අරුමැති ආදරයක් – 36

0
2690

අපූර්ව වාගේ හඳහනට අනුව නව නිවසේ අඩිතාලම දමන්නට නැකැත් තිබුණේ දා හතර වනදාය. කාන්ති රෝහල්ගත කෙරුණේ එකොළොස්වනදාය. 

ඔවුන් යළි නිවසට පැමිණෙද්දී හේෂානිගේ මවත් පියාත් ආච්චිගේ තනියට පැමිණ සිටියහ. වෛද්‍යවරයා පැවසූ කරුණු පැහැදිලි කල අපූර්වාට සියල්ලන්ගෙන්ම ලැබුණු පිළිතුර වූයේ මෙවේලෙහි වෛද්‍යවරයාගේ තීරණයට හිස නැමීම සුදුසුම ක්‍රියාව බවය. 

තමාරා හා කතා කරද්දී ඇය පැවසූයේත් ඒ ටිකමය. 

“අම්මව පෙන්නපු හැම ඩොක්ටර් කෙනෙක්ම ඒ කතාව කිව්වනං ඒ මොනවා හරි හේතුවක් තියෙන නිසානේ පුතේ. අනික ඒ ඩොක්ටර් තමයි මේ ලංකාවේ ඉන්න හොඳම සයික්‍රැටික්. මෙතනින් එහාට අපිට යන්න තැනක් නෑ දුව. ඔයත් එක්ක මමත් ඉන්නවනේ අපහසු තීරණයක් වුණත් අපි ඒ තීරණය ගමු දුව. අම්මා වෙනුවෙන්…”

කාන්තිව රෝහල් ගත කිරීම සඳහා මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගියේ අපූර්වාත් යුගාෂුත්ය. 

ගෙවුන දින දෙක තුනේම නිවසේ බතක් නොයිදුන තරම්ය.⁣ හේෂානිගේ මවත්, ගුනවතී නැන්දාත් වරින් වර ගෙන ආ යමක් අම්මාට කවා එහෙමම ඒ භාජනවල ඉතිරිව තිබිණ. ලොකු හාමුදුරුවන් පවා පැවසූයේ මේ නිවැරදිම තීරණය බවය.

“මං කවදාවත් අම්මට මෙහෙම කරන්න හිතුවේ නෑ…”

ඇය පැවසූයේ ආපසු එන ගමනේය. ඒ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. සතියට දෙදිනක් අපූර්වාට අම්මාව බලන්නට අවසර ලැබිණ.

“මේ….ඔයා නරකක් කරනව නෙමෙයිනේ..ඔයා අහගෙන හිටියා නේද නර්ස් කියපු කතාව. මේ විදිහට මෙතනට එන පේෂන්ට් ලා දහස් ගණනක් එයාලා හොඳටම සනීප කරලා ආපහු යැව්වලු. බලාපොරොත්තු තියාගන්න අපූර්වා…ඒ ඔයාගේ හිත හදන්න කියපු දේවල් නෙමෙයි.”

යුගාෂ් පැවසූයේ ඇගේ හිස අතගාමින්ය. කිලෝමීටර් ගණනක් පැමිණෙන තුරුම යුවතිය උන්නේ එකම ඉරියව්වකය. වරින් යුගාෂ් ඇය දෙස බැලුවේ එනිසාය. විටෙක ඕ කදුළු මිරිකා ගන්නා අයුරුත්, හුස්ම අල්ලා නිහඬවන අයුරුත්, සිය දෑතින් මුව වසාගෙන ඉකි බිඳුම වලකා ගන්නා අයුරුත් ඔහු බලාගෙනය. ප්‍රධාන පාරෙන් හැර වූ වාහනය අවසානයට නතර වූයේ උද්‍යානයක් ආසන්නයේය. මාර්ගය වෙනස් වූ බවවත් ඕ දැන උන්නේ නැත. 

“අපූර්වා……ඔයාට ඕනෙ දැන් අඬන්න නේද..එන්නකෝ..”

මුලින්ම වාහනයෙන් බැස ගත්තේ යුගාෂ්ය. රථ ගාලෙහි වාහන කිහිපයක්ම නතර කර තිබිණ. අනිත් පසින් ගොස් දොර ඇර යුවතියව වාහනයෙන් බස්සවා ගත් තරුණයා ඇයට පිටුපසට නගින්නට ඉඩ දුන්නේය. ඉන්පසු අපූර්වා අසලින්ම අසුන්ගෙන ඇයව තම පපුවට තුරුලු කරගත්තේය. 

“හෙට වෙනකල් හරි ඔයා එක්ක මේ වගේ මෙතනට වෙලා ඉන්න මට පුළුවන්. හිතේ දුක ඉතිරි කරගෙන ගෙදර ගිහිල්ලා තනියම අඬන්න එපා අපූර්වා. ඔයාට ඇති වෙනකන් අඩන්න දැන්. මං ලඟදි”

“මට… හරි දුකයි..අම්මා ගැන හරි දුකයි…කවදාවත් අපිට මෙහෙම වෙයි කියලා මම හිතුවේ නෑ…ඒ හැම කෙනෙක්ටම සාප වෙන්න ඕන….හැම කෙනෙක්ටම…අඩු ගානේ ඒ මිනිස්සුන්ට තිබුනා අපේ ගේ අපිට දීලා මුළු වත්තම හරි ගන්න”

හෝරාවක් පමණ යනතුරු අපූර්වා ඔහේ කියවමින් හඬා වැටුනාය. ඕ ඒ අතීතය ගැන සේම වර්තමානය ගැනත් අනාගතය ගැනත් කියවූවාය. ඒ හිස කේ අතර දෑගිලි යවමින් ඔහු උන්නේ ඇයව තුරුළු කරගෙනය. 

“මේ දවස් ටිකේ හරියකට දෙයක් කෑවේ නෑ කියල මං දන්නවා.. අපි මොනවා හරි කාල ඉමුද…”

අවසන ඔහු ඇසුවේ ඒ නළලත සිප ගෙනය. රතුව තිබූ කොපුළත් දෑසුත් අවුල් වූ හිසකේත් ඒ මුහුණට ගෙනවිත් තිබුණේ වෙනස්ම  පෙනුමකි. යුගාෂ් මුලින්ම ඒ  හිස කේ  තම ඇඟිලි තුඩුවලින් සැකසුවාය. ඒ කොපුල්වල වූ කඳුළු පිස දැමුවේ ඉන්පසුවය.

“මගේ ජීවිතයට ඇවිල්ල ඔයත් මම දිහා බලාගෙන විඳවනවා නේද…මට සමාවෙන්න. මං දන් නෑ යුගාෂ් සර්  ඔයාට සතුටක් දෙන්න මට මේ ජීවිත කාලෙම පුළුවන් වෙයිද කියලා…”

“මිනිස්සුන්ට උරුම වෙන්න ඕනේ සතුටම විතරක් කියලා අපි ප්‍රාර්ථනා කළාට සතුටම විතරක් ලැබුනොත් මේ ජීවිතේ සමහර තැන්  අමාරුයි කියලා අපි කවදාවත් තේරුම් ගන්නේ නෑ. මට හිතෙනවා ඔයාට තනියම මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවට වඩා දැන් පුංචිම හරි පහසුවක් ඇති කියලා…ආදරේ කියල කියන්නේ අපිට අනිත් කෙනාව කොච්චර ඕනෙද කියල දැනෙන එක. ආදරේ ශක්තිමත් වෙන්නේ අනිත් කෙනාව කොච්චර මේ ජීවිතේට ඕනෙද කියලා දැනෙන තරමට.”

“මට ඒක හොඳටම දැනෙනව සර්…ඔයා නැතුව හුස්ම ගන්නත් බැරි වෙයි කියලා හිතෙන තරමට මං පහුගිය කාලේ ඔයාට ලං වුනා..මට බයයි මේ හැම නොලැබීමක්ම ළඟදි කවද හරි දවසක සර්ට මාව එපා වෙයි කියලා. මගේ ජීවිතේ හිතන තරම් ලේසි නෑ”

“එහෙම වෙන්නේ නෑ අපූර්වා. ඔයා හිතනවටත් වඩා මට ඔයාව ඕනේ..අපි දෙන්නම එකතුවෙලා අම්මව සනීප කරගමු. හැම දෙයක්ම කාලයට භාර දීලා ඔයා සතුටින් හිනාවෙලා ඉන්න. එහෙම නොවුනොත් මේ කරන කිසි දෙයක් වැඩක් නෑ. අම්ම සනීප වෙලා එද්දි එයා දකින්න ඕනේ, එයාගේ දුව හිටියටත් වඩා ලස්සනට, ශක්තිමත් වෙලා ඉන්නවා.”

“ඇත්තටම මම සනීප වෙලා එයිද සර්…”

“හැම දේකටම මූලික වෙන්නේ හිතේ විශ්වාසය අපූර්වා. ඒ හිතේ විශ්වාසය නැති නිසා තමයි ඔයාගේ තාත්තා හදිසි තීරණයක් ගත්තේ. තාත්ත මැරුණට පස්සේ ඔයා හීන වලට පයින් ගහලා ත්‍රී වීලර් එකේ යතුර අතට ගන්න ඇත්තේ  පවුලේ හයිය වෙන්න හිතාගෙන. ඒ විශ්වාසය හිතෙන් නැති කරගන්න එපා. අපූර්වා කවද හරි ජීවිතය දිනන්න ඕන. ඔයාට වරද්දපු හැම කෙනෙකුටම පේන්න…”

අපූර්වා යුගාෂ්ව  තුරුළු  කරගත්තේ පෙරටත් වඩා තදින්ය. කිසිවක් වදන්වලට ගලපා පවසන්නට නොතේරේ. ජීවත් වන්නට ඇති එකම ශක්තිය ඔහු බව විශ්වාසය.

අපූර්වා බත් කටක් දෙකක් කෑවේ යුගාෂ්ගේ පෙරැත්තටය. 

“එහේ කවුරුවත් බඩගින්නෙ ඉන්නෙ නෑ අපූර්වා. මං අංකල්ගෙන් පර්මිෂන් අරගෙන ඔයාට හොස්පිට්ල් එක ඇතුලේ ගොඩක් දේවල් පෙන්නුවෙත් ඒ නිසා. දැක්කද ඒ වැඩ කරන අය පේෂන්ට්ලට කවන විදිහ. ඔයා මාව විශ්වාස කරනවා නේද..එයාලා ඔයාගේ අම්මව බඩගින්නේ තියන්නේ නෑ.  ඒ විශ්වාසයම අම්ම සනීප වෙයි කියලා ඔයාගේ හිතේ තියාගන්න අපූර්වා.

අපූර්වා යළි නිවසට පැමිණියේ සම්පූර්ණයෙන්ම නොවූවත් තරමක් දුරට සන්සුන් වූ මනසකින්ය. හේෂානිත් ඇගේ මවත් පියාත් පැමිණියේ සවසය. ගෙවී ගිය දින කිහිපයේදී ඔවුන්ගෙනුත් අහල පහල නිවැසියන්ගෙනුත් ලැබුණු සහාය මහමෙරක් තරම්ය. අම්මාට රෝහල් ගතවීමට අවශ්‍ය තුවායේ සිය සියළුම දේ සපයා දුන්නේත් ඔවුන්ය.

“උහුලන්න බැරි පාළුවක් දැනෙනවා…..”

පියසීලී එසේ පැවසුවේ නිවස තුළ වූ ප්ලාස්ටික් පුටු ඔසවා පිටතින් තබනා ගමන්ය. 

“පියසීලි නැන්දේ පුළුවන් පුළුවන් වෙලාවට අපි දෙන්න පන්සලට ගිහිල්ලා බෝධි පූජා කරමු. මේ කෙල්ල පනං හතරක් හොයා ගන්නත් එපැයි. අර වැඩේ යෙදිල තියෙන්නෙත් අනිද්දට නේද. කොච්චර කොහොම වුණත් නැකතට එන මනුස්සයෙකුට තේ ඩිංගිත්තක් දෙන්න කැවිලි පෙවිලි මොනවා හරි ඕනනේ. මං ඒ වැඩේ බාර ගන්නම්.”

“උදේට කිරිබත් ඩිංගිත්තක් හදන්න වෙයි නේද..”

“පියසීලි නැන්දට ඒ ටික කරගන්න පුළුවන්ද…කිරි බතක් මේ ගෙදර උයන්න තරම් සතුටක් නෑ කියල මම දන්නවා. ඒ උනාට ඒ එන නෝනලට කන්න බොන්න ඩිංගිත්තක් දෙන්න එපැයි. අපි හැම දෙයක්ම සුභ විදිහට දකිමු දුවේ. මටනම් ලොකු විශ්වාසයක් තියෙනවා මේ කරදර කාල  ඉවර වෙලා ඉක්මනින්ම උඹලගේ මූණේ හිනාවක් දකින්න ලැබේවි කියලා…”

හේෂානිගේ මව පැවසූයේ අපූර්වාගේ හිස අතගාමින්ය. සියල්ලෝම පවසන්නේත් ඒ ටිකය. ගෙවී ගිය එකදු රාත්‍රියකවත් අපූර්වාගේ  දෑස් පියවුනේ නැති තරම්ය. අද උදෑසන ත්‍රී රෝද රථ ගාලෙහි සිටියදී චින්තන බලෙන්ම ඇයව නිවසට එවූයේ නිදි කිරා වැටුණු නිසාය.

“යුගාෂ් සර් හෙට එනේකක් නැද්ද….”

හේෂානි යුවතිය පිටුපසින් කුඩා කාමරයෙහි මුළුතැන් ගෙයට වෙන්කොට තිබූ කොටසට ඇවිද ගියේ එසේ අසමින්ය. අපූර්වා සිටියේ කේතලය ලිප තබනා අතරේය.

“සර්ට එදාට ලොකු නඩුවක් තියෙනව. අර මං ඔයාට කිව්වේ ගෑණු ළමයෙක් රේප්  කරපු සිද්ධියක් ගැන.”

“ආච්චිට තවම මුකුත් කිව්වේ නැද්ද….”

“එහෙම කියන්න තරම් මගේ හිතට හයියක් නෑ. අනිත් එක ආච්චි දැන් පුංචි දේටත් බයයි. අපිට උදව් කරන්නේ,  මං කොළඹ එන්න යන්නේ සර් එක්ක කියලා දැනගත්තහම ආච්චිගේ හිතට නිවනක් නැතිවෙයි.”

“ඒක ඇත්ත අපූර්වා…..අපි මේ ප්‍රශ්නවලට හෙමිහිට විසඳෙන්න ඉඩ දෙමු.”

“යුගාෂ් සර් කියන්නෙත් ඕකම තමයි. අපි කොච්චර ඉක්මන් උනත් කාලය ප්‍රශ්නෙ විසඳන්නේ එයාගේ ක්‍රමයට කියලා. සෙනසුරාදට අපි ආපහු අම්මව බලන්න යනවා.”

“ඒක හොඳයි….සර්ට ඔයාව එක්කරගෙන යන්න බැරි උනොත් මට කියන්න. මම එන්නම්..”

හේෂානි පැවසූයේ යෙහෙළියගේ හිස අතගාමින්ය. කරදර මැද්දේත් ඇගේ මුහුණේ  කුමක්දෝ නොතේරෙන සතුටක් තැවරී ඇතැයි විශ්වාසය. අපූර්වා දිගු කළ තේ කෝප්පය අතට ගෙන හේෂානි සිතුවේත් ඒ සතුට සැමදා ඇයට ලැබේවා කියාය.

“ඕක දීල වරෙන්කො….”

සැබවින්ම කුඩා කාමරය පාළුවට ගොස් තිබිණ. හේෂානි කාන්තිගේ ඇඳෙහි  අසුන් ගත්තේ අපූර්වා බන්දේසියත් රැගෙන නිවසින් පිටතට යද්දීය. මින් වසර දෙකකට පමණ පෙර අපූර්වාගේ නිවසට යද්දී එහි තිබූ සතුට හේෂානිට අද මෙන් මතකය. බොහෝ දිනවල උදෑසනත්, දහවලත් ආහාර ගෙන කාන්ති ඇයව නිවසට යවන්නේ දෙතුන් දෙනෙකුට සෑහෙන්නට බත් මුලක් සාදා දුන්නාට පසුවය. 

එදවස පියසීලී සවසට සාදන ලැවරිය, හැලප, ෆෑන් කේක් වැනි කෙටි කෑමක් හේෂානිගේ නිවසට ගෙන එන්නේ අපූර්වාය. 

“යුගාෂ් උඹට කිව්වෙ නැද්ද ත්‍රීවිලර් එක එලවන්න එපා කියලා..”

හේෂානි යෙහෙළියගෙන් ඇසුවේ ඇද කෙළවරක අසුන් ගත්තාට පසුවය.

“එකපාරටම කිව්වේ නැහැ..”නොකියා කිව්වා

“ඒ කියන්නේ…”

‘මේක ඔයාගෙ රස්සාව අපූර්වා. මං මොන තරම් හොඳ අරමුණකින් ඒක නතර කරන්න කියලා කිව්වත් ඔයා හිතයි අනිත් අය වගේ මමත් ඔයාව පහත් කලා කියලා. ඔයා ත්‍රී වීලර් එක දුවලා මාසෙට උපයන ඒ මුදල කිසිම ප්‍රශ්නයක් නැතුව මට ඔයාට දෙන්න පුළුවන්. ඒත් ඒක ඔයාගේ අභිමානයට පහරක් වෙයි..කැම්පස් එකේ වැඩ පටන් ගත්තට පස්සේනම් වැඩි අවධානයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න..අපූර්වා මට සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ. ඔයාට උදව් කරන එකත් ප්‍රශ්නයක් නැහැ. ඔයා මගේ කියන හැඟීමෙන් මට ඒ හැමදේම කරන්න පුළුවන්…’ 

මේ වගේ දේවල් ටිකක් කිව්ව ඉතින්..

“මහ පුදුම මනුස්සයෙක් නේද……”

“ඔව්…මතක් උනත් ලෝභ හිතෙන මනුස්සයෙක්..”

“අනිත් අය තේරුම් ගන්න හැටි…ජීවිතයේ හැමදේම ආපස්සට හිතල බැලුවොත් මට හිතෙනවා අපූ, මේ තරං දුක් ගොඩක උඹව  අතරමං කලේ ඒ වගේ හොඳ මනුස්සයෙක් උඹේ ජීවිතයට එකතු කරන්න  ඕන නිසා වෙන්න ඇති. දෙයියෝ උනත් කල් යල් බලලා ⁣හොඳම දේ හොඳම වෙලාවට දෙනවා”

“ඒත් මට බය හිතෙනවා වෙලාවකට….”

“ඇයි..”

“ප්‍රශ්න ගොඩක් මැද්දෙ මාව එපා වෙලා  කවද හරි යුගාෂ් සර්ට මාව මගහැරෙයි කියලා.”

“පිස්සු….උඹ වෙනුවෙන් මේ නාස්ති වෙන්නේ ඒ මනුස්සයාගේ වටිනා කාලය, මුදල්..මේ උඹ ගැන හරිම විස්තර දැනගෙන උඹ ලඟට ආපු කෙනෙක්. එහෙම කෙනෙක් ආපහු හැරෙයි කියලා හිතන්න අමාරුයි. දැන් අපි අනිද්ද වැඩේ ගැන හිතමු. තාත්තත් එක්ක ලොකු හාමුදුරුවෝ කියලා තිබුණා උදේට පිරිත් ටිකක් කියන්න පොඩි හාමුදුරුවොත් එක්කම වඩිනවා කියලා. උඹ ආපහු දහම් පාසලට එන්න කැමති වෙච්ච එකත් ලොකු හාමුදුරුවන්ට ලොකු සතුටක්. කවද හරි දවසක උඹේ බාප්පට ඇස් දෙකේ කටු අනින තරමටම උඹ දියුණු වෙන්න ඕනේ..ලස්සනට ජීවත් වෙන්න ඕනේ. උඹ  දන්නවද නිමේෂ්ගේ ගෑනිට ළමයි නෑ කියලා උඹලගේ පුංචි අම්මා පන්සලේ බෝධි පූජා කරන්න යනවලු. ඔය හෙන ගෙඩි සාප වෙලා උන්ටම වදිනවා බං…”

හේෂානි එසේ පැවසූයේ අවසන් තේ උගුරත් පානය කලාට පසුවය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව දැන සිටියත් නිමේෂ්ට, බාප්පාට, පුංචි අම්මාට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට යහපතක් ප්‍රාර්ථනා කරන්නට තරම් සිතක් අපූර්ව වාට වූයේ නැත. 

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here