පමා වුණු වසන්තේ

මා බලන්නට ගෙදරට ආ මනාලයාට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව, ඇඳුම් දෙක තුනක් බෑග් එකකට ඔබා ගත් මම එහෙම ම  නැන්දලා ගේ ගෙදර පැමිණියෙමි. හිත තිබුණේ හොඳටෝම කැළඹීගෙන ය.

“රිද්මි. එන්න දුවා. කොහොමද මනමාලය…”

උණුසුමට මා පිළි ගත් නැන්දා ගේ පළමු ප්‍රශ්නය වූයේ එයයි. 

“අපේ අම්මල මට මෙහෙම කරදර කරන්නෙ ඇයි නැන්දා…දැම්ම මැරි කරන අදහසක් මට නෑ. නෑ නෑ නෑමයි”

“හරි හරි දුව චේන්ජ් එකක් දා ගන්නකො. ඔය සීතල යන්නත් එක්ක මං කෝපි එකක් හදං එන්නං”

තාමත් පිටත වැහි වහියි. මෙතෙක් නො දැනුණ සීතලකින් මා වෙව්ලා ගියේ ය. බෑග් එකත් අරගෙන කාමරයට ගිය මම ඇඳුම් මාරු කොට, තෙත රැඳී තිබූ වරල ලිහා දමා ගතිමි. 

තරිඳු විසින් ආදරය පමණකුදු නොව ජීවිතය ම හැඩි කොට දමා යාමෙන් අනතුරුව මා යළි හිත අස් පස් කර ගත්තේ ආයේ නම් කිසිදු පිරිමියෙකු ට එහි නවාතැන් නො දෙන්නට හිතා ගෙන ය. මේ සමාජය තුළ, ඇහැට කනට පේන කෙල්ලකට හැමදාමත් අවිවාහක ව සිටිය නො හැකි බව සත්‍යයකි. ඒ නිසා කවදා හෝ දවසක අම්මා – තාත්තා කියන කෙනෙකු සමගින් දීග යන්නට මම හිත හදා ගෙන සිටිමි. ඒත් තවම එවැන්නකට වුව සූදානමක් මා තුළ නැත. පරණ තුවාල සුව වෙනා තාක් කල් පිරිමියෙකු සමග නෛතික බැඳීමක් හෝ ඇති කර ගත නො හැකි වග මට විශ්වාස ය.

“රිද්මි…මං කෝපි හැදුව. ඔයා ආස නිසා චීස් කෑල්ලකුයි ක්‍රැකර්ස් දෙකකුයිත් ගෙනාව”

මුදු සිනහවක් ඇතිව ම මම නැන්දා අතින් චීස් කෑල්ල ගතිමි. ඈ මට ආදරේ ය. පුංචි එකියක කාලයේ සිට ම ඈ මට ළෙංගතු ය. මා තේරුම් ගන්නී ය. මා රුචි අරුචි දේ මතක තබා ගන්නී ය.

“අකමැති වුණේ…මනමාලයගෙ පෙනුම මදිද රිද්මි…”

“අනේ මන්දන්නෙ නෑ නැන්දා…අඩු ගානෙ මං ඔළුව උස්සල කළුද සුදුද කියලවත් බැලුවෙ නෑ.පිරිමි මතක් වෙනකොට තාමත්…”

මම කියන්නට ගිය දේ අතර මගකදී ගිල ගතිමි. ඔය මාතෘකාවේ දී සිදු වන්නේ හිත රිදවා ගන්නට ම ය.

“අනිත් එක ඔච්චර හදිස්සි වෙන්න මං නාකිද නැන්දා…”

ආදර බර සිනහවක් පා ඈ නික්ම ගියා ය. මම සඳැල්ලට විත්, පහළ මිටියාවතේ ගලා බසින කැළණි ගඟ දෙස බලා ගෙන කෝපි තොල ගෑවෙමි. රැයක් දහවලක් නැති ව කඩා වැටෙන මෝසම් වැහි හින්දා ගඟ දිය දැන් හරි චණ්ඩ ය. බොර පැහැති ය. හැන්දෑ වෙන තුරු ම මම සඳැල්ලට වී , ඇස් මානයේ දිග හැරෙන අහසත්- වැස්සත්- ගඟත් දෙස බලා ගෙන කල්පනා කළෙමි.

සීතල පිරිමි දෑතකින් මගේ දෑස් වැසී ගියේ හවස රාත්‍රිය ට අත වනත්දී ය. ඔය නැන්දා ගේ පුත් දෙනුවන් බව මම දනිමි.

“අතාරිනව අයිය. සීතලේ බෑ. මෝඩය. මගෙ ඇහැටත් මොකන්හරි කරන්න හදනව”

දෙනුවන් අයියා මගේ කොණ්ඩයෙන් ඇද ගෙන සඳැල්ලේ යකඩ වැටට බර වූයේ ය.

“අඳුර ගන්නව මේ මගෙ යාළුවෙක් සිතිජ රාජපක්ෂ. කැන්ඩිවල ගෙවල්…බොරැල්ලෙ ප්‍රයිවට් බෑන්ක් එකකට ට්‍රාන්සර් එකක් හම්බ වෙලා…දැං අපේ ගෙදර ඉන්නෙ. සිතිජ මේ රිද්මි. උඹ දන්නවනෙ…”

දෙනුවන් අයියා අමුතු තාලයකට හිනැහිණ. මම ඔහු ට රැව්වෙමි. මේ ආගන්තුකයා මා ව දන්නේ කෙසේ ද? නිසැකව ම දෙනුවන් ඔහු ට මා ගැන මොනවා හෝ කියන්න ට ඇත.

“හෙලෝ. නයිස් ටු මීට් යූ”

සිතිජ අත පෑවේ ය. මූණවත් නො බලා මම ඒ අත ට යාන්තමින් මගේ අත දුන්නෙමි.

“දුවා. රිද්මි…අම්ම දැන් කෝල් කළා. ඔයාට හෙට උදේම ගෙදර එන්න කිව්ව. මං කිව්ව ඔන්නෙහෙ තව දවස් දෙක තුනක් මෙහෙ හිටපුවාවෙ කියල”

නැන්දා අප වෙත ආවා ය. 

මාත් හිතා ගෙන ආවේ ටික දවසක් මෙහි නතර වනවා කියා ය. ඒත් හෙට අනිද්දා ම ගෙදර යන හැඟීමක් දැන් සිත ඉපිද තියේ. මගේ මේ හිතුවක්කාර කම් ගැන අම්මා හිත රිදවා ගන්නට ඇත.

“අම්ම. මේ වැස්සට මාර විදිහට බඩගිනි දැනෙනව අප්ප. හදමුකො කන්න මොනා හරි”

දෙනුවන් අයියා නැන්දාවත් ඇදගෙන පහළ මාහලට ගියේ ය. මා තනි විය. තනිකම එක්ක නොව අර නන්නාඳුනන යෞවනයා එක්ක මේ පාළු සඳැල්ලෙහි තනි විය. දෙනුවන් ගැන හිත උපන්නේ තරහවකි. මම ගං තීරයෙන් ඇස් ඉවතට නො ගෙන ම හිටියෙමි.

“රිද්මිගෙ පේන්ටිංස් වල ෆොටෝස් වගයක් මං දැක්ක”

හිටිවන ම, මා යන්තම් සිනහ වූවා විතර ය. මගේ අලුත් සිතුවමක් දුටුවොත්, දෙනුවන් අයියා එය ඡායාරූප ගත කර ගන්නේ ය. ආගන්තුකයා දකින්නට ඇත්තේ ඒවා යයි මම සිතා ගතිමි.

“කලා කාරයො කියන්නෙ මිනිස්සුංගෙ හදවත් එක්ක සම්බන්දකං පවත්වන අය. එහෙම අය ඔය තරං ආඩම්බර වෙන එක හරිද…”

ඔහු කතා කළේ පුදුම සංයමයකිනි. ඒත් වචන වලින් පපුවට පිහියෙන් අනින්නට හැදුවා වැනි ව මා තිගැස්සී ගියේ ය. මා ආඩම්බර බව බොහෝ පිරිමි පවසති. නමුත් එය ආඩම්බරයක් නොවන බව මම දනිමි. තරිඳු ගේ නික්ම යාමෙන් අනතුරු ව පිරිමින් විෂයේ මා දැඩි වූවා කියා සිතමි. 

මම සිතිජ දෙස බැලුවෙමි. ඔහු ගේ ඇස් මත වූ අභියෝගය ඉදිරියේ මට දැනුණේ අසරණකමකි.

තරිඳු ගේ නික්ම යාමෙන් අනතුරුව කවදාවත් කිසිදු පිරිමියෙකු වෙනුවෙන් සසල නොවූ රිද්මි බණ්ඩාරතිලක, රාත්‍රී කෑම මේසයේ දී හිටියේ හොඳට ම සසල වී ගෙන ය. නැන්දා මා කන්නට කැමති ම ව්‍යාංජන පිළියෙල කොට තිබුණත් මා බත් පත අත පත ගෑවා පමණකි. දෙතුන් වතාවක් ම සිතිජ ගේ ඇස් වලට හසුව බිම බලන්නට ත් මට සිදු විය.

“දන්නවද නංගි…මේ සිතිජ හිතනව දැං කොළඹ කෙල්ලො හිනා වෙන්න දන්නෙත් නෑ කියල”

දෙනුවන් අයියා මා කතාවට අල්ලා ගන්න ම බැලුවේ ය. 

“එහෙම නෙවෙයි දෙනුවන්. හුඟක් ගෑනු ළමයිංගෙ හිනාව හරි ලාබයිනෙ. ඒ අතරෙ ලේසියෙං ගන්න බැරි හිනාවක් හුඟක් වටිනව ඇති නේ…”

වෙනදා නම් ඒ කතාවට මට සිනහ නැගෙනු නියත ය. ඒත් සිතිජ ළඟ දී ඇස් උස්සා ගන්නට බැරි අපහසුවක් මා පෙළනු දැනිණ.

දෙදිනක ඇවෑමෙන් යළි ගෙදර යන විටත්, සිතිජ සමගින් මා වචන පහක් තරම වුව කතා කොට තිබුණා යි නො සිතමි.

දවස් දෙකක් ඇතුළත දී මිනිස් හදවතක ඒ තරම් වෙනසක් ඇති වෙන්නට පුළුවන් යයි ඒ වන තුරු මා දැන සිටියේ නැත. මගෙන් අහන්නෙත නැතිව, මට කියන්නේ ත් නැතිව සිතිජ හදවතට ගොඩ වැදී ද? මම නො දත්තෙමි. මා දැන සිටියේ ඇතුළාන්තයේ පුදුම නො සන්සුන් බවක් ඇති ව තිබෙන බව පමණකි.

වැස්ස තුරල් වූ එක හවසක මිදුලේ පිහිඹියා ගහ යට බංකුවේ හිඳ මම ඇට මැස්සා කියවමින් සිටියෙමි. පොත උඩට මෘදු මල් පෙත්තක් වැටිණ. එය අතැඟිලි වලින් ඇහිඳින ගමන් මම හිස නගා බැලුවෙමි. සිතිජ රාජපක්ෂ! ඇසිල්ලකින් මා නැගී සිටින්නට ඇත.

“රිද්මි”

ඔහු සෙනෙහෙබර බැල්මක් හෙළුවේ ය. මම ඉක්මනට නෙතු මුදා ගතිමි.

“දෙනුවන් අයිය ආවද…”

“නෑ. මං තනියම ආවෙ”

“ඔයා…තනියම…”

“හ්ම්. ඔයාගෙ හිත එහෙ අමතක වෙලා ඇවිත්. මං ඒ හිත අරං ආව”

කිසිදු ගණනකට වැති ව ඔහු හිනැහිණ. මමත් මගේ අහංකාර කමත් එක්ව රවා බලා සිටියෙමු. ඒත් හිත තුළ මෙතුවක් තිබි නො සන්සුන් කම කොහේ පලා ගියා දැයි මම ම නො දැන සිටියෙමි. සත්තකට හිත් ඉවුරු බිඳ ගෙන දෝරෙ ගැලූ හැඟීම ආදරය වත්ද?

“ඒ හිත මං ගාවම තිබුණට කමක් නැද්ද…ම්…”

හරි පරෙස්සමට සිතිජ නෙතට එබිණ. වෙනදා වගේ ඉක්මන් ව බිම බලන්නට මට සිහිපත් වූයේ නැත. කැළඹී ගත් ගමන්, විසල් කර ගත් දෑසින් මම බලා සිටියෙමි. සිතිජ ගේ අඩවන් ඇස් වල මොකක්දෝ හුරුපුරුදු කමක් විය. 

“මං ඔයාට කැමතියි රිද්මි. මං හිතන්නෙ මං ඔයාට ආදරේ කරන්න පටං අරන්”

අවුරුදු තුනකට පස්සේ, තරිඳු නික්ම ගියාට ම පස්සේ ඇස් තෙත් වෙනවා මට දැනිණ. බොහොමත් ම ඉක්මනට ඇස් වලින් පිටතට පැන්න ඒ කඳුළ පොත මත පතිත විය.

“ඔයාගෙ හැම පින්සල් ඉරකම මං දැක්කෙ මිනිස් හිතක් ඉක්මවා ගිය මහ පුදුම සංවේදී කමක්. කොයි තරං සංයමේකිං ඔයා ජීවිතේ දකිනවද ආදරේ විඳිනවද කියල මං තේරුං අරං ඉන්නෙ. ඒ හැම දේටම අදරේ කරන්න…පරිස්සං කරන්න…මලක් වගේ ඔයාව බලා ගන්න මං ආසයි රිද්මි. ඒ ආදරේ කියල දෙන්න හොඳම විදිහ මේක බව මං තේරුං ගත්තෙ පස්සෙ”

මගේ කඳුළු මගේ පාලනයකින් තොර ව ඉහිර යන්නට වූයේ ය. ඒ සන්සුන් වන තෙක් සිතිජ බලා උන්නේ ය.

“ආදරයක් ඇති වෙන්න බැරි කමක් නෑ නේද රිද්මි…ම්..ටිකක් කල් ගිහිං හරි….ඒ වෙනකල් බලං ඉන්න බැරි කමක් මට නෑ”

තෙත් ඇස් විදා මම සිතිජ දෙස බැලුවෙමි. තවත් දැඩි වෙන්නේ කුමට ද?

දුර්වල ගැහැනු කම් දිය කොට ලතාවක් සේ වෙලී ඉන්නට මා හෙව්වේ ආදරය තියෙන තැනකි. මායාවක් වගේ තරිඳු ටික කලක් එතැනට වී හිඳ යන්නට ගියේ ය. සිතිජ, ගිමන් නිවන නවාතැනක්  වන්නට බැරි ද? 

“එදා බුලත් හෙප්පුව ගද්දිවත් මං දිහා නිකමට බැලුවෙ නෑ”

ඔහු අඩ සිනහවකින් කීවේ ය.

“එතකොට…එත..කොට…ඔයා…”

“දෙනුවනුයි ආන්ටියි කියපු නිසයි එදා මං ආවෙ. ඒගොල්ලො විශ්වාස කළා  ඔයා මට කැමති වෙයි කියල. ඒත්…එක අතකට ඒ මං කියල ඔයා නොදැන හිටිය එක හොඳයි…”

සිතිජ හිනැහිණ. ඒ සිනහව ළඟ හිත නිවී පහන් වෙනවා මට දැනිණ. දෙවියනි, ඒ ආදරය නොවේ කියා කියන්නේ කෙසේ ද? පමා වී හෝ ආදරය හමු වන්නට පුළුවන් බව දැන් ඉතින් මා විශ්වාස නො කර ඉන්නේ කෙසේ ද?

ගංගා ශයිනි ගමගේ ලියයි.

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...