“දරුවෝ, මේ ලෝකය කියන්නේම අනිත්‍ය වූ දෙයක්. හැමදේම වෙනස් වෙනවා. බැඳීම්, සතුට, දුක, මේ සියල්ලම අනිත්‍යයි. මේ මහා ගහක් දිහා බලන්න. මේ ගහ හැමදාම එක විදිහට තිබ්බද? නැහැ. මේක මුලින් පුංචි පැළයක් විදිහට තිබිලා, දවසින් දවස වැඩුණා. කොළ වැටුණා, අලුත් කොළ ආවා. ඒ වගේ තමයි ජීවිතයත්. හැමදේම වෙනස් වෙනවා. ඔයාට පුළුවන්ද මේ ගහේ කොළ හැලෙන එක නතර කරන්න? බැහැනේ. ඒ වගේම තමයි ජීවිතයේ සිදුවීම්. සමහර දේවල් අපිට පාලනය කරන්න බැහැ.
හැබැයි දරුවෝ, මේ ගහේ මුල් භූමියේ තදින්ම බැඳිලා තියෙනවා වගේ, අපිටත් ජීවිතේට මුහුණ දෙන්න ශක්තියක් තියෙන්න ඕන. ඒ ශක්තිය තියෙන්නේ අපේ ඇතුළේ. අනිත් අය කියන දේවල්වලට අපි බය වෙන්න ඕන නැහැ. කටකතා කියන්නේ හුළඟ වගේ. හුළඟ හමනකොට ගස් වැනෙනවා. ඒත් ගහේ මුල් හයිය නම් හුළඟට ගහ පෙරළන්න බැහැ.
ඔය දරුවා පුතාට බය වෙන්න එපා කියලා කියන්න. එයාට නිවැරදි දේ කරන්න ශක්තිය දෙන්න. යම් කෙනෙක්ට උදව් කිරීම කියන්නේ ලොකු පිනක්. ඒ ළමයාට සිදුවූ අසාධාරණයට එරෙහිව නැගී සිටීම වරදක් නෙවෙයි. ඒක නිර්භීත ක්‍රියාවක්. සමාජය ඒ ගැන කතා කළත්, ඒකෙන් ඒ අයගේ සිත පිරිසිදු වෙනවා මිසක් වෙනසක් වෙන්නේ නැහැ. කවදා හරි මේ ලෝකේ ඇත්ත දේ දිනනවා. ඒක තමයි ධර්මයේ ස්වභාවය.
බැඳීම් කියන්නේ හුළඟේ පාවෙන දූවිලි වගේ. ඒවා මොහොතකින් විසිරිලා යන්න පුළුවන්. ඒත් ඇතුළතින් ශක්තිමත් නම්, කිසිම දෙයකින් බිඳ දමන්න බැහැ. අපිට කෙනෙක් ගැන හිත ඇතුලෙ තියෙන්නෙ සැබෑ බැඳීමක් නම්, ඒක කවදාවත් කැඩෙන්නේ නැහැ. ඔය දරුවට කරන්න පුළුවන් හොඳම දේ තමයි, පුතාට ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය දෙන්න. එයාව හිර කරන්න එපා. බිය කියන එක තමයි ලොකුම සතුරා. ඒ බියෙන් නිදහස් වුණාම, අපි හැමෝටම පුළුවන් ජීවිතේ සාමයෙන් ගත කරන්න.”
හාමුදුරුවන් වහන්සේගේ වචන අනෝමාගේ සිතට මහත් සැනසීමක් ගෙන දුන්නේය. ඇය එතනින් නැගිට නැවතත් උන්වහන්සේට වැඳ නමස්කාර කළාය. ඇගේ සිතේ තිබූ බර යම් තරමකට ලිහිල් වූවා සේ හැඟුණි. ඇය දැන් තේරුම් ගත්තා, තම පුතාගේ ජීවිතය තම බිය නිසා සීමා නොකළ යුතු බව. සමාජයේ කටකතා සහ විනිශ්චයන් තාවකාලික බවත්, සැබෑ ශක්තිය ඇත්තේ තමන් තුළම බවත් ඇය අවබෝධ කරගත්තාය. අනෝමාගේ සිතේ පෙරළිකාරී වෙනසක් ආරම්භ වී තිබුණේ එදා සැඳෑවේ පන්සලට විත් හාමුදුරුවන්ගෙන් බන ඇසීමෙන් අනතුරුවය.
අනෝමා පන්සලෙන් නිවසට පැමිණියේ වෙනදාට වඩා වෙනස් වූ සිතකිනි. හාමුදුරුවන් වහන්සේගේ දහම් දෙසුම ඇගේ සිතේ තැන්පත් වී තිබූ බොහෝ ගැටලුවලට පිළිතුරු ලබා දුන්නේය. ඇය තම පුතා අරුණ පිළිබඳව සිතුවාය. ඔහු සමුධ්‍යාට ආදරය කරන බව පැවසූ විට තමන් දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ඇයට කණගාටුවක් දැනුණි. ඇය පුතාගේ හැඟීම්වලට ගරු නොකළ බවත්, තමන්ගේම බිය නිසා ඔහුගේ සතුට නැති කිරීමට උත්සාහ කළ බවත් ඇයට වැටහිණේ හාමුදුරුවන් විසින් කියන්නට යෙදුණු කරුණු යළි සිහිපත් කරගනිද්දීය.
ඇය නිවසට ඇතුළු වන විට, විසිත්ත කාමරය අඳුරේ ගිලී තිබුණි. විදුලි පහන් දල්වා තිබුණේ නැත. ජනේලයෙන් පිටතට වැටුණු මඳ හිරු එළියෙන් කාමරය අඳුරු වී තිබුණි. ඇය විදුලි ස්විචය සොයාගෙන, පහන් දැල්වූවාය. ආලෝකය විහිදෙනවාත් සමඟම ඇගේ දෑස් එක තැනකට යොමු විය. අරුණ සෝෆාවේ වාඩි වී සිටියේය. ඔහුගේ මුහුණ අඳුරු වී තිබුණි. ඔහු දුර ඈත බලාගෙන සිටියේය. ඔහුගේ දෑස්වල තිබුණේ බලාපොරොත්තු සුන්වීම සහ තනිකම බව අනෝමා හිටගෙන උන් තැන් සිටම දුටුවාය. තේරුම් ගත්තාය.
අනෝමාගේ හදවත කඩා වැටෙන්නාක් මෙන් දැනුනේ ඒ දර්ශනය නෙත ගැටෙද්දීය. ඇය තමාගේ බිය ඔහුගේ ජීවිතයට කොතරම් බලපා ඇත්දැයි හිත කියූ වහාම ඇය ඉක්මනින් අරුණ ළඟට ගියාය.
“පුතා… මොකද මේ අන්ධකාරෙ ලයිට් එකක්වත් දාලා නැතුව?” කියා ඇය ඔහුගේ හිස අතගෑවාය. අරුණගේ හිස රත් වී තිබුණ බව අතට දැනෙද්දී අරුණ ඇය දෙස බැලුවේ හිස් බැල්මකිනි.
“මුකුත් නෑ අම්මේ.මට හිතුනා ටිකක් මෙහෙම හිටියනම් හොඳයි කියලා. ඇඟට පොඩ්ඩක් මහන්සි වගේ” කියා වෙව්ලන හඬින් කීවද අරුණ උන්නේ දහවලේ සමුධ්‍යා සමග කල කතාව නැවත මතක් කරගනිමිනි.
“කමක් නැහැ අරුණ… සමහරවිට මේක තමයි අපේ ඉරණම. මට තේරෙනවා ඔයා අසරණයි කියලා. ඔයාගේ අම්මගේ හිත හදන්න ලේසි නැහැ. එයාලා හැදී වැඩුණු පරිසරය වෙනස්.අපි එහෙම දෙයක් අම්මගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරදි. අපි කොච්චර අපි ප්‍රොග්‍රසිව් කියලා හිතුවත් අපේ අම්මලව වෙනස් කරන්න අපිට අමාරුයි. අනික එහෙම කරන එක එක පැත්තකින් වැරදියි. අපි ලෝකෙ දකින්නෙ අපි එක්ස්පීරියන්ස් කරපු දේවල් අනුවනෙ” කියද්දි සමුධ්‍යාගේ හඬේ තිබුණේ දුකක් මිස කෝපයක් නොවේ. ඇය තත්වය තේරුම් ගැනීමට උත්සාහ කළාය. ඇය තම හදවතේ ඇති වේදනාව යටපත් කර ගැනීමට උත්සාහ කළාය.
“සමුධ්‍යා… මට ඔයාව නැති කරගන්න බෑ.” අරුණ වෙව්ලන හඬින් පවසධ්ඩී ඔහුගේ හඬින් තනිකම සහ බලාපොරොත්තු සුන්වීම ගලා එන බව සමුධ්‍යාට තේරුණාය. අරුණ උන්නේ ඇය නැතිව ජීවත් වීම ගැන සිතාගත නොහැකි වය. තමන් කොතරම් ආදරයෙන් ඇයව තම ජීවිතයට ළං කරගත්තේද? ඒ සියල්ල මේ මොහොතේ සිහිනයක් වී යනවාදෝ කියා ඔහුට බියක් දැනුණි.
“අරුණ… අපි මේ ගැන පස්සේ කතා කරමු. මට දැන් ටිකක් තනියම ඉන්න ඕන.” සමුධ්‍යා පැවසුවේ ඇගේ කඳුළු සැඟවීමට උත්සාහ කරමිනි. ඇයට අවශ්‍ය වූයේ තනිවම මේ වේදනාව දරා ගැනීමටයි. ඇගේ හඬ දුර්වල වී තිබුණි. ඇයට තවදුරටත් කතා කිරීමට ශක්තියක් නොවීය.
පසු දින උදෑසන, අරුණ අවදි වූයේ හිසෙහි දැඩි වේදනාවක් සමඟිනි. පෙර දින රාත්‍රියේ නින්දක් නොලැබීම නිසා ඔහුගේ ඇස් රතු වී තිබුණි. ඔහුට කාමරයේ ආලෝකය දෙස බැලීමට පවා අපහසු විය. ඔහුගේ සිතේ තිබූ වේදනාව ශරීරයටත් බලපාන්නට විය. ඔහුට කිසිවක් කිරීමට ශක්තියක් නොවීය.
අනෝමා කුස්සියේ උදේ ආහාරය පිළියෙල කරමින් සිටියත්, අරුණගේ සිතේ තිබුණේ කිසිදු සතුටක් නොවේ. ඔහුට බඩගිනි දැනුණේ නැත. මේසය මත තිබූ ආහාර දෙස ඔහු බැලුවේ දෑස් හිස් කරගෙන ය. අනෝමා කිහිප වතාවක්ම ඔහුට කතා කළත්, ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත. අරුණගේ මේ අමුතු හැසිරීම අනෝමාව කලබලයට පත් කරන්නට හේතු විය.
“පුතා, මොකද ඔයාට වෙලා තියෙන්නේ? ඔයාට අසනීපද?” අනෝමා ඇසුවේ කනස්සල්ලෙනි.
“නෑ අම්මේ, මට හොඳයි.” කියා අරුණ බොරුවට සිනාසෙන්නට උත්සාහ කළත්, ඔහුගේ සිනහව ඔහුගේ වේදනාව සැඟවීමට තරම් ශක්තිමත් නොවීය.
අනෝමා අරුණ දෙස බැලුවේ සැකයෙන් හා කනස්සල්ලෙනි. තම පුතාට කුමක් සිදුවී ඇත්දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඔහු සමුධ්‍යා සමඟ ඇති සම්බන්ධය ගැන දුක් වන බවත් ඒ දුකට එසේනම් හේතුව තමන් නොවේද කියාත් අනෝමා ඒ මොහොතේ සිතුවාය.
දවස පුරාම අරුණ කාමරයේම හුදකලා විය. ඔහු දුරකථනයට හෝ කිසිවෙකුට ප්‍රතිචාර නොදැක්වීය. සමුධ්‍යා කිහිප වතාවක්ම ඔහුට කතා කළත්, ඔහු පිළිතුරු දුන්නේ නැත. සවස වන විට අරුණට දැඩි උණක් හා හිසරදයක් ඇති විය. අනෝමා කලබල වී වහාම වෛද්‍යවරයකු වෙත අරුණ රැගෙන ගියේ තවදුරටත් අරුණ දෙස බලා සිටින්නට නොහැකි තැනය.
වෛද්‍යවරයා අරුණව පරීක්ෂා කර, “මේක සාමාන්‍ය වෛරස් උණක්. හැබැයි දරුවාට පොඩි ස්ට්‍රෙස් ෆුල් සිටුවේශන් එකකුත් තියෙනවා වගේ. එයාට හොඳින් විවේක ගන්න දෙන්න. පොඩ්ඩක් රෙස්ට් කරාම ඉක්මනට රිකවර් වෙයි.” යනුවෙන් පවසද්දී මේ කියන ස්ට්‍රෙස් ෆුල් සිටුවේශන් එක තමන් විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන එකක් බව වටහාගන්නට අනෝමාට අපහසු වූයේ නැත.
තමන්ගේ සිතේ තිබූ බිය සහ සමාජයේ මතවාද තමන්ගේ පුතාගේ සතුටට බාධාවක් වී ඇති බව අනෝමාට පැහැදිලිවම දැනුණි. තමන්ට තමන්ගේ පුතා මෙතරම් දුක් විඳිනවා දැකීමෙන් මෙතරම් වේදනාවක් අත්වෙද්දී අරුණත් සමුධ්‍යාත් ඒ වේදනාව කුමනාකාරයෙන් දරාගන්නවා ඇතිද කියන කුකුස අනෝමාගේ හදවත ගිලන් කරන්නට හේතු වූවාය.
රාත්‍රියේදී අනෝමා අරුණගේ කාමරයට ගියේ සුවදුක් විමසන්නට මෙන්ම තමන්ගේ හිත සැහැල්ලු කරගනු පිණිසය.
අරුණ උන්නේ ඇඳේ හාන්සි වී දෙනෙත් පියාගෙන කල්පනා කරන ගමන් ය. ඔහුගේ මුහුණ තිබුනේ රාත්‍රී අන්ධකාරයත් වඩා අඳුරුවය. අනෝමා ඔහු අසලින් වාඩි වී, ඔහුගේ හිස අතගෑවාය.
“පුතා… මට සමාවෙන්න.” රහසින් මුමුණද්දී ඇගේ දෑස් කඳුළින් පිරී ගියේය.
සැබෑ ආදරය සහ දරුවෙකුගේ සතුට යනු සමාජයේ මතවාදවලට වඩා වටිනා බව හදවත කියද්දී අනෝමාට දැන් අවශ්‍ය වූයේ තම පුතාට සතුටින් සිටීමට ඉඩ දීමටයි. තමන් එදා හාමුදුරුවන් වහන්සේ දේශනා කළ අනිත්‍ය පිළිබඳ ධර්මයත්, සැබෑ ආදරය කිසිදා බිඳ නොයන බවත් සිහිපත් කරන අතරම තම පුතාගේ අත ගෙන තදින් අල්ලා ගත්තාය.
ඒ රාත්‍රිය නිහඬ බව ඇත්තක් උනත් අනෝමාගේ හදවත තිබුනේ වේගයෙන් වේගයෙන් දොඩමලු වෙමිනි.