දින තුන හතරක කාලයක්ම ආදිත්‍යයට කාර්යාලයට යාමට ඉඩක් ලැබුණේම නැත. ඒ කාලය තුළදී සියලු වගකීම් කරට ගෙන අභිමන් කටයුතු කළ අතර වචනයකින් වත් ඔහු තම සහෝදරයා හට වෙනසක් නොකර සිටීමට වග බලා ගත්තේය. ආදිත්‍යගේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට දේවක නිවසට පැමිණියේ දින හතරකට පසුවය. ඒ මොහොතේ අභිමන්ද නිවසේ නොසිටියේය.
” ඕගොල්ලෝ මේක මේ තරම් ලොකු කර ගෙන දැඟලුවට කවුද දන්නේ එතන ඒ තරම් ප්‍රශ්නයක් නැද්ද කියලා ”
අෂිකා පුදුම වූයේ නැත.දේවක තමා හා ඔහු අතර ඇති වූ ගැටලු වලදීද හැසිරුනේ මේ තරමටම සැහැල්ලුවෙනි.අවසානයේදී ඔහු ඒ ගැටළු වලින් පලා යාම සඳහා තෝරා ගත්තේ ද නිවසින් පිටමං වී ජීවත් වීමය. නමුත් දරුවන් හා සම්බන්ධ ගැටළුවකදී ඔහු ඊට වඩා වගකීමෙන් හැසිරෙනු ඇතැයි අෂිකා බලාපොරොත්තු වුවද එය එසේ සිදු වූයේ නැත.
” දේවක මේක ඔයා හිතන තරම් පොඩි දෙයක් නෙමෙයි. ඔයා ටිකක් ආදිත්‍ය එක්ක කතා කරලා බලන්න. මං හිතන්නේ එයා මේක ශීලා එක්කයි රවින්ද්‍ර එක්කයිත් කතා කරලා ඉවරයි ”
” ආදිත්‍ය කොහොමද මගෙන් අහන්නේ නැතුව එහෙම දෙයක් කරන්නේ ? ”
” ඒක මොන අසාධාරණ කතාවක්ද දේවක ? ඒ දෙන්නගේ ළමයා අපේ ළමයව රැවට්ටුවම ඒ දෙන්නට නොකියා කාට කියන්නද ? ආදිත්‍ය ඉක්මනට ඩිවෝස් එක දායි කොහොමත් ”
” ඩිවෝස් වෙන්න පිස්සුද ? මං බලාගන්නම්කෝ ඒ ගැන ”
දේවක නැගිට යන්නට ගියේය. ඔහු වාහනයට නැගී පිටව ගිය පසු අශිකා දොර වසා දැම්මේ වේදනාවෙනි. මේ පලක් නැති විවාහයෙ තමා රැඳී සිටිනවා මෙන් තම වැඩිමහල් පුත්‍රයා ද තමාව රැවටූ විවාහයක රැඳී සිටිය යුතු නැත. දේවක කුමන තීරණයක සිටියත් විඳවිය යුත්තේ ආදිත්‍යය.එම නිසා ඔහු ගන්නා ඕනෑම තීරණයකට එකඟ වී ඔහුට සහයෝගය දීමට අශිකා හිත හදා ගත්තාය.
තවත් එක් දිනක් පමණ ෂෙහාරාට රෝහලේ රැඳී සිටීමට සිදු වන නිසා ආදිත්‍ය අවශ්‍ය කළමනා කිහිපයක් රැගෙන ඒමට නිවස කරා යමින් උන්නේය. ඇවිදින මං තීරුව අසලදී ආදිත්‍ය වාහනයේ වේගය බොහෝ සේ අඩු කලේ අහම්බයකින් හෝ මෞර්යාව මුණගැහේ යැයි හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. ආදිත්‍ය බලාපොරොත්තු වූ ආකාරයටම ඇවිදින මං තීරුව අසල මෞර්යා ගේ වාහනය නවතා තිබෙනු ආදිත්‍යයට දැක ගන්නට ලැබුණි.දෙවරක් නොසිතාම ආදිත්‍ය මෞර්යා ගේ වාහනය ඉදිරියෙන් වාහනය නතර කර ඉන් බැස ගත්තේය.
දින ගණනාවක් පුරාවටම කාර්යාලයට නොගිය නිසා මෞර්යාව දැක ගැනීමේ ආසාවක්ද ආදිත්‍ය ගේ සිතේ කැකෑරෙමින් තිබුණි. එම නිසා ආදිත්‍යය වාහනයට හේත්තු වී මෞර්යා පැමිණෙනතුරු බලා උන්නේය. මෞර්යා දුර තියාම ආදිත්‍යව දුටු අතර ආදිත්‍යය උන්නේ කොහේදෝ ඈතක් බලාගෙන කල්පනාවකය. ඔහු මුණගැහුණු පලවන දිනයේ සිටම ඔහු තුළින් දැකගන්නට ලැබුණු මළානික බව අදත් ඒ ආකාරයටම ඇතැයි මෞර්යාට සිතුනි.
” හායි ”
මෞර්යා ගේ හඬට ආදිත්‍ය තිගැස්සුනේ ඔහු උන්නේ වෙන කල්පනාවක නිසාය. මෞර්යා ළදැරියක සේ තමා ඉදිරියේ හිනහෙමින් සිටිනු දුටු ආදිත්‍ය ගේ මුවටද සිනහවක් නැඟුණේය.
” මං ඔයාගේ වාහනේ දැකලා නැවැත්තුවේ ”
ආදිත්‍ය ඇත්තම කීවේය. දින ගණනාවක් පුරා හිතේ පැළපදියම් වී තිබූ කනස්සල්ල කොහේදෝ පාව ගොස් ඇති සේ දැනේ.
” ඇත්තට ? කොහෙද මෙච්චර දවසක් ගිහින් හිටියේ? ”
මෞර්යා ඇසුවේ සිනාසෙන අතරේය. එසේ නම් ඇයටද තමාව සිහි වන්නට ඇත.ඇයද තමාව සොයන්නට ඇත.කෙසේ වුවද පසුගිය දින කිහිපය පිළිබඳව මෞර්යා සමඟ කිව නොහැක. ඒ දිනයන් ඒ තරමටම කටුකය.අමිහිරිය.
” මං ටිකක් බිසී උනා මෞර්යා. කොහොමද ඔයාගේ අලුත් ඔෆිස් එක ?”
කාර්යාලගේ තත්ත්වය අභිමන්ගෙන් වත් අසා දැන ගැනීමට තරම් ඉස්පාසුවක් ආදිත්‍ය හට පසුගිය දින කිහිපයේම තිබුණේ නැත. එහෙත් අභිමන් තමා නැතිව හෝ සියල්ල කළමනාකරණය කරගන්නා බව ආදිත්‍ය දැන උන්නේය.
” වරදක් නැහැ. හොඳට කෙරී ගෙන යනවා. එක බොස් කෙනෙක් මාව මීටින් එකට එක්කගෙන ගියා.ඒකත් සක්සස් ”
මෞර්යා පිළිතුරු දුන්නේ සතුටෙනි. එසේ නම් ඇය කාර්යාලය පිළිබඳව තෘප්තිමත් හැඟීමකින් සිටිනවා විය යුතුය. තමාද ඒ කාර්යාලයට අයත් කෙනෙක් බව කියන්නට ආදිත්‍ය හට සිතුනත් ඔහු තවදුරටත් එය නොකියා උන්නේය.
” එතකොට අනිත් බොස් ? “
” ආ.එයාව නං තාම මට හම්බුනේ නැහැ. එයාගේ වයිෆ් ඇක්සිඩන්ට් වෙලා කියලා මට කවුද කියනවා ඇහුණා.මං හිතන්නේ තව දවස් කීපයක් එයා ඔෆිස් එකට එන එකක් නැහැ ”
ආදිත්‍ය සුසුමක් හෙළුවේය. ඒ ෂෙහාරා සිහි වීමෙනි. මේ දැනෙන සැහැල්ලුව දැනෙන්නේ මේ මොහොතේ පමණය. නිවසට ගියද , රෝහලට ගියද සිතට දැනෙන්නේ මහා පාළුවකි. විශාල වේදනාවකි.ඉන් ගැලවීමට නම් තමා නීත්‍යානුකූලව ෂෙහාරා ගෙන් වෙන් වී මේ ප්‍රශ්න සියල්ලක්ම අවසන් කර ගත යුතුය.
” මං ඔයාගෙන් දෙයක් අහන්නද ආදිත්‍ය ? “
අඩ අඳුරේ වුවද පෙනෙන ආදිත්‍යගේ මුහුණේ ඉරියව් සියුම්ව නිරීක්ෂණය කළ මෞර්යා හදිසියේ ඇසුවාය
” අහන්න ? ”
” මං එදත් ඔයා ගෙන් ඇහුවා. ඒත් ඔයා හරි උත්තරයක් දුන්නේ නෑ. ඔයා ඇත්තටම ඉන්නේ මොකක් හරි අවුලකින් නේද ? ”
මෞර්යා ආදිත්‍ය දෙසට පියවරක් දෙකක් තබමින් ඉදිරියට ආවාය.තමාට වඩා වසර දහයකින් ලාබාල වුවද මෞර්යා විටෙක පරිණත කෙල්ලකි.ඇයට මිනිසුන්ගේ හැඟීම් පිළිබඳව හොඳ අවබෝධයක්ද ඇත. ඊටත් වඩා ඇය මානුෂීය ගුණ වලින් පිරි හදවතක් ඇත්තියකි.
ආදිත්‍ය පිළිතුරක් නොදී තවත් මොහොතක් ගත කරන විටද මෞර්යා බලා සිටියාය. ඇයට දිය යුතු පිළිතුර කුමක් දැයි සිතමින් ආදිත්‍ය පිළිතුරු දීමට කල් ගනිමින් උන්නේය.
” ඔන්න කියන්න නම් එපා වැඩ වැඩියි අරකයි මේකයි කියලා. ඔයා ඉන්නෙ වෙන මොකක් හරි අවුලක ”
ආදිත්‍ය පිළිතුරු දීමට ප්‍රමාද වන තැන මෞර්යා කීවාය. ආදිත්‍ය මද සිනහවක් මුහුණට නගා ගත්තේ ඉන්පසුවය.
” මං ඉන්නෙ අවුලකින් තමයි මෞර්යා “
එවදන් පිටවූයේ නිරායාසයෙනි. හිතේ වූ බර සැහැල්ලු කර ගන්නට උවමනාවෙනි. ආදිත්‍ය ගේ හඬෙහි වූ වේදනාව තේරුම් ගත් මෞර්යාගේ හදවත තව තවත් උණු විය.
” ඇයි ආදිත්‍යය ? ”
මෞර්යා ඇසුවේ මෘදුවය. තම මවට පසුව එතරම්ම මෘදු ආකාරයෙන් තමා පිළිබඳව සංවේදී වූයේ මෞර්යා පමණි. තමා සිටින තත්ත්වය ඇයට කියම්දෝ නොකියම්දෝ කියා සිතමින් ආදිත්‍ය තැවුණේය. එහෙත් ඇය හට කියනවා නම් කියන්නට බොහෝ දෑ ඇත. ඒවායින් තව තවත් රිදෙන්නේ තමාටමය. නොකියා සිටීමෙන්ද රිදෙන්නේ තමාටය.
” හුඟක් දේවල් තියෙනවා මෞර්යා. එකක් කියලා නැහැ ”
ආදිත්‍ය කෙටියෙන් පිළිතුරු දුන්නේය. මේවා අසා සිටින්නට තරම් මෞර්යා හට උවමනාවක් නොතිබෙන්නට හැක.
” ඉතින් කියන්න. ඒවා කොච්චර දිග කතන්දර වුනත් මට පුළුවන් අහගෙන ඉන්න ”
මෞර්යා ආදිත්‍ය ගේ වාහනයට හේත්තු වූයේ ඔහු කියනා ඕනෑම දෙයකට සවන් දීමේ අදහසිනි. ආදිත්‍ය පුදුම වූයේ මෞර්යා ගේ ඒ හැසිරීමටය.
” තව මනුස්සයෙක් කියන දෙයක් අහගෙන ඉන්න මිනිස්සුන්ට දැන් වෙලාව තියෙනවද මෞර්යා ”
ආදිත්‍ය පාරේ එහා මෙහා ගමන් කරන වාහන දෙස බලාගෙන ඇසුවේය.ලෝකය මොන තරම් වේගයෙන් ගමන් කළත් තමා එකම තැනක නැවතී සිටින බවක් දැනේ.ජීවිතය ඇත්තේ කඩා වැටෙන්නට ඔන්න මෙන්නය. එහෙත් එය වැරෙන් අල්ලා ගත යුතුය.
” අනිත් මිනිස්සු ගැන නම් මං දන්නෙ නෑ.හැබැයි තව මනුස්සයෙක් කියන දෙයක් අහගෙන ඉන්න මට නම් ඕන තරම් වෙලාව තියෙනවා. මනුස්සයෙක්ට මනුස්සයෙක් උදව් නොකර වෙන කවුරු උදව් කරන්නද ආදිත්‍යය ? ”
මෞර්යාට ජීවිතය පිළිබඳව ඇත්තේ පුළුල් දැක්මකි.අන් අය කෙරෙහි සංවේදී වන සෞම්‍ය හිතකි. ඇයට ඒ ගතිගුණ එන්නට ඇත්තේ ඇගේ දෙමව්පියන්ගෙන් ය. මෞර්යා වැනි ගුණ යහපත් දරුවකු බිහි කිරීම පිළිබඳව ස්තුතිවන්ත විය යුත්තේ ඔවුන් දෙදෙනාටය.
” ඉතින් කියන්නකෝ ආදිත්‍ය ? ”