සන්තාන සුසුම් සර – 10

0
6060

යසස්වී වෙහෙරගොඩ මිදුලේ සිමෙන්ති බංකුව මත වාඩි වී සිටියේ කේන්තියෙන් පුපුරු ගසමිනි. මීට මඳ වෙලාවකට පෙර ඇයට උදාර කතා කළේ ය. උදේ සිට ම කිහිප වරක් ඔහු ඇමතුම් ගත්ත ද ඇය කතා කළේ නැත. එබැවින් සන්ධ්‍යාවේ ගත්දී පිළිතුරු නොදී සිටිය නො හැකි ය.

‘මං කතා කළහම ආන්සර් කරන්නැත්තෙ තමුසෙට කැම්පස් එකේ කොල්ලෙක් ඉන්නවද’

කියා ඔහු ඇසූයේ ඇයට ඔක්කාරයක් දනවමිනි.

‘තාමනං මට කැම්පස් එකේ කොල්ලෙක් නෑ. ඉන්නවනං ඒක තමුන්ට කියන්න මං බයවෙන්නෙත් නෑ’

ඇය ඍජුව ම කීවා ය.

‘ආ එහෙමද නෝනා… තමුසෙ ලොකු සීන් එකෙන් ඉන්නෙ නේ… මං කොළඹ එනව. මට ඔය බෝඩිමේ ලොකේශන් එවල තියනව’

යසස්වී හදවතින් ම තිගැස්සී ගියා ය.

‘ඒ මොකටද…’

ඇය ප්‍රශ්න කළේ නො රිස්සුමෙනි.

‘මගෙ වැඩකට එන්නෙ’

‘මං අහන්නෙ මෙහෙට එන්නෙ මොකටද කියල’

‘ඔහෙට එන්නෙ තමුසෙ මං බඳින්න ඉන්න ගෑනි නිසා. වෙන මොකටද…’

‘නෑ නෑ මෙහෙට එන්න එපා. මෙහෙ ආන්ටිල කැමති වෙන්නෑ එහෙම පිරිමි ගෙන්නගන්නවට. කතා කරන්න තියන දෙයක් ෆෝන් එකෙන් කියන්න. හම්බවෙලා කියන්න තියන දෙයක් මං ගෙදර ආවහම කියන්න’

යනුවෙන් තදින් කියා දමා යසස්වී දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. එපමණක් නොව දුරකතනය සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කළා ය. ඇය හුස්ම ගනිමින් සිටියේ වේගයෙනි. ඇස් පිය පවා ඉක්මනින් සැළිණි. සිරුරේ රුධිර සංසරණය වේගවත් වී තිබුණෙන් ඇයට මේ සිහිල් සෙවනේත් දාහයක් දැනිණ. කම්මුල් පවා රතු වී තිබිණ.

උදාරගෙන්  ගැලවිය යුතු බව ඇය දනී. නමුත් එය කෙසේ කළ හැකි වනු ඇත්ද කියා ඇය නො දනී. උදාර වූ කලී කාලයත් සමග විසඳෙනු ඇතැයි බලා සිටිය නො හැකි වසංගතයකි. තව තවත් පැතිරී විනාශයක් වෙන්නට පෙර මුලිනුපුටා දැමිය යුතු පිළිලයකි.  මුදලාලිලා දෙන්නාට උවමනා මේ විවාහය සිදු කොට තම තමන්ගේ හාල් ගොඩවල් එකට දමා එක ලොකු ගොඩක් තනන්නටයි. ගොඩ ලොකු වෙත්දී බලය ද වැඩි වන්නේ ය. නමුත් ඔවුන් සිය ධනය හා බලය පුළුල් කරගනු වස් දරුවන් ඉත්තන් කරගන්නා එක කෙතරම් සාධාරණ ද? අනිත් අතට උදාර වනාහී යසස්වි වන් ගෑනු ළමයෙකු කිසි දා නො පතන පිරිමියෙකි.

දිල්නුක ගේ යතුරු පැදිය විත් යසස්වි ගේ පාද ළඟ ම නතර විය. ඔහු එහෙම කළ එක ගැනත් ඇයට දැනුණේ කේන්තියකි. නමුත් කතා කරන්නට තරම් උනන්දුවක් හිතේ වූයේ නැත.

‘හායි’

හෙල්මට් එක ගලවා අතට ගනිමින් දිල්නුක යුවතිය වෙතට අඩවන් බැල්මක් හෙළුවේ ය. යසස්වී ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.

‘මේ… අපේ යුනි එකේ එවුං සෙට් වෙන පොඩි ඩිනර් ඩාන්ස් එකක් තියෙනව. එනවද යන්න…’

ඔහු අතින් හිස කේ පිටුපසට කරනා ගමන් ඇය වෙත හෙළුවේ යසස්වී අකමැති ම වර්ගයේ බැල්මකි.

‘මං මොකටද අනේ ඕගොල්ලොංගෙ යුනි එකේ පාටීස් වලට එන්නෙ…’

ඇගේ බැල්මේ සේ ම ස්වරයේ ද අවඥාවක් විය.

‘නෑ එහෙම අවුලක් නෑ. කොල්ලො ඇතුළෙ නැති ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලව එහෙමත් එක්කං එනව’

‘ඒ ඉතිං ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලනෙ. මං ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේනෙ’

ඇගේ හඬට ද බැල්මට ද යම් කිසි දැඩි බවක් ආරූඪ වෙමින් තිබිණ. ඇතැම් විට උදාර ගේ දුරකතන ඇමතුම නිසා ඔහු කෙරේ ලියලමින් තිබූ කෝපය දිල්නුක පිටින් යාමේ උත්සාහයක් දැරුවා වන්නට පිළිවන.

‘ඕන්නං ඉතිං වෙන්න බැරිකමකුත් නෑ’

ඔය වාගේ ජුගුබ්සාජනක කතා කියන හිවල් ගණයේ පිරිමින් ට යසස්වී කැමති ම නැත. නමුත් ඇය දිගට ම තුසිතයේ සිටිත යුතු ය. ඇය තුසිතයට ආදරේ ය. එහි සිටිනා මෘදු හදවත් ඇති මිනිසුන් ට ආදරේ ය.

‘නෑ එහෙම ඕනකමක් නෑ’

කියා ඇයට හැකි උපරිම පාලනයෙන් යුතුව කීවේ දිල්නුක මේ ගෙදර මනුස්සයෙකු වීමේ ගෞරවයක් වශයෙනි. නො එසේව ඔහු ගේ කන් වල ඇඟිලි ගසාගන්නට සිදු වන ලෙස කතා කරන්නට ඇය පසුබාන්නේ නැත.

‘චුට්ටක් හිතල බලන්නකො’

කියමින් දිල්නුක එතැනින් නික්ම ගියේ සනුක ඒ දෙසට පැමිණෙමින් සිටිනවා දුටු බැවිනි. සනුක ඇවිත් යසස්වී ට යාබදව බංකුවෙහි හිඳගත්තේ ය.

‘මොකෝ…’

ඔහු ඇදෙස බැලුවේ මඳක් ඉදිරියට නැඹුරු වෙමින්, හිස හරවා ඇගේ මුහුණ දකිමිනි. යසස්වි සිටිනුයේ අභ්‍යන්තර සුළි කුණාටුවක් තුළ බව ඒ මොහොතේ සනුක නිශ්චිතව හැඳිනගත්තේ ය.

‘ටිකක් පරිස්සමෙං ආශ්‍රය කළොත් හොඳයි. අපේ මිනිහ එච්චර හොඳ කෙනෙක් නිසයි කිව්වෙ. මගෙ අයිය තමයි. ඒ වුණාට තමුසෙත් මට මගෙම සහෝදරියක් වගේ තමයි’

‘සෝ ස්වීට් අනේ’

ලස්සන සිනහවකින් යසස්වී සනුක ගේ හිස් මුදුනෙහි කෙහෙ රැල් අවුල් කළා ය. ඊලඟට සිනහව තුනී වෙන්නට හරිමින් ගැඹුරු මනෝභාවයකට පිළිපන්නා ය.

‘මං දන්නව සනුක. මං දිල්නුකව අතේ දුරෙං තමයි තියං ඉන්නෙ’

‘කොහොමද දන්නෙ…’

‘ඔය වගේ පිරිමි මං හොඳට අඳුරනව. ඒ වගේම මට පේන්න බෑ. මං හැම පිරිමියෙක්ටම වෛර කරන කෙල්ලෙක් නෙවෙයි. හැබැයි ඔය සෙවල පිරිමිනං මට අප්පිරියයි. මැරි කරන්න කියල ගෙදරිං මට ප්‍රපෝස් කරල තියෙන්නෙත් එහෙම සතෙක් තමයි’

‘ඕයි මැරි කරන්න කොල්ලෙක් ඉන්නවද…’

‘මං ඌව බඳින්නෑ. මේ දැනුත් කෝල් කරල මෙහෙට එන්න ලොකේශන් ශෙයා කරන්නලු. ඒකට මළ පැනල ඉද්දි තමයි මේ හෝතම්බුව ඩිනර් ඩාන්ස් එකකට යන්න කතා කරන්නෙ. ඇයි ඕයි පිරිමි මෙහෙම චීප් වෙන්නෙ… කොල්ලෙක් වුණාම ඉන්න ඕනෙ කෙල්ලෙක්ට පස්සෙං යන්න හිතෙන තරං ආඩම්බරයක් එක්ක’

ඒ වෙලාවේ යසස්වි ගේ මුහුණේ වූ අඳුරු වලාකුළු පහව යමින් සිනහවක හිරු කිරණ පතිත වෙමින් තිබිණ. සනුක හඬනගා සිනහ වූයේ ය.

‘අඩෝ එතකොට කොල්ලොද ආඩම්බර වෙන්න ඕනෙ… අපි අහල තියෙන්නෙ කෙල්ලො කියලනෙ’

‘කොල්ලොත් එහෙම තමයි. වෙන කෙල්ලන්ට මන්දන්නෑ… මටනං…’

‘ඒකත් දැනගත්ත එක හොඳයි’

‘මොකටද දැනගෙන… තාම කෙල්ලො යාළුකරගන්න වයසක්ද…’

‘එතකොට කෙල්ලො යාළුකරගන්න වයසට යනකල් ඉන්න ඕනෙද… අපේ බාප්ප වගේ…’

‘ඉතිං එයා වයසද… පිරිමිංගෙ පිරිමි පාට පේන්නෙ චූට්ටක් විතර වයස වැඩිවෙනකොට තමයි. පොඩ්ඩක් ඉවසල ඉන්නව හදිස්සි වෙන්නැතුව’

යසස්වි සනුක ගේ කනක් අල්වා මිරිකුවා ය. වත්ත පහළට ගොස් සිටි විජිත පේර ගෙඩි දෙක තුනක් කඩාගෙන විත් යසස්වි ට දුන්නේ ය.

‘සීයටත් දැං අපිව පේන්නෑ නේ… මෙයාට තමයි ඔක්කොම සැලකිලි. ඕගොල්ලොන්ටත් චීත්ත කෑල්ලක් පේන්න බෑ නේ…’

සනුක ආඩපාලි කීවේ ය. විජිත ගේ සිනහ හඬ තුසිතය පුරා හමා ගියේ ය.

‘මොනා වුණත් අපේ ගෙදරට කෙල්ලෙක් අහසින් හරි කඩං පාත් වෙච්ච එකනං හොඳයි නේද සීයෙ…’

‘අන්න ඒකයි කොල්ලො. ගඩා ගෙඩියක් පැහිල තියනව දැක්කත් කඩං එන්න හිතෙන්නෙ ගෙදර කෙල්ලෙක් ඉන්නවනං තමයි’

විජිත ගේ දෙසට නික්ම යනයුරු ඔවුන් දෙදෙනා ම බලා සිටියේ හදවත වාං දමනා අමුතු හැඟීමකිනි. වැඩිහිටියන් ආදරණීය වන විට යෞවනය සැහැල්ලු වේ. වැඩිහිටියන් යෞවනය වටහාගන්නා සුළු වන විට තරුණයින් වඩාත් මිත්‍රශීලී වේ. එතකොට පරම්පරා පරතරය අහෝසි වී යන්නේ ය. ජීවිතය මේ වාගේ වෙනවාට යසස්වි හරි කැමති ය.

‘මේ ඒක නෙවෙයි…’

සනුක ගේ හඬින් ඇය ඔහු දෙසට හැරුණේත් මුව මත ඉතිරි වී තිබූ මඳහසින් ම ය.

‘බොරු ලොකේශන් එකක් යවල පොරව වටේ යවමුද…’

යසස්වී හඬ නගා සිනහ වූවා ය.

‘අයිඩියා එකනං මරු. ඒත් ඔය යකා නයෙක් වගේ වෙයි ඊට පස්සෙ. පළිගන්නම මාව බැඳගන්න ට්‍රයි කරයි’

එවර ඇගේ මුහුණට පිවිසියේ දුක්මුසු බවකි. සනුක මඳ වෙලාවක් ඇගේ මුහුණ මත ම නතර කරගත් බැල්ම ඇතිව සිටියේ ය.

‘පව් හලෝ තමුසෙ. අපි බලමුකො කොහොමහරි පොරව හලන්න. වොරි වෙන්නෙපා හරිද…’

කෙනෙකු තමන් වෙනුවෙන් සිටිනවා කියා දැනෙන ඒ හැඟීම ඇස් තෙත් කරන්නකි. යසස්වි ට හඬන්නට ඕනාකමක් දැනුණ ද ඇය සිනහ වීගෙන ම සිටියා ය.

හැන්දෑවේ ගෙදර එන විට සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ළඟ රිය නවතා අස්විද කෘමි නාශක ස්ප්‍රේ කෑන් එකක් මිල දී ගත්තේ ය. ගෙදර ආ ගමන් ඔහු එය පැන්ට්‍රි කබඩ් වලට ද සින්ක් එකට ද වෙනත් අහු මුලු වලට ද ස්ප්‍රේ කරනු දැකිය හැකි විය.

‘හරි වදේ. ගඳේ බෑ මේ සත්තු ගේ හැමතැනම’

වජිරා අතින් මුව වසාගෙන ඇතුළතින් සිනහ වූවා ය. නමුත් ඕ ‘හ්ම්’ කීවා පමණකි.

 ‘අර කෙමිකල් එක ස්ප්‍රේ කරපු නිසා පහළ මාර සැරයි. උඩට උදේ ස්ප්‍රේ කරල පහළට වෙලා ඉන්න’

කියාගෙන ඇඳිරි වැටෙත්දී අස්විද මතු මහළට ආවේ ය. තුසිතයෙහි තනි ලොකු පවුලක් සිටියා ට එය ක්ශුද්‍ර ඒකක දෙකක් ලෙස පැවතීම පිළිගත යුතු සත්‍යයි. ඒ පවුල් දෙක යා කරන පාලම වූයේ චේතියයි. යසස්වි තුසිතයෙහි නවාතැන් ගන්නට පෙර ද හැන්දෑවට මතු මහළට විත් අස්විද අම්මා හා තාත්තා සමග රෑ වන තුරු රැඳී හිඳ පහළට යයි. වැඩිපුර කතා නො කළ ද එහෙම ඉද්දී ඔහු ට පවුලක සුරක්ෂිත බව ගැන හැඟීමක් දැනේ. යසස්වි ආවාට පස්සේ ඔහු වැඩිපුර මතු මහළේ නො ගැවසිණි. ඊට හේතුව ලැජ්ජාව ද ආඩම්බරකම ද කියා ඔහු ම හරියට දන්නේ නැත. මේ මොහොත ඔහු ට ඒ චිත්ත චෛතසිකයන් අතික්‍රමණය කිරීමට අවස්ථාව සලසා දුනි.

‘ඩයස් කපුව තව මනමාලියෙක්ගෙ පින්තූර වගයක් දීල ගියා. චූටි පුතා බලල මේකටවත් යමුද කියන්නකො මනමාලි බලන්න’

වජිරා ඡායාරූපයක් ගෙනැවිත් අස්විද වෙත දිගු කළේ ය. ඔහු එදෙස බැලුවේවත් නැත.

‘අයියෝ… අම්ම තාමත් මේ එපා කියන දේ කරනවනෙ’

‘එපා කියල කොහොමද… ඔයා පිළිවෙළක් වෙන්නැතුව අපිට සැනසිල්ලෙ වයසට යන්න බෑනෙ චූටි පුතා’

‘ඕගොල්ලො දන්නැතුවට මෙයාට කවුරුහරි ඇති ආන්ටි. නිකංම ඔහොම එපා කියන්නෑනෙ’

යසස්වි ඇහෙන නෑහෙන ගානට එසේ කොඳුළේ වජිරා අතින් ඡායාරූපය ගෙන බලමිනි. අස්විද ගේ පිරිමි ඇස් ඈ මත පතිත විය. මේ කෙල්ලට ඕනේ නැති දෙයක් නැත. නමුත් ඇයට බණින්නට හිතෙන්නේත් නැත.

‘මේ ගර්ල්ගෙනං අවුලක් නෑත් වගේ ආන්ටි. මෙයා බෑ කිව්වට කමන්නෑ. අපි දවසක් දාං යං අංකල් මනමාලි බලන්න. හොඳට කාල බීල එන එකනෙ අප්ප. අනිත් එක දැක්කට පස්සෙ මෙයා කැමති වෙනවමයි. ඔන්න බලන්නකො මං බොරුද කියන්නෙ කියල’

අස්විද ට සිනහ ගියේ ය. ඒ සිනහව ක්ෂණික ව පිපුණේ සූර්ය උදාවක් විලසිනි. අරවින්ද යායක් මෙනි. යසස්වී ට නෙතු පිය සලන්නට මොහොතකට අමතක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here