පිණි මුතු පලසක් – 51

0
1824

දින කිහිපයකට පසු අරුණ සුවය ලැබුවත්, ඔහුගේ සිතේ තිබූ දුක පහව ගොස් තිබුණේ නැත. අනෝමා දිනපතාම ඔහු සමඟ කතා කළාය. ඇය ඔහුට සමීප වීමට උත්සාහ කළාය. තම පුතාගේ නිහඬ වේදනාව ඇගේ හදවතට මහත් පීඩාවක් විය. 

අනෝමාට තවදුරටත් දරුවන් තමන්ගේ දෑතින් සහ දෑසින් මිදී යා යැයි බියෙන් ජීවත් වීමට උවමනා නොවූ අතර, තම පුතාගේ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට අනෝමා උන්නේ ඒ මොහොත වෙද්දී හිත හදාගෙනය. ඒ රාත්‍රියේදී, අනෝමා අරුණගේ ඇඳ අසල නිහඬව වාඩි වී සිටියේ, ඔහුට සැනසීමක් ලබා දීමටත්, තමා හිත අස්සෙන් අත්විඳින ලද අර්බුදයට පිළිතුරක් සොයා ගැනීමටත්ය. අනෝමාගේ මනස අතීත සිදුවීම් සහ සමාජයේ මතවාද අතර දෝලනය වූ අතර බැඳීම් අත හැරේ යැයි තමන්ව බියට පත් කරන කාරණාව තමන්ව අසරණ කර තිබෙන බවත් අනෝමා ඒ වෙලාවේ තේරුම් ගත්තාය.

එදින සවස අනෝමා අරුණට සහ සමුධ්‍යාට තම නිවසට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ඒ සිතුවිලි වලින් අවසානයේ එක් පැත්තක නතර වීගෙනය. 

අරුණ උන්නේ අම්මාගේ ඒ ඉල්ලීමෙන් පුදුමයට පත් වීය. සමුධ්‍යාද උන්නේමඳක් කලබල විය. ඔවුන් දෙදෙනාම අනෝමා හමුවනු පිණිස ගෙදරය ආවේ නොසන්සුන් වූ හදවත් ඇතිවය. ඒ හැන්දෑ වරුවේ අරුණගේ නිවසේ විසිත්ත කාමරයේදී ඔවුන් තිදෙනා මුහුණට මුහුණ බලා සිටියහ. අවට පැතිරී තිබුනේ විසල් නිහඬතාවයකි. අරුණ සහ සමුධ්‍යාගේ දෑස්වල තිබුණේ බලාපොරොත්තුවත්, බියත් මුසු වූ විමසිලිමත් බැල්මකි. ඔවුන්ගේ අනාගතය පිළිබඳ තීරණය අනෝමාගේ වචන මත රඳා පවතින බව ඔවුන් දෙදෙනාම දැන සිටියහ.

අනෝමා ගැඹුරු හුස්මක් ගෙන කතා කරන්නට වූයේ කියන්නට ඕනා සියලුම දේ හිත අස්සෙන් පෙළගස්වාගෙනය. ඇගේ කටහඬ ස්ථීර වූවත්, එහි යම් දුකක් හා සංයමයක් ගැබ් වී තිබුණි. 

“දරුවනේ… මම ඔය දෙන්නටම කියන්න වැදගත් දෙයක් තියෙනවා.” අනෝමා කතාව පටන් ගත්තේ මද වේලාවක් තිස්සේ කල්පනා කරමින් හිඳ අනතුරුවය. අරුණගේ සහ සමුධ්‍යාගේ දෑස් තිබුනා ඇය වෙතටම යොමු වීය. අනෝමා විසින් කියන්නට යන්නේ කුමනාකාරයේ කතාවක්ද කියා දැනගන්නට ඔවුන් උන්නේ නොඉවසිල්ලකිනි.

“මට කවදාවත් ගෑණියෙක්, මනුස්සයෙක් වෙලා ඉඳගෙන, ඔක්කොම ආසාවල් අතෑරපු මනුස්සයෙක් වගේ ඔය දෙන්නගෙ සම්බන්ධෙට හා කියන්න පුලුවන්කමක් නෑ.” අනෝමා කියද්දී අරුණගේ සහ සමුධ්‍යාගේ මුහුණු මත ඇඳුනේ බලාපොරොත්තු සුන්වීමක රේඛාවන්‍ ය. අම්මා තමන් දෙදෙනාටම අද මෙලෙස ගෙදරට එන්නට යැයි ආරාධනා කලේ අම්මාගේ මුවින්ම ඇය තමන්ගේ සබඳතාවයට දක්වන විරෝධය වඩා හොඳින් පහදා දෙන්නට බව අරුණ මෙන්ම සමුධ්‍යාගේද හිත් ඒ මොහොතේ කියමින් උන්නහ.නමුත් අනෝමා තම කතාව දිගටම ගෙන ගියාය. ඇගේ දෑස්වල යම් අධිෂ්ඨානයක් දිස් විය. ඇය දිගු කලක් තිස්සේ තම සිතේ රඳවාගෙන සිටි දෙයක් ප්‍රකාශ කරන්නට මෙන් තමන්ගේ වදන් නොනවත්වා කියාගෙන ගියාය.

 “ඒත් මම මේ ගමන යන්න තීරණය කරේ ඒ හන්දා නෙවෙයි. ගෙවිච්ච වෙච්ච හැමදේකින්ම මං ජීවිතේ ගැන සෑහෙන කලකිරිලා ඉන්නෙ, ඒ හන්දයි මම මේ තීරණේ ගත්තෙ. මගේ ගිහිකම අතෑරල පැවිදිවෙන්න හිතපු එකේ මට ඔයාලා දෙන්නගෙ සම්බන්දෙට තවත් විරුද්ධ වෙන්න හේතුවක් නෑ.”

කියා අනෝමා තමන්ගේ වචන අවසන් කරද්දී අරුණ මෙන්ම සමුධ්‍යා ද උන්නේ ගල් ගැසී මෙනි.

ඒ වදන් අරුණගේ සහ සමුධ්‍යාගේ සිතට මහත් කම්පනයක් ගෙන දුන්නේය. ඔවුන් දෙදෙනාම පුදුමයෙන් එකිනෙකා දෙස බැලූහ. අම්මා මේ සියල්ල අත හැර සසුන්ගත වීමට යනවාය කියන කාරණාව ඔවුන් දෙදෙනාටම විශ්වාස කරන්නට නොහැකි එකක් විය.ඔවුන් බලාපොරොත්තු වූයේ කිසියම් ප්‍රතික්ෂේප කිරීමක් මිස මෙවැනි තීරණයක් නොවේ. විසිත්ත කාමරය පුරා දැඩි නිශ්ශබ්දතාවයක් පැතිර ගියේ ඒ නිසාවෙන්මය.

“අම්මේ… ඔයා ඇත්තටම මහණ වෙන්න යනවද?” අරුණ ඇසුවේ වෙව්ලන හඬකිනි. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. මේ තීරණය ඔහුට කිසිසේත් බලාපොරොත්තු නොවූවක් වීමම ඒ වෙව්ලීමට හේතු විය.

“ඔව් පුතා. මට මේ ජීවිතේ ඇති. මට ඇත්තටම ඕන මගේ හිත නිදහස් කරගන්න පුලුවන් විදියක් හොයාගන්න. මේ ගිහි ජීවිතය මට තවත් දරාගන්න බැහැ. හැමදාම බයෙන්, සැකෙන්, කනස්සල්ලෙන් ජීවත් වෙන්න මට බැහැ. තාත්තායි මල්ලියි දෙන්නම ගෙදර ඉද්දිත් මම තනිවෙලා වගේ උන්නේ. ඒ දෙන්නා නැතුවත් මම තනිවෙලා ඉන්නේ. මම හිතන්නෙ මම ඒ තනිකම කියන දේ ඉරණමෙන් අරන් ආව මනුස්සයෙක්. සමාජෙ හිතන දේවල්, මිනිස්සුන්ගේ ඕපාදූප, මගේ හිතට ලොකු බරක් පුතේ. මම උත්සාහ කළා ඒවායින් මිදෙන්න, හැබැයි මට බැරි වුණා.වෙච්ච හැමදේම එක්ක මට තේරිච්ච දේ තමයි අපි මේ ආදරෙන් ආසාවෙන් ලං කරගන්න දේවල් නිකන් හරියට අපිව කොටුකරලා තියෙන දැලක් වගේ. ඒ දැලෙන් මිදෙන්න මට පාරක් පේන්න තිබුණේ නැහැ.

මේ ලෝකේ දුකෙන් පිරිලා කියලා මට දැන් හොඳටම තේරෙනවා. මම මේ දුකෙන් නිදහස් වෙන්න කැමතියි. පුතා, ඔයා සමුධ්‍යා එක්ක ඉන්නකොට මගේ හිතේ ලොකු බයක් තිබුණා. සමාජෙ ඔය දෙන්නා දිහා කොහොම බලයිද, කටකතා මොනවගේ වෙයිද කියලා මම ගොඩක් බය වුණා. සමුධ්‍යා සත්සරා එක්කහු කරගෙන මූණ දෙන්න වෙච්ච සිදුවීම හන්දා එයාට මිනිස්සුන්ගෙන් එන ඒ පීඩනේ ඔයාටත්  ඒක කරදරයක් වෙයි කියලා මම හිතුවා. ඒ නිසාම තමයි මම ඔය දෙන්නගේ සම්බන්ධෙට මුලින් විරුද්ධ වුණේ.

ඒත් දැන් මට තේරෙනවා, මගේ බය නිසා ඔය දෙන්නගේ ආදරයට බාධා කරන්න මට අයිතියක් නැහැ කියලා. සමුධ්‍යා කියන්නේ හොඳ දරුවෙක්. මම ඇත්තටම දූව දැක්ක දවසෙම හිතුවා දූ තමයි මගෙ ලොකු පුතාට ගැලපෙනම දරුවා කියලා. ඒක අන්තිමේ උනේ මම බලාපොරොත්තු නොවිච්ච විදියට උනත් මගෙ පුතාට ලැබුනෙ එයාට ලැබෙන්න සුදුසුම මනුස්සයා කියන එකම මං හිතන්නෙ මට ඇති මේ සසර ගමන නිවි හැනහිල්ලෙ ඉවර කරන්න.”

අනෝමාගේ හඬේ තිබුණේ සන්සුන් බවකි. ඇගේ මුහුණේ කිසිදු කෝපයක් හෝ දුකක් නොවීය. සමුධ්‍යා අනෝමා දෙස බැලුවේ ගෞරවයෙන් හා දුකෙනි. 

“මේ ගෙවිච්ච කාලෙ එක දවසක් හරි නොදැනුවත්වම හරි මං හන්දා අම්මගෙ හිත රිදුනා නම් මට සමාවෙන්න අම්මා” කියා අනෝමාගේ දෙපා වදිමින් සමුධ්‍යා පැවසුවේ ඇගේ දෑස්වල කඳුළු පුරවාගෙනය. අනෝමාගේ තීරණය ඔවුන්ට මහත් සතුටක් ගෙන ආවත්, ඇය තම ජීවිතය මෙසේ වෙනස්ම මගක ගෙනයන්නට තීරණය කිරීම සතුටෙන් භාරගන්න හැටියක් සමුධ්‍යාටවත් අරුණටවත් තිබුනේ නැත.

“දුක් වෙන්න එපා දරුවනේ. මේක මගේ තීරණය. මට ඕන වුණා ඔය දෙන්නාට සතුටින් ඉන්න ඉඩක් දෙන්න. මම මේ ගිහිකම අතහැරලා ගියාට පස්සේ උනත් ඔය දෙන්නාගේ ආදරයට මම ආශිර්වාද කරනවා.” අනෝමා පැවසුවේ මඳ සිනහවකිනි.

අනෝමාගේ තීරණය අරුණගේ සහ සමුධ්‍යාගේ සිතට මහත් කම්පනයක් ගෙන ආවත්, ඒ සමඟම එය ඔවුන්ගේ ආදරයට මග විවර කළේය. දින කිහිපයකට පසු, අනෝමා නිවසින් පිටත්ව ගියේ පැවිදි ජීවිතය ආරම්භ කිරීමටයි. ඇය තම ගිහි ජීවිතයේ බැඳීම් සියල්ල අත්හැර, සැබෑ සාමය සොයා යන ගමනට පිය නැගුවාය. ඇගේ පිටත්වීම නිවසටත්, ඔවුන්ගේ ජීවිතයටත් නව හැරවුමක් විය.

අනෝමාගේ පිටත්වීමෙන් පසු, අරුණ සහ සමුධ්‍යා විවාහ වීමට තීරණය කළහ. ඔවුන්ගේ විවාහය සරලව සිදු වුවත්, එය ආදරයෙන් හා සතුටින් පිරී තිබුණි. සමුධ්‍යා තම සමාජ සේවය දිගටම කරගෙන ගියාය. ඇය අසරණ වූ දරුවන්ට සහ කාන්තාවන්ට උපකාර කළාය. අරුණද ඇයට ඒ සඳහා උපරිම සහයෝගය ලබා දුන්නේය. ඔවුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් හා අරුතක් ලැබී තිබුණි. 

වසර කිහිපයක් ගෙවී ගොස් තිබුණේ ඒ සියල්ල අතරේය. 

අරුණ සහ සමුධ්‍යා සතුටින් පිරි ජීවිතයක් ගත කළහ. ඔවුන්ට කුඩා දියණියක් සිටියාය. ඇය තම මවගේ ධෛර්යය හා පියාගේ කරුණාව උරුම කරගෙන සිටියාය. සමුධ්‍යා තවමත් පාසල් දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින්, සමාජයට මහත් සේවයක් ඉටු කළාය. ඇය තම අත්දැකීම් පාඩමක් කරගෙන, අසරණ වූ අයට ශක්තිය ලබා දුන්නාය. අරුණද ඇගේ සියලු කටයුතුවලට සහයෝගය දුන්නේය. ඔහු ඇගේ ශක්තියට හා අධිෂ්ඨානයට නිතරම ගරු කළේය. අනෝමා මහණ වීමෙන් පසු වරින් වර ඔවුන් හමු වූයේ උත්තමා මෙහෙණින් වහන්නේ ලෙස මෙහෙණි ආරාමයේදීය. ඇය සන්සුන්ව හා සාමකාමීව ජීවත් වූ අතර තම පුතාගේ සහ ලේලියගේ සතුට දැක සතුටු වූවාය.

එදින සවස සමුධ්‍යා නිවසේ සාලයේ වාඩි වී පොතක් කියවමින් සිටියේ ඇසට හසුවන මායිමේ  දියණිය සාලයේ ඉන්දවා ඇයට සෙල්ලම් කරන්නට ඉඩ දීය.  විවාහයෙන් සහ දරුවා ලැබීමෙන් අනතුරුව කොළඹ පාසලකට මාරුවීමක් හදාගන්නට පුලුවන්කම ලැබුණ නිසාවෙන් සමුධ්‍යාට ඒ වෙද්දී පරමාකන්ද ගමවත් සත්සරා ඇතුලු ගම්මානයේ පිරිස එක්කවත් එහෙමකට කියා ලොකු සම්බන්ධයෙක් තිබුනේ නැත. ඒ ඇමතුම එද්දී අරුණ උන්නේ රැකියාවට ගොස්ය. 

 හදිසියේම සමුධ්‍යාගේ දුරකථනය නාද වූයේත් ඇය දුරකථනය ගෙන තිරය දෙස බැලුවේත් තප්පර කිහිපයක විරාමයකදීය. එහි දිස් වූ නම දැක ඇගේ හදවත එක මොහොතකට නතර විය. එහි සනිටුහන් වී තිබුනේ පරමාකන්ද ගමේ පාසලේ තමන් සමග එකට සේවය කරන්නට යෙදුන ගුරුවරියකගේ නමය. වසර ගණනාවකට පසුව පරමාකන්ද පාසලෙන් තමන්ට ඇමතුමක් එන්නට විශේෂ හේතුවක් නොමැති බව දන්න හන්දාම සමුධ්‍යා ඒ ඇමතුම හා සම්බන්ධ වූයේ කුතුහලයක් සමගින් ය.

“හෙලෝ සමුධ්‍යා නේද?” කියා එහා පසින් ඇහෙද්දී සමුධ්‍යා “රංජනී මිස් නේද? කියන්න” කියා ඇමතුවේ හිත මදක් කලබල වෙද්දිය.

“සමුධ්‍යා බිසී නෑ නේද ටිකක් කතාකරන්න පුලුවන් වෙයිද?” කියා රංජනී ඇසුවාය.

“කියන්න රංජනී, මොකක් ගැනද කතාකරන්න ඕන?”

“ම්ම්ම් සමුධ්‍යා මං කතා කරේ සත්සරා ගැන දෙයක් කියන්න” කියා ඇය කියද්දී සමුධ්‍යා තප්පර ගණනකට නිහඬ විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here