දක් කරලා නැහැ. අම්මා ඇයි කවදාවත් නැතුව මේ වගේ වෙනස් වෙලා තියෙන්නෙ.” කියා අහද්දී අරුණගේ කටහඬේ තිබුණේ නොඉවසිල්ලකි.
“අම්මා තවම ඒ සිද්ධිය නිසා එයාට දොස් කියනවා. ඇයි අම්ම කිසිම වෙලාවක නොහිතුවෙ අම්මාගෙ හිත බිඳෙන්න හේතු උනේ මල්ලියි තාත්තයි මිසක් සමුධ්‍යා නෙවෙයි කියන එක” කියා අරුණ තම වචන අවසන් කරද්දී අනෝමා දෑස් විවර කළාය. ඇගේ දෑස්වල තිබුණේ දුරස්ථ බවකි.
“ඔයාට තාම මේ ලෝකෙ වෙන හැටි තේරෙන්නෙ නෑ පුතේ. මේ ලෝකේ හැටි ඔයා දන්නේ නැහැ. සමහර දේවල් අපිට පේන විදිහට නෙවෙයි. ඔයාලා දැන් ඔය සාධාරණ කතා කියාගෙන එකතුවෙන්න හැදුවට පස්සෙ සමාජෙ මිනිස්සු දේවල් කියද්දි තමයි ඔයාලට තේරෙන්නෙ කරගත්ත වැරැද්ද” ඇය කිව්වේ තමාවම සාධාරණීකරණය කරගන්නා අයුරිනි. ඇගේ වචනවල තිබුණේ තම පුතාට සිදුවිය හැකි අවැඩක් පිළිබඳ බිය මිස අන් කිසිවක් නොවේ.
“ඒ කියන්නේ අම්මා මේ සම්බන්ධයට කොහෙත්ම කැමති නැහැ කියන එකද?” අරුණගේ කටහඬේ වේදනාවක් විය. බලාපොරොත්තු සුන්වීම ඔහුගේ හඬින් පැහැදිලිවම ඇසිණි.
අනෝමා හිස පහත් කරගත්තාය. ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය. ඇගේ නිශ්ශබ්දතාවය අරුණට දරාගත නොහැකි විය. ඔහු බලාපොරොත්තු සුන් වූ හදවතින්ම එතැනින් ඉවත්ව යද්දිත් අනෝමාගේ මුහුණේ තිබුණේ කිසිවක් නොවූ සේ හිස් බැල්මක් පමණි..
“මං හිතන්නෙ නෑ සමුධ්‍යා මට කවදාවත් අපේ අම්මව වෙනස් කරගන්න පුලුවන් වෙයි කියලා. එහෙම එකේ මම ඔයාට මං වෙනුවෙන් බලාගෙන ඉන්න කියන එක වරදක් නේද?” කියා සමුධ්‍යාට වොයිස් මැසේජ් එකක් යවද්දී ඔහුගේ ඇස්වල කඳුළු පිරී තිබුණත්, ඔහු ඒවා පිසදා ගත්තේය. ඔහුගේ හඬ වෙව්ලන්නට විය. ඔහුට අවශ්‍ය වූයේ සමුධ්‍යා සමඟ ජීවිතේ ඉස්සරහට යාමට නමුත් තම මවගේ කැමැත්ත නොමැතිව එය කළ නොහැකි බව ඔහු දැන සිටියේය. අරුණට දැනුනේ තමා පරාජිතයෙකු බවයි, තම ආදරය වෙනුවෙන් සටන් කිරීමට ශක්තියක් නොමැති අයෙක් ලෙසයි.
තමන් කොතෙක් අනිත් අය වෙනුවෙන් සාධාරණය ඉටු කෙරුවද තමන්ට සාධාරණයක් ඉටු කරන්නට කිසිවෙකුත් නැති බව අරුණ තේරුම් ගත්තේත් එලෙසයි.