සීත මාරුතේ -23

වැළඳ ගැනීමක් යනු ඇවිලෙනා මිනිස් සන්තානයක් නිවා ලිය හැකි පිරිත් පැන් දෝතකි. නමුත් අපේ රට තුළ වෙසෙනා දූපත් සංස්කෘතික මිනිසුන් ඒ දෙස බලන්නේ විකෘති ලිංගික චර්යාවක් දෙස බලනා තරම් ජුගුබ්සාජනක දෑසකිනි. 

මුණිවර ගේ වැළඳ ගැනීම තුළ මම නම් තව තවත් සුවපත් වෙමින් සිටියෙමි. ඒ කොයි තරම් කාල පරාසයක් ද කියා නිනව් නැත. ඔහු ග්‍රහණය ලිහිල් කරනා තෙක් ම ඉන් මිදෙනා ඕන කමක් මට දැනුණේ නැත.

“අම්…මේ හැම දේම ඔයාගෙ මහන්සියෙ ප්‍රතිඵල. කොටින්ම ඔයා නැත්තං හෑන්ඩ්ලූම් පැරඩයිස් එකක් නෑ. තෑන්ක් යූ”

වැළඳ ගැනීමේ උණුහුමෙන් අප ඈත් වෙමින් සිටියදී මුණිවර කීවේ ය. වැළඳ ගැනීම තුළ නො තිබුණ ආඩම්බරය ඒ හඬට කාන්දු වෙමින් තිබිණ. ඒ කියන්නේ ඔහු මේ මොහොතේ තැත් කරමින් සිටින්නේ ඒ වැළඳ ගැනීම වෙන කිසිත් නිසාවෙන් නොව මගේ වෙහෙසට ස්තූති කිරීමක් වශයෙන් බව ඒත්තු ගන්වන්නටයි. මම ඉවත බලා ගෙන සිනහ වුණෙමි. සැබවින් අන් සියල්ලට වඩා මා ඒ අහංකාරයට රිසි වග දැන් මම පසක් කොට ගෙන සිටිමි. 

මිස්ට් ෆීල්ඩ් හෑන්ඩ්ලූම් පැරඩයිස් වලට කලමණාකාරවරයෙක් ද වෙළෙඳ සේවිකාවන් හා මුදල් අයකැමි වරියන් කිහිප දෙනෙකු ද සේවයට බඳවා ගෙන තිබිණ. 

“මැඩම් අසනීප නිසා ඊයෙ වැඩේ කෑන්සල් වුණානෙ. අපරාදෙ ඕඩර් කරපු කිරිබත් එහෙම විසි කළා. කැවිලි ටිකනං අපි බොක්ස් වලට දාල අරං තිබ්බ”

ඔවුහු ඒ කැවිලි පෙවිලි වලින් සංග්‍රහයක් සූදානම් කළහ. අප සිටියදී ම සාප්පුව ජනයා ගෙන් පිරී ගිය අතර ඔවුන් හෑන්ඩ් ලූම් අංග තේරුවේ උතුරා පිටාර ගලන සතුටෙනි. පසෙකට වී ඒ දෙස බලා සිටීම ද මට සතුටක් ගෙන ආවේ ය. මුණිවර ද ලොකුවට පෙන්නුවේ නැතිවා ට සතුටෙන් සිටි බව මම දනිමි.

අසනීප හොඳට ම සුව වෙන තෙක් ෆාම් එකේ වැඩ වලට නො වෙහෙසිය යුතු යයි ආපසු එන ගමනේ දී මුණිවර අවධාරණය කළේ ය. වෙනදා සේ මා නොරිස්සුම් වූයේ නැත. එ් එක වැළඳ ගැනීම මේ ජීවිත කාලයට ම මා නිවා සන්සුන් කොට ඇතිවා වාගේ මට දැනිණ. විටින් විට මම තනිව සිනහ වීමි. 

ජීවිතය කියන්නේ ඒ තරම් කෙටි එකක් නොවෙතැයි ළමා වියේ දී අපි සිතමු. එතැන සිට ඉදිරිය දකිත්දී ලොකු දුරක් පෙනේ. විශේෂයෙන් ම අපේ දෙමව්පියන් සිය අතීත කතා රස කොට කියත්දී, ඔවුන් ගේ ළමා සමය ඉතා දුර ඈතක වූවක් සේ ය ඔවුන් විසින් චිත්‍රණය කරනු ලබන්නේ. නමුත් ළමා විය ගෙවා අහවර කොට, අධ්‍යාපන කටයුතු ද නවතා දමා වැඩිහිටි ලෝකයට අවතීර්ණ වූ කල ජීවිතය යනු කෙතරම් කෙටි වූ ඉසිඹුවක් ද කියා සිතේ. ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට ජීවිතයෙන් වසර ගණනක් ම අතීතයට එක් වී අවසාන ය. එතකොට මහත් ලෝභ කමක් දැනෙන්නට ගනී.

මුණිවර වූ කලී දැන් මට එහෙව් ලෝභ කමකි. මම ඔහු ගේ හැම බැල්මක් ම විඳිමි. හැම රැවුමක් ම වැළඳ ගනිමි. ඔහු ගැන හැම මතකයක් ම අතීතයට ඉක්මනින් එකතු වෙනවා ට මා බිය ය. මට ඔහු මේ මොහොතේ රඳවා ගන්නට උවමනා ය. ඒ නිසා අර වැළඳ ගැනීම අතර මගක දී ඔහු ආදරයක් ප්‍රකාශ නොකිරීම දැන් මට සැනසීමකි. ඒ වගේ සන්ධිස්ථාන වලින් පස්සේ කාලය ඉක්මනින් ගෙවෙන්නට ගන්නා බව දැන් මා අත්දැකීමෙන් දන්නා බැවිනි.

මාස ගණනක් මිස්ට් ෆීල්ඩ් හෑන්ඩ් ලූම් සිහිනය වෙනුවෙන් අපි වෙහෙසුණෙමු. ඒ වෙහෙස වූ කලී මතක ගොඩකි. දැන් ඒ හීනය හැබෑ වී තිබේ. ආයේ කිසි දාක අප ඒ ගැන පෙර දී දුටු සිහින නො දකිනු ඇත. එ් වාගේ මට මුණිවර මතක වල ඈතට  යනු බලා සිටිය නො හැකි වනු ඇත. ඔහු හැම මොහොතක ම සජීවී ලෙස ඒ මොහොත තුළ පවතිනවාට මම වඩාත් රිසියෙමි. 

එදා හවස විදුනි කතා කළා ය. මාත් එක්ක ඕපාදූපයක් කියවමින් කෝපි එකක් බොන්නට ඇත්නම් හොඳ යයි ඇය කීවා ය. අසනීප ගතිය නිසා එදා මා මිස්ට් ෆීල්ඩ් වෙත ආවේ බයිසිකලයේ නොවේ. අප්පච්චි උදේ මා ගෙනැවිත් ඇරලුවේ ය. හවසට ටැක්සියක් ගත හැකි බව මම කීවෙමි. විදුනි කතා කළ නිසා මඳක් වේලාසන මිස්ට් ෆීල්ඩ් වලින් සමු ගත් මම ත්‍රිරෝද රියක නැගී විදුනි ලා ගේ ගෙදර ගියෙමි.

“මොකද ආ උනේ…කේසීසී එකේ ශොප් එකේ ඕපනින් එකට අපිටත් ඉන්වයිට් කරලනෙ තිබුණෙ. එක පාරටම ඒක කෑන්සල් කියල උදේ කෝල් කළා. එතකොට මං යන්න ඇඳුං අයන් කරනව. එහෙං මෙහෙං ඕප දූප ආව මන්දාකිණී මිස් ලෙඩ වෙලයි කියල. අපේ පෝරිසාද් චීෆ් ගෙස්ට් එන්න වෙන්නෑ කිව්වත් දා ගත්ත වැඩක් කෑන්සල් කරන මිනිහෙක් නෙවේ. ඒකයි මං මේ බැලුවෙ මොකද වුණේ කියල”

“චීෆ් ගෙස්ට් අද ගිහිං රිබන් එක කපල නිල වශයෙන් ශොප් එක ඕපන් කරලයි ආවෙ”

මම සිනහ වෙවී කීවෙමි.

“ඒ කිව්වෙ…”

“ඒ කිව්වෙ උදේ මං ශොප් එක ඕපන් කළා. හරිනෙ ඉතිං මන්නෙ ඒක කරන්න ඕන. මිස්ට් ෆීල්ඩ් හෑන්ඩ්ලූම් පැරඩයිස් කියන නම දැම්මෙ මං. ඒකෙ තියෙන ඔක්කොම අයිටම්ස් ඩිසයින් කළේ මං. මේ ඉඳිකට්ටට අත”

මම අතැඟිලි වල සිදුරු වූ හා රතු වූ තැන් ඇය ට පෙන්වීමි. විදුනි දෙතොල් තද කර ගනිමින් දෑත් ඉණ දෙපස ගසා ගත්තා ය.

“ය…කූ..”

“හග් එහෙකුත් හම්බුණා ඉතිං අද”

“ආ…”

“ඒක…ජස්ට් අ තෑන්ක් යූ හග් එකක් කියල අන්තිමට කිව්ව”

මම කට ඇද කළෙමි. විදුනි හඬ නගා සිනහ වන්නට වූවා ය.

“තෑන්ක් කරන්න හරි පොලිස් කාරයෙක් හග් කරනව කියන එක…ඒක ටිකක් ඇබ්නෝමල් වගේමයි මට දැනෙන්නෙ…කොටිංම මවා ගන්නවත් බෑ. වීඩියෝ ක්ලිප් එකක්වත් නැද්ද මට ඉමැජින් කර ගන්න…”

“පිස්සු කියන්නෙපා. වීඩියෝ කරන්න තියා මට සිහියක්වත් තිබුන්නෑ ඒ වෙලාවෙ. අනික් එක හොඳම මතක ඔක්කොම තියෙන්නෙ මගෙ හිතේ…ඒවගෙ එක ෆොටෝ එකක්වත් එක වීඩියෝ එකක්වත් නෑ. ඒව හරියට විඳ ගන්න කෙනෙක්ට ෆොටෝ ගන්න මතක් වෙන්නෑ හරිද..”

“හරි හරි මැඩම්”

විදුනි කට පිච්චෙන තරම් උණුවට කෝපි හැදුවා ය. අපි ගෙමිදුල උද්‍යාන පුටු කට්ටලය වෙත ගොස් චොක්ලට් රෝල් කමින් කෝපි බොන්නට වීමු.

“තෑන්ක් කරන්න කලින් ඔය හාදය කෙල්ලෙක්ව හග් කළා කියන්නෙ ඉතිං…සෙලිබ්‍රේට් කරන්න වටින දවසක්. මටත් හිතෙනව මන්දි…එයාට වෙනස් වෙන්න ඕන වෙලා ඇති. ඒත්…ග්ලැසියරයක් එක පාරටම දිය කරල අරින්න බෑනෙ දෙයියනේ….ඒකට එයාට කාලෙ ඕන ඇති..කෝම හරි දවසක අයිය සතුටෙන් හිටියොත් මට ඇති. අයියෙක් නෙවේ එයා තාත්තෙක්. එයාට මහන්සි ඇති. අම්ම කෙනෙක් වගේ එයාව බලා ගන්න පුළුවන් කෙල්ලෙක්ගෙ ආදරේ එයාට ඕන. තාම එයා එහෙම ඕන කියලවත් පිළිගන්න ලෑස්ති නැතුව ඇති”

“මට දෙයක් අහන්න තියනව. ඇයි ඔයා මාව එදා මිස්ට් ෆීල්ඩ් එකට යැව්වෙ…ඉන්ටවීව්…ඔයාගෙ අයිය එතනට මං වගේ කෙල්ලෙක් කොහොමවත් ගන්නෑ කියල දැන දැන..”

ඇය ලස්සන සිනහවක් පෑවා ය. මීට මොහොතකට පෙර මුණිවර ගැන කියත්දී තෙත පාට වූ ඇගේ ඇස් වල එළියක් විහිදිණි.

“බොරලන්දෙ අර එලකියුශන් ක්ලාස් එකේදි මන් දැක්කනෙ මෙයාගෙ ඇස් දෙක අපේ අයිය වටේ කැරකෙන හැටි…”

“අනේ…මෙන්න වැඩක්”

“ඇත්ත මන්දි. මට දැනුණා ඔයාගෙ ඇස් වලින්…අපේ මුණිවරය ගැන ඔයාගෙ හිතේ තිබුණ ආදරේ. ඒ ආදරේ ඇත්තක්නං ඔයා කොහොම හරි එතනට රිංගයි කියල ශුවර් එකක් මට තිබුණා”

“සමහර විට මිස්ට මුණිවර දන්නව..ඔයයි මාව එව්වෙ කියල…හැබැයි නොදන්න ගානට ඉන්නව”

“එයා එහෙම ඉන්න හොඳට දන්නව”

මගේ පපුව සොලවා ලමින් මුණිවර අභිශේක් බණ්ඩාර ගේ රතු පැහැති ජීප් රථය ගල් ඇල්ලූ පාරේ විත් මිදුල මැද නැවතිණ. ඔහු එතැන රිය නවතා බැස්සේ අප දැක බව මට අනුමාන කළ හැකි විය.

“මන්දාකිණි මොකද්ද මෙහෙ කරන්නෙ..”

මම ඇස් හකුළා ගතිමි. මා කරන දේවල් ගැන ඔහු ට දන්වා සිටිය යුතු ද? හිත ඇතුළෙන් කුටු කුටු ගා බණිමින් මම වෙනකක් කීවෙමි.

“විදුනි එක්ක කෝපි බොන්න ආව”

“සනීප නෑ නේද…උණ විකාරෙන් නේද හිටියෙ ඊයෙ රෑත්…කෝපි එකක් ඕනනං මිස්ට් ෆීල්ඩ් කිචන් එකෙන් ඉල්ලන් බොන්න තිබුණනෙ…හුළං වැදි වැදි ඇවිදින්නෙ..වැස්සත් පටං අරං තියෙන්නෙ”

විදුනි සුදු පාට කැටයම් පුටුවෙන් හෙමිහිට නැගිට ගත්තා ය.

“මං අයියටත් කොෆී එකක් ගේන්නං”

ඇය විදුලියක් සේ නික්ම ගියා ය. 

‘අයියට ඔය තරං බය තිබුණොත් මදෑ’

ඇය යන දෙස බලා උන් මම හිතෙන් හිතුවෙමි. 

මුණිවර ගේ මූණේ ඇත්තට ම කේන්තියක් තිබිණ. මම තත්පර කිහිපයක් ඒ මූණ දෙස ම බලා ඉන්නට වීමි. ඔහු වූ කලී මා පසු කර ගෙන විත් තිබූ බොහෝ පිරිමින් ට වඩා වෙනස් වූ පිරිමියෙකි. කොළඹ දී පොඩි වැස්සටත් කාමරයේ දොර ජනේල් වසා ගෙන සීතලට ගුලි වූ කෙල්ලක වූ මා, කටු තුඩු අනිනා කඳුකර සීතලට පෙම් බඳින්නට ඉගෙන ගත්තේ ඔහු නිසාවෙනි. මුදල් යහමින් අත මිට ගැවසෙත්දී මිනිසුන් වෙතින් මිනිස් කම් ගිලිහී යතැයි සිතා උන් මා, වැඩි වැඩියෙන් මුදල් ගලා එත්දී මිනිසුන් වෙනුවෙන් ඒවා භාවිත කළ හැක්කේ කෙසේ දැයි ඉගෙන ගත්තේ ඔහු ගෙනි. යන්තම් මූණ බැලුවොත් ඒ ගෑනු ළමයා යහනකට කැටිව යන්නට පිඹුරු පත් සකසනා පිරිමින් ගහන ලෝකයක, පිරිමියෙකු ගේ එක ආදර බැල්මක් වෙනුවෙන් පෙරුම් පිරීම ම කෙතරම් චමත්කාරයක් දැයි මා වටහා ගත්තේ ඔහු නිසාවෙනි.

“අම්..”

ඔහු රැල් බුරුල් හරිත්දී ම මම මගේ බැල්ම ඔහු වෙතින් මුදා ගතිමි.

“ඉස්සරහට එන්නෙ මිස්ට් ෆීල්ඩ් එකට විශේෂ දවස්. ඒ කියන්නෙ අපි අවුරුද්දකට සැරයක් පිරිත් කියල වැඩ කරන අයට තෑගි මුදලක් දෙනව. ඒක බෝනස් එකක් එහෙම නෙවෙයි. අපි සතුටෙන් වෙනම දෙන දෙයක්. විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න වැඩි පවුල් වල දරුවන්ට පොත් පත් තව ඉස්කෝලෙට ඕන සපත්තු බෑග් වගේ දේවල් බෙදල දෙනව. ඊට දවසකට දෙකකට පස්සෙ අපේ ඇනුවල් ට්‍රිප් එක”

“ට්‍රිප් එකක්…කොහෙද යන්නෙ…බෝඹුරු ඇල්ලට යමුද…”

ඔහු ට සිනහ ගියේ ය. අර නෙත් කළු, මන බඳනා, ආකර්ෂණීය, ගැහැනු හිත් උමතු කරවනා සිනහව! මම වශී වී බලා සිටියෙමි. මේ වෙලාවේ ඔහු ට ඒ සිනහව හංගා ගන්නට ලෙහෙසි වූයේ නැත.

“මේ වැලිමඩ මිනිස්සුන්ට බෝඹුරු ඇල්ල කියන්නෙ ට්‍රිප් එකක් නෙවෙයි”

“වීකෙන්ඩ් එකේ යනෝ මං…නංගියි කසුයි හංසියි එක්ක”

මම කෝක්කාඩුවක් පෑවෙමි. කෝපි අරගෙන විදුනි ආවේ ඒ වෙලාවේ ය.

“මෙන්න මෙයාව බෝඹුරු ඇල්ලට එක්කං යනව. ඇනුවල් ට්‍රිප් එක බෝඹුරු ඇල්ලට යමුලු”

ඔහු සැහැල්ලු යෞවනයෙකු ගේ විලාශයක් මවා ලමින් කීවේ ය. ඒ ඉරියව් වනාහි බලා සිටින්නට ආශා හිතෙනා ඒවා ය. විදුනි සිටියේ අයියා ගේ කතාවට කෙසේ ප්‍රතිචාර දක්වන්න ද කියා නො දැන ය. 

“අනේ මට ඉතිං බබා එක්ක බෑනෙ. මන්දිව යවන්නකො ඇල්ලට. වෙහිකල් එකක් අරේන්ජ් කරල දෙන්නකො එයා කසුනි මිස්ලත් එක්ක යයිනෙ”

ටික වෙලාවකට පස්සේ ඇය කියා ගත්තා ය. මුණිවර හෙමි හෙමිහිට කෝපි තොල ගෑවේ කල්පනාවකයි. මගේ ජංගම දුරකතනය හැඬවෙන්නට ගති. තිරය මත සනිටුහන් ව තිබුණේ මා එහි ගබඩා කොට ගෙන තිබි අංකයක් නොවේ.

“එක්ස්කියුස් මී”

මම අසුනින් නැගිට මඳක් එපිට ට ගොස් ඇමතුමට පිළිතුරු දුනිමි.

“හෙලෝ…”

“මිස් මන්දාකිණී…මං හරි නේද නම කිව්ව..”

“හරි. කවුද මේ…”

“කවුද…නේද..නෑ නෑ ඔයා මාව දන්නෑ මැඩම්. හැබැයි මං ඔයාව දන්නව හොඳ..ට. ඔයාගෙ බොස් මුණිවර උන්නාන්සෙවත් දන්නව ඊටත් වඩා හොඳට. හරි අපිට ඒ විස්තර පස්සෙ කතා කරන්න පුළුවන්නෙ. මුලින්ම කියන්න ඕන මේකයි. මුණිවර ඔයාට දෙනවට වඩා තුන් ගුණයක සැලරි එකක් දෙන්න අපි ලෑස්තියි. මේක නිය…ම ඔෆර් එකක්. මොකද ඔයා කියන්නෙ…ලබන මාසෙ ඉඳන් අපිත් එක්ක වැඩ කරමුද…ඔයා ඊටත් වැඩිය සැලරි එකක් බලාපොරොත්තු වෙනවනං…අපිට ඒ ගැන වුණත් සලකල බලන්න පුළුවන්”

ඔහු කියා ගෙන ගියේ ය. මා අසා සිටියේ තරමක වික්ෂිප්ත බවකින් යුතුව ය. 

“කවුරු හරි විහිළුවක් කරනවද මේ..මට කියන්න කවුද කතා කරන්නෙ කියල”

“විහිළුවක් නෙවෙයි. මුණිවර ඔයාව පාවිච්චි කරනව. ඔයාට ඒක තේරෙන්න ටිකක් කල් යයි. මොළයක් කියල දෙයක් තියනවනං අපිත් එක්ක එකතු වෙන්න මිස් මන්දාකිණී. කල්පනා කරල බලල මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඕකේ…”

දුරකතන සම්බන්ධය බිඳී ගියේත් ඒ අන්තයෙන් ම ය. එක් වන මේ කොහේ සිට කඩා පාත් වූ ගිනි ගෙඩියක් ද? ඔහු මුණිවර ගැන කතා කළේ ප්‍රසාදයකින් නොවේ.

“අම්..හරිද යමුද එහෙනං. මං ගුරුතලාවෙන් ඩ්‍රොප් කරගෙන යන්නං”

මා හැරෙත්දී ම මුණිවර අසුනෙන් නැගී සිටියේ ය. හිතේ තිබුණ ප්‍රශ්නාර්ථය මගේ මුහුණේ ද ලියවී තිබෙන්නට ඇත. මම හිතමින් ම මුණිවර පසු පස ගොස් රියට නැගුණෙමි. නමුත් හිතේ වැඩ කරමින් තිබුණේ අත්භූත වූ ඒ දුරකතන ඇමතුමෙන් කියා සිටි දේවල් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles