ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන් කිසිදු බුරුලක් නො වන බව ඔහු මැනවින් වටහා ගන්නට ද ඇත. නිශාමනී ආකාස ගේ රිය තුළ තනි ව සිටියදී අයියා මලෝ හා එසඳි වෙරල තීරයට පිවිසියහ.

“මල්ලි. තමුසෙ කා එකට යනවකො”

හදිසියේ ම ශාරද ආකාස වෙත හැරි බැගෑපත් ව ඉල්ලා සිටියේ ය. ආකාස ගේ දෙනෙත් මත ඇයි කියන පැනය ලියැවිණ.

“ශාමි තනියම. බීච් එකේ එක එක ජාතියෙ එවුං ඉන්නවනෙ”

ආකාස ගේ හිස පහළට කඩා ගෙන වැටිණ. අත් දෙක සාක්කු වල ඔබා ගත් ඔහු හෙමි හෙමිහිට යළි රිය වෙත ඇවිද ආවේ ය.

“ඔයා තනියම මෙතන ඉන්නවටත් එයා තාම බයයි”

නිශාමනී ඈත සයුරු තෙරෙහි නෙතු රැඳවූවා ය. හිත බරකින් බර වෙනු වෙනුවට සැහැල්ලුවෙන් සැහැල්ලු වනු ඇය ට දැනිණ. ආදරය! එය තවමත් නො වෙනස් ව තිබේ. 

ආදරය කිසි දා නිර්වචනය කළ නො හැකි යමකි. එය ස්ථිර හැඩයක් හෝ ස්වභාවයක් නො දරන්නා වූ යමකි. එය පවතින තත්වය අනුව වෙනස් වේ. හැඩය හෝ වර්ණය වෙනස් වේ. නමුත් එය නො පවතින්නේ යයි අපට නිගමනය කළ නො හැකි ය. ආදරය එකම හැඩයකින් හෝ තත්වයකින් ජීවිතය පුරා නො පවතින බවත් එය නිරන්තර වෙනස්කම් වලට බඳුන් වන බවත් නිශාමනී ප්‍රථම වතාවට පසක් කර ගත්තා ය. 

පෙම්වතියක සමයේ ඔවුන් අතරේ වූ ප්‍රේමය සිය යුග දිවිය තුළදී පැවතියේ වෙනස් ස්වරූපයකිනි. දවසක් ගානේ එය නැවත නැවත ද වෙනස්කම් වලට ලක් විය. ජලය, එය පවත්නා බඳුනේ හැඩය ගන්නා මෙන් එය ඒ ඒ අවස්ථාව මත වෙනස් වෙමින් වී ද පවතින්නට ඇත. ශාරද පංචලී වෙතින් වෙනස් හැඩයක ආදරයක් විඳිත්දීත් නිශාමනී ගැන ප්‍රේමය වඩා පරිනත ස්වභාවයකින් පවත්නට ඇත. දැනුදු පවතී. 

ආදරය තදින් අල්ලා තමන් වෙත බැඳ තබා ගන්නට වෙහෙසෙනවාට වඩා, එසේ පවතින තත්වය තුළ දැක ගැනීම හෝ විඳ ගැනීම කෙතරම් පහසු හා සුන්දර හැඟීමක් දැයි 

ආකාස ඈ සමගින් පුද්ගලික වූ කතා බහකට නො යන්නට ප්‍රවේසම් සහගත වූයේ ය. ඈ තවමත් එවන් තත්වයකට මනසින් සූදානම් නො මැති බව, මඳ වෙලාවකට පෙර ඇගේ ස්වරයෙහි වූ තානයෙන් ද ඒ ඇස් බැල්මෙන් ද ආකාස වටහා ගත්තේ ය. නමුත් ඔහු විසින් කියන්නට යෙදුණ කතාව ගැන හෙතෙම කිසි සේත් පසුතැවිලි නොවුණේ ය. නිශාමනී හා එසඳි වෙනුවෙන් ඔහු ගේ හදවතෙහි වන විවෘත ආරාධනය ප්‍රකාශ කොට තිබෙනා එක හොඳ ය. අද නැතත් කවදා හෝ ඇය ඒ ගැන සිතනු ඇත.

නිශාමනී ගෙදර එන ගමන් ද සිය අනාගතය ගැන සිතුවා ය. ශාරද ගෙන් වෙන් වන්නට ගත් තීරණයෙන් පස්සේ ඇය දිගු නින්දක් ලැබූ ප්‍රථම රාත්‍රිය ඒ ය.

“තාත්තෙ මං කම්පනි එකේ වැඩ කරන්න කැමතියි. කොහොමත් මං ජොබ් එකක් කරන්න හිතා ගත්තා. වැඩක නොයෙදූ හිත නරක අතට ම හැරෙත කියනවනෙ”

උදේ කෑම මේසයේ දී නිශාමනී ප්‍රබෝධවත් ව කීවා ය. පිලපිටිය මැතිණිය ඇදෙස බැලුවේ සැකයෙනි. 

“නිශා ගත්තෙ හොඳ තීරණයක්. අනිත් හැම දේටම කලින් අපිට අපි වටින්න ඕන. තමන්ට තමන් වැදගත් වෙන්න ඕන. අපි තමුන්ට ආදරේ කරල ඉන්න ඕන අනිත් අයට ආදරේ කරන්න කලින්. කසාද බැන්දට පස්සෙ හුඟක් ගෑනු ළමයි තමන්ව අමතක කරල දානව. අර ලස්සනට හිටිය කෙල්ලන්ට මොනා වෙනවද කියල හිතා ගන්න බෑ. අපි බියුටි ප්‍රඩක්ට්ස් කරන කම්පනි එකක් විදිහට ගෑනු කට්ටිය තමුන්ගෙ ඇඟ පත මූණ ගැන දක්වන උනන්දුව ගැන රිසර්ච් කරනවනෙ. හරි කණගාටුයි ළමයෝ හුඟක් ගෑනු ළමයි අන්තිමට සැලෝන් එකකට යන්නෙ වෙඩින් එක දවසෙදි. ඊට පස්සෙ ඒගොල්ලො හිතන්නෙ ඒ අයගෙ ජීවිතේ ඉවරයි කියල. ගෙදර වැඩයි මහත්තයගෙ වැඩයි දරුවො හැදිල්ලයි දරුවන්ගෙ වැඩයි අතරේ තමන්ව අමතක වෙලා යනව. අමතක කරල දානව. මේක හරිම ඛේදවාචකයක් පුතේ”

නිශාමනී පියා දෙස බලා සිටියේ දෑස් විදා ගෙන ය. ඇය ඔහු ගැන මුල සිට ම සිතා සිටියේ දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස පමණකි. විකුණන්නට පුළුවන් ඕනෑ ම දෙයක් මුදල් කර ගැනීමෙන් පමණක් සතුටු වන්නෙකු ලෙස ඈ ඔහු තක්සේරු කොට තිබුණා ය. නමුත් ගැහැනුන් ගේ සරල ජීවිත කතාව වාක්‍ය කිහිපයකින් ඔහු විනිශ්චය කරන්නට යෙදුණේ කෙතරම් නම් පහසුවෙන් ද? සමහර විට ඔහු සිය දියණිය ට විනාඩි කිහිපයක් තුළ ලබා දෙන්නට යන්නේ දශක කිහිපයක් තිස්සේ වෘත්තීය හා පෞද්ගලික අත්දැකීම් වලින් ස්ත්‍රීන් විෂයේ ලත් අවබෝධයෙහි සාරංශ කිරීමක් වන්නට පුළුවන.

“අපි අපේ ප්‍රඩක්ට්ස් වලින් අංක එකට බලාපොරොත්තු වෙන්නෙ වෙළෙඳපොළ තමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ඕන බොරුවක් කරල සල්ලි හොයන්න ලෑස්තියි කියල. ගෑනු ලස්සනට දකින්නයි පිරිමි කැමති. හැබැයි හුඟක් ගෑනු හිතන්නෙ කසාද බැන්දට පස්සෙ දැන් කාට පේන්න ලස්සන වෙන්නද කියල. පිරිමි හිත් කොහොම වුණත් පිරිමි ඇස් ලස්සන පස්සෙ දුවනව නිශාමනී. අන්න ඒ ඇත්ත එක්කයි ගෑනුන්ට ජීවත් වෙන්න වෙන්නෙ. කාට පේන්නද අපි ලස්සන වෙන්නෙ කියල හිතන ගෑනුන්ට මං කියන්නෙ තමන්ගෙ හස්බන්ට පේන්න ලස්සන වෙන්නයි කියලයි. බඳින්න කලින් දාන අර හැට හතර බැන්දට පස්සෙ අමතක කරල දාන එක ගැන දවසක පසුතැවෙන්න වෙන්න පුළුවන්. හස්බන්ගෙ ඇස් දෙක හැමදාම රවට්ටන්න දක්ෂ ගෑනියෙක්ට පුළුවන්. ඒකට මුලින්ම තමන්ට ආදරේ කරන්න ඕන. තමන්ගෙ ලස්සන දකින්න ඕන. විඳින්න ඕන. තමන්ට සලකන්න ඕන. අපේ ගෑනු උදවිය බැඳල ළමයි ඉස්කෝලෙ අරං යන කාලෙට බලන්නකො. මූණු කළු වෙලා බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් පිරිල…ඔළුවෙ උකුණො..නියපොතු කපන්නෑ…දත් මදින්නෑ…එහෙම වුණාම කොහොමද…වැඩ වැඩ කිය කිය ගෙදර ගෙදර කිය කිය ගෙදර බදං ඉඳල බෑ නිශාමනී. ගෑනියෙක් වුණත් ලෝකෙත් එක්ක සම්බන්ද වෙලා ඉන්න ඕනෙ. ජොබ් එකක් කරල…මිනිස්සු ආශ්‍රය කරල…සතුටෙන් ඉන්න ඕන. ලස්සනට ඉන්න ඕන. තමන්ට අනිත් අයගෙ අවධානය යොමු වෙනව කියල හස්බන්ට වුණත් දැනෙන්න අරින්න ඕන. තමන් වටිනව කියල හස්බන්ට දැනෙන්න අරින්න ඕන”

නිශාමනී ට ඒ තරම් ලැජ්ජාවක් සිය පියා ඉදිරියේ ඊට පෙර දැනී නැති ය. ජීවිතයෙන් අඩකට වඩා ගෙවා හිඳින ඔහු ගේ සමාජ හා වෘත්තීය අත්දැකීම්, සිය යුග දිවිය මත්තේ කණ කොකා හැඬලීම ඒ ආකාරයෙන් විනිශ්චය කරනවා වන්නට පුළුවන. ඇතැම් විට ඔහු නිවැරදි වන්නට පුළුවන. නමුත් ඇය සම්බන්ධයෙන් ඔහු වැරදි වෙන්නටත් පුළුවන. 

“ඔය කොච්චර ලස්සනට ඉන්න ගෑනියෙක්ගෙ වුණත් පිරිමි වෙන වෙන ඒවට පැටලෙන්නෙ නැතුවයෑ…”

පිලපිටිය මැතිණිය නෝක්කාඩුවක් පෙන්වූවා ය.

“ඔව් ඒක මං නෑ කියන්නෙ නෑ. දිව්‍යාංගනාවක් ගෙදර හිටියත් සමහර එවුං යනවම තමයි. ඒක උන්ගෙ ජන්ම ගතිය. හැබැයි ගෑනු ළමයි තමන්ට ආදරේ කරන්න ගත්තහම උන්දලට බැරි වෙනව ඒ ගෑනු ළමයින්ට රිද්දන්න. නිශාමනී ඒක මෙයින් මතු ජීවිතේදි පාඩමක් විදිහට මතක තියා ගන්න”

ඇය එදා ම පියා සමගින් කාර්යාලයට ගියා ය. ඇගේ පාසල් මිතුරිය වැඩ කරන්නේ එතැන ය. සියල්ලට වඩා සතුට තියෙන්නේ එතැන ය. විවාහයට කැප වීම තුළ ඇය ට සිය හොඳ ම යෙහෙළිය පවා යම් තරමකට මග හැරුණු බව නිශාමනී ට සිහිපත් වූයේ ය.

“මාත් දැන් වයසට යාගෙන ලෙඩ වීගෙනනෙ එන්නෙ. ඒක නිසා නිශාමනී දැන් මේවගෙ පාලනේ අතට ගන්න එක මටත් නිදහසක්”

කාර්යාලයේ සේවක පිරිසට ඇය හඳුන්වා දෙමින් පිලපිටිය මහතා කීවේ එසේ ය.  බොහෝ දේවල් ජීවිතයට මගහැරී ඇති බව ඇය ට දැනෙන්නට විය. ඒ තැන් සන්තෘප්ත වෙත්දී, අහිමි වූ එක දෙයක් ගැන වැලපෙන්නට තරම් කාලයක් නැති වනු ඇති බව ඇය ට විශ්වාස ය.

“ශාරද කියන චැප්ටර් එක ක්ලෝස් ම කරල දාමු. පොතක් එක චැප්ටර් එකකින් ඉවර වෙන්නෙ නෑනෙ ශාමි..ඉස්සරහට එන්න නියමිත ආකාස ගෙ චැප්ටර්ස් වලටයි මන්නං ආස”

චේතනා සිය පාසල් වියෙහි දී සේ ම දඟකාර වූවා ය. නිශාමනී සිය දබරැඟිල්ල දෙතොල් මත්තේ තබමින් ඈ නිහඬ කළා ය.

“පොතක පිටු වගේ ලේසි නෑ චේති ජීවිතේ චැප්ටර්ස් පෙරළන්න. එක චැප්ටර් එකක් ඉවර වුණාට පස්සෙ සෑහෙන බ්‍රේක් එකක් ඕන වෙනව හිත සන්සුන් කර ගන්න. මට සමහර වෙලාවට හීනයක් වගේ මේ හැම දේම. හරියට නිකං නින්දෙන් ඇහැරුණ ගමන් වගේ. හැබැයි මන් දන්නව මේ අන්තර් කාලයක් කියල..හරියට නිකං ගන්දබ්බ යුගයක් වගේ..කොච්චර කාලයක් පා වෙවී ඉන්න වෙයිද කියල මන් දන්නෑ. හැබැයි කොයි කාලයක් හරි එහෙම ඉන්න මං හිත හදා ගෙන තියෙන්නෙ. උදේ තාත්ත කියපු ගොඩක් දේවල්…මීට අවුරුදු පහකට කලින් කවුරු හරි මට කියල තිබුණනං කියල හිතෙනව. අනාගතේ ගැන ප්ලෑන්ස් නෑ. හැබැයි මං සතුටෙන් ජීවත් වෙන්න ට්‍රයි කරනව”

“ඔයාට පුළුවන්..පියාඹනකොටයි තටු හයිය වෙන්නෙ”

නිශාමනී ඔවුන් ගේ ආයතනයෙහි රැකියාවට යන බව ශාරද දැන ගත්තේ ආකාස ගෙනි. ඔහු ක්ෂණික නො රිස්සුමකට පත් ව නිශාමනී ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. ඒ වෙලාවේ ඇය ඔවුන් ගේ වෙළෙඳ පොළ ගැන අධ්‍යයනයක සිටියෙන් ඇය පිළිතුරු දෙන්නට ගියේ නැත. නමුත් දුරකතනයේ හැඬවීම නතර වූ ගමන් නැවත ද ශාරද ගත්තේ ය. එවර ඇය ඇමතුමට සම්බන්ධ වූවා ය.

“කියන්න ශාරද. ඔයා මීට පස්සෙ හවසට කතා කළොත් තමයි දුව එක්ක කතා කරන්න වෙන්නෙ. මොකද ඔෆිස් ටයිම් එකේ මං ගෙදර නෑ”

ඇය සාඩම්බරයක් නැගී ගෙන එත්දී ආඩම්බරයෙන් කීවා ය.

“ඇත්තද…”

ඔහු සමච්චල් සිනහවක් නැගුවේ ය.

“මැඩම් එච්චරට බිසී ද…”

“ශාරද මං වැඩක ඉන්නෙ. කියන්න තියෙන දෙයක් ඉක්මනට කියනවද…”

“මං කැමති නෑ ඔයා ජොබ් එකකට යනවට”

“මොකද්ද…”

නිශාමනී ට සිනහ නැගුණේ එසේ විමසීමෙන් අනතුරුව ය.

“ඉතිං ඔයා කැමති දේවල් ගැන ඇයි මේ මට කියන්නෙ…මං ඔයාගෙ කවුද…”

“ශාමි මේ. මගෙ යකා අවුස්සන්නනං එපා”

“ශාරද මේ…ඔයාගෙ යකාට බය වෙන්න දැන් මං ඔයාගෙ කවුරුවත්නං නෙවෙයි හොඳේ. මේ විදිහට හරි මං ඔයා එක්ක කතා කරන්නෙ ඔයා මගෙ දරුවගෙ තාත්ත නිසා. පහෙන් පස්සෙ කතා කරන්න”

කියමින් නිශාමනී දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. ඒ සමග ම පෙර දා සැඳෑවේ සිට ගොඩ නැගෙමින් තිබි යමක් ද බිඳ වැටෙනා බවක් ඇය ට දැනෙන්නට ගත්තේ ය. නිශාමනී අතැඟිලි වලින් නළල පිරිමදිමින් මඳ වෙලාවක් ගත කොට යළිත් පරිගණක තිරයට එබුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles