අකල් වැහි -33

පුස්තකාලයට එකතු වන පොත් ඈත පළාතක පාසලකට රැගෙන යාමට පිඹුරු පත් සැකසෙමින් තිබිණ.සිතිජ හුන්නේ ඒ වැඩකටයුතු වලට කාර්යබහුල වෙමිනි.හිරුදි පැමිණියේ ඒ කාර්යබහුලම මොහොතේ ය.

“මට ටිකක් කතා කරන්න ඕන.”

හිරුදි ඔහුට එසේ කෙටි පණිවිඩයක් යැවූයේ සිතිජ එතරම් ම වැඩෙහි ඇලී හුන් නිසා ය.ඇයට දෙන්නට කාලයක් ඔහු සතු නොවූ තරම් ය.චේතන කිසිම දවසක හිරුදි වෙනුවෙන් කාලය වැය නොකරන්නට ප්‍රවේසම් වූවෙකි.නමුත් ඔහු ඒ කාලය වැය කළේ ප්‍රයෝජනවත් දෙයකට නොවේ.ජනතා නියෝජිතයෙකු බව කියා ගත්තාට ඔහුට කිසිම මොහොතක කරන්නට මහා ලොකු වැඩ නොතිබිණ.එසේ තිබුණානම් මේ මහා ජන සන්නිපාතයකට අරගල කරන්නට හේතු නොවන වග හිරුදි සිතුවා ය.

ඔවුන් අප වෙනුවෙන් කිසිවක්ම කර නැත.කරන්නට අදහසක් ද නොවේ.

“සොරි හිරූ.මට අද හොඳටම බිසී වුණා.”

වැහි ඇල්ල ඇද හැලෙන්නට ඔන්න මෙන්න තබා සිතිජගේ හඬ හිරුදි අසලින් මතු විණ.ඔහු තවත් කාල වර්ණ ගැන්වී තිබේ.ලවණ රසය ද උණුසුම ද මුහුවූ සුළඟට නිරන්තරයෙන්ම මුහුණ පෑම එයට හේතු වන්නට ඇතැයි හිරුදිට සිතිණ.හිරුදි කිසිවක්ම නොකියා සිතිජ දෙස බලා හුන්නා ය.

“ඔයා අද වෙනස්.”

මේ සුන්දර යුවතිය දුටු දිනයේ හිත පුරා විදුලි කෙටීම් කිහිපයක් ඇති වූ වග සිතිජ සිහි කළේ ය.මේ ආදරය වැනි හැඟීම් ඇති වෙන කාලයක් නොවේ.එහෙත් මේ යුවතිය හදවත සසල කරන්නට සමත් දෑසකට හිමිකම් කියන වග ඔහු සිතී ය.

“මම අද ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න.”

වැහි ඇල්ල ඇද හැලෙන්නට පටන් ගත්තේ ය.මුහුදු සුළඟ සමඟ ඇද හැලෙන වැස්ස තරමක් චණ්ඩ ය.සිතිජ ඒ වැස්සට අවධානය නොදී යුවතිය වෙත ඇස අලවා ගත්තේ ය.

“ඔයාලා අතින් නිසල්ට සාධාරණයක් වෙයි කියල මට ලොකු විශ්වාසයක් තියනවා සිතිජ.”

හිරුදි ඔහුට ආදරය කරන්නට ඇති වග සිතිජට සිතිණ.මේ භූමියට එන ජනයාට එකම අරමුණක් ඇති වග සත්‍යයකි.ඒ මේ අසාධාරණ පාලනයට එරෙහි වීම ය.නමුත් සමහරෙකුට ඉන් එහා ගිය අරමුණු ද වේ.හිරුදි ද එවැනි අරමුණක ගිලී හිඳින්නියක වග සිතිජ සිතී ය. ඇය තමන්ගේ කෙනෙකුගේ මරණයට සාධාරණයක් වනතුරු බලා හිඳින්නී ය.

“මේ රටේ සාධාරණයක් ඉෂ්ට නොවුණු හැම මනුස්සයෙක්‍ටම සාධාරණයක් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ හිරූ.අපි නිසල් වෙනුවෙන් වැඩ කරමු.බය වෙන්න එපා.”

හිරුදි සිතිජ දෙස සෙනෙහස උතුරන දෑසකින් බලා සිටියා ය.අනතුරුව කියන්නට ඇති අනෙක් කතාව කියන්නට සිතුවා ය.

“මං ලංකාවෙන් යනවා සිතිජ.මට මේ මොහොතේ මාව ගෙන්න ගන්න ප්ලෑන් කරන අක්ක මිසක් කිසිම කෙනෙක්ව විශ්වාස නැති නිසා යන්නේ කවද්ද කියන දේ කියන්න මට හිතක් නෑ.ඒත් මම තව වැඩි කාලයක් මේ පොළොවෙ රැඳෙන්නේ නෑ.”

මේ බොහෝ අය පිටව යන කාලයකි.රැඳෙන්නට හේතු නැති කාලයකි.එනිසාම යුවතියගේ පිටව යාමට ද සර්ව සාධාරණ හේතු ඇතිවාට සැක නැතැයි සිතිජ සිතී ය.

“ඔයාට යන්න හේතු තියනවානම් ඉන්න එපා හිරූ.අපිට මේ කාලේ කාවවත් නවත්තා ගන්න ඇත්තටම හේතු නෑ.ඔයා යන්න.”

සමුගැනීමක වේදනාව හෘද අභ්‍යන්තරයෙන් නැගී ආවද සිතිජ පැවසුවේ පිරිසිදු සිතකිනි.

“මං ඔයාට නොකීව දේවල් ගොඩක් තියනවා.ඒත් දේවල් හිතේ නොතියා කියන එක මගේ පුරුද්දක්.මං යාලුවන්ට හරි ආදරේ කෙනෙක් සිතිජ.මං ඔයාටත් හරිම හරි ආදරෙයි. යන්න කලින් ඒක ඔයාට කියන්න ඕන කියලා මම හිතුවා.”

ප්‍රේමය ප්‍රකාශ කරන්නට විවිධ හේතු තිබේ.ඇය මේ ආදරය ප්‍රකාශ කළේ මිත්‍රත්වයේ නාමයෙනි.සැබෑවටම ඇය ආදරය හිතෙනා චරිතයක් වග සිතිජට සිතිණ.

“ගෑනු ළමයෙක් එහෙම කොල්ලෙක්ට ආදරෙයි කියන්නේ නෑ.ඔයාට මං එහෙම කියපු එක පුදුමයක් වෙන්නත් පුලුවන්.ඒත් ගෑනු ළමයෙක්ට පිරිමි ළමයෙක්ට බොහොම පිරිසුදු යාලුකමකින් අනිත් කෙනාට ආදරෙයි කියන්න පුලුවන් වෙන්නෝන කියලා මං හිතනවා සිතිජ”

හිරුදිගේ කටහඬ අවංක කමින් පිරී තියේ.ඇගේ කතාව අහන් ඉන්නට හිතෙනා වග සිතිජ සිතී ය.

“මමත් යාලුවන්ට හරිම ආදරේ කෙනෙක්.ආදරේට අවංක නොවීම තමයි ගොඩක් වෙලාවට හැම ප්‍රශ්නෙකටම මුල කියලා මට හිතෙනවා.”

සිතිජ එසේ කියද්දී හිරුදි යම්තාක් තිගැස්සී ගියා ය.ඇය අවංක නොවෙනා තැනක් තිබේ.සමු ගන්නට පෙර තමන් සැබෑවටම කවුදැයි ඔහුට කිව යුතුදැයි ඇය සිතන්නට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...