කලු හම නිසා කෲර ලෙස මිය ගිය 14 හැවිරිදි දරුවෙකුගේ කතාව

වාර්ගික ප්‍රචණ්ඩත්වය සහ අයුක්තිය ලෝකය පුරා පැතිර යන්නේ සීඝ්‍රයෙන්. ඒ මේ වර්තමානයට පමණක් අදාළ කතාවක් ද නෙවෙයි. මේ 1955 දී වුණු එවැනි කතාවක්.

1955 දී 14 හැවිරිදි එමෙට් ටිල් ඝාතනය කිරීම මිසිසිපි හි පැතිරී ඇති වාර්ගික ප්‍රචණ්ඩත්වය සහ අයුක්තිය කෙරෙහි රටපුරා අවධානය යොමු කළා. මිසිසිපි හි ඔහුගේ ඥාතීන් බැලීමට යන අතරතුර, ටිල් ඔහුගේ ඥාති සොහොයුරියන් සමඟ බ්‍රයන්ට් වෙළඳසැලට ගොස් කැරොලින් බ්‍රයන්ට විසිල් ගසා තිබෙනවා. ඇගේ සැමියා රෝයි බ්‍රයන්ට් සහ මස්සිනා වන ජේ. මිලාම්, ටිල්ව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කර, ඔහුගේ සිරුර තලහට්චි ගඟට විසි කරන්නේ එයට පලි ගැනීමක් ලෙස.  එවැනි සිදුවීමක් මිතුරන්ට, පවුලේ අයට හෝ තමන්ට පවා සිදු විය හැකි බවට ඇති බිය නිසා තරුණ අප්‍රිකානු ඇමරිකානුවන් සෑහෙන ප්‍රමාණයක් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට බැඳීමට පටන් ගත්තා. 

එමෙට් ටිල්ගේ ඥාති සොහොයුරියන් දෙදෙනෙකු වන වීලර් පාකර් සහ සිමියොන් රයිට්, 1955 අගෝස්තු 28 රාත්‍රියේ මෝසෙස් රයිට්ගේ නිවසේදී ටිල් පැහැර ගන්නා ආකාරය දුටුවා. ඔවුන් දෙදෙනා මිසිසිපි සහ චිකාගෝ හි ඔවුන්ගේ පවුලේ පසුබිම, බ්‍රයන්ට්ගේ වෙළඳසැලේ සිදුවීම සහ බ්‍රයන්ට් සහ මිලාන් ඔවුන්ගේ නිවසට ඇතුළු වී ටිල් රැගෙන යන විට ඔවුන්ට දැනුණු භීතිය විස්තර කරනවා. 

දහස් ගණන් මිනිසුන් ඇදී ගිය චිකාගෝ හි අවමංගල්‍ය උත්සවය පාකර් විස්තර කරේ මෙහෙමයි.

“එහි ඇති බැරෑරුම් වාතාවරණය, ඔබ දන්නව ඇති. එය ඇදහිය නොහැකි සිදුවීමක්.මම අවිශ්වාසයෙන් සහ බියෙන් අහන්නේ එය ළමයෙකුට සිදු වන්නේ කෙසේද කියලා? අපේ මිනිසුන්ට අසරණ බවක් දැනුණා.”

කෙසේ වෙතත්, නඩු විභාගයෙන් පසු බ්‍රයන්ට් සහ මිලාම් නිදොස් කොට නිදහස් කරන ලදී, එය රට පුරා අප්‍රිකානු ඇමරිකානු ප්‍රජාව කෝපයට පත් කරන්නක් වුණා.1956 දී ලුක් සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන් පිරිමි ළමයාට වධ දී ඝාතනය කළ බව ප්‍රසිද්ධියේ පිළිගත්තා, ඔවුන් එය කළ ආකාරය පිළිබඳ කතාව ඩොලර් 4,000 කට විකුණා දැමූ බවත් සඳහන්.

දින තුනකට පසු ගඟෙන් ගොඩ ගත් ටිල්ගේ සිරුර විකෘති වී තිබූ බව පැවසෙනවා.නමුත් එය සාමාන්‍ය ළමා මරණයක් හෝ අපචාරයක් වන්නේ නැහැ. අනිත් අතට ඔහු කඩහිමි කාන්තාවට අනවශ්‍ය විහිළු කළ සිදුවීම පවා පිළිගත හැකි සීමාවේ පවතින්නේ නෑ.

21 වැනි සියවසේ මුල් භාගයේදී එමෙට් ටිල් අනුස්මරණ කොමිසමක් පිහිටුවන ලැබුවා.මිසිසිපි ඩෙල්ටාවේ ස්ථාන පනස් එකක් ටිල් හා සම්බන්ධ ස්ථාන ලෙස අනුස්මරණය කර තිබෙනවා. මරා දැමීම ෆෙඩරල් වෛරී අපරාධයක් බවට පත් කරන ඇමරිකානු නීතියක් වන Emmett Till Antilynching පනත 2022 මාර්තු 29 දින ජනාධිපති ජෝ බයිඩෙන් විසින් අත්සන් කළා.

එමිට් මිය ගොස් බොහෝ කලකට පසු ඔහුට යුක්තිය ඉටු වූයේ ඒ ආකාරයෙන්.

නමුත් වර්ගවාදය කියන්නේ ලෝකය පුරා පැතිරී යන දරුණු පිළිලයක්. මේ පිළිලය අතීතය සහ වර්තමානය වෙළා ගත්ත ද එයට අනාගතය වෙළා ගන්නට ඉඩ නොදීම අපේ පරම්පරාවේ වගකීමක්.

Related Articles

Don't Miss


Latest Articles